පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර කාල පරිච්ඡේදය යුරෝපා ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයක් ලෙස සලකන්න පුළුවන්. බොහොමයක් රටවල ෆැසිස්ට්වාදී ව්‍යාපාර බලයට පත් වූ අතර, සෝවියට් දේශය කොමියුනිස්ට් පාලනයට නතු වෙලා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තිබුණා නම් ඒ අතළොස්සක් පමණයි.
යුරෝපයේ පැතිර යමින් තිබුණ ෆැසිස්ට්වාදී රැල්ලට දෙවන ලෝක යුද්ධය ආසන්නයේ දී ම ගොදුරු වූ රටක් ලෙස ස්පාඤ්ඤය හඳුන්වන්න පුළුවන්. ස්පාඤ්ඤයේ බිහි වූ වාමාංශික රජයකට එරෙහිව මතු වූ හමුදා කැරැල්ලක් විසින් එහි බලය අල්ලා ගැනීම ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ දී සිදු වුණා. මෙහි දී ස්පාඤ්ඤ ෆැසිස්ට්වාදීනගේ ජයග්‍රහණයට නට්සි ජර්මනියත් ෆැසිස්ට් ඉතාලියත් සහාය දුන්නා. ස්පාඤ්ඤ සමූහාණ්ඩුවාදී කඳවුරට සහාය දුන් එකම ප්‍රධාන රාජ්‍යය වූයේ සෝවියට් දේශය යි.
ස්පාඤ්ඤ සිවිල් යුද්ධය එක් අතකින් ෆැසිස්ට්වාදයේ නැඟීම පිළිබඳ පැහැදිලි සාධකයක් වුණා වගේ ම අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ඒ පිළිබඳ දැක්වූ අවුල් සහගත, අදූරදර්ශී ප්‍රතිපත්ති සඳහා ද කදිම උදාහරණයක් වුණා.
ඒ වගේ ම ලෝක යුද්ධ දෙක අතරතුර යුරෝපයේ සිදු වූ බරපතල ම අවි ගැටුම ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
ස්පාඤ්ඤයේ වාමාංශික රජය
1930 දශකයේ යුරෝපයේ මෙන්ම වෙනත් බොහෝ ප්‍රදේශයන් හි කැළඹීම් ඇති වුණා. ස්පාඤ්ඤ දේශපාලනය තුළත් මේ තත්ත්වය ඒ ආකාරයෙන් ම සිදුවුණා. 1931 අප්‍රේල් මාසයේ දී එරට රජාණ්ඩුව බලයෙන් නෙරපා, ස්පාඤ්ඤය සමූහාණ්ඩුවක් බවට ප්‍රකාශ කරනු ලැබුවා. මෙය ස්පාඤ්ඤ ඉතිහාසයේ දෙවන සමූහාණ්ඩුව යි.
1936 පැවති මැතිවරණය ස්පාඤ්ඤ ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් වුණා. කලක් තිස්සේ සමාජවාදී පක්ෂ සමග ගැටුම් ඇතිකර ගැනීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට කොමියුනිස්ට් ජාත්‍යන්තරය කටයුතු කළේ මේ සමයේ යි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල පුළුල් වාමාංශික සන්ධානයන්ට කොමියුනිස්ට්වාදීන් ද ඇතුළත් වුණා. මේවා “මහජන පෙරමුණු” ලෙස හැඳින්වුණා. 1936 පෙබරවාරියේ පැවති ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් සමාජවාදීන්, වාමාංශික සමූහාණ්ඩුවාදීන්, කොමියුනිස්ට්වාදීන්, සහ අරාජකවාදීන් ආදීන් ඇතුළත් වූ මහජන පෙරමුණ බලයට පත් වුණා.
ස්පාඤ්ඤයේ වාමාංශික රජයක් මෙසේ බලයට පත් වීමත් සමග, ස්පාඤ්ඤ දක්ෂිණාංශය ඒ පිළිබඳ බිය වුණා. මෙහි දී අප මතක තබාගත යුතු වැදගත් කාරණයක් වන්නේ ස්පාඤ්ඤය ප්‍රබල කතෝලික උරුමයක් සහිත, සාම්ප්‍රදායික වැඩවසම් සමාජ ක්‍රමයක් පැළපදියම් වූ රටක් වූ බව යි. වාමාංශික රජයක් බලයට පත්වීම පිළිබඳ ව මෙම සමාජ ස්ථරවලින් විශාල ප්‍රතිරෝධයක් පැමිණීම ස්වාභාවික කරුණක් වුණා.
හමුදා කැරැල්ල
ජාතිකවාදීන්, සාම්ප්‍රදායික කතෝලිකයන්, සහ රාජාණ්ඩුවාදීන් ආදී පිරිස් ස්පාඤ්ඤයේ වාමාංශික රජයක් බිහි වීම ගැන බිය වුණා. මේ අතර යුධ හමුදාවේද සැලකිය යුතු පිරිසක් මෙම කඳවුරට සහාය දැක්වූවා. ජාතිකවාදී හමුදා කැරැල්ලක් පිළිබඳ ව වාමාංශික රජය තුළ බියක් හට ගත්තා.
මේ හේතුවෙන් ස්පාඤ්ඤ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ කැනරි දූපත් හි අණ දෙන නිලධාරී ලෙසත්, ජෙනරාල් මනුවෙල් ගොඩෙඩ් ලෝපිස් බැලියරික් දූපත්වල අණ දෙන නිලධාරියා ලෙසත් පත් කර යැවීමට රජය කටයුතු කළා.
කෙසේ වෙතත් ජෙනරාල් එමිලියෝ මෝලා, නවාරේ ප්‍රදේශයෙහි අණ දෙන නිලධාරියා ලෙස පත් කරනු ලැබුණා. මේ අනුව ස්පාඤ්ඤ ප්‍රධාන භූමියෙහි කුමන්ත්‍රණය සංවිධානය කිරීමේ කටයුතුවල නිරත වීමට ඔහුට අවස්ථාව ලැබුණා.
1936 ජූලි 17 වන දා ස්පාඤ්ඤ මොරොක්කෝවේ හමුදා සේනාංක කැරලි ගැහුවා. එවකට මොරොක්කෝවේ උතුරු ප්‍රදේශයේ බිම් කොටසක් පාලනය කළේ ස්පාඤ්ඤයන් විසින්. එහි වූ හමුදා මෙසේ කැරලි ගැසුවා. ඒ සමග ම කැනරි දූපත්වල සහ බැලියරික් දූපත්වල වූ හමුදා ද කැරැල්ලට එක් වුණා.
මෙසේ අවට ප්‍රදේශයන් හි හමුදා විසින් ප්‍රධාන ස්පාඤ්ඤ භූමිය ආක්‍රමණය කිරීමේ අවදානම මතු වූ අතර, මේ අවස්ථාවේ දී රජය ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිති දෙකක් ඉදිරිපත් වුණා. ඒ ජාතික කම්කරු සම්මේලනය සහ පොදු කම්කරු සංගමය යි. කම්කරුවන් සන්නද්ධ කරන මෙන් එම සංවිධාන ඉල්ලා සිටිය ද අගමැති කසාරෙස් ක්විරෝගා ඊට එකඟ වූයේ නැහැ. නමුත් මෙම සංවිධාන, ඇතැම් අවි ගබඩා තම භාරයට ගත් අතර, මීට පෙර විවිධ අවස්ථාවන් හි දී සඟවන ලද අවි ද සූදානම් කෙරුණා.
හමුදා කැරැල්ල ජූලි 19 වන දා ප්‍රධාන භූමියට ද පැතිරුණා. මෙහි දී උතුරුදිග ස්පාඤ්ඤයේ ප්‍රදේශ ගණනාවක් ජාතිකවාදී හමුදා සේනාංක අතට පත් වුණා. දකුණේ ද කාඩිස් නගරය මෙන්ම සෙවියා වැනි ඇතැම් නගර ද ඔවුන් අතට පත් වුණා. විශේෂයෙන් ම කාඩිස් අල්ලාගැනීම ජාතිකවාදීන්ට වැදගත් වුණේ මොරොක්කෝවේ සිටි සේනාංක ප්‍රධාන භූමියට ගෙන ඒමට එම වරාය වැදගත් වූ නිසාවෙන්.
ප්‍රතිවිරුද්ධ කඳවුරු
මේ ආකාරයෙන් ජාතිකවාදී කඳවුර සහ සමූහාණ්ඩුවාදී කඳවුර අතර ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ඇරඹුණා. මෙහි දී ස්පාඤ්ඤ හමුදාවේ විශාල කොටසක් ද, කතෝලික පල්ලිය ද, සාම්ප්‍රදායික ඉඩම් හිමියන් ද ජාතිකවාදී කඳවුරට එක් වූ අතර, සමූහාණ්ඩුවාදී කඳවුරට වාමාංශික සහ අරාජිකවාදී පිරිස් එක් වුණා. යුරෝපය පුරා ජාතිකවාදී කණ්ඩායම් ජාතිකවාදී කඳවුරට ආධාර කළා. ජර්මනිය හා ඉතාලිය ද එම කඳවුරට සහාය දුන්නා. මේ අතර සමූහාණ්ඩුවාදී කඳවුරට සෝවියට් ආධාර ලැබුණා.
ජර්මනිය මුදලින් ජාතිකවාදීනට ආධාර කළා. එමෙන්ම යුධ සහ ගුවන් භටයින් සහිත කොන්ඩෝර් ලීජනය ද සටනට එවීමට ජර්මනිය ක්‍රියා කළා. ජර්මනියට ස්ටූකා සහ යුන්කර් ගුවන් යානා අත්හදා බැලීමට මෙම අවස්ථාව කදිම අවසරයක් ලබා දුන්නා.
ජාතීන්ගේ සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම සටනේ දී මධ්‍යස්ථ ව සිටින බව ප්‍රකාශ කළා. මෙය බැලූ බැල්මට මධ්‍යස්ථ පියවරක් සේ පෙනුණත්, සත්‍ය තත්ත්වය නම් ඉන් ජාතිකවාදී කඳවුර ශක්තිමත් වීම යි. එම කඳවුරට ජර්මනිය සහ ඉතාලිය ක්‍රියාකාරී ලෙසම සහාය දෙන බව දැන දැනත්, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, සහ ප්‍රංශය මධ්‍යස්ථ වීම තුළින් ජාතිකවාදී කඳවුර වක්‍රාකාරයෙන් ශක්තිමත් කරනු ලැබුණා.
සෝවියට් දේශය සමූහාණ්ඩුවාදීන්ට යුධ ආධාර ලබාදුන් අතර, සෝවියට් උපදේශකයින් ද එහි එවනු ලැබුණා. මෙක්සිකෝව සහ වෙනත් ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් සමූහාණ්ඩුවාදීන්ට ද්‍රව්‍යමය ආධාර සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා දුන්නා.
කෙසේ නමුත් ඇමරිකාව, කැනඩාව ආදී රටවලින් ස්වේච්ඡා සටන්කරුවන් සමූහාණ්ඩුවාදී කඳවුර වෙනුවෙන් සටන් කිරීම සඳහා ස්පාඤ්ඤයට පැමිණියා. මෙම පිරිස් “අන්තර්ජාතික බ්‍රිගේඩ” ලෙස සංවිධානය වුණා. මොවුන් ප්‍රචාරක වැදගත්කමකින් යුතු වුව ද, යුධමය අතින් විශාල සේවයක් ඉටු කළේයැ යි කියන්නට අපහසු යි.
යුද්ධය ඇදෙයි
මුල් අවස්ථාවේ දී උතුරුදිග වෙරළබඩ ප්‍රදේශයක් සමූහාණ්ඩුවාදීන් අත රැඳුණ අතර, මැඩ්රිඩ් අගනුවර සහ නැගෙනහිර වෙරළබඩ බොහෝ ප්‍රදේශයක් ද ඔවුන් අත රැඳුණා. ජෙනරල් ලෝපිස්, බාර්සිලෝනාව අල්ලාගන්නට කළ අසාර්ථක උත්සාහයක දී අත්අඩංගුවට පත්ව මරණ දඬුවමට ලක් කෙරුණා.
යුද්ධය දිගටම ඇදී යද්දී රටේ උතුරු සහ බටහිර ප්‍රදේශ ජාතිකවාදීන් අත පැවතුණා. මැඩ්රිඩ් අගනුවරත් රටේ නැගෙනහිර කොටසත් සමූහාණ්ඩුවාදීන් අත පැවතුණා.
1938 මාර්තු සහ අප්‍රේල් මාසවල ජාතිකවාදීන් විසින් සමූහාණ්ඩුවාදීන්ට එල්ල කළ ඇරගොන් මෙහෙයුම සිවිල් යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් වුණා. මෙහි දී ඇරගොන් සහ කැටලෝනියාවේ ප්‍රදේශ හරහා ජාතිකවාදීන් මධ්‍යධරණී වෙරළට ළඟා වුණා. එයින් සමූහාණ්ඩුවාදී ප්‍රදේශ දෙකඩ වුණා.
ජූලි මාසයේ දී වැලෙන්සියාව අල්ලාගැනීම සඳහා ජාතිකවාදීන් කළ උත්සාහයක් ව්‍යර්ථ වුණා. මේ අතර එම මාසයේ ම සමූහාණ්ඩුවාදීන් අතිශයින් ම තීරණාත්මක වූ ප්‍රහාරයක් ආරම්භ කළා. එබ්‍රෝ සංග්‍රාමය ලෙස හඳුන්වන එහි දී ඔවුන් බලාපොරොත්තු වූයේ දෙකඩ වූ සිය පාලන ප්‍රදේශ එක් කිරීම යි. නොවැම්බරය තෙක් ඇදී ගිය එම සංග්‍රාමයෙන් සමූහාණ්ඩුවාදීන් පරාජය වුණා.
මේ අතර සැප්තැම්බරය අවසානයේ දී ස්පාඤ්ඤයෙන් තරමක් ඈත ස්ථානයක සිදු වූ තවත් සිදුවීමක් සමූහාණ්ඩුවාදීන්ගේ චිත්ත ධෛර්යය බරපතල ලෙස මොට කළා. ඒ මියුනික් හි දී චෙකොස්ලොවාකියාව පිළිබඳ ව ඇති වූ එකඟතාව යි. ඒ අනුව සුඩෙටන්ලන්තය ජර්මනියට පවරා දීමට චෙකොස්ලොවාකියාවට සිදුවුණා. ප්‍රජාතන්ත්‍රවාදී බටහිර බලවතුන් කියාගන්නා අය ෆැසිස්ට්වාදීන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ඉඩ දෙන බව සමූහාණ්ඩුවාදීන් වැඩි දෙනෙක් මෙයින් නිගමනය කළා.
1939 වසරේ මුල් මාස තුනේ දී සමූහාණ්ඩුවාදීන්ට ඉතිරි වී තිබූ ප්‍රදේශ එකිනෙක ජාතිකවාදීන් අතට පත් වුණා. මාර්තු අගභාගය වන විට බටහිර බලවතුන් ජෙනරල් ෆ්‍රැන්කෝගේ රජය පිළිගත්තා. ෆ්‍රැන්කෝ අප්‍රේල් 1 වන දා සිය ජයග්‍රහණය නිල වශයෙන් නිවේදනය කළා.
ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ විවිධ මත පවතිනවා. නමුත් අවම වශයෙන් 250,000ක් මියගොස් ඇතැ යි විශ්වාස කෙරෙන අතර, ඝාතනයට ලක් වූවන් දස දහස් ගණනින් සමූහ මිනී වළවල්වල වැළලී ඇතැ යි විශ්වාස කරනු ලබනවා. නිල සංඛ්‍යාලේඛන අනුව 130,000ක් පමණ අතුරුදහන් ලැයිස්තුවේ සිටිනවා. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා දෙපාර්ශවය ම අතින් සිදු වූ අතර, යුද්ධය අවසන් වූ පසු ෆ්‍රැන්කෝ තම විරුද්ධවාදීන්ගෙන් පළිගත්තා.
කවරයේ පින්තූරය: ෆැසිස්ට් බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් විනාශ වූ ගුවර්නිකා නගරය. පිකාසෝ සිය සුප්‍රකට “ගුවර්නිකා” චිත්‍රය ඇන්ඳේ මෙය පදනම් කරගෙන ය. (Universal History Archive)