සංගීතය කියන්නේ හැම දෙනාගෙම ආත්මයන් සුවපත් කරන්න පුළුවන් විශ්ව භාෂාවක්. ගීයක් රස විඳින්න අකමැති කෙනෙක් ඉන්නවා කියලා ඇත්තටම හිතන්න අමාරුයි. අපි අහන මේ සංගීතය පටිගත වුණේ කොහොමද?, ඒ පටිගත ක්‍රම වල වෙනස මොකක්ද කියලා හොයා බලන්නයි අද සූදානම් වෙන්නෙ.
ශබ්ද පටිගත කිරීම.
ශබ්ද පටිගත කිරීමේ ඉතිහාසය ආරම්භ වෙන්නේ 1857 වර්ෂයේදි එඩුවාර්ඩ් – ලියොන් ස්කොට් ඩි මාර්ටින්විල් නැමැත්තා Phonautograph ලෙස ඔහු විසින්ම හැඳින්වූ උපකරණය නිර්මාණය කිරීමත් සමඟයි.
ඉන්පස්සෙ 1877 වර්ෂයේ නොවැම්බරයේදී තෝමස් අල්වා එඩිසන් විසින් තැටි වාදන යන්ත්‍රය සොයා ගනු ලැබුවා. මෙය සංගීත නිර්මාණය කිරීම සහ ශ්‍රවණය සම්පූර්ණයෙන් වෙනස් කළ සොයා ගැනීමක් වුණා. මෙමඟින් මුලින්ම පටිගත කළේ “Mary had a little lamb” ගීතයයි.
ග්‍රැමෆෝනය
ඉන් වසර 10කට පසු 1887 වර්ෂයේදි ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වූ එමිල් බර්ලිනර් විසින් ග්‍රැමෆෝනය හඳුන්වා දුන්නා. මෙය පැතලි තැටියක් සහිත ශබ්දය පටිගත කළ හැකි උපකරණයක්. එයින් පටිගත කළ මුල්ම ගීතය වුණේ “Twinkle, Twinkle Little Star” ගීතයයි.
මේ නව සොයාගැනීම් සංගීතයේ ගමන් මඟ සහමුලින්ම වෙනස් කරන්නට සමත් වුණා. ශබ්දය පටිගත කිරීම සහ නැවතත් එය වාදනය කළ හැකි වීම මෙයට මූලික හේතුව වුණා. තවදුරටත් එක් වරක් පමණක් ගීත රසවිඳීමටත්, සංගීතය වෙනුවෙන් ඔපෙරා හෝ ප්‍රසංග පවත්වන ශාලාවකට යෑමටත් අවශ්‍ය වුණේ නැහැ. අවශ්‍ය ඕනෑම තැනක සිට එකම ගීතය වුවත් නැවත නැවත රසවිඳීමේ හැකියාව ලැබුණා. පිරිසක් මැද ගීයක් ඇසීමෙන් මිදී තනිව නිවසේ ඉඳන් සංගීතය රසවිඳිය හැකි යුගයක් උදා වුණා.
රේඩියෝව
1894 දෙසැම්බරයේදී 20වන වියේ පසු වූ ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් රේඩියෝව හඳුන්වා දීම පටිගත කිරීමේ ඉතිහාසය වෙනස් කිරීමට සමත් වුණා. පළමු විද්‍යුත් පටිගත තැටි සහ තැටි වාදන යන්ත්‍ර වෙළඳපොළට නිකුත් වුණේ 1925දීයි.
ඇමරිකානු ඉංජිනේරුවකු වූ ඔබ්ලින් ස්මිත් විසින් කාන්දම් බලය උපයෝගී කරගෙන ශබ්දය ග්‍රහණය කර ගැනීම ගැන පළමු අදහස ඉදිරිපත් කළා. ඉන් වසර දහයකට පසු ඩෙන්මාර්ක ඉංජිනේරුවකු වූ වෝල්ඩිමර් පෝල්සන් විසින් පළමු, චුම්භක බලයෙන් ශබ්දය පටිගත කළ හැකි උපකරණයක් නිපදවනු ලැබුවා.
ටේප් රෙකෝඩරය
ජර්මානු ඉංජිනේරුවකු වූ ෆ්‍රිට්ස් ෆ්ලුමර් විසින් 1931දී පළමු ටේප් රෙකෝඩරය නිපදවනු ලැබුවා. ඔහු විසින් මෙය sounding paper (Sound Paper Machine) ලෙස හඳුන්වා තිබෙනවා. 1963දී Philips නම් ලන්දේසි සමාගම පළමු කැසට් පටය වෙළඳපොළට නිකුත් කළා.
1979දී Sony සමාගම විසින් සංගීතය ගබඩා කරගෙන ශ්‍රවණය කළ හැකි, ස්ටීරියෝ ප්ලේයරයක් සහ හෙඩ්ෆෝනයක් සහිත සරල උපකරණයක් හඳුන්වා දුන්නා. සමාගම විසින් මෙය Sony Walkman ලෙස නම් කළ අතර අතේ ගෙන යා හැකි මෙම උපකරණයට ශක්තිය ලැබුණේ වෝල්ට් 9 බැටරියකින්. දෙදෙනෙකුට එකවර සවන් දිය හැකි ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා.
පිළිවැයීම – Playback
පිළිවැයීම එහෙමත් නැත්නම් Playback ලෙස හඳුන්වන්නේ ශබ්දයක් පටිගත කරගෙන එය නැවත නැවත ඇසීමට ඇති හැකියාවටයි. වසර ගණනාවකට කලින් නම් යන යන තැන ගීත ගණනාවක් තමන් සමඟ රැගෙන යෑම සිදු විය නොහැකි දෙයක් ලෙස කෙනෙකු සිතන්නට තිබුණා. ගීත පටිගත කිරීම සහ ගබඩා කර ගත හැකි වීමේ තාක්ෂණයත් සමඟ අද ඕනෑම කෙනෙකුට පටිගත කළ ගීත දහස් ගණනක් වුවත් කුඩා උපකරණයක ගබඩා කරගෙන යන එන තැන්වල ගෙනයාමටත් නැවත නැවත ඇසීමටත් හැකියාව ලැබී තිබෙනවා.
ඇනලොග් සහ ඩිජිටල් සංගීතය
සංගීතය හදාරන කෙනෙක් නම්, ඔබට මේ වචන නුහුරු නැතුව ඇති. සංගීතය පටිගත කිරීම, ඇනලොග් (Analog) සහ ඩිජිටල් (Digital) යන මූලික ආකාර දෙකකින් සිදු වෙනවා. ඇනලොග් ශබ්ද තරංගය සැබෑ ශබ්ද තරංගයට සමානයි. නමුත් ඩිජිටල් ශබ්ද තරංගය එයින් මඳක් වෙනස් වෙනවා.
ශබ්ද තරංග තිබෙන ආකාරයෙන්ම නිරූපණය කිරීම ඇනලොග් ක්‍රමයේදී සිදු වෙනවා. මේ සඳහා හොඳම උදාහරණය ලෙස කැසට් පට සහ Vinyl records දක්වන්න පුළුවන්. ඇනලොග් සංගීතයෙන් නිරූපණය වෙන්නේ නිර්මාණකරුවා සහ සංගීත භාණ්ඩ වලින් නිර්මාණය වුණු මුල් නිර්මාණයයි. මෙම ශබ්ද තරංගය නොකඩවා පවතින අතර ශබ්ද තරංගයේ මුල් ආකාරයෙන්ම පටිගත කිරීම සිදු වෙනවා. උදාහරණයක් විදියට කෙනෙක් මයික්‍රොෆෝනයෙන් කතා කරන විට නිකුත් වෙන්නේ ඇනලොග් තරංගයක්. ඇනලොග් පටිගත කිරීම් වල නිවැරදි භාවය රඳා පවතින්නේ සංගීත භාණ්ඩයේ සංවේදී බව සහ පටිගත කිරීමට යොදා ගන්නා මාධ්‍යය මතයි.
(7) රතු පැහැති තරංගයෙන් ඇනලොග් ශබ්ද තරංගයද, නිල් පැහැති තිත් වලින් ඩිජිටල් ශබ්ද තරංගය නිර්මාණය වන ස්ථානද පෙන්වනවා. (Wikimedia Commons)
ඩිජිටල් සංගීතය, ඇනලොග් සංගීතයේ පිටපතක් කියලා සරලව හඳුන්වන්න පුළුවන්. එය ඇනලොග් තරංගය මෙන් නොකඩවා පවතින තරංගයක් නොවෙයි. ශබ්ද තරංග අල්වා ගන්නේ කොටසින් කොටසයි. ඉන්පසු එය සංඛ්‍යාංක බවට පත් කර ඩිජිටල් උපකරණයක ගබඩා කරනවා. සංගීතයට සවන් දෙන්න නම් එම සංඛ්‍යාංක වෝල්ටීයතා තරංගයක් බවට පත් කළ යුතුයි. මේ සංඥා වර්ගයේදී අගයන් දෙකක් පමණක් භාවිතා වීම, එනම් 1 හෝ 0 අතර දෝලනය වීම මඟින් සංඥා ගෙන යාම සිදු වෙනවා. බල සැපයුමේ උපරිමය හා අවමය මත මේ අගයන් දෙක වෙනස්වන අතර ඩිජිටල් පටිගත කිරීමේදී ශබ්ද තරංග වෙනස් වීම සංඛ්‍යා රටාවකට අනුව නිරූපණය වෙනවා. උදාහරණ විදියට CD සහ Mp3 දක්වන්න පුළුවන්.
සංඛ්‍යා පේලියක 1 සහ 2 කියන සංඛ්‍යා සැලකුවොත් ඇත්තටම 1 සහ 2 සංඛ්‍යා අතර සංඛ්‍යා අපිරිමිත ගණනක් තියෙනවා. ඇනලොග් යන්නෙන් 1 සහ 2 අතර තිබිය හැකි අපිරිමිත සංඛ්‍යාවන් ප්‍රමාණය නිරූපණය වෙනවා. ඩිජිටල් සංගීතයේදී සලකා බැලෙන්නේ 1 සහ 2 සංඛ්‍යා අතර පවතින කිසියම් නිශ්චිත සංඛ්‍යා ගණනක් ගැන පමණයි.
Cover Image – www.hdwallpaperup.com
මූලාශ්‍ර – www.charm.rhul.ac.uk, www.aes.org, www.techrepublic.com, howstuffworks.com, fundaciontelefonica.com, www.musical-u.com , americanhistory.si.edu