ඉන්දියාව සිය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍යයෝ, දෙවන ලෝක සංග්රාමයෙන් අනතුරුව තවදුරටත් එහි රැදී සිටීම අවදානම් බව වටහාගත්හ. ජනවාර්ගික ගැටුම් නිසා, කොයි මොහොතේ හෝ පුපුරා යාමට ආසන්න යමහලක් බවට පත්ව තිබූ ඉන්දියාවෙන් ඉතාමත් ඉක්මනින් ඉවත්වීමට ඔවුන්ට අවශ්‍ය විය. එක අතකින් පූර්ණ නිදහස ඉල්ලනා ජාතික කොංග්රසයත්, අනෙක් අතින් පකිස්ථානය නමින් වෙනමම රාජ්‍යක් ඉල්ලනා මුස්ලිම් ලීගයත් අතර මැද ඉංග්‍රීසීන් සිරවී සිටියේ ය. බ්‍රිතාන්‍යයන්ගේ මෙම ඉවත්වීම අනාගත ලෝකයේ දේශපාලන බල අරගලයට මෙතරම් බලපෑමක් ඇති කරනු ඇතැයි ඔවුන්ට ද නොසිතෙන්න ඇත. ලක්ෂ ගණනක් මිනිස් ජීවිත අහිමි කළ, යුද්ධ රැසකට මූලික වූ, අදටත් නිම නොවූ වෛරයකට හා සැකයකට හේතු වූ 1947 ඉන්දියාව බෙදීම පිළිබඳව තොරතුරුයි මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉන්දියාව
17වන සියවසේ සිට ඉන්දියාවේ තම අණසක පතුරවාගත් බ්‍රිතාන්‍යයින්, එය තමන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිත සංකේතය ලෙසට පාලනය කරන ලදී. සියලු කැරලි කෝලාහල සාර්ථක ලෙස මැඩපවත්වමින් තම ග්‍රහණය බිදක් හෝ අඩු නොකොට, ඔවුන් ඉන්දියාව තම රාජ්‍යයේ ප්‍රධානතම සම්පත් සපයන්නා ලෙසට පත් කරගෙන සිටියේ ය. දියමන්තියේ සිට සහල් ඇටය දක්වා වූ සියලුම සම්පත් ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යයට අපනයනය කරන ලදී.
කෙසේ වුව ද, දෙවන ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍ය දැඩි ලෙස ආර්ථික වශයෙන් දුර්වල තත්ත්වයකට පත් විය. ඔවුන්ට තවදුරටත් තම යටත් විජිත් පවත්වාගෙන යාමේ වියදම් දැරිය නොහැකි බවට වැටහෙන්නට විය. එසේම ඉන්දියානුවන් නිදහස ඉල්ලා සිදුකරන සටන් වලින් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටියේ ය.
තමා ඉන්දියාවෙන් ඉවත්ව යන්නේ නම්, තම අනාගත අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයට නතු කරගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය. තව ද තම අභිප්රායන් වෙනුවෙන් පෙර භාවිතා කළ, “බෙදා වෙන් කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය” (Divide and Rule) අනුගමනය කිරීමට අවශ්‍ය විය. ඒ වන විටත් වසර 300ක් ඉන්දියාව පාලන කළ බ්‍රිතාන්‍යයන්, ඉන්දියානුවන්ව ජන වර්ග වශයෙන්, ආගමික වශයෙන්, භාෂාමය වශයෙන්, කුල වශයෙන්, සමාජ පන්ති වශයෙන් පැහැදිලි ලෙස වෙන් කර හඳුනාගෙන, ඒ සදහා වෙනම පාසල්, රැකියා අවස්ථා ආදී විවිධ විෂමතා ඇති කොට බෙදා වෙන් කිරීමට කටයුතු කරන ලදී.
දෙවන ලෝක යුධයෙන් පසු ඉන්දියානුවන් තමන් හට උදා වී ඇති අවස්ථාව දැක, බ්රිතාන්යයින්ගෙන් පූර්ණ නිදහස ලබා ගැනීමට සැලසුම් කළේ ය. මෙම ප්රයත්නය සදහා ඉන්දියාව තුල වඩාත් ජනප්‍රසාදයට පත්ව සිටියේ ජවහර්ලාල් නේරුගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ජාතික කොන්ග්රසය යි. එසේම මුස්ලිම්වරුන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක සිහිනයක් දුටු මොහොමඩ් අලි ජින්නා ප්‍රධාන මුස්ලිම් ලීගයටත් මුස්ලිම් ජනයා අතර දැඩි ප්‍රසාදයක් හිමිව තිබිණි. හින්දු ආගම බහුලව අදහන ජනයා සිටි ඉන්දියාවේ මුස්ලිම්වරු නිතරම තමන් සුළු ජාතියක් ලෙසට හැගී තිබූ අතර මෙය අවස්ථාවක් කර ගත් මොහොමඩ් අලි ජින්නා, මුස්ලිම්වරුන් බහුතරය වෙසෙන ප්‍රදේශ එකතු කොට “පකිස්ථානය” නම් වෙනම රාජ්‍යයක සංකල්පය ඉදිරිපත් කළේ ය. නිදහසින් පසු හින්දුන් යටතේ ජීවත් වීමට අකමැති වූ මුස්ලිම්වරුන් අතර මෙය ඉතා ජනප්‍රිය වූ අතර මහත්මා ගාන්ධි හා කොන්ග්රසය ඇතුළු බොහෝදෙනා ඉන්දියාව දෙකඩ කරනා මෙම සංකල්පයට දැඩි ලෙස විරුද්ධ විය. වරෙක පූර්ණ නිදහස් ඉන්දියාවක් වෙනුවෙන් එක්ව සටන් කළ ඉන්දියානුවෝ මේ වන විට හින්දු-මුස්ලිම් ලෙසට දෙකට බෙදී කටයුතු කරමින් සිටිය හ.
ආගමික ගැටුම්
මෙම ගැටළුව සමතයකට පත් කර අවසන් තීරණයකට පැමිණීම සඳහා, බ්‍රිතාන්‍යයින් සියළුම ජන නායකයින් රැස් කොට 1946 මාර්තු මස ශිම්ලා හී දී සාකච්ඡා පවත්වන ලදී. එහෙත් කොන්ග්රසය හා මුස්ලිම් ලීගය අතර පැවති මෙම සාකච්ඡාව අසාර්ථක විය. මෙම විරසකයේ අමිහිරි ප්‍රතිඵලය උදාවූයේ මුස්ලිම් ලීගයේ මෙහෙයවීමෙන් (Direct Action Day) 1946 අගෝස්තු මස කල්කටාවේ සිදු වූ මහා ආගමික ගැටුමයි (Great Culcutta Killings). මුස්ලිම්වරුන් බහුලව විසූ කල්කටාවේ සුළුතරය වූ හින්දු ආගමිකයන්ට විරුද්ධව මෙය ක්‍රියාත්මක විය. දින තුනක් යනතුරුත් මෙම ගැටුම් ඉංග්‍රීසීන්ට පාලනය කර ගැනීමට නොහැකි වූ අතර අවසානයේ ගැටුමින් මියගිය ගණන 5000කට අධික විය. මෙම සිදුවීමෙන් පසු ආගමික කෝලාහල ලැව්ගින්නක් සේ ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගියේ ය. බිහාරයේ හින්දුන් විසින් මුස්ලිම්වරුන්ට පහර දෙන්නට වූ අතර නැවතත් බෙංගාලයේ මුස්ලිම්වරුන් හින්දුන්ට පහරදෙන්නට විය. මෙම ගැටුම් නිරාකරණය කිරීමට මහත්මා ගාන්ධි ගමින් ගමට යමින් හින්දු ආගමිකයන් හා මුස්ලිම්වරුන් දැනුවත් කරන්නට විය. නමුත් එමගින් යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි විය. කෙසේ වුව ද කල්කටාවේ ගැටුමින් පසු පූර්ණ නිදහස් ඉන්දියාවක සිහිනය බොදවී ගිය අතර, තමන්ට ගැටුම් වලින් තොර සාමකාමී ඉන්දියාවකින් පිටවී යා නොහැකි බව බ්‍රිතාන්‍යයන්ට අවබෝධ විය.
අවසන් ප්‍රතිරාජයාගේ සම්ප්‍රාප්තිය
මෙම අවධානම් තත්ත්වය සලකා බලා ඉන්දියාවෙන් ඉවත්වීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඉන්දියාවේ අවසන් ප්රතිරාජයා ලෙස මවුන්ට්බැටන් ආදිපාදවරයා පත්කරන ලදී. ඔහු 1947 මාර්තු මස දී ඉන්දියාවේ පාලන කටයුතු බාරගත් අතර ඔහුගේ පළමු කාර්යය ලෙස කොන්ග්රසය හා මුස්ලිම් ලීගය අතර සාකච්ඡා ආරම්භ කරන ලදී. ඔහු එහිදී අවධාරණය කර සිටියේ බ්‍රිතාන්‍යන් 1948 ජූනි මාසයේ දී ඉවත් වන බවත්, ඊට පෙර දෙපාර්ශවයටම තම රටේ අනාගතය පිළිබද නිවැරදි තීරණයක් ගන්නා ලෙසටත් ය. පෙර අත්දැකීම් ඇති අදිපාදවරයාගේ කාර්යශූරත්වයෙන් ඉන්දීය නායකයින් දිනා නිදහස් ඉන්දියාවක් බිහි කිරීමට සිතා සිටිය ද, එය එසේ සිදු නොවන බව සාකච්ඡා කීපයක් අවසානයේ දී ආදිපාදවරයා හට අවබෝධ විය.
ගැටුම් උග්‍ර වීම
ඉන්දියාවේ සිදුවීමට යන දෙකඩවීම සාමාන්‍ය ජනයාට ද දැනෙන්නට වූ අතර ඔවුන් තම අනාගතය පිළිබඳව බියකින් යුතු විය. මෙය වඩාත් බලපෑවේ විවිධ ජන වර්ග මිශ්‍රව වාසය කළ පන්ජාබය, බෙංගාලය වැනි ප්‍රදේශයන් වලට ය. ලාහෝරය පන්ජාබයේ අග නගරය වූ අතර මුස්ලිම්වරුන්, හින්දු ජාතිකයින්, හා සික් ජාතිකයන් මිශ්‍රව පන්ජාබයේ ජීවත් විය. විශේෂයෙන් පන්ජාබයේ විසූ සික් ජනයා තමන් මුස්ලිම්වරුන් යටතේ පාලනය වීමට දැඩි විරෝධයක් දැක්වීය. තම ප්‍රදේශ පකිස්ථානයට ඇතුලත්වන බවට ඔවුනට බියක් ඇති විය. මෙලෙස අවිනිශ්චිතභාවය රට පුරා පැතිර ගිය අතර, තම අනාගත ඉරණම වෙනුවෙන් රටපුරා ජනයා අවි අත දැරීමට පටන් ගත්තෝ ය.
එලෙස අවි දැරූ කාණ්ඩායම් ඒ මේ අත සැරිසරද්දී, ඔවුන්ගෙන් තම ගම්බිම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ ප්‍රදේශ පුරා සටන් ව්‍යාප්ත විය. 1947 මාර්තු මස දී රාවල්පින්ඩි නගරයේ මුස්ලිම්වරුන් විසින් හින්දුන්ට පහර දීමත් සමග නැවතත් රටපුරා ආගමික ගැටුම් උග්‍ර විය.
මවුන්ට්බැටන්හට මෙම ගැටුම් නිමකිරීමට අවසන් තීරණයක් ගැනීමට අවශ්‍ය විය. නැවතත් කොන්ග්රසය හා මුස්ලිම් ලීගය සමග සාකච්ඡා කොට 1947 ජුනි මස 3 වන දින ඉන්දියාව දෙකඩ කිරීමේ නිවේදනය ප්‍රකාශ කරන ලදී. මෙය ආගමික ගැටුම් වලින් පීඩාවට පත්වූවන්ට යම් සහනයක් වූවත්, බහුතර ඉන්දියානුවන්ගේ ශෝකයට තුඩු දෙන කරුණක් විය.
මවුන්ට්බැටන් සැලසුම
ඉන්දියාව දෙකඩ කිරීමේ සැලසුමට අනුව මුස්ලිම්වරුන් බහුලව වෙසෙන ප්‍රදේශ පකිස්ථානයට හිමි වූ අතර ඉතිරි ප්‍රදේශ ඉන්දියාවට හිමිවිය. නමුන් පන්ජාබය හා බෙංගාල ප්‍රදේශ, රටවල් දෙක අතර බෙදා දීමට තීරණය කළේය.
එසේම තමන් ඇතුළු බ්‍රිතාන්‍යයින් බලාපොරොත්තු වූ පරිදි 1948 වසරේ නොව 1947 වසරේ අගෝස්තු මාසයේ දී ඉන්දියාවෙන් ඉවත් වන බවට මවුන්ට්බැටන් ප්‍රකාශ කර සිටියේ ය. ඒ වන විට එම ඉවත් වීමේ දිනයට මාස තුනක පමණ කෙටි කාලයක් තිබූ නිසා සියලුම දෙනාට මෙය අදහාගත නොහැකි කරුණක් විය. මවුන්ට්බැටන්, ඔහුගේ මෙම සැලැස්ම අවධානයට යොමු කරනු වස් ඉන්දියාවෙන් ඉවත් වීමට ඇති දින ගණන සටහන් කරමින් සිය කාර්යාලයේ දැන්වීමක් සවි කළේ ය.
මෙසේ දින ගත වුවත් තවමත් රටවල් දෙක අතර දේශසීමාවක් නොමැති විය. එය කෙසේ සිදු කළ යුතු ද යන්න අවබෝධයක් කිසිවකුටත් නොවීය. ඒ පිළිබදව හා ඉන්දියාව දෙකඩ වීමේ අවසාන කොටස ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
මුලාශ්‍ර – බීබීසී රුපවාහිනී සේවයේ Partition වාර්තා වැඩසටහන හා පුවත්පත් වාර්තා ඇසුරින්
කවරයේ ඡායාරුප – www.hereld.dawn.com