Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේ ඉතාලි ගිනිඅවි

දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර පාර්ශවය මෙන්ම අක්ෂ පාර්ශවය ද භාවිතා කළ අවි ආයුධ, ගුවන් යානා හා, යුද ටැංකි පිළිබඳව තොරතුර,  ලිපි කිහිපයක් ඔස්සේ ගෙන ආවා ඔබට මතක ඇති.

දෙවන ලෝක යුද්ධයේ දී අක්ෂ පාර්ශවය නියෝජනය කරමින් යුද්ධය අවසානයේ දී පරාජයට පත් වූ ඉතාලිය විසින් භාවිතා කරන ලද අවි ආයුධ කිහිපයක් පිළිබඳව යි අද ලිපිය ගෙන ඒමට අදහස් කරන්නේ. ඒ යටතට ඔවුන් විසින් භාවිතා කරන ලද පිස්තෝල, රයිෆල්, අර්ධ මැෂින් තුවක්කු හා මැෂින් තුවක්කු වර්ග ඇතුළත් වෙනවා.

දෙවන ලෝක යුද්ධයේ දී අනෙක් රටවලට සාපේක්ෂව ඉතාලිය විසින් භාවිතා කරන ලද අවි ආයුධ ප්‍රබලත්වයෙන් හා කාර්යයක්ෂමතාවයෙන් අඩු වූ ඒවා වූ අතර, ඒවා නිෂ්පාදනය කරන ලද්දේ බෙරෙටා (Beretta) නම් ඉතාලි අවි ආයුධ නිෂ්පාදනය කරන සමාගම යි.

පළමුව අප ඉතාලි පාබල හමුදා විසින් දෙවන ලෝක යුද්ධයේ දී භාවිතා කරන ලද පිස්තෝල වර්ග මොනවාදැ යි හඳුනා ගමු.

ග්ලිසෙන්ටි M1910 (Glisenti M1910) අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලය

ග්ලිසෙන්ටි M1910 (modernfirearms.net)

මෙහි දීර්ඝ නාමය වන්නේ Glisenti Model 1910 යි. පළමු ලෝක යුද්ධ සමයේ ද භාවිතා කළ මෙම පිස්තෝලය, පළමු වතාවට නිෂ්පාදනය වන්නේ 1910 වසරේ යි. පළමු ලෝක යුද්ධයට අමතරව දෙවන ලෝක යුද්ධය අවසන් වන තුරුම ඉතාලි පාබල හමුදාවේ නිල පිස්තෝලයක් ලෙස ග්ලිසෙන්ටි M1910 භාවිතා කරනවා.

මේ සඳහා භාවිතා කරන මැගසිනය සමන්විත වන්නේ මිලිමීටර් 9*19 ප්‍රමාණයේ උණ්ඩවලින් ( පළමු ඉලක්කමෙන් උණ්ඩයේ වට ප්‍රමාණයත් දෙවන ඉලක්කමෙන් උණ්ඩයේ දිග ප්‍රමාණයත් නිරූපණය වෙනවා). ජර්මන් හමුදා අතරින් වඩාත්ම මෙය භාවිතා කරන්නේ එරට ස්වේච්ජා බලකා හා හමුදා පොලිස් බලකා විසින්.

බෙරෙටා M1934 (Beretta M1934) අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලය

බෙරෙටා M1934 (Pony Express Firearms)

ඉතාලි හමුදාව විසින් දෙවන ලෝක යුද සමයේ වැඩිපුරම භාවිතා කරන ලද පිස්තෝලය වන්නේ බෙරෙටා M1934 නම් අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලය යි. මෙහි වර්ග දෙකක් ඉතාලි හමුදාව භාවිතා කළ අතර ඉන් එකක උණ්ඩය මි.මී 9*17 වූ අතර අනෙක මි.මී 7.65*17 වුණා. දෙවන වර්ගය වැඩිපුරම භාවිතා කරන්නේ ඉතාලි ගුවන් හමුදාව හා නාවික හමුදාව යි. මෙහි එක් වෙඩි තැබීමකින් අනතුරුව ස්වයංක්‍රීයව තවත් උණ්ඩයක් පිරවීමේ (Blowback) තාක්ෂණය ද අඩංගු වෙනවා. භාවිතා කළ අනෙක් පිස්තෝලවලට වඩා කුඩා හා සැහැල්ලු වීම හමුදාව පුරා මෙය ජනප්‍රිය වීමට එක් හේතුවක් විය. එම ලක්ෂණ හේතුවෙන් ජර්මනිය ද මෙවැනි පිස්තෝල නිර්මාණය කිරීම ආරම්භ කරනවා.

එම සමයේ දී ඉතාලි හමුදාව භාවිතා කළ රයිෆලයක් පිළිබඳව දැන් අවධානය යොමු කරමු.

කකානෝ M1891 (Carcano)

කකානෝ M1891(TurboSquid)

දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අනෙක් මිත්‍ර හා අක්ෂ රටවල හමුදාවට සාපේක්ෂව ඉතාලි පාබල හමුදා විසින් භාවිතා කරන්නේ වඩා පැරණි සැලසුම් සහිත රයිෆල් වීම විශේෂ කරුණක්. මෙම රයිෆල් වර්ගයත් යල්පැන ගිය ගිනිඅවියක් ලෙස හැඳින්විය හැකි යි. 1891 දී නිෂ්පාදනය කර තිබූ අතර දෙවන ලෝක යුද්ධය තෙක් එය නවීකරණය කර නොතිබුණි. මෙහි එක් මැගසිනයක් උණ්ඩ 6කින් සමන්විත වූ අතර අවසන් උණ්ඩය නිකුත් වීමෙන් පසු එම මැගසිනයය ඉවත් කිරීමේ අපහසුතාවයක් ද තිබුණා.

මෙම රයිෆලයේ උණ්ඩ ද පළමු යුද්ධ කාලයේ සැලසුම් අනුව නිර්මාණය වී තිබුණා. නවීන උණ්ඩ සඳහා සැලසුමක් ඉදිරිපත් කර ඒවා නිෂ්පාදනය කළ නමුත්, ඉතාලි ආණ්ඩුව මුහුණ දුන් මූල්‍ය අර්බුදය හේතුවෙන් නැවත පැරණි ආකාරයේ උණ්ඩ නිෂ්පාදනය කිරීමට සිදු වෙනවා.

ඉතාලිය විසින් දෙවන ලෝක යුද සමයේ භාවිතා කළ අර්ධ මැෂින් තුවක්කු පිළිබඳව යි මේ.

බෙරෙටා M1938 (Beretta M1938)

බෙරෙටා M1938 (The Truth About Guns)

බෙරෙටා ගිනිඅවි නිෂ්පාදන සමාගම විසින් නිර්මාණය කරන ලද, දෙවන ලෝක යුද සමයේ භාවිතා වූ වඩා හොඳ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි අතරට මෙය ද එකතු වෙනවා. එය වර්තමාන අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවිවලට ද බොහෝ සමානකමක් දක්වනවා. වඩා හොඳ අමුද්‍රව්‍ය මේ සඳහා යොදාගෙන තිබූ අතර මනා ලෙස නිමාවකින් ද යුක්ත විය. ඒ සඳහා ලී බඳක් යොදාගෙන තිබුනා.

9*19 උණ්ඩවලින් සමන්විත මැගසින් කිහිපයක් ම මේ සඳහා නිර්මාණය වී තිබූ අතර උණ්ඩ 10, 20, 30 හා 40 යොදා සකස් කළ මැගසින් ඒ අතර වෙනවා. ගිනි අවිය ට්‍රිගර දෙකකින් සමන්විත වෙනවා. ඉන් එක් ට්‍රිගරයක් භාවිතයෙන් ගිනි අවිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියා කරන අතර අනෙක් ට්‍රිගරය මගින් භාවිතා කරන්නාට අවශ්‍ය ලෙස වෙඩි තැබීම කළ හැකියි. ගිනිඅවිය තුළ උණ්ඩ සිරවීම් හා අනෙකුත් බාධක තත්ත්ව ලෙහෙසියකින් හටනොගන්නා බැවින් සෙබලුන් අතර මෙය වඩා ජනප්‍රිය වෙනවා. දෙවන ලෝක යුද්ධයේ සදාතනික මතකයක් ලෙස මෙම ගිනි අවිය ඉතාලි යුධ කෞතුකාගාරවල දකින්න පුළුවන්.

බෙරෙටා M1938/42 (Beretta M1938/42)

බෙරෙටා M1938/42 (Rock Island Auction)

කලින් සඳහන් කළ ගිනි අවිය නිෂ්පාදනයට අධික වියදමක් යන බැවින් 1942 වසරේ දී බෙරෙටා M1938 ගිනි අවිය නවාත්මක වෙනසකට ලක් කරමින් නිෂ්පාදනය කරනවා. අඩු වියදමකින් පෙරට වඩා සැහැල්ලු හා බලය අඩු බෙරෙටා M1938/42 අර්ධ මැෂින් තුවක්කු විශාල ප්‍රමාණයක් මෙම කාලයේ දී ජර්මනිය නිපදවනවා.

දැන් දෙවන ලෝක යුද සමයේ ඉතාලි හමුදා භාවිතා කළ මැෂින් තුවක්කු මොනවාද යන්න සොයා බලමු

බ්‍රෙඩා M1930 (Breda 1930)

බ්‍රෙඩා M1930 (Forgotten Weapons)

ඉතාලියේ එවකට මැෂින් තුවක්කු නිෂ්පාදනය කිරීමෙහි ලා ප්‍රධානම සමාගම ලෙස කටයුතු කරන්නේ බ්‍රෙඩා සමාගම යි. පළමුවන ලෝක යුද්ධයේ දී ද ඉතාලිය සඳහා මැෂින් තුවක්කු නිර්මාණය කිරීමේ ප්‍රධාන සමාගම වන්නේ මෙය යි. බ්‍රෙඩා M1930 සැහැල්ලු මැෂින් තුවක්කුවක් ලෙස හැඳින්විය හැකි අතර දෙවන ලෝක යුද සමයේ දී ඉතාලි සොල්දාදුවන් භාවිතා කිරීමට අකමැතිම වූ මැෂින් තුවක්කුවක් ලෙස ද මෙය හැඳින්විය හැකි යි. භාවිතා කිරීමේ දී උණ්ඩ හා මැගසින් සිරවීම, ඉතා වේගයෙන් වාංගු වීම ඊට හේතු ලෙස දැක්විය හැකි යි.

යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම මැෂින් තුවක්කුව භාවිතයෙන් ඉවත් කිරීමට ඉතාලි හමුදා කටයුතු කරනවා.

ෆියට් රෙවෙලි M1914/35 (Fiat–Revelli M1914/35)

ෆියට් රෙවෙලි M1914/35 (modernfirearms.net)

1914 දී නිෂ්පාදනය කරන ලද ෆියට් රෙවෙලි මැෂින් තුවක්කුවේ නව මොඩලයක් ලෙස මෙය හැඳින්විය හැකියි. ජලයෙන් හා වාතයෙන් මැෂින් තුවක්කුවේ බැරලය සිසිල් කිරීමේ ක්‍රමයක් ද මෙය සතුව පවතිනවා. නමුත් මෙහි වෙඩි තැබීමේ කාර්යයක්ෂමතාව අඩු වූ අතර නිතරම ග්‍රීස් ගැලවීම හා කොටස්කර පවිත්‍ර කිරීමට සිදු වීම හා අධික වාංගු ප්‍රවේගය ද මෙහි තිබූ ගැටළු අතරින් ප්‍රධාන ඒවා වෙනවා.

මීට අමතරව ඔවුන් විසින් තවත් මැෂින් තුවක්කු වර්ග කිහිපයක්ම දෙවන ලෝක යුද සමයේ දී භාවිතා කර තිබෙනවා.

කවරයේ පින්තූරය - Wikipedia

මූලාශ්‍රයයන් - Simple History හි වීඩියෝවක් ඇසුරෙන්

Related Articles