ශාක සහ සත්ත්ව විශේෂ වඳ වී යන බව අසා තිබුණත් රැකියා වඳ වී යන බව ඔබ අසා තිබුණා ද? දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රටවල, බොහෝ විට යුරෝපා රටවල, ක්‍රියාත්මක වූ රැකියා ගණනාවක් විවිධ හේතු නිසා තවදුරටත් ක්‍රියාත්මක නොවේ. තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව ඒ සඳහා මූලික වශයෙන් බලපා ඇත.
මෙම ලිපියෙන් එවැනි රැකියා කිහිපයක් පිළිබඳ ව තොරතුරු විමසා බලමු.
අයිස් කැපීම
ශීතකරණය සොයා ගැනීමට පෙර පටන් අයිස් භාවිතයෙන් ආහාර කල් තබා ගැනීම බොහෝ රටවල ප්‍රචලිත ව පැවතිණි. ඒ සඳහා අවශ්‍ය අයිස් කුට්ටි සැපයීම අයිස් කපන්නන්ට අයත් කාර්යයක් විය. ශීත කාලයට මිදී යන ගංගා සහ වෙනත් ජල මාර්ගවලට යන ඔවුහු විශාල කියතක් භාවිතයෙන් කපා ගන්නා අයිස් කුට්ටි අවශ්‍ය තැනැත්තන්ගේ නිවෙස්වලට ප්‍රවාහනය කළහ. නගරවල ජීවත් වූ ජනතාවට අයිස් කුට්ටි සපයා ගැනීමට නොහැකි වූ බැවින් ඔවුහු අයිස් කපන්නන් එන තුරු බලා සිටියහ.
1914 දී ශීතකරණය හඳුන්වා දීම සමග අයිස් කපන්නන්ගේ රැකියාව පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත විය. 1930-40 දශක වන විට ගෘහස්ත පරිහරණය සඳහා අයිස් කුට්ටි සැපයීමට අවශ්‍ය නොවීය. ශීතකරණ භාවිතයෙන් විශාල අයිස් කුට්ටි නිෂ්පාදනය කළ නොහැකි වූ බැවින්, මාළු කල් තබා ගැනීම සහ අයිස් කැටයම් වැනි දේ සඳහා අවශ්‍ය අයිස් කුට්ටි සපයා ගැනීමට අයිස් කපන්නන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය විය. කෙසේ වෙතත් වර්තමාන තාක්ෂණික දියුණුවත් සමඟ මෙම රැකියාවේ යෙදෙන්නන් අද දක්නට නොලැබේ.
බෝලිං කුළුණු සිටුවීම
වර්තමානයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය බෝලිං ක්‍රීඩාවට දශක ගණනාවක අතීතයක් තිබේ. එක සමාන උසකින් යුතු, පිළිවෙළකට තැබූ කුඩා කුලුණු කිහිපයක් දෙසට පන්දුවක් යැවීම එහි දී සිදු වන අතර, පන්දුවේ වැදී පෙරළී යන කුලුණු සංඛ්‍යාව අනුව ක්‍රීඩකයන්ට ලකුණු හිමි වේ. මේ වන විට එම කුලුණු නැවත සිටුවීම සහ කුලුණු දෙසට පෙරළී යන බෝලය ක්‍රීඩකයා දෙසට නැවත යොමු කිරීමට තාක්ෂණික ක්‍රම හඳුන්වා දී තිබුණත්, 1950 දශකය වන තෙක් එය මිනිස් ශ්‍රමය යොදා ගෙන සිදු කර ඇත.
බෝලිං ක්‍රීඩාව සඳහා වෙන් කළ ස්ථානවල ඒ සඳහා යොදවා සිටි සේවකයන් පාසල් ළමයින් සහ තරුණ වයසේ පසු වූවන් විය. ඊට හේතුව එම රැකියාව බොහෝ විට අඩු වැටුපක් සහිත, අර්ධකාලීන රැකියාවක් ලෙස ක්‍රියාත්මක වීම යි. රැකියාවේ යෙදුණු ළමයින් “pin boys” යනුවෙන් හැඳින්විණි. ඔවුන්ට නිදි වර්ජිත ව පැය ගණනාවක් තිස්සේ මෙම රැකියාවේ යෙදීමට සිදු වූ බව කියැවේ. පසුකාලීනව බෝලිං ක්‍රීඩාව සඳහා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමත් සමඟ මෙම රැකියාව අවසානයක් කරා එළැඹිණි.
අවදි කිරීම
රැකියා සඳහා පිටත්ව යන්නන් අවදි කරවීම රැකියාව කර ගත් පිරිසක් (‘knocker uppers’) සිටි බව කියතොත් එය විශ්වාස කිරීම පවා අපහසු වනු ඇත. කාර්මික විප්ලවය ඇති වූ කාලයේ සිට 1970 දශකය දක්වා එවැනි පිරිසක් සිටියහ. ඔවුහු උදෑසනින් ම පැමිණ දොරට තට්ටු කිරීම හෝ දිගු දණ්ඩක් වැනි යමක් මඟින් උඩු මහලේ ජනේලවලට තට්ටු කිරීම ආදී ක්‍රම භාවිතයෙන් අනික් අය අවදි කර, ඒ අය නියමිත වේලාවට රැකියාවලට පිටත් කර යැවීම සිය ජීවනෝපාය කර ගත්හ.
කෙසේ වෙතත් එලාම් තැබිය හැකි ඔරලෝසු වෙළෙඳපොළේ සුලබ වීමත් සමඟ අවදි කරන්නන් ගේ වෘත්තිය කෙමෙන් කෙමෙන් මියැදීම ආරම්භ විය. 1950 දශකය වන විට අවදි කරන්නන්ගේ සේවය බොහෝ දෙනකුට අවශ්‍ය නොවූ බැවින් ඔවුන් වෙනත් වෘත්තීන් වෙත යොමු වීම ආරම්භ විය. කෙසේ වෙතත් 1970 දශකය වන තුරුත් එක්සත් රාජධානියේ යම් යම් ජනාකීර්ණ සහ කර්මාන්තශාලා බහුල ප්‍රදේශවල මෙම වෘත්තියේ නියැළි පිරිස් දක්නට ලැබිණි.
මීයන් ඇල්ලීම
ආහාර ද්‍රව්‍ය සහ බෝග වර්ග ආරක්ෂා කරගැනීම සහ කළු මරණය වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීම සඳහා මීයන් බෝ වීම පාලනය කිරීමට අතීතයේ යුරෝපා රටවල් විශේෂ අවදානයක් යොමු කර තිබේ. ඒ සඳහා භාවිත කළ විවිධ ක්‍රම අතර තවත් එකකි, මීයන් ඇල්ලීම සහ මරා දැමීම රැකියාවක් බවට පත් කිරීම. එක් නගරයක් සඳහා මීයන් අල්ලන්නෙක් බැගින් රැකියාවේ යොදවා තිබිණි.
අල්ලා ගන්නා සහ මරා දමන මීයන් සංඛ්‍යාවට අනුව ඔවුන් මුදල් අයකර ඇත. සමහර පොතපතෙහි සඳහන් වන්නේ තමන්ට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණින් සමහර මීයන් අල්ලන්නන් සිතාමතාම මීයන්ට බෝ වන්නට ඉඩ හැරි බව යි. මෙම රැකියාව මේ වන විට දක්නට නැතත් පළිබෝධ පාලකයන් හෙවත් “Pest controller” ගේ රාජකාරිය මීයන් අල්ලන්නන්ට පැවැරී තිබූ රාජකාරියට සමාන වේ.
වීදි ලාම්පු දැල්වීම
විදුලි පහන් භාවිතය ප්‍රචලිත වීමට පෙර මාර්ග දෙපස සවි කර තිබූ ඉටිපන්දම් සහ වෙනත් තෙල් වර්ග භාවිතයෙන් දැල්වූ පහන් දැල්වීම සහ ඒවා දැල්වී අවසන් වූ පසු පහන්තිර වැනි දෑ ඉවත් කිරීම පහන් දල්වන්නන්ට පැවැරී තිබිණි. සමහර රටවල ඔවුන්ගේ තනතුර නගරයේ මුරකරුට සමාන විය. ඉටිපන්දම් සහ තෙල් භාවිතයෙන් දැල්වූ පහන් වෙනුවට ගෑස් ලාම්පු භාවිතය ප්‍රචලිත වූ කාලයේ දී ඔවුහු ගෑස් ලාම්පු දැල්වීම සහ නිවා දැමීම සිදු කළහ.
විදුලි පහන් කණු සිටුවීම ආරම්භ වීමත් සමඟ මෙම රැකියාව කෙමෙන් කෙමෙන් අවසානය කරා එළඹෙන්නට විය. විදුලි පහන් දැල්වීම සහ නිවා දැමීම සඳහා ද මුල් කාලයේ පහන් දල්වන්නන් අවශ්‍ය විය. කෙසේ වෙතත් විදුලි පහන් දැල්වීම සහ නිවා දැමීමට ස්වයංක්‍රීය ව හැකි තාක්ෂණය හඳුන්වා දීමත් සමඟ පහන් දල්වන්නන්ගේ රැකියාව තවදුරටත් අවශ්‍ය නොවී ය.
දැව ප්‍රවාහනය
භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය සහ විශාල ලොරි රථ වැනි ක්‍රම හඳුන්වා දීමට පෙර විශාල දැව කඳන් ප්‍රවාහනය කිරීම සිදු වූයේ ජල මාර්ග උපයෝගී කරගනිමිනි. ප්‍රවාහනය කිරීමේ දී ඒවා එකිනෙකට ළං වී ජල මාර්ග අවහිර වීමේ අවදානමක් තිබූ බැවින් එය වලක්වා ගැනීම සඳහා යොදවා තිබූ පුද්ගලයන් කොට රියදුරන් (Log drivers) ලෙස හැඳින්විණි. යම්කිසි අවහිර වීමක් හෝ අවහිර වීමේ අවදානමක් නිරීක්ෂණය වූ වහාම දැව කඳන් එකින් එකට පැන ගොස් එම අවහිර වීම් වලක්වාලීම ඔවුන්ගේ රාජකාරිය විය.
අවහිර වීමට ඉඩ ඇති කඳන් මොනවාද යන්න ඉක්මනින් හඳුනා ගැනීම සඳහා භෞතික විද්‍යාව පිළිබඳ සැලකිය යුතු දැනුමක් ද අවශ්‍ය වූ බව කියැවේ. ඉතා අනතුරුදායක රැකියාවක් වූ මේ සඳහා ඒ වන විට අනිකුත් රැකියාවල නිරත වූ පුද්ගලයන්ට ගෙවූ වැටුපට තරමක් වැඩි වැටුපක් ගෙවා ඇත. මෙම රැකියාවේ නිරත වූ බොහෝ පිරිසක් දියේ ගිලීම සහ විශාල දැව කඳන් අතර හිර වීම වැනි හේතු නිසා ජීවිතක්ෂයට පත් වූ බව ද කියැවේ. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුවත් සමඟ මෙම රැකියාව අවසානයක් කරා එළැඹිණි.
මෘත දේහ ගොඩ ගැනීම
ඉතා භයානක රැකියාවක් වූ මෙහි නිරත වූ පුද්ගලයන්ට පැවරුණු රාජකාරිය වන්නේ යම් යම් ස්ථානවල, බොහෝ විට සුසාන භූමිවල භූමිදානය කළ මෘත දේහ හෝ ඒවායේ කොටස් රාත්‍රී කාලයේ දී ගොඩ ගැනීම යි. ඉතා භයානක තත්ත්වයන් යටතේ මෙම රැකියාවේ යෙදීමට සිදු වූ බැවින් එම පුද්ගලයන්ට තරමක ඉහළ ගෙවීමක් කර තිබේ.
ඔවුන් ගොඩ ගත් මෘත දේහ සහ ඒවායේ කොටස් වෛද්‍යවරුන් සහ වෙනත් විද්‍යාඥයන් විවිධ පර්යේෂණ සඳහා භාවිත කළ බව කියැවේ. සමහර රටවල මෘත දේහ ගොඩ ගැනීම බරපතල වරදක් ලෙස සලකා, අදාළ පුද්ගලයන්ට දඬුවම් පවා පමුණුවා ඇත.
ලෙක්ටර්
වෘත්තීය සමිති ආරම්භ වූ මුල් කාලයේ ඒවායේ ප්‍රකාශන ලෙස පළ වූ පුවත්පත්, සඟරා සහ වෙනත් ලිපි වැනි දෑ සේවකයන්ට ඇසෙන පරිදි කියැවීම භාර වූ තැනැත්තන් ලෙක්ටර්වරුන් විය. ඔවුන්ට අදාළ ගෙවීම් වෘත්තීය සමිතිවල සාමාජික ගාස්තු භාවිතයෙන් හෝ සේවකයන් මාසික ව එකතු කළ මුදල් භාවිතයෙන් ගෙවා ඇත. එක්සත් ජනපදයේ බිහි වූ මහා පරිමාණ කර්මාන්තශාලාවල සුලබ ව දැකිය හැකි තනතුරක් වූ මෙය කියුබාව වැනි රටවල ද බහුල ව ක්‍රියාත්මක විය.
1931 දී එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි කර්මාන්තශාලාවක දින ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ වැඩ වර්ජනයකින් පසු එම කර්මාන්තශාලාවේ සේවය කළ ලෙක්ටර්වරුන්ගේ සේවය අත්හිටවූ අතර, එතැන් පටන් මෙම රැකියාව අවසන් විය. මේ වන විට එය අස්පර්ශනීය සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීම පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ අවධානය යොමු වී ඇත.