අධිරාජයා වෙනුවෙන් දිවිදුන් ජපානයේ කමිකසේ නියමුවෝ

දහතුන්වන සියවස ආරම්භයේදී ජිංගිස් ඛාන් විසින් පිහිටුවන ලද මොන්ගොල් අධිරාජ්‍යය එම සියවස දෙවන භාගයේදී කුබ්ලායි ඛාන් යටතේ එහි උපරිම විශාලත්වය ළඟා කරගත්තා. 1270 දශකය වනවිට කොරියාව අවනත රාජ්‍යයක් බවට පත් කරගත් මොන්ගොල්වරුන් චීනය සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීම ද අවසන් කරමින් සිටියා. මේ අතර ඔවුනගේ අවධානය ජපානය දෙසට යොමු වුණා.

මොන්ගොල් හමුදා 1274 සහ 1281 වසරවල ජපානය ආක්‍රමණය කිරීමට උත්සාහ කළද​, එම දෙවතාවේම චණ්ඩ මාරුත හේතුවෙන් ඔවුනගේ නාවික යාත්‍රා විනාශ වුණා. 1281 දී පැමිණි චණ්ඩ මාරුතය දින දෙකක් තිස්සේ මොන්ගොල්වරුන් පීඩාවට පත් කළා. ජපන් ජාතිකයන්ට නම් මේ අවස්ථාවේ පැමිණි මෙම චණ්ඩ මාරුත ආශිර්වාදයක් වුණා. ඔවුන් ඒවා හැඳින්වූයේ “දෙවියන්ගේ මාරුත​” හෙවත් කමිකසේ (Kamikaze) නමින්.

ඊට ශතවර්ශ කිහිපයකට පසු 1940 දශකයේදී ජපානය තවත් දැවැන්ත යුද්ධයකට පැටලුණා. මෙහිදී මුල් ආක්‍රමණය කරන ලද්දේ ජපානය විසින්. 1941 දෙසැම්බර් 7 වනදා ජපන් ගුවන් යානා හවායිහි පර්ල් හාබර් වෙත එල්ල කළ ප්‍රහාරයත් සමඟ එම රට දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වුණා. නමුත් 1944 වනවිට ඇමරිකාව ප්‍රමිඛ මිත්‍ර රටවල් විසින් ඔවුන් පසු බස්වමින් තිබුණා.

කෙටි කාලීන යුද්ධයක්

ජපානය දෙවන ලෝක යුද්ධයට එළඹෙන අවස්ථාවේදී දිගු කාලීන යුද්ධයක් බලාපොරොත්තු වූයේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදය සමඟ දිගු කාලීන යුද්ධයක යෙදීමට තරම් නිෂ්පාදන ධාරිතාවක් ජපානයට නොතිබුණා මෙන්ම ගුවන් සටන් සඳහා නියමුවන් පුහුණු කිරීමේ දිගු කාලීන වැඩපිළිවෙලක් ද ඔවුනට තිබුණේ නැහැ. විශේෂයෙන්ම ඉන්ධන සපයා ගැනීම පිළිබඳ ජපානය විශාල අභියෝගයකට මුහුණ දුන්නා. ඔවුනගේ ඉන්ධන සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ලැබුණේ අග්නිදිග ආසියාවේ ඔවුන් විසින් යටත් කරගත් ප්‍රදේශවලින්.

1942 ජූනි මාසයේ මිඩ්වේ සටන ජපන් යුධ ප්‍රයත්නයේ හැරවුම් ලක්ෂයක් වුණා. මෙම සටනේදී ජපානය සතු ගුවන් යානා ගෙනයන නෞකා හතරක් සහ ගුවන් යානා 250 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ අතර ඒ සමඟම ජපානය සතු හොඳම නාවික සහ ගුවන් භටයින් සහ නිලධාරීන් රැසක් අහිමි වුණා. මින්පසු ඇමරිකානු හමුදා පැසිෆික් සාගරයේ බලය ටිකෙන් ටික තමන් අතට ගත්තා. ජපනුන් ග්වාඩල්කනාල් සටනේදී ද පරාජය වුණේ ඔවුනගේ තවත් ප්‍රවීණ ගුවන් නැවියන් රැසක් අහිමි කරගනිමින්.

ග්වාඩල්කනාල්හි ඉදිරියට ඇදෙන ඇමරිකන් මැරීන් භටයින්, 1943 ජනවාරි (guadalcanal.com)

1944 වනවිට ගුවන් සහ නාවික බලය අතින් ඇමරිකාව ජපානය අභිබවමින් ඉදිරියට පැමිණ තිබුණ බවට කිසිදු සැකයක් වුණේ නැහැ. ඇමරිකාව සතු ගුවන් යානා, තාක්ෂණය අතින් වඩා දියුණු වුණා සේම ඔවුනගේ නියමුවන් ද ජපානයේ නියමුවන්ට වඩා පුහුණුවක් ලැබූ අය වුණා.

මරාගෙන මැරෙන ප්‍රහාර

මේ අතර 1944 ඔක්තෝබරය වනවිට ඇමරිකානු හමුදා පිලිපීනය යළි අල්ලාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. පිලිපීනය අල්ලාගතහොත්, විශේෂයෙන් පිලිපීනය අවට නාවික බලය තමන් සතු කරගතහොත්, ඇමරිකානුවන්ට අග්නිදිග ආසියාව සහ ජපානය අතර සැපයුම් මාර්ග බිඳ දැමීමට පුලුවන්කම තිබුණා. එවිට ජපන් හමුදාවලට ඉන්ධන ලැබෙන ප්‍රධානම මාර්ගය ඇහිරී යාමේ අවදානමට ඔවුන් මුහුණ දුන්නා.

මීට සමකාලීනව ජපන් නාවික හමුදාවේ පළමු ගුවන් බලකායේ අණදෙන නිලධරියා ලෙස වයිස් අද්මිරාල් තකිජිරෝ ඔනිෂි පත් කරනු ලැබුණා. ජපානයේ ගුවන් බලකාවල නියමුවන් සහ යානා ඇමරිකානු ගුවන් හමුදාවේ තත්ත්වයට වඩා අඩු ගුණාත්මකභාවයෙන් යුතු බව මෙන්ම ඇමරිකානු නාවික හමුදාවේ විශාලත්වය තේරුම්ගෙන සිටි ඔහු ජපානය ගලවාගත හැකි ක්‍රමය මරාගෙන මැරෙන ප්‍රහාර බව විශ්වාස කළා. මෙම අදහස මින් පෙරද මතුව තිබුණු නමුත් ඒ අවස්ථාවල ජපන් හමුදා නායකත්වය එය ප්‍රතික්ෂේප කළා.

අද්මිරාල් තකජිරෝ ඔනිෂි (Public Domain)

ජපන් හමුදා නායකත්වය විශ්වාස කළේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ වේගය ඉහළ නැංවීම මගින් සාම්ප්‍රදායික ප්‍රහාර එල්ල කොට ඇමරිකානු හමුදා පරාජය කළ හැකි බවයි. කෙසේ වෙතත් මෙසේ අලුතින් එක්වන ගුවන් නියමුවන්ට එතරම් හොඳ පුහුණුවක් ලැබුණේ නැහැ. ඔවුනගේ ගුවන් යානා ඇමරිකානු යුධ නැව්වලට සහ ගුවන් යානාවලට පහසු ඉලක්ක බවට පත් වුණා.

1944 ජූනි මාසයේදී සිදුවූ පිලිපීන මුහුදේ සටන නම් නාවික සංග්‍රාමය මෙම තත්ත්වය පිළිබඳ පැහැදිලි උදාහරණයක් වුණා. එහිදී ඇමරිකන් ගුවන් යානා සියයක් පමණ විනාශ වෙද්දී ජපානයට ගුවන් යානා 600 කට වැඩි ප්‍රමාණයක් අහිමි වුණා. මෙසේ පහසුවෙන් ජපන් ගුවන් යානා ඉලක්ක කරගැනීමට හැකි වීම හේතුවෙන් ඇමරිකානුවන් මෙම සටන නම් කළේ මහා මරියානා කලුකුම් දඩයම (Great Mariana Turkey Shoot) නමින්. මෙම සටනින් ජපන් ගුවන් යානා ගෙනයන නෞකා තුනක් විනාශ වූ අතර ඉන්පසු ජපානයට එවැනි නෞකා යොදාගෙන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව අහිමි වුණා.

පිලිපීන මුහුදේ සටනින් පසු මරාගෙන මැරෙන ප්‍රහාර කෙරෙහි සහය දක්වන්නන්ගේ මතය තවත් ශක්තිමත් වුණා.

ජපන් යුධ ආචාරධර්ම අනුව අධිරාජයා වෙනුවෙන් සටන් වදින සෙබලෙකුට හෝ සෙනවියකුට හෝ තිබුණේ විකල්ප දෙකක් පමණයි. එක විකල්පයක් නම් ජයග්‍රහණයයි. අනෙක් විකල්පය ගෞරවාන්විත මරණයයි. පරාජය අගෞරවයට හේතු වූ අතර එසේ අහිමි වූ ගෞරවය යළි පිහිටුවාගත යුතු වූයේ සාම්ප්‍රදායික සියදිවි නසාගැනීමේ චාරිත්‍රය මගින්. සතුරාට යටත් වීම කිසිසේත් පිළිගත් විකල්පයක් වූයේ නැහැ.

පළමු කමිකසේවරයා

සාමාන්‍යයෙන් යුධ ඉතිහාසය හදාරන්නන් අතර කමිකසේ නමින් ප්‍රකට වූ තොකුබෙත්සු කෝගෙකිතායි (විශේෂ ප්‍රහාරක ඒකක​) නොහොත් තොක්කෝ තායි බලකාවල ආරම්භය පිළිබඳ තීරණාත්මක පියවර ගන්නා ලද්දේ 1944 ඔක්තෝබර් 19 වනදා මබලකට් ගුවන් හමුදා කඳවුරේදී (ක්ලාර්ක් ගුවන් හමුදා කඳවුර​). එහිදී ඔනිෂි, නාවික හමුදාවේ 201 වන ගුවන් බල ඇණිය හමුවේ කියා සිටියේ පවතින තත්ත්වය යටතේ ඇති එකම විකල්පය මරාගෙන මැරෙන ප්‍රහාර බවයි.

මේ අනුව කමිකසේ ප්‍රහාර සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති පුහුණු වෙමින් සිටි නියමුවන් 23 දෙනකු මුලින්ම ඒ සඳහා එක් වුණා. ඉන්පසු එම නව විශේෂ බලකායේ නායකයා වීමට ලුතිනන් යුකියෝ සෙකීට ආරාධනා කෙරුණ අතර ඔහු එය පිළිගත්තා. එකල වාර්තා සඳහන් කරන පරිදි ඔහුට එම ආරාධනාව කළ අවස්ථාවේ ඔහු දෑස් පියා, හිස පහත් කරගෙන​, තත්පර කිහිපයක් සිතා බැලීමෙන් අනතුරුව එය පිළිගත් බව සඳහන්.

ඔහු තමා විසින්ම තමාගේ මරණ වරෙන්තුව ලියාගත් බව යුකියෝ සෙකී දැන සිටියා.

කමිකසේ ප්‍රහාරවලට ද පෙර සිටම ගුවන් නියමුවන් ඇතැම් අවස්ථාවලදී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කොට තිබෙනවා. පර්ල් හාබර් ප්‍රහාරයේදී එවන් ප්‍රහාරයක් වාර්තා වූ අතර 1942 අප්‍රේල් 9 වනදා ත්‍රිකුණාමලයට පහර දුන් අවස්ථාවේ තෙල් ටැංකියක් මතට කඩා වැදුණ යානාව ද එවැනි ප්‍රහාරයක් එල්ල කළ බව සැලකෙනවා. එමෙන්ම මෙවන් ප්‍රහාර ජපන් ගුවන් නැවියන්ට පමණක් අනන්‍ය වූ දෙයක් වුණේ නැහැ. එම ප්‍රහාර එල්ල කළේ කලින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන අටියෙන් ද නොවේ. බොහෝ අවස්ථාවල සිදු වූයේ යම් ගුවන් යානයකට බරපතල ලෙස හානි වූ විට හෝ එහි උණ්ඩ අවසන් වූ විට හෝ​, නිරුපද්‍රිතව යළි තම කඳවුර කරා යාමට නොහැකි බව වටහාගන්නා නියමුවන්, විනාශ වන්නේනම් ප්‍රතිවාදියාට ද හානි කරමින්ම විනාශ වන්නේය යන අදහසින් ගන්නා ක්ෂණික තීරණ අනුව මෙවන් ප්‍රහාර එල්ල කිරීමයි. නමුත් කමිකසේ ප්‍රහාර යනු මුල පටන්ම සිය දිවි නසාගනිමින් පහර දීම සැලසුම් සහගතවම සිදු කළ අවස්ථා වනවා.

ජපනුන් විසින් එල්ල කළ පළමු කමිකසේ ප්‍රහාරය එල්ල වූයේ දෙවන ලෝක යුද්ධයේ විශාලම නාවික සටන ලෙස සැළකෙන ලෙයිටේ බොක්කේ සටනේදියි. මෙම ප්‍රහාරයට මිට්සුබිෂි සීරෝ වර්ගයේ ප්‍රහාරක යානා 9 ක් සම්බන්ධ වුණා. ඉන් පහක අමතර ඉන්ධන ටැංකියක් ඉවත් කොට එයට කිලෝ ග්‍රෑම් 250 ක බෝම්බය බැගින් සවිකොට තිබුණා. එම ගුවන් යානාවලට අමතර ඉන්ධන අවශ්‍ය වුණේ නැහැ. මක් නිසාද යත් ඒවා ආපසු ගමන් කිරීමට එන ගුවන් යානා නොවූ හෙයින්.

ලුතිනන් යුකියෝ සෙකී (Getty)

මේ අතර අනෙක් ගුවන් යානා හතර එම ගුවන් යානා පහේ ආරක්ෂාවට පැමිණි ඒවා වුණා. බෝම්බයේ බර හේතුවෙන් යම් සතුරු යානයක් සමඟ මුහුණට මුහුණ සටන් කිරීමට සිදු වී නම් ඒ සඳහා හැකියාව මරාගෙන මැරෙන්නට පැමිණි යානා පහ සතු වූයේ නැහැ.

මෙම කණ්ඩායම මෙහෙයවූයේ ලුතිනන් යුකියෝ සෙකී විසින්. ගුවන් යානා ගෙනයන නෞකා කිහිපයකින් යුත් කාර්ය සාධක බලකායක් ඔවුනට නිරීක්ෂණය වුණේ උදෑසන 10.49 ට පමණයි. මෙම නෞකාවල රැගෙන යන ගුවන් යානා උදෑසන සටන්වලට සහභාගී වී නැවත පැමිණ තිබුණ අතර ඒවා නැව් තට්ටුවෙන් පහළ පට්ටුවලට ගෙනගොස් තිබුණේ යළි ඉන්ධන පිරවීමට සහ අනෙකුත් පරික්ෂා සඳහායි.

සෙකීගේ කමිකසේ යානා රේඩාර්වලට හසු නොවන පරිදි ඉතා පහළින් පැමිණ එකවර අඩි 5000 ක පමණ උසකට නැග පහතට කඩා වැදුණා. සෙකීගේ ගුවන් යානයට ඔහු ඉලක්ක කළ නැවෙන් වෙඩි වැදුණ අතර ඔහු එයින් ඉවත්ව පසෙක වූ සෙන්ට් ලෝ නෞකාව දෙස සිය යානය මෙහෙයවූවා. ඔහු නැවේ තට්ටුව මත කඩා වැදුණ අතර යානය නැව් තට්ටුව දිගේ ඇදී ගියා. ඒ අතර ඔහු ගෙනගිය බෝම්බය නැව් තට්ටුව පසාරු කරගෙන පහළට වැදී පිපිරුණා. එයින් පසු පහළ වූ ගුවන් යානා ද පුපුරන්නට වූයෙන් විශාල ගින්නක් සහ පිපිරුම් ඇතිවුණා. සෙන්ට් ලෝ නෞකාව සුලු වේලාවකින් ගිලාබත් වූයේ ජීවිත 114 ක් අහිමි කරමින්.

සෙන්ට් ලෝ නෞකාවෙහි විශාල පිපිරුමක් (Public Domain)

කෙසේ වෙතත් දිගු කාලීනව කමිකසේ ප්‍රහාර සාර්ථක වුණේ නැහැ. 1944 ඔක්තෝබර 25 සිට 1945 අගෝස්තු 15 තෙක් ගතවූ කාළය තුළ නියමුවන් 3000 කට වැඩි පිරිසක් කමිකසේ ප්‍රහාර එල්ල කළ නමුත් යම් ඉලක්කයක් වෙත ළඟා වීමට හැකි වූයේ සියයට දහයක පමණ පිරිසක් පමණයි. එමෙන්ම එම සටන් අසාර්ථක වීමත් සමඟ කමිකසේ ප්‍රහාර මෙහෙයවූ නිලධාරීන්ට ද ගෞරවාන්විත මරණය එකම විකල්පය බවට පත් වුණා. අප ඒ පිළිබඳ මීළඟ ලිපියකින් කරුණු ගෙනෙන්න බලාපොරොත්තු වනවා.

Cover Image: USS බන්කර් හිල් නෞකාවට කමිකසේ ප්‍රහාර එල්ල වෙයි (Public Domain)

මූලාශ්‍ර​

  1. Kamikaze – To Die for the Emperor (History Channel documentary)
  2. Dogfight Series – Kamikaze (BBC)

Related Articles

Exit mobile version