තනියවල්ලභ කුමරුට කැපවුණු කටුපිටි මාදම්පේ දෙවොල

මෙරට හත්වැනි රාජධානිය වන කෝට්ටේ රාජධානි සමයේ රජ කළ විශිෂ්ට රජකු ලෙස හයවැනි පරාක්‍රමබාහු රජු සැලැකේ. ඔහුගේ පුත්‍රයකු වූ අටවැනි වීරපරාක්‍රමබාහු රජුගේ පුත්‍රයකු වන තනියවල්ලභ නම් කුමාරයා වෙනුවෙන් තැනූ දේවාලයක් හලාවත, මාදම්පේ ප්‍රදේශයේ පිහිටා තිබේ.

කොළඹ සිට හලාවත දෙසට ගමන් කරද්දී මාදම්පේ නගරය ආසන්නයේදී ම මහමඟ දකුණු පස ඇති එම දේවාලය ඉතා පහසුවෙන් හඳුනා ගත හැක්කේ එහි පිහිටුවා ඇති විශාල අශ්ව රූපය නිසා ය. අසලින් ම ඇති තිනිපිටි වැවේ දකුණු ඉවුරේ පිහිටා ඇති එම දෙවොල කැප වී ඇත්තේ තනිවැල්ලේ දෙවියන්ට ය. 

තනියවල්ලභ කුමරුන් යුද්ධයක් අතරතුර මිය ගිය බවට ලැබුණු ව්‍යාජ පුවතක් නිසා ඔහුගේ බිසව සිත් තැවුලට පත්ව වැවකට පැන දිවි නසා ගන්නා අතර නැවත පැමිණි තනියවල්ලභ කුමරු ද සිත් තැවුලට පත්ව දිවි නසා ගන්නවා. ඉන් අනතුරු ව එළැඹි කරදර සහිත කාල වකවානුවක දී ගම්වැසියන් තනියවල්ලභ කුමරුන්ට භාරහාර වීමට පටන් ගන්නා අතර තනිවැල්ල දේවාලය නම් වූ මෙම දේවාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ඒ අයුරිනි.

දේවාලයට පිවිසෙන දොරටුව – Google Maps- Senanayake  Bandara

තනියවල්ලභ කුමාරයාගේ මුල් කාලය

කෝට්ටේ යුගයේ මෙරට විසූ හයවැනි පරාක්‍රමබාහු රජුගේ පුත්‍රයන් අතුරෙන් එක් අයකු වූයේ අම්බුළුගල කුමාරයා හෙවත් අටවැනි වීර පරාක්‍රමබාහු රජු ය. අටවැනි වීරපරාක්‍රමබාහු රජු හා රජුගේ පරිවාර මෙහෙසියකට දා ව උපන් කුමාරවරුන් දෙදෙනකු විය. ඉන් වැඩිමල් කුමාරයා උඩුගම්පොළ විසූ සකලකලාවල්ලභ කුමාරයා වන අතර දෙවැන්නා තනියවල්ලභ  කුමාරයා ය.

අටවැනි වීරපරාක්‍රමබාහු රජුගේ උපදෙස් මත තතියවල්ලභ කුමරු මාදම්පා පටුනත්,  සකලකලාවල්ලභ කුමරු උඩුගම්පොළත් පාලනය කළහ. එකල මාදම්පා පටුනට මාදම්පේ, මහවැව, කුඩාවැව, අඩප්පරගම, පුරුදුවැල්ල, කෝලිමඩුව, ගල්අමුණ, මට්ටාකොටුව, තොඩුවැව, කොස්වාඩිය, හේනපොළ, ගල්මුරුව යන ගම් දොළහක් අයත් වූ බැව් සඳහන් වේ. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශය මුල් කොටගෙන රාජ්‍ය පාලනය සිදු කළ ද  තනියවල්ලභ කුමරු පිය රජුගේ ඇවෑමෙන් රජ බවට පත් අගබිසවගේ පුත් වූ ධර්මපරාක්‍රමබාහු රජුට  රාජ්‍ය පාලනයට සහාය වූ බව පෙනේ.

තනිවැල්ල දේවාලය –  exploresrilanka.lk

තනියවල්ලභ කුමරුගේ පාලන කටයුතු

කෝට්ටේ රාජ්‍ය යුගයේ දී සලාවත ආර්ථිකමය වශයෙන් වැදගත් වූ නිසා රජු එහි ආරක්ෂාව තනියවල්ලභ කුමරුට භාර කර තිබේ. මේ කාලයේ දී මෙම ප්‍රදේශය ඇත් දළ, මුතු සහ සහල් වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් ලෙස ද සලකා තිබේ. ඔහුගේ පාලන සමයේ දී ඉන්දියාවේ කායේල පට්ටනමෙන් මෙරටට පැමිණි කදිරාන නමැති අයකු හලාවත මුතු පර බලහත්කාරයෙන් කොල්ල කන්නටත්, අලි ඇතුන් අල්ලාගෙන විකුණන්නටත් පටන් ගෙන තිබේ. 

තනියවල්ලභ කුමරු, ධර්මපරාක්‍රමබාහු රජුගේ අණින්, උඩුගම්පොළ පාලනය කළ සිය සොහොයුරා වන සකලකලාවල්ලභ කුමරු ද සමඟ සේනාව රැගෙන ගොස් කදිරාන මරා දැමූ බව රාජාවලියෙහි සඳහන් වේ. ඊට අමතර ව ඔහු තවත් අසූ නව දෙනකු ජීවග්‍රහයෙන් අල්ලා ගෙන කෝට්ටේ රජතුමන් ඉදිරියට පැමිණ වූ බවත් එහි සඳහන් වෙයි.

මෙයින් පෙනෙන්නේ තනියවල්ලභ කුමරු අතිශය දක්ෂ රණශූරයකු වූ බව යි. එම යුද්ධය සඳහා තනියවල්ලභ කුමරු ඇත්වාහනයක ගමන් කළ ද, සමාන්‍යයෙන් ඔහු සුදු පැහැති අශ්වයකු පිට ගමන් කළ බව ජනශ්‍රැතියේ සඳහන් ය. ඔහුගේ මාලිගය තිබූ තැන වශයෙන් ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයේ පවතින තැනක් හලාවත, මාදම්පේ නගරයේ සිට සැතපුම් එක හමාරක් පමණ දුරින් මහමඟ අසල පිහිටා ඇත. ගොඩැල්ලක් මෙන් දිස්වෙන එම ස්ථානය ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ මාලිගාවත්ත නමිනි. රජුගේ බිසව ද අතිශය සුන්දර කුමාරිකාවක් වූ අතර ජනකවිවලින් ඒ බව හෙළි වේ.

සන් සැර සුතන කෙළියට හුදු රනින්           සැදු
පන්දුවකට බඳුය ඇගෙ පියයුරු               සුමුදු
රන්රිය සකක බඳු පුළුලූකුල                 පිරිසිදු
පුන් වැලිතලාවකි සළෙලූන් කළ             පුබුදු

පසිදු තනියවල්ලභ බිසවගේ රුසි              රූ
මුහුද තරණ කරනට හැකිවෙයි කවු           රූ
සුමුදු ඉතිරි ගුණයෙන් පිරිපුන් මහ             රූ
පුරුදු කවි ඇසට ඇස පෙනෙනුයෙ මේ අයු රූ

රජ පවුලට අත් වූ ඛේදනීය ඉරණම

රූප සම්පත්තියෙන් අගතැන්පත් වුව ද, තනියවල්ලභ කුමාරයාගේ බිසව පතිවත සුරැකි ගුණවත් කාන්තාවක් වූ අතර ඇයගේ රුවට ආසාවෙන්  තනියවල්ලභගේ අගමැතිවරයා ඇයට ලොබ බැඳ සිටියේ ය. කදිරාන හා පැවැති යුද්ධයේදී රජු මිය ගිය බව පවසා නොයෙක් චාටු බස් පවසමින් අගමැතිවරයා ඇයගේ සිත ගන්නට උත්සාහ කළ ත් එය ව්‍යර්ථ විය. එපමණක් නොව සිය සැමියා මිය ගියා යැයි විශ්වාස කොට බිසව වර්තමාන මාදම්පේ තනියවල්ලභ දේවාලය අසල වූ තනිපිටි වැවට පැන  සියදිවි නසා ගත්තා ය.

තනිපිටි වැව – Google Maps- Gihan Mello

යුද්ධය දිනා ආපසු එන අතරමඟ දී මේ බව දැනගත් තනියවල්ලභ කුමරු රජ වාසලින් ලබා ගත් ධනය ගල් අමුණ නම් ස්ථානයේ නිධන් කොට තම පුතුට එය රැකීමට අණ කළේ ය. බිසව සිය දිවි නසා ගත්තේ අගමැතිවරයාගේ වහසි බස් නිසා බව දැනගත් ඔහු අගමැතිවරයා මරා දැමුවේ ය. ඒ අතර තම ධනය ආරක්ෂා කිරීම පිණිස නවතා ආ පුතු ධනය විනාශ කරන බව දැන ගත් ඔහු එහි ගොස් පුතුගේ ද ගෙල සිඳ දැමීය.

මේ සිදුවීම් නිසා කම්පාවට පත් තනියවල්ලභ කුමරු තනිපිටි වැව පිටියේ සිය මගුල් කඩුව පොළවෙහි සිටුවා ඒ මතට පැන තමා ද සිය දිවි නසා ගත්තේ ය. එදා සිට එම ස්ථානය ‘කඩු පිටි මාදම්පය’ ලෙස හඳුන්වයි. හලාවත ප්‍රදේශයේ ඉංග්‍රිසි සහකාර ඒජන්ත වශයෙන් සිටි ඊ.ටී.නොයෙස්, ප්‍රදේශයේ පැවැති ජනප්‍රවාදයක් අනුව සටහන් කරන්නේ යුද්ධයට ගිය අවස්ථාවේ පෘතුගීසින්, තම බිසව අල්ලාගෙන යෑම නිසා ශෝකයට පත් වී තනියවල්ලභ කුමරු දිවි නසාගත් බව ය.

1848 දී එමර්සන් ටෙනන්ට් ද සිය ‘ඒන්ෂන්ට් සිලෝන්’ ග්‍රන්ථයේ එම සුවිසල් නුගරුක පාමුල තනවැල්ලබාහු දෙවියන් සඳහා පූජාසනයක් තිබෙන බව ය. තනිවැල්ල දෙවියන් යනු මාදම්පේ රජු වශයෙන් එම ප්‍රදේශය පාලනය කළ අධිපතියා බව ද ඔහු සියතින්ම දිවි තොර කරගත් බව ද එහි සඳහන් කර ඇත.  

දේවත්වයට පත් වීම

තනියවල්ලභ කුමරුගේ මරණින් පසුව මාදම්පා ප්‍රදේශයට පැමිණියේ දුර්භාග්‍ය සම්පන්න කාලයකි. වසංගත රෝග, ආහාර අහේනිය ප්‍රදේශය තුළ බලවත් විය. ප්‍රදේශවාසීහු තනියවල්ලභ කුමරු දේවත්වයෙන් සලකා දුක් උවදුරුවලින් තමන් බේරා දෙන්නැයි ඉල්ලා තනිපිටි වැව ඉස්මත්තේ වූ විශාල නුග ගසක අතු එල්ලා භාරහාර වීමට පුරුදු වූහ. ඒ අනුව වර්තමානයේ පවතින දේවාල ගෘහය 1845- 1850 කාලයේ දී ඉදි කර ඇත. තනියවල්ලභ දෙවියන් උඩරට මුල් ඇඳුමට සමාන ඇඳුමකින් නිරූපණය කර ඇති අතර අතෙහි යෂ්ටියක් දරයි.

දේවාලයේ දැකිය හැකිතනියවල්ලභ දෙවි ප්‍රතිමාව –  Facebook- සන්නස

මෙම දේවාලය පිළිබඳ ව මාතර සාහිත්‍ය යුගයේ ජීවත් වූ අති දක්ෂ කිවිඳියක වූ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා නොහොත් ගජමන් නෝනා විසින් ලියන ලදැයි පැවසෙන කවි පන්තියක් ද වේ.

සකලසිරින් සුවිපුල්ල – මාදම්පා පුර තුල්ල
දේවාලයට අසල්ල- සැදි සෙබමන්
දස දිග අතු විහිදිල්ල – ලෙළදෙන පන්ගත නිල්ල
නඳ දෙන විහඟ සියල්ල – තුති ගොසයෙන්
යන එන දන නොව වැල්ල- සුරිඳුන් වැඳ නොපැකිල්ල
වැඩහිඳ නිවි සැනසිල්ල- කරති නිතින්
මෙලෙසට දුටු සතලොල්ල- වන මග නුග සෙවණැල්ල
සුරිඳුන් හට තනිවැල්ල – මිහිකත දුන්

වර්තමානයේ තනියවල්ලභ දේවාලයේ සංකේතය ලෙස සැලකෙන දේවාලය ඉදිරිපිට පිහිටි සුදු අශ්ව රුව ඉදිවීම පිළිබඳ ව ඇත්තේ ද අපූරු වෘත්තාන්තයකි. මේ දේවාලය ට ආසන්න ප්‍රදේශයේ ඉතා ධනවත් හෙට්ටි කුලයේ අයකු සිට ඇති අතර ඔහු දිනපතා දේවාලය ඉදිරිපසින් තම අසුන් බැඳි කරත්තයෙන් ගමන් කරනුයේ කිසිදු ගරුසරුවක් නැති ව ය.

සුදු අශ්ව රුව ඉදිවීම

එක්තරා දිනෙක ඔහු අශ්ව කරත්තයේ නැගී දේවාලය ඉදිරිපිටින් යන විටඅසුන් දෙදෙනා  එක්වර ම කරත්තය ද ඇද ගෙන අසල ඇති තනපිටි වැවට පැන්න අතර එයින් ඔහුගේ එක් පාදයක් බිඳිණි. පාදයේ තුවාලය  දිනෙන් දින උග්‍ර වූ අතර සුව වෙන බවක් නොපෙනුණේ ය. එක්තරා දිනෙක රාත‍්‍රියේදී ඔහුට සිහිනෙන් කෙනකු පවසා ඇත්තේ දේවාල බිමෙහි අශ්ව රුවක් සාදන බවට භාරයක් වන ලෙසට ය. ඒ අනුව ඔහු අදාළ භාරය සිදු කර ඇති අතර කකුලේ තුවාලය ද සුව වී ඇත. ඉන් පසු ඔහු දැවමය සුදු අස් රුවක් දේවාලය ඉදිරිපිට තැනවී ය. පසුකලෙක ලී රුව වටා බදාමයෙන් තිබෙන අශ්ව රුව සකසා ඇත.

දේවාලය ඉදිරිපිට තනා ඇති අශ්ව රුව – amazinglanka.com

දේවාලයේ පූද පූජා

මෙම දේවාල පරිපාලනය භාරකාර මණ්ඩලයක් සිදු කරයි. එහි භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ දේවාලය තරමටම පැරැණි මාදම්පේ ප්‍රභූ පරම්පරාවක් වන සේනානායක පරපුරේ ප්‍රධානියෙකි. සාමාන්‍යයෙන් දේවාලය විවෘත කරන්නේ  බදාදා හා සෙනසුරාදා දිනවලදී පමණකි. එම දිනවල පෙරවරු හයට දේවාලය විවෘත කරයි.

ඊට පෙර කපු මහත්වරු නා, පිරිසුදු වී, බුදුන්ට මල් පහන් පූජා කොට පන්සිල් සමාදන් වෙති. ඉන් අනතුරු ව දේව මාලිගයට, කඩවර දේවාලයට, බුදු මැදුරට, බෝධි වෘක්ෂයට, ඉපැරණි නුග වෘක්ෂයට හා බහිර ව රූප ආදියට සුවඳ දුම් ඇල්ලීම සිදු කරයි. ඊට පසුව දේව මාලිගයේ දොරටු  විවෘත කරන අතර  බැතිමතුන්ගේ භාරහාරවීම් සහ වතාවත් අවසන් කිරීමෙන් පසුව සිරිතක් ලෙස දේව මාලිගයේ බිම සෝදා පිරිසුදු කරයි. කිසියම් අයකුගෙන් වරදක් සිදුවී ඇත්නම් දෙවියන්ගෙන් සමාව ඉල්ලා යාතිකා සිදු කරයි.

තනිවැල්ලේ දේවාලයේ වාර්ෂික මංගල්‍යය පවත්වනුයේ සෑම වසරක ම අගෝස්තු මාසයේ දී වන අතර මංගල්‍යය පවත්වන්නේ සෙනසුරාදා දිනක ය. ඒ හා බැඳුණු චාරිත්‍ර මෙම දේවාලයට ම අන්‍ය වූ ඒවා ලෙස හඳුනා ගත හැකි ය. අස්වනු කපන කාලයේ දී තනියවල්ලභ දෙවියන් සුදු අශ්ව යානයකින් තමන්ගේ අටුකොටු මතින් වඩින බවට පැරැන්නන්ගේ විශ්වාසයක් පැවැතී ඇත. වර්තමානයේ දී මෙම පුද බිම පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් වශයෙන් ද නම් කොට තිබේ.

කවරයේ ඡායාරූපය- තනිවැල්ල දේවාලය- Facebook- සන්නස 

මූලාශ්‍ර:

රාජාවලිය -  මහාචාර්ය ඒ.වී.සුරවිර 

සිංහල දේව පුරාණය - කේ. එන්. ඕ. ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙනිය

අදත් දොර දොර පුද ලබන කටුපිටි මාදම්පේ තනිවැල්ලේ දෙයියෝ - මහාචාර්ය ටී.ජී. කුලතුංග

Related Articles

Exit mobile version