පොළොන්නරු යුගයේ ඉදිකළ රන්කොත් වෙහෙරේ අසිරිය

වසර 2500කටත් වඩා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අතීතයේ දී රාජධානි රැසක් යටතේ පාලනය වුණත් අනුරාධපුරය සහ පොළොන්නරුව රාජධානි තුළ දක්නට ලැබෙන තරම් නටබුන් වෙනත් ස්ථානවල දී දක්නට ලැබෙන්නේ නැහැ. එම යුගයන් දෙකේ දී විවිධ රජවරුන් ඉදිකර ඇති නිර්මාණ තවමත් ජනතාවගේ වැඳුම් පිදුම්වලට ලක්වන බවත්, විශේෂයෙන්ම සුවිසල් දාගැබ් ජනතාවගේ ආකර්ෂණයට ලක්වන බවත් අප කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එලෙස ජනතාව වන්දනාමාන කරන සුවිසල් දාගැබ් සැලකූ විට දුටුගැමුණු රජතුමා ඉදිකළ රුවන්වැලි සෑය, සහ වලගම්බා රජතුමා ඉදිකළ අභයගිරි ස්ථුපය ප්‍රධාන තැනක් ගන්නා අතර එම ස්ථුපයන් තවමත් අනුරාධපුර නගරයේ විරාජමානව වැඩ සිටින්නේ එම යුගයේ දී ලක් දීපයේ තිබුණු ශ්‍රී විභූතිය සිහි ගන්වමින්. නමුත් අනුරාධපුර යුගයේ දී ඉදිවුණු මහා ස්ථුපයන් පිළිබඳව එලෙස බොහෝ තැන්වල දී කතාබහට ලක්වුණත් පොළොන්නරු යුගයේ දී ඉදිවුණු ස්ථුපයන් පිළිබඳව අප කතා කරන්නේ නැති තරම්. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ පොළොන්නරු යුගයේ ඉදිවුණු සුවිශේෂීම ස්ථුපයක් වන රන්කොත් වෙහෙර පිළිබඳව කරුණු ඔබ වෙත ඉදිරිපත් කිරීමට යි.

රන්කොත් වෙහෙර ඉදිකිරීමේ ගෞරවය නිශ්ශංකමල්ල රජතුමාට හිමිවෙයි  

මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වුණු රූපවතී බිසව විසින් ඉදිකිරීම ආරම්භ කළ මෙම ස්ථුපය නිශ්ශංකමල්ල රජතුමා විසින් සම්පූර්ණ කරන්නට ඇති බවට මතයක් පවතියි. එම මතය සනාථ කරන ප්‍රධාන සාක්ෂ්‍ය ශිලා ලේඛන, පූජාවලිය, සහ චූලවංශය යන මූලාශ්‍රයයන්වල සඳහන්. නිශ්ශංකමල්ල රජතුමා රුවන්වැලි නමින් දාගැබක් ඉදිකර එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළ බව ශිලා ලේඛනවල සඳහන් වන විට, නිශ්ශංකමල්ල රජතුමා විසින් ස්වර්ණමය කොතක් සවිකළ ස්ථුපය රන්කොත් වෙහෙර නමින් ප්‍රසිද්ධ වුණු බවට පූජාවලියේ සහ චූලවංශයේ සඳහන් වෙයි.

නිශ්ශංකමල්ල රජතුමාගේ ප්‍රතිමාවක් (travelimages.com)

අනුරාධපුර යුගයේ රජකළ මහසෙන් රජතුමා ජේතවනරාම ස්ථුපය ඉදිකිරීමෙන් අනතුරුව ලංකාවේ සම්පූර්ණයෙන්ම ඉදිකරන ලද විශාලතම ස්ථුපය වුණු රන්කොත් වෙහෙර පොළොන්නරු යුගය තුළ දී අපට දක්නට ලැබෙන ස්ථුපවලින් උසින් වැඩිම ස්ථුපය යි. බුබ්බුලාකාර හැඩයෙන් යුතු මෙම ස්ථුපය උසින් අඩි 180ක් පමණ වන අතර එහි පාදමේ විෂ්කම්භය අඩි 186ක් පමණ වෙයි. මෙම ස්ථුපය ඉදිකිරීමේ දී ගර්භයේ බාහිර බිත්තියත්, මධ්‍ය හරයත් ගඩොලින් නිමකර ඇති අතර ඒ දෙක අතර අවකාශය පස්වලින් පුරවා තිබේ.

රන්කොත් වෙහෙර  (gettyimages)

ස්ථුපය පිළිබඳව වැඩිදුර තොරතුරු

මෙම ස්ථුපයේ මළුව මාලක දෙකකින් යුක්ත වන අතර ඉන් ඇතුළුවීමේ දොරටු හතරක් සහිත පහළ මාලකය හෙවත් වැලිමළුව ප්‍රදක්ෂිණාපථයක් ලෙස භාවිතා කරයි. වට කරන ලද චතුරශ්‍රාකාර ඉහළ සලපතල මළුව මත ස්ථුපය ඉදිකර ඇත. එලෙස පිහිටා ඇති ඉහළ සලපතල මළුවට ගොඩවීම සඳහා සිව් දෙසින් දොරටු හතරක් ඉදිකර ඇත. එමෙන්ම එහි ගඩොලින් ඉදිකළ වාහල්කඩ 4ක් ද දක්නට ලැබෙයි. නමුත් අනුරාධපුර යුගයේ දී දක්නට ලැබෙන වාහල්කඩවල පහළ කොටස හුණු ගලින් ද ඉහළ කොටස ගඩොලින් ද නිමකර තිබුණත්, රන්කොත් වෙහෙරේ දී දක්නට ලැබෙන වාහල්කඩ සම්පූර්ණයෙන්ම ගඩොලින් නිමකර තිබීම සුවිශේෂී කරුණක්. ඊට අමතරව වාහල්කඩේ පසු පැත්තේ ස්ථුපයට නමස්කාර කරන සතර වරම් දේව රූපයක් බැගින් දක්නට ලැබෙයි. එදා එලෙස අලංකාර වාහල්කඩක් රන්කොත් වෙහෙරට තිබුණත් අද විශාල ලෙස විනාශ වී ගොස් ඇති වාහල්කඩේ දැනට සුරක්ෂිතව ඇති කොටසේ දිග අඩි 18ක් වන අතර එහි උස අඩි 22ක්. එමෙන්ම මෙම වෙහෙරේ ඇති වාහල්කඩ අතර ප්‍රතිමාඝර ඉදිකර ඇති අතර එහි ඇති කුඩා පිළිම ගෙවල් ගෙඩිගේ ක්‍රමය අනුව ඉදිකිරීම මෙහිදී නිරීක්ෂණය කළ හැකි තවත් කරුණක්. ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව රන්කොත් වෙහෙර පිළිබඳව කතා කරන විට අපට දක්නට ලැබෙන සුවිශේෂී කරුණු වන්නේ ස්ථුපය නමස්කාර කිරීම සඳහා ස්ථුපය වටා විහාර ගෙවල් 16ක් දක්නට ලැබීම, සහ ස්ථුපයේ හතරැස් කොටුවෙහි නෙලුම් මලක් දක්නට ලැබීම යි.

රන්කොත් වෙහෙරේ හතරැස් කොටුවෙහි දක්නට ලැබෙන නෙළුම් මල (albinger.me)

කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කිරීම

පරාක්‍රම පණ්ඩු නම් රජතුමා පොළොන්නරුව රාජධානිය පාලනය කළ සමය තුළ පොළොන්නරුවේ අවුල් වියවුල් රැසක් පැවතුණි. ඒ වටපිටාව නිසාම රාජධානිය අස්ථාවරත්වයට පත්වුණි. රාජධානිය අස්ථාවර වීමෙන් ප්‍රයෝජන ගත් කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකයා ක්‍රි.ව 1215 දී පොළොන්නරුව රාජධානිය ආක්‍රමණය කරමින් ඔහු යටතට ගැනීමත් සමගම ඔහු ආරම්භ කළ විනාශකාරී වැඩ පිළිවෙල නිසා පොළොන්නරු යුගයේ දී ඉදිවුණු බොහෝ වෙහෙර විහාර විනාශයට පත්වුණි. ඊට අමතරව කාලිංග මාඝට බියෙන් බොහෝ පිරිස් නිරිත දිගට සංක්‍රමණය වීමත් සමග පොළොන්නරු රාජධානියේ බිඳ වැටීම ආරම්භ වුණු අතර, රන්කොත් වෙහෙර වැනි වෙහෙර විහාර වල් බිහිවීම ආරම්භ විය.

කාලිංග මාඝගේ ආක්‍රමණය දැක්වෙන සිතුවමක් (lankadeepa)

ස්ථුපය වර්තමානයේ දක්නට ලැබෙන ආකාරයට පත්වුණු අයුරු

පොළොන්නරුව රාජධානිය විනාශ වීමෙන් අනතුරුව ගරා වැටුණු මෙම ස්ථුපය ඉංග්‍රීසි පාලන සමයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කෙරිණි. අනතුරුව 1981 වසරේ දී ආරම්භ වුණු සංස්කෘතික ත්‍රිකෝණ යෝජනා ක්‍රමය මඟින් රන්කොත් වෙහෙර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කර වර්තමානයේ දක්නට ලැබෙන තත්ත්වයට පත් කර ඇත.

බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පි ජෝශප් ලොව්ටන් 1870 වසරේ දී ගන්නා ලද, රන්කොත් වෙහෙරේ පැරණි ඡායාරූපයක් (albinger.me)
1977 වසරේ දී රන්කොත් වෙහෙර දිස්වුණු අයුරු (amazinglanka.com)

කවරයේ ඡායාරූපය-රන්කොත් වෙහෙර වර්තමානයේ දිස්වන අයුරු (gettyimages)

මූලාශ්‍රයයන්:

මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව - මහාචාර්ය ආරිය ලගමුව

Related Articles

Exit mobile version