නාගරික පරිසරයක් සහිත කෝට්ටේ හරහා අපි කොතෙකුත් යන්න එන්න ඇති. ඒත් සියවස් එකහමාරකටත් අධික කාලයක් පැවති රාජධානියක නටබුන් අතරින් සමහරක් එහි තවමත් තිබෙන බව ඔබ දන්නවා ද? ඒවා දැකගන්න උනන්දු වුණේ කවුද? ඒ ගැන අවබෝධයක් ලබාදීමට යි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ
ඉතිහාසය
කෝට්ටේ රාජධානිය ක්‍රි. ව. 1400 සිට 1565 දක්වා පැවතුණ අතර, එහි අගනුවර වූයේ ශ්‍රී ජයවර්ධනපුර හෙවත් කෝට්ටේ යි. මෙය ලංකාවේ මඩවගුරු හා දියමාර්ග පදනම් කරගත් පංක දුර්ගයක් ආශ්‍රයෙන් තැනූ එකම අගනුවර යි.
කෝට්ටේ හෙවත් ශ්‍රී ජයවර්ධනපුරය මුලින්ම බලකොටුවක් තනා පාලන කේන්ද්‍රස්ථානයක් කරගත්තේ නිශ්ශංක අලකේශ්වර නමැති ප්‍රාදේශීය ප්‍රභූ රාජයා බව යි, ඉතිහාසයේ සදහන් වන්නේ. අලකේශ්වර පරපුරෙන් පසු හයවැනි පරාක්‍රමබාහු (1411-1467) කෝට්ටේ බලය ලබාගෙන රටම එක්සේසත් කරනවා. පැරකුම් රජුගෙන් පසු කෝට්ටේ බලය දුර්වල වන අතර කොළඹ අත්පත්කර ගෙන සිටි පෘතුගීසින්ගේ ආක්‍රමණ ද නිරන්තරයෙන් අගනුවරට එල්ල වෙනවා.
1521 දී සිදුවූ විජයබා කොල්ලයෙන් හයවැනි විජයබාහු රජු මරා ඔහුගේ පුතුන් තිදෙනා බලය බෙදා ගන්නවා. වැඩිමහල් කුමරු වන බුවනෙකබාහු කෝට්ටේත්, මායාදුන්නේ සීතාවක රාජධානියත්, බාලයා වූ රයිගම් බණ්ඩාර රයිගමත් වශයෙන් රාජධානිය බෙදා ගන්නවා. ඊට පසු පෘතුගීසින්ගේ ආක්‍රමණ හමුවේ රාජධානිය ඔවුන්ගේ බලයට නතු වෙනවා.
කොන්තගංතොට
කෝට්ටේ බලකොටුවේ රාජකීය ගොඩනැගිලි සහිත ඇතුළු නුවරට පිවිසීමට සිව් දිසාවට මුහුණ ලා ප්‍රධාන දොරටු හතරක් තිබුණා. ඒ අතරින් උතුරු දිසාවට මුහුණු ලා තිබූ තිබූ දොරටුව ඉදිරිපිට තිබුණේ දියවන්නා ඔයේ කොන්තගංතොට යි. රාජධානියට අවශ්‍ය ආහාර පාන, රෙදිපිළි, මෙන්ම අවිආයුධත් පහුරු ඔස්සේ කොන්තගංතොටට පැමිණ තිබෙනවා. කොලොන්නාව ඇළ ඔස්සේ කැළණි ගගට මේ ජල මාර්ගය සම්බන්ධ වී තිබුණා. එමෙන්ම දියවන්නාව හරහා නාවල ඇළ ඔස්සේ වැල්ලවත්ත දක්වාත් ගමන් කිරීමේ හැකියාව තිබුණා. 80 දශකයේ නව පාර්ලිමේන්තුව ඉදිකිරීමේ දී දියවන්නා ඔය කෙළවරින් පාර්ලිමේන්තු පිවිසුම් මහාමාර්ගය ඉදිකළ නිසා කොන්තගංතොට පස්පුරවා වසා දමන්නට ඇති බව පේනවා. රාජගිරිය කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසල කලකට පෙර කොන්තගංතොටයැ යි සඳහන් දැන්වීම් පුවරුවක් සවිකර තිබුණා. පසුව එය ඉවත් කර එතැන ගොඩනැගිලි ඉදිකර තිබනවා. දැනට සියවසකට පමණ පෙර කොන්තගංතොට සිට කෝට්ටේ දළදා පෙරහරේ දියකැපීමට රාජගිරිය මාදින්නාගොඩ රන්වන්එළිය තොටුපොළට ගොස් ඇත්තේ ඔරු පාරු මගින් බව පුරාවිද්‍යා පර්යේෂක ඩග්ලස් ඩී. රණසිංහ සදහන් කරනවා.
කොටුපවුර
මහාවංශය මෙන්ම නිකාය සංග්‍රහය ද සදහන් කරන්නේ කෝට්ටේ බලකොටුව ශක්තිමත්ව අංගසම්පූර්ණව ගොඩනගා තිබූ බව යි. එය විශාලත්වයෙන් වර්ග සැතපුමක් පමණ වුණා. ඇතුළු පවුර හා පිටපවුර වශයෙන් ප්‍රාකාර දෙකකින් සහ දියඅගලකින් ද ආසන්නව පිහිටි දියවන්නා ඔයෙන් ද කොටුවට ආරක්ෂාව සැලසුණා. කොටු පවුර ඉදිකර තිබෙන්නේ කබොක් ගල් උපයෝගී කරගෙන යි. ප්‍රාකාර බැම්ම උසින් අඩි 30ක් ද පළලින් අඩි 8ක් ද වූ බව විශ්වාස කෙරෙනවා. පෘතුගීසින් මුලින්ම මෙම බලකොටුව විනාශ කළ අතර ඊට පසු ලන්දේසි සහ ඉංග්‍රීසින් ද එහි ගල් වෙනත් ඉදිකිරීම් සදහා යොදාගෙන තිබෙනවා.
මෑතක් වනතෙක්ම ගොඩනැගිලි ඉදිකිරීමට කොටු බැම්ම විනාශ කිරීම් පිළිබදව වාර්තා වුණා. එය යටකරගෙන බොහෝ තැන්වල ගොඩනැගිලි ඉදිකර අවසන්. නමුත් එහි ශේෂ කිහිපයක් ඇතුල් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් භූමිය, කොටුබැම්ම පාර සහ අංගම්පිටිය ප්‍රදේශයේ ඉතිරිව තිබෙන අතර ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා.
කෝට්ටේ දළදා මාලිගය
දළදා මාලිගය ගැන සැළලිහිණි සංදේශයේ අලංකාර වර්ණනාවක් ඇතුළත්. එයට අනුව මහල් තුනකින් යුත් දළදා මාලිගයක් පැවතුණු බව පෙනෙනවා. ඒත් මේ ගොඩනැගිල්ලේ කිසිම ශේෂයක් අද ඉතිරි වී නැහැ. එය දැනට මාලිගාව පාරේ ඇතුල් කෝට්ටේ සුසාන භූමිය පිහිටි ස්ථානයේ තිබෙන්නට ඇතැ යි අනුමාන කරනවා. එහි ගල්කණු කැබලි කිහිපයක් පමණ යි අද දැකගත හැක්කේ. 1900 ආසන්න කාලයේ මුහන්දිරම් ෆොන්සේකා දළදා මාලිගයට අයත්යැ යි සැලකෙන ගොඩනැගිල්ලේ ගල්කණු ගලවා ඉවත් කරගත් බව 1909 පුරාවිද්‍යා පාලන වර්තාවේ දැක්වෙනවා. ඒ අතරින් කැටයම් පුවරු කිහිපයක් කොළඹ කෞතුකාගාරයට ගෙන ගොස් තිබෙනවා.
බැද්දගාන වෙහෙරකන්ද
පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් වන වෙහෙරකන්ද නටබුන් බැලීමට කෝට්ටේ බැද්දගාන පාරේ ගොස් ළගා විය හැකියි. 1949 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මේ භූමියේ කැණීම් කර සංරක්ෂණය කළා. කබොක් ගල්වලින් තැනූ පැරණි දාගැබ් දෙකක සාධක එහිදී අනාවරණය වුණා. වේදිකාවක් වැනි උස්බිමක දාගැබ් දෙක ඉදිකර තිබෙනවා. විශාල ස්තූපයේ විෂ්කම්භය අඩි 30ක් ද කුඩා ස්තූපයේ විෂ්කම්භය අඩි 21ක් ද වෙනවා. කැණීම් කරන විටත් ඒ දාගැබ් නිදන් හොරු හාරා තිබූ බවයි පරණවිතාන සදහන් කරන්නේ. ඒ අසලම තවත් ගොඩනැගිල්ලක් තිබූ බවට ද සාධක හමුවුණා. මෙය විහාර බිමක් වුව ද එය කුමන විහාරයක්දැ යි නිශ්චිතව හඳුනාගැනීමට සාධක ලැබී නැහැ.
අලකේශ්වර මාලිගය
අලකේශ්වර සොහොන යනුවෙන් ද හඳුන්වන මෙම භූමියේ ගොඩනැගිලි දෙකක නටබුන් දැකගත හැකියි. ජනප්‍රවාදවලට අනුව මෙය කෝට්ටේ මුලින්ම බලකොටුවක් ගොඩනැගූ අලකේශ්වර පරපුරට අයත් සොහොන් බිමයි. එහෙත් මහාචාර්ය පරණවිතාන මෙන්ම ඩග්ලස් ඩී. රණසිංහද සදහන් කරන්නේ බලකොටු භූමි සීමාව තුළ පිහිටි මෙය කිසිවිට සොහොනක් විය නොහැකි බව යි. මෙය අලකේශ්වර රජවාසල විය හැකි බව සමහරු පවසනවා. කබොක්ගල් පාදම් සහිත ගොඩනැගිලි දෙකක සාධක මෙහි තිබෙනවා. එක් ගොඩනැගිල්ලක් දිගින් අඩි 41ක් ද පළලින් අඩි 18ක් ද වෙනවා. අනෙක් ගොඩනැගිල්ල දිග හා පළල අඩි 26 බැගින් වෙනවා. ගොඩනැගිලි සංකීර්ණයට පහතින් වේදිකාවක සලකුණු මතුවී තිබෙනවා. මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිත භූමියක්.
ගල්අම්බලම
පිටකෝට්ටේ හන්දියේ පිහිටා තිබන කාගෙත් ඇස ගැටෙන ගොඩනැගිල්ලක්. ගමන් බිමන් යන එන අයගේ ගිමන් නිවීමට ඉදිකළ මේ අම්බලමට ගල්කණු යොදාගෙන තිබෙන නිසා ගල්අම්බලම යන නම ලැබී තිබෙනවා. නගරය මැද තිබෙන මෙහි දිග අඩි 22ක් ද පළල අඩි 13 අගල් 6ක් ද වෙනවා. ගල්කණු 12ක් මත ගොඩනැගිල්ලේ පියස්ස රඳවා තිබෙනවා. උගතුන් සදහන් කරන්නේ සංදේශ කාව්‍යවල කෝට්ටේ වල්අම්බලම ලෙස සදහන් කරන්නේ මෙය විය හැකි බව යි.
පුරාවිද්‍යා කෞතුකාගාරය
පිටකෝට්ටේ සහ ඇතුල්කෝට්ටේ අතර පිහිටා ඇති පුරාවිද්‍යා කෞතුකාගාරය පිහිටුවා තිබෙන්නේ පසුගිය සියවස මුල දී කෝට්ටේ ජනනායකයකු වූ ඊ. ඩබ්. පෙරේරා වලව්වේ යි. ඔහු තමාට පරම්පාරාවෙන් හිමිවූ ඉහළ වලව්ව රජයට පවරාදුන් අතර එය පසුව කෝට්ටේ අවට පුරාවස්තු තැන්පත් කර කෞතුකාගාරයක් බවට පත් කර තිබනවා. කෝට්ටේ රාජධානියට අයත් පුරාවස්තු මෙන්ම, පෘතුගීසි සහ ලන්දේසි යුගයේ පුරාවස්තු ද මෙහි දැකගත හැකියි. තඹ හා රිදී කාසි විශාල ප්‍රමාණයක් ද මෙහි තිබෙනවා. බුදු පිළිම, ගල්කැටයම්, මැටි භාජන, වෙඩි උණ්ඩ මෙන්ම කැණීම්වලින් හමුවුණු පෘතුගීසින්ගේ කෙස්වැටි කිහිපයක් ද මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා. අනුරාධුපුර, පොළොන්නරු සහ මහනුවර යුගයට අයත් පුරාවස්තු ද මෙහි දී දැකගැනිමට ලැබෙනවා. ඊ. ඩබ්. පෙරේරා පරිහරණය කළ භාණ්ඩ රාශියක් ද මෙහි තැන්පත් කර තිබෙනවා.
කෝට්ටේ රජමහා විහාරය
හය වැනි පරාක්‍රමබාහු රජු විසින් ඉදිකෙරුණු මේ විහාරය පසුව පෘතුගීසින් සහ ලන්දේසින් විසින් විනාශ කර තිබෙනවා. සියවස් එකහමාරක් පමණ වල්බිහිවී තිබූ විහාරය නැවත සයොගත්තේ පිලානේ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවන් විසින්. එහි ඉදිකිරීම් 1813 දී අරඹා 1822 දී විවෘත කර තිබනවා. මෙම විහාර මන්දිරය පහතරට බිතුසිතුවම් අධ්‍යයනය කිරීමට කදිම ස්ථානයක්. දෙමහල් ආකාරයේ ප්‍රතිමා මන්දිරය ඉදිරිපස ආලින්දය රවුම් ඕලන්ද කුලුනුවලින් යුක්ත යි. එය ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ලක්ෂණ සහිත ඉදිකිරීමක්. බිතුසිතුවම්වලත් බ්‍රිතාන්‍ය බලපෑම පැහැදිලිව දැකගත හැකියි.
පිට මාලය සහ ඇතුළු මාලය වශයෙන් එය කොටස් දෙකකට බෙදෙනවා. තේලපත්ත, මණිචෝර, ක්ෂාන්තිවාදී ආදී ජාතක කතා පිට මාලයේ සිත්තම් කර තිබෙනවා. මේවා පුරාණ ස්වරූපයෙන් දැකගත හැකියි. ඇතුළු මාලයේ 18 රියන් සැතපෙන පිළිමයක් තිබෙනවා. හිටි බුදු පිලිම තුනක් ද සැරියුත් මුගලන් අගසව් ප්‍රතිමා ද මෙහි දැකගත හැකියි. ඇතුළු මාලයේ ප්‍රතිමා සහ සිතුවම් නැවත අලුත්වැඩියාවට ලක්ව තිබෙනවා. දේවාල කිහිපයක් ද විහාර භූමියේ පිහිටා තිබෙනවා. පුරාණ වාසල් දොරටුව පිහිටා තිබෙන්නේ සපුමල් බණ්ඩාර දේවාලය අසල යි.
ආනන්ද ශාස්ත්‍රාලයේ නටබුන්
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විදුහලේ පැවති කබොක් ගල් ස්මාරක මෑතක් වනතෙක් උමඟක් ලෙස යි පුරාවිද්‍යාඥයන් පවා සිතුවේ. ඒත් 2014 එහි කරන ලද කැණීම්වලින් අනාවරණය වූයේ ඒ උමඟක් නොව කබොක්ගල හාරා ඉදිකළ කුටියක් බව යි. එහි ද්වාරයේ මකර තොරණක් කැටයම් කර තිබෙනවා. යම්කිසි නායක භික්ෂුන් වහන්යේ නමක් එහි වැඩවිසූ බව නටබුන් සාධකවලින් පේනවා. එම කුටිය පිටතින් අඩි 14ක් පළලින් ද අඩි 18ක දිගකින්ද යුක්තයි. පොළෝ මට්ටමින් අඩි 6ක් පහළ තිබෙන කුටියට බැසීමට පියගැට 12ක් ද එහි අවසානයේ සඳකඩපහණක් ද කබොක්ගලින්ම කපා තිබෙනවා. පියගැට පෙළ ඉදිරියේ කබොක්ගලින් කැපූ දාගැබක් දැකගත හැකියි. එහි වට ප්‍රමාණය අඩි 35ක්. පේසා වලලු සහ ගර්භය පමණක් දැනට දැකගත හැකියි. ගර්භය තෙක් උස අඩි 10ක්.
ලැම්බ්‍රික් ශාලාව
වර්ෂ 1822 දී සැමුවෙල් ලැම්බ්‍රික් පියතුමා මේ ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. ඔහු ආලින්දයේ පාසල නමින් එහි ආලින්දයේ මිෂනාරි පාසලක් පවත්වගෙන ගොස් ඇති බව සඳහන්. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කළ මේ ගොඩනැගිල්ල අද ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට අයත්. උස් පදනමක් මත ඉදිකර ඇති ගොඩනැගිල්ල ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයට උදාහරණ සපයන ස්ථානයක්. මැද ශාලාවක් ද එය වටා යන කාමර හා විවෘත ආලින්දයන් ද දැකගත හැකියි.