ස්කැන්ඩිනේවියානු රටවලින් පටන් ගෙන උතුරුදිග යුරෝපයේ බොහෝ ප්‍රදේශයන් වෙත සිය බලය පැතිරූ වයිකිංවරුන්ට රුසියාව මුල් කාලීන ඉතිහාසයේ දී සිය නාවික බලය පිළිබඳ එතරම් ප්‍රකට නොවූවත්, කලක් එහි සිට මතු වූ කොල්ලකරුවන් පිරිසක් එකල ප්‍රබලම නාවිකයන් වූ වයිකිංවරුන්ට පවා තර්ජනය කළා. රුසියාවේ ගංගා ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මෙම උෂ්කුයිනික් නම් කොල්ලකරුවන් නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය මෙන්ම මොංගොල් “ස්වර්ණමය රැළේ” අගනුවරට ද වරෙක පහර දුන්නා.
හිම වලස්සු
උෂ්කුයි යනු 12 වන සියවස පමණ වෙද්දී උතුරු රුසියානු ප්‍රදේශයන් හි ජීවත් වූවන් හිම වලසුන්ව හැඳින්වූ නමක් වූ අතර, ඔවුන් සිය බෝට්ටුවල එම වලසුන්ගේ හිස් සවි කිරීම සිරිතක් ලෙස සිදුකළා. උෂ්කුයිනික් යන නම ලැබෙන්නේ එමඟින්.
නූතන රුසියානු රාජ්‍යයේ ආරම්භකයා වූයේ ද වයිකිංවරයකු බව ඇතැම් විට ඔබට මතක ඇති. ඒ පිළිබඳ අප මින් පෙර ලිපියකින් විස්තර කළා.
කියවන්න: රුසියාවේ සමාරම්භකයා – වයිකිං නායක රුරික්
මේ සමයේ රුසියාවෙහි ජනයා වයිකිංවරුන් තරම් ප්‍රබලයින් වූයේ නැහැ. එහෙයින්, රුසියානු කොල්ලකරුවන්ට සාර්ථක විය හැකි වූයේ වේගවත් ප්‍රහාරයන් මඟින් වයිකිංවරුන් පුදුමයට පත් කිරීමෙන් පමණයි.
යාත්‍රා සහ අවි
උෂ්කුයිනික්වරුන් සතු යාත්‍රා සුළඟ සහ හබල් ගැසීම යන දෙයාකාරයෙන්ම ගමන් කර විය හැකි වුණා. එහි පළල මීටර් 3ක් පමණ වූ අතර, දිග මීටර් 12ක් පමණ වුණා. එහි එක් පසක හබල් හය බැගින් හබල් 12ක් තිබුණා. එක් කුඹ ගසක් වූ අතර කුඹ ගස සවි කරන ලද්දේ එහි යි. මෙම යාත්‍රාවක මිනිසුන් 40ක් දක්වා ගෙන යා හැකි වුණා.
ගොවිතැන හෝ වෙනත් කර්මාන්තයක් කිරීමට එතරම් අකැමැති වූ යුධකාමී පිරිස් නොව්ගොරොද් හි සිටියා. උෂ්කුයිනික්වරුන් වූයේ ප්‍රධාන වශයෙන්ම ඔවුන් බව යි සඳහන් වන්නේ. ඔවුන් නොව්ගොරොද් සිට බෝල්ටික් මුහුද කරා පැමිණ ස්වීඩනය දෙසටත්, ලාදගා විල ප්‍රදේශයන්හිත් ක්‍රියාත්මක වුණා. නොව්ගොරොද් පාලකයන් ද මොවුන්ව පාලනය කිරීමට එතරම් උත්සුක වූයේ නැහැ. අවට ප්‍රදේශයන්ට පහර දෙමින් එම ප්‍රදේශ දුර්වල කිරීමට උෂ්කුයිනික්වරුන් දායක වීම ඊට හේතු වුණා.
සටන්කාමීන් වූ හෙයින්ම ඔවුන් යුධ අවි, සන්නාහ සහ පුහුණුව පිළිබඳ අවධානය යොමු කළා. ඔවුන් ආරක්ෂාවට සන්නාහයන් පැළඳ පළිහ සහ හිස් වැසුම් භාවිතා කළා. ඔවුන් කඩු ශිල්පයේ ද, දුනු ශිල්පයේ ද සමත්කම් දැක්වූවා. එමෙන්ම, එම ප්‍රදේශයේ ප්‍රකට අවියක් වූ පොරව ද භාවිතා කිරීමේ සමත්කම් දැක්වූවා.
ජයග්‍රහණ
උෂ්කුයිනික්වරුන් උතුරුදිග රුසියාවේ ගංගා භාවිතා කරමින් සිය ගමනාගමනය සිදුකළ අතර, නිතර බෝල්ටික් මුහුදු ප්‍රදේශයන්ට ද කඩා වැදුණා. එමෙන්ම ඔවුන් විටින් විට ඉතා සාර්ථක වූ මෙහෙයුම් දියත් කළා.
ඔවුන් දියත් කළ ප්‍රහාරයන් අතුරින් පළමු ප්‍රකටම ප්‍රහාරයක් එල්ල කළ බව සඳහන් වන්නේ, ඌරල් ප්‍රදේශයන්ට යි. එය 1032 දී සිදු වූ බව සඳහන්. කෙසේ නමුත්, 1187 දී ස්වීඩනයේ සිග්ටුනා නගරය වෙත එල්ල වූ ප්‍රහාරය ඔවුන් විසින් එල්ල කළ ප්‍රබලම ප්‍රහාරයක් වනවා. එහි දී ඔවුන් නගරයෙන් සැලකිය යුතු වස්තුවක් කොල්ල කෑමට සමත් වුණා. ඒ අතර ඉතා මනරම් කැටයමින් යුතු ගේට්ටුවක් ද පැහැරගත් අතර, එය දැනට නොව්ගොරොද් හි සාන්ත සොෆියා ආසන දෙව් මැදුර වෙත ඇතුල් වන ස්ථානයෙහි සවි කර තිබෙනවා.
1300 ගණන්වල මුල් කාලයේ උෂ්කුයිනික්වරුන් තවත් ප්‍රබල වූ බව පෙනෙන්නට තිබෙනවා. මෙකල මොංගොල් ආක්‍රමණ හේතුවෙන් රුසියාවේ ප්‍රබල රාජ්‍යයක් නොපැවතීම හේතුවෙන් පුද්ගලික මට්ටමේ කොල්ලකාරී කණ්ඩායම් තවත් ප්‍රබල වන්නට ඇතැ යි සිතන්නට පුළුවන්.
1318 දී එවකට ෆින්ලන්තයේ ප්‍රධාන නගරය වූ අබෝ (වර්තමාන ටුර්කු) නගරයට පහර දුන් උෂ්කුයිනික්වරුන්, එහි භාණ්ඩාගාරය කොල්ල කෑවා. 1320 සහ 1323 දී ඔවුන් නෝර්වේ දෙසට කෙතරම් තදින් පහර දුනි ද යත්, නෝර්වීජියානුවන් පාප්වහන්සේගෙන් ආධාර ඉල්ලා සිටියේයැ යි කියැවෙනවා.
මොංගොල්වරුන් පරාජය කිරීම
මොංගොල් ආක්‍රමණවලින් පසු එවකට කියේවන් රස් ප්‍රදේශයේ වූ පාලකයන් සියල්ලම පාහේ ඔවුන්ට කප්පම් ගෙවන යටත් පාලකයන් බවට පත් වුණා. ස්වර්ණමය රැළ (Golden Horde) නමින් අද අප හඳුන්වන මෙම ටාටාර් රාජ්‍යයේ අගනුවර වූයේ, සරායි බටූ නගරය යි. එය එකල එම ප්‍රදේශයේ වූ ධනවත්ම නගරය වූ අතර, වර්තමාන වොල්ගොග්‍රාද් ආසන්නයේ පිහිටා තිබුණා.
1374 දී උෂ්කුයිනික් යාත්‍රා 90ක් නගරය වෙත කඩා වැදුණා. එය ඉතිහාසයේ වාර්තා වන විශාලම උෂ්කුයිනික් මෙහෙයුම යි. නගරය කොල්ලකරුවන් අතට පත් වූ අතර, ඔවුන් වස්තුව කොල්ල කා ආපසු හැරී පැමිණියා. මෙම සිද්ධියෙන් රුසියානු පාලකයන් වටහා ගත්තේ මොංගොල්වරුන් පරාජය කළ හැකි බව යි.
මෙයින් සය වසරකට පසුව 1380 දී, දිමිත්‍රි දොන්ස්කෝයි විසින් කුලිකෝවෝ සටනේ දී ස්වර්ණමය රැළ පරාජයට පත් කරනු ලැබුවා.
මොස්කව් සහ උෂ්කුයිනික්වරු
මේ අතර, 1374 දී ම උෂ්කුයිනික්වරුන් ක්ලිනොෆ් නගරය සිය මූලස්ථානය බවට පත් කරගත්තා. ව්‍යත්කා නමින් ද හඳුන්වන ලද්දේ එම නගරය යි. වර්තමානයේ එය කිරොෆ් නමින් හඳුන්වනු ලබනවා. මෙහි සිට උෂ්කුයිනික්වරුන් ටාටාර්වරුන්ට පමණක් නොව තමන්ට එරෙහි ව කටයුතු කළ රුසියානු නගරවලට ද තර්ජනය කළා.
මෙයට සමගාමීව ටාටාර් රාජ්‍යයන් දුර්වල වීමත් මොස්කව් නගරය ප්‍රබල වීමත් දකින්න ලැබුණා. මොස්කව් පාලකයන්ට ව්‍යත්කා හි උෂ්කුයිනික්වරුන් පාලනය කිරීමට අවශ්‍ය වුණා.
1458 දී දෙවන වසීලි ව්‍යත්කා නගරය තමන් යටතට ගත්තා. එහෙත් උෂ්කුයිනික්වාරුන් පරාජය පිළිගත්තේ නැහැ. 1466 දී ඔවුන් නැවත මොස්කව් හි ප්‍රදේශයන්ට පහර දුන්නා. එමෙන්ම, ඔවුන් කසාන් සමග එකඟතාවක් ද ගොඩනගා ගත්තා.
මොස්කව් හි ශ්‍රේෂ්ඨ කුමාරයා ලෙස තුන්වන ඉවාන් බලයට පැමිණියේ මේ අතර යි. ඔහු ස්වර්ණමය රැළට එරෙහි සටන සඳහා නැවත උෂ්කුයිනික්වරුන් වෙතින් සහාය පතා සිටියා. 1471 දී කොල්ලකරුවන් සරායි නගරය අල්ලා ගෙන, ධනය මෙන්ම ගැහැණුන් සහ ළමුන් ද විශාල ප්‍රමාණයක් අල්ලා ගත්තා. ඉන් වසර නවයකට පසු ඉවාන් විසින් ස්වර්ණමය රැළේ හමුදා බරපතල පරාජයකට පත් කළා.
කසාන් රාජ්‍යය තවමත් සවිමත්ව පැවතුණා. එය පරාජය කිරීමට පෙර ඉවාන් උෂ්කුයිනික්වරුන් තමන් යටතට ගැනීම හෝ කසානය සමග අමනාප කරවීම සිදුකළ යුතු වුණා. 1489 දී ඔහු ව්‍යත්කා වෙත විශාල හමුදාවක් යැවූ අතර නගරය යටත් වුණා. එහි වූ ප්‍රභූන් විවිධ ප්‍රදේශයන් වෙත පදිංචියට යවනු ලැබුණා. එයින් පසු උෂ්කුයිනික්වරුන් විසින් එල්ල කළ ප්‍රහාරයන් පිළිබඳ අසන්නට ලැබෙන්නේ නැහැ.