ජීවිතයේ අප ඉදිරියට පැමිණෙන ඇතැම් ප්‍රශ්නවලට හරි හෝ වැරදි යනුවෙන් සෘජු පිළිතුරක් නැත. යම් ප්‍රශ්නයක් විසඳීම සඳහා ගන්නා විසඳුමක් එක් පසෙකින් නිවැරදියැ යි පෙනෙන විට අනෙක් පසින් වැරදියැ යි දිස්විය හැක. ජීවිතයට පවත්නා අයිතිය පවා මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන්නේ ලොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් කීයෙන් කීයකදැ යි සලකා බලන විට පෙනී යන්නේ මානව හිමිකම් හා මානව හිමිකම් නමැති ප්‍රධාන විෂය පථය තුළ පවත්නා මූලික අයිතිවාසිකම් යනු තවමත් දියුණු වෙමින් පවත්නා සංකල්පයන් ද්විත්වයක් පමණක් බව යි. කෙසේ නමුත් ජීවත් වීමේ අයිතිය යනු ලොව පුරා දැඩි අවධානයටත් කතාබහටත් ලක් වූ මාතෘකාවකි. ජීවිතයක් පවතින්නේ නම් එය කෙදිනක හෝ මරණයෙන් අවසාන වේ. එසේ අවසාන වීමට පෙර අවසාන කරවා ගැනීමේ අයිතියක් ජීවිතයක් හිමි තැනැත්තෙකුට පවතින්නේ ද යන ප්‍රශ්නය හදවත තිගැස්මක නවත්වාලන ආකාරයේ ප්‍රශ්නයකි.
සුඛ මරණය හෙවත් ජීවිතය අවසාන කරගැනීම තවමත් ආන්දෝලනාත්මක මාතෘකාවකි. “ඔහොම දුක් විඳිනවට වඩා හොඳයි ඇත්තටම, මැරිලා ගියා නම්” යනුවෙන් පවසන බොහෝ දෙනෙක් සුඛ මරණයට පක්ෂව ඡන්දය විමසීමේ දී ඇහිබැමි හකුලා දෑත් ගුලි කර දෙපා අතර සඟවා ගනිති. ටෙරීගේ කඳුළු කතාව ද දිගහැරෙන්නේ, මිය යාමට පවත්නා අයිතිය සුරතට ග්‍රහණය කරගැනීමට සටන් කරන ලද දුෂ්කර මාර්ගයක් මතිනි. 1997 වර්ෂයේ දී ඔරිගන් ව්‍යවස්ථාදායකය විසින් ගෙනෙන ලද Death With Dignity Act කෙරෙහි විශාල ප්‍රතිවිරෝධයක් ඒ වන විටත් එල්ලවෙමින් පැවතුණි. මෙකී ව්‍යවස්ථාව හඳුන්වාදීමෙහි අරමුණ වූයේ සුව කළ නොහැකිව අවසානාත්මක වශයෙන් රෝගී වූ පුද්ගලයන්ට සිය කැමැත්ත මත ජීවිතය අවසන් කරවා ගැනීම සඳහා ඖෂධ ලබා ගැනීමට අවස්ථාව සැලසීම යි.
ඔරිගන් ප්‍රාන්තය මෙකී පනතට අත්පොත් තැබීමට වසර දහයකට පමණ පෙර ෆ්ලොරීඩා ජනපදවාසියෙකු වූ ටෙරී ෂියාවෝ දරුණු මොළේ ආබාධයකට ලක් වූවා ය. Aid-in-dying සංවිධානය විසින් ද Death With Dignity Act විෂයෙහි විවිධ බලපෑම් එල්ල කරන ලදී. ටෙරීගේ වෘත්තාන්තය කරළියට පැමිණීමත් සමගම Death With Dignity Actහි අවශ්‍යතාව වඩා ප්‍රබලව දැනෙන්නට විය. ඇයව ඒ වනවිට ජීවතුන් අතර රඳවා තබාගන්නා ලද්දේ යන්ත්‍රානුසාරයෙනි. 1990 වන විට මුහුණ දුන් හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ටෙරීගේ මොළයට ඔක්සිජන් සැපයීම ඒ වන විටත් අවහිර වී තිබුණි. වෛද්‍යවරු ගණනාවක් ඇයව පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව අනාවරණය කරගන්නා ලද්දේ එකී රෝගී තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවත්නා බව යි. ඇගේ ස්වාමිපුරුෂයා වූ මයිකල් ස්කියාවෝ ප්‍රකාශ කළේ මෙසේ ජීවත් වීමට තම බිරිඳට කිසිවිටෙක වුවමනා නොවූ බව යි. එසේ පවසමින් ඔහු කිහිප වරක්ම ඇගේ යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමට උත්සාහ කළේය. එහෙත් ඇගේ දෙමාපියන් ඔහුට විරුද්ධ වූ අතර ඔවුනට අවශ්‍යය වූයේ කෙසේ හෝ ඇයව ජීවතුන් අතර රඳවා තබාගැනීමට ය.
මෙය අවසානයේ දී පවුල අභ්‍යන්තරය ගිනි ඇවිලීමට ලක් කළ අර්බුදයක් බවට පත් වූ අතර මේ සම්බන්ධව වසර ගණනක් නඩු විභාග විය. ජෙබ් බුෂ් නමැති ෆ්ලොරීඩා ආණ්ඩුකාරවරයා විසින් 2003 දී “Terri’s Law” අත්සන් කරන ලද අතර එමඟින් අණ කරන ලද්දේ, මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි වූ ටෙරීගේ ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ඇතුළු කිරීම සඳහා සවිකර තිබී පසුව අධිකරණ නියෝගයක් මත ඉවත් කරන ලද ආහාර ලබාදීමට සවිකර තිබූ බටය යළිත් ඇගේ ශරීරයට ඇතුළු කරන ලෙස යි. නමුත් එවකට ඇමරිකානු ජනාධිපති වූ ජෝජ් ඩබ්ලිව්. බුෂ් වොෂින්ටනය බලා සම්ප්‍රාප්ත වී, ටෙරීග් නඩුව ෆෙඩරල් අධිකරණයට යොමු කරවාලමින් පනත් කෙටුම්පතක් අත්සන් කරන ලද්දේ ය. එහි දී අධිකරණය ටෙරීගේ ස්වාමි පුරුෂයාගේ ඉල්ලීම සලකා බලමින් එම බටය ගලවා දැමීමට අවසර ලබා දෙන ලද අතර, ඒ අනුව 2005 මාර්තු 31 වන දින ටෙරී සිය කටුක ජීවිතයට සමුදුන්නා ය.
Death With Dignity National Center ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ පෙග් සැන්ඩීන් නැමැත්තා ප්‍රකාශ කරන ලද්දේ මෙකී මරණයෙන් අනතුරුව, මියයාම සඳහා ආධාර දීම තහනමට ලක් කරමින් නීති සැකසීම පිළිබඳ තිබූ උනන්දුව අඩු වී ගිය බව යි. කෙසේ නමුත් මෙකී නඩු තීරණයෙන් පසුව දේශපාලනිකව විශාල ආන්දෝලනයක් ඇමරිකාව පුරා පැතිරුණි. ටෙරීගේ නික්මයෑමට ඉඩකඩ සැලසුණේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත වන බැවින් ඔහුට එරෙහිව විරෝධයක් ඇමරිකාව තුළ නිර්මාණය වෙමින් පැවතුණි. යම් හෙයකින් කොන්ග්‍රසය, ජනාධිපතිතුමන්ට සහය දැක්වීමක් සිදු කළහොත් කොන්ග්‍රසයට විරුද්ධව සිය ඡන්දය භාවිත කරන බවට ඡන්ද දායකයන් විසින් අනතුරු හඟවන ලදී. පුද්ගලයෙකුගේ ජීවිතය අවසාන කිරීම සම්බන්ධව රජය මැදිහත් වීම පිළිබඳව කිසිදු ප්‍රසාදයක් ජනතාව සතු නොවී ය. සැබවින්ම මෙකී නඩු තීරණය හරහා බොහෝ පුද්ගලයන් භීතීයට පත්විය. තමන්ට කිසිදු අවස්ථාවක මෙවන් මරණයක් අවශ්‍යය නොවන බවට බොහෝ දෙනා තර්ක කළහ.
පුද්ගලයෙකුගේ දෛවයේ අවසන් තීරණය ව්‍යවස්ථාදායකය, අධිකරණය හෝ පවුලේ පුද්ගලයෙකු අතට පත්කිරීම කෙතරම් සාධාරණ ද යන්න පිළිබඳව විශාල කතිකාවතක් ටෙරී ෂීයාවෝ සිද්ධියෙන් පසුව නිර්මාණය විය. කෙසේ නමුත් මෙකී සිදුවීමෙන් දස වසරකට පසුව, සුව කළ නොහැකි මොළයේ පිළිකාවකින් පෙළුණු විසිනව හැවිරිදි බ්‍රිටනි මෙයිනාඩ් නමැත්තිය, සියදිවි නසා ගැනීම පිළිබඳ නෛතික තත්ත්වයේ ප්‍රගමනයක් ඇති කිරීමට යළිදු පුරෝගාමී විය. 2014 නොවැම්බර් 19 වන දින ඇය සිය වේදනාකාරී ජීවන ගමන සමාප්ත කිරීමට වෛද්‍යවරයෙකු අතින් ඖෂධ ලැබුවා ය. ඖෂධ ලබාගන්නේ කිසියම් වූ රෝගයක් සුව කරගැනීමට වුව ද ජීවිතය රෝගයක් වූ කලෙක එය සුව කරගැනීමට ගන්නා මාරාන්තික විසකට වුව ද ඖෂධය යන නාමය ලබා දෙන බව මේ අනුව නිර්වචනය කරගත හැක.
කවරයේ පින්තූරය (terrischiavo.org)