සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදී කඳවුර සහ එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුර අතර සීතල යුද්ධය ඇති වුණේ දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වුණු කාලයේ ඉඳන්ම යි. 1947 පමණ සිට 1991ක දක්වා අවුරුදු 45ක විතර කාලයක් මේ යුද්ධය පැවැත්වුණා. ඇත්තටම මේක ආයුධවලින් සටන් කළ යුද්ධයක් නොවන නිසා, මේකට ‘නිරවි යුද්ධය’ කියලත් කියනවා. යුධ, න්‍යෂ්ටික, අභ්‍යවකාශ, සහ වෛද්‍ය තාක්ෂණය අතින් එකිනෙකා පරයා යන්න තිබුණු තරගය තමයි මූලිකවම ‘සීතල යුද්ධය’ හෝ, ‘නිරවි යුද්ධය’ කියන්නේ. මේ කාලයේ දී බොහොමයක් දැවැන්ත, අද්විතීය සොයාගැනීම් සිදුවුණා. සමහර ඒවා විනාශකාරී බවත් මෙහිදී කිව යුතු යි.
නරඹන්න: නිරවි යුද්ධය ඇරඹීම
මේ නිරවි යුධ සමයේ දී, එක්සත් ජනපදය අභිබවමින් ලෝකයේ විශාලම හෙලිකොප්ටරය නිපදවන්නට සෝවියට් සංගමය සමත් වුණා. ඒ වාර්තාව අදටත් පවතින එකක් වුණත්, හොයාගන්නවත් නැති විදිහට හෙලිකොප්ටරයේ නිෂ්පාදනය නවතා දැමුණා. මේ ලිපිය ඒ පිළිබඳව යි.
හෙලිකොප්ටරයක අවශ්‍යතාව
ප්‍රහාරක යානාවක් විදිහට යුධ කටයුතුවල දී භාවිතා වුණත්, හෙලිකොප්ටරයක් අවශ්‍යවෙන්නේ ප්‍රධාන වශයෙන් ළඟා වෙන්න අසීරු ස්ථාන වෙත ඉක්මනින් ළඟා වෙන්නත්, ඒ ස්ථානවලට මිනිසුන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කරන්නත්. මොකද හෙලිකොප්ටරයකට ගුවන්ගතවීමට සහ ගොඩබෑමට විශාල ගුවන් පථයක් අවශ්‍ය නැහැ. සෝවියට් සංගමයත් හෙලිකොප්ටරයක් නිෂ්පාදනයෙන් බලාපොරොත්තු වූ අවශ්‍යතා වුණේ මේ දේවල්ම තමයි. ඒත් සෝවියට් දේශය කියන්නේ අති විශාල භූමියක පැතිරුණු රටක් නිසා, හෙලිකොප්ටරයක් කියන්නේ ඔවුන්ට සෝවියට් දේශය ගොඩ නැගීමට උදව්කරන යන්ත්‍රයක් වුණා.
1948 දී Mil MI – 1 (මිල් එම්.අයි. 1) හෙලිකොප්ටරය නිපදවමින් ඇරඹුණු සෝවියට් හෙලිකොප්ටර වංශකතාව, 1960 වෙද්දී ලොව විශාලම සහ තාක්ෂණය අතින් ඉහළම Mil MI – 6 දක්වා ගෙන එනවා. Mil MI – 6 කියන්නේ ඒ කාලය වෙද්දී වැඩිම බරක් ඔසවාගෙන යන්න පුළුවන් හෙලිකොප්ටරය වගේම වැඩිම වේගයෙන් යන්න පුළුවන් හෙලිකොප්ටරය යි. කිලෝග්රෑම් 12,000ක බරක් ඔසවාගෙන යාමේ හැකියාවකුත්, පැයට කිලෝමීටර 300ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාවකුත් එයට තිබුණා. පසුව තවත් වැඩි දියුණු කිරීම් කරලා ඔසවාගෙන යන්න පුළුවන් උපරිම බර කිලෝග්රෑම් 20,000ක් දක්වා වැඩි කරන්න සෝවියට් ඉංජිනේරු තාක්ෂණයට හැකියාව ලැබුණා. ඒ කියන්නේ ඇමෙරිකාව දැනට නිපදවලා තියෙන ලොකුම හෙලිකොප්ටරය වන සර්කොස්කි සී.එච් – 53E (Sikorsky CH-53E) පවා ඔසවාගෙන යන්න Mil MI – 6ට පුළුවන්. හැබැයි සෝවියට් සංගමයට ඊටත් වඩා බරක් ඔසවාගෙන යන්න පුළුවන් අති දැවැන්තයෙක්ගේ අවශ්‍යතාවය තදින්ම ඇතිවෙනවා. ඒ එවැන්නක් නොමැති වීම ජාතික ආරක්ෂාවටත් ප්‍රශනයක් වෙන්න පටන් ගන්න නිසයි.
1960 වෙද්දී එක්සත් ජනපදයේ රහස් ඔත්තු ගුවන් යානාවලින් සෝවියට් දේශය තුළ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල (Intercontinental Ballistic Missile -ICBM) ස්ථානගත කර තිබෙන ස්ථාන අනාවරණය කරගැනීම ආරම්භ වී තිබුණා. ඒ වන තෙක්ම සෝවියට් සංගමය තමන්ගේ ICB – මිසයිල ඈත කැලෑ තුළ හොඳින් සඟවා තිබුණා. නමුත් අති විශාල බරකින් යුත් මෙම මිසයිල, දියත්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ප්‍රවාහනය කෙරුණේ දුම්රිය මාර්ග භාවිතයෙන්. මේ නිසා සෑම දියත්කිරීමේ මධ්‍යස්ථානයකටම දුම්රිය මාර්ගයක් එළා තිබුණා. මේ බව අවබෝධ කරගත් ඇමෙරිකානුවන් දුම්රිය මාර්ග ඔස්සේ රහස් ඔත්තු ගුවන් යානා යවා මිසයිල දියත්කිරීමේ මධ්‍යස්ථාන සොයාගත්තා. එය සෝවියට් දේශයේ ආරක්ෂාවට තර්ජනයක් වුණා. හෙලිකොප්ටර යොදාගනිමින් මිසයිල ගෙනයාමට සෝවියට් සංගමය සැලසුම් කරන්නේ ඉන් අනතුරුව යි. නමුත් ටොන් 25ක් බර ICBM එකක් ගෙනයන්න හැකි හෙලිකොප්ටරයක් ලෝකයේ කිසිම රටක් ඒ වෙද්දී නිපදවා තිබුණේ නැහැ. ඒ අනුව යි ගුවනින් ටොන් 25ක මිසයිල ගෙනයා හැකි දැවැන්ත හෙලිකොප්ටරයක් නිපදවීමේ අවශ්‍යතාව ඇතිවන්නේ.
දැවැන්තයා හදන්න සැලසුම් කෙරේ
පළමු සැලැස්ම වූයේ ඒ වන විටත් ලොව දැවැන්තම Mil MI – 6 හෙලිකොප්ටරයම දිගින් වැඩිකර භාවිතා කිරීම යි. Mil MI – 6හි ඇතුළත භාණ්ඩ පැටවිය හැකි කොටසේ මුළු දිග මීටර 12ක් පමණ වනවා. නමුත් ICB මිසයිලයක මුළු දිග මීටර 28ක් වන නිසා, Mil MI – 6මෙන් දෙගුණයකටත් වඩා වැඩි දිගක් එන පරිදි හෙලිකොප්ටරය වැඩි දියුණු කළ යුතු වුණා. ඉන්පසු ගැටලුව පැමිණියේ එසවුම් බලය සම්බන්ධව යි.
ටොන් 25ක බරක් එසවීමට නම් Mil MI – 6හි භාවිතා කර තිබෙන අශ්ව බල 6500 Soloviev D-25VF ටර්බෝ ෂාෆ්ට් එන්ජිමට වඩා බලසම්පන්න එන්ජිමක් සමග නව ගියර් පද්ධතියක් ද, විෂ්කම්භය මීටර 35ට වැඩි රොටරයක් ද භාවිතා කළ යුතු වුණා. මේ සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවට ඉංජිනේරුවන්ගේ මීළඟ සැලසුම වූයේ Mil MI – 6හි එන්ජිම, ගියර් පද්ධතිය, සහ රොටරය යන සියල්ලම යුගලයක් ලෙස භාවිතා කිරීම යි. එමඟින් නව හෙලිකොප්ටරයේ නිෂ්පාදන සංකීර්ණතාව අඩුවනවා. මෙය ඇමෙරිකානුවන් ඒ වෙද්දීත් තම හෙලිකොප්ටරවලට යොදාගත් ක්‍රමයක්. එය හැඳින්වුණේ Tandem (තණ්ඩල යන අර්ථය) නමින්. හෙලිකොප්ටරයේ මැද සාමාන්‍ය පරිදි එක් රොටරයකුත්, පිටුපස වල්ගය කොටසේ අනෙක් රොටරයත් සවි වන පරිදි නිර්මාණය කිරීම Tandem ආකෘතිය ලෙස හඳුන්වනවා.
නමුත් සෝවියට් ඉංජිනේරුවන් එහි පවතින අවාසියක් නිසා එම ක්‍රමය යොදාගැනීමෙන් වළකිනවා. එය නම්, ඉදිරිපස රොටරයට පහළින් ඇති එන්ජිමෙන් පිට කරන පිටාර වායුව (Exhaust gas) පසුපස රොටරයේ එසවුම් බලය ලබාගන්නා සුළං ප්‍රවාහයට බලපෑම් කිරීම යි. එය අවම කිරීමට නම්, පිටුපස රොටරයේ ප්‍රමාණය ඇතුළු බොහොමයක් දෑ වෙනස් කළ යුතු වනවා. එවිට Mil MI – 6හි කොටස් එලෙසින්ම භාවිතා කිරීමට නොහැකි වෙනවා. මේ හේතුව නිසා සාම්ප්‍රදායික Tandem ක්‍රමය වෙනුවට හෙලිකොප්ටරයේ බඳට දෙපසින් රොටර සවි කිරීමට සෝවියට් ඉංජිනේරුවන් සැලසුම් කරනවා. මේ නිසා පහසුවෙන්ම Mil MI – 6හි එන්ජිම, ගියර් පද්ධතිය, සහ රොටරය කිසිදු වෙනස්කමකින් තොරව භාවිතා කළ හැකියි.
ලොව විශාලතම හෙලිකොප්ටරය Mil V – 12
සැලැස්ම අත්හදා බැලීමට ඔවුන් නිපදවූ මූලාකෘති (Prototype) යානය හැඳින්වුයේ Mil V – 12 ලෙස යි. මෙය අඩක් හෙලිකොප්ටරයක ද අඩක් ගුවන් යානයක ද පෙනුම ගන්නවා. ඒ එහි දිගැති බඳ කොටසට දෙපසින් ගුවන්යානයක පියාපත්වලට සමාන කොටස් දෙකක් මත රොටර පිහිටුවා තිබීම හේතුවෙන්. හෙලිකොප්ටරය ගමන් කිරීමේ දී එහි ස්ථායිතාවය පවත්වාගැනීම සඳහා රොටර දෙක කරකැවෙන්නේ එකිනෙකට විරුද්ධ දිශාවලට යි. එවිට ප්‍රතික්‍රියා බල යුග්මය එකිනෙක නිෂ්ක්‍රීය වී යනවා. එහි පිටුපස කොටසේ “වලිග රොටරයක්” (Tail Rotor) නොමැති නිසා රොටරයන් ආනත කිරීමෙන් පමණක් හෙලිකොප්ටරය හැරවීම සිදු කරනවා. අධික වේගයෙන් ගමන් ගන්නා විට පිටුපස ඇති Rudder තටුවෙන් අවශ්‍ය හැරවුම් සහාය ලබාදෙනවා.
ලොව විශාලතම හෙලිකොප්ටරය වන V – 12 පාලනය කිරීම සඳහා 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් අවශ්‍ය වනවා. ඒ අතරින් ගුවන් නියමුවා, සහායක ගුවන් නියමුවා සහ පියාසැරි ඉංජිනේරුවරයා පහළ නියමු කුටියේ සිටිය යුතු අතර, යාත්‍රා කළ යුතු දිශාව නිර්ණය කරන්නා (navigator), සන්නිවේදන රේඩියෝ ක්‍රියාකරවන්නා, සහ විදුලි ඉංජිනේරුවරයා ඉහළ නියමු කුටියේ සිටිය යුතු යි.
V – 12 හෙලිකොප්ටරයේ උපරිම වේගය පැයට කිලෝමීටර 260ක්. මීටර 28.15ක් දිගින් සහ මීටර 4.4ක් පළලින් යුත් භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි කොටසේ කිලෝග්රෑම් 35,400ක බරක් පටවා උපරිම වේගයෙන් කිලෝමීටර 500ක දුරක් පියාසර කිරීමට මෙයට හැකියි. භාණ්ඩ වෙනුවට හොඳින් ඉඩ පහසුකම් සහිතව ආසන සවිකර මඟීන් 196ක් ද ගෙනයාමේ හැකියාව V-12 සතුව පවතිනවා. 1969 දී කිලෝග්රෑම් 40,204ක් බර භාණ්ඩ රැගෙන මීටර 2000ක් ඉහළ අහසට ගමන් කිරීමට V-12 හෙලිකොප්ටරයට හැකිවුණා. එය අදටත් බිඳ හෙළා නොමැති වාර්තාවක්.
සෝවියට් නිෂ්පාදනයක්ම වන An – 22 නම් එන්ජින් 4ක් සහිත දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය මඟින් කිලෝමීටර දහස් ගණන් දුරකට බැලැස්ටික් මිසයිල ප්‍රවාහනය කරවා පසුව මෙම V-12 හෙලිකොප්ටරය යොදාගෙන කැලෑ තුළ ඇති ගුවන්පථ නොමැති කිලෝමීටර සිය ගණනක් දුර ප්‍රදේශවලට ඒවා ප්‍රවාහනයට යි සැලසුම් කර තිබුණේ. ඒ සැලැස්ම නිවැරදිව ක්‍රියාත්මක වුවහොත්, වර්ග කිලෝමීටර මිලියන 12ක කැලෑ ගහණයක් ඇති සෝවියට් දේශය තුළ බැලැස්ටික් මිසයිලයක් සෙවීම, ඇමෙරිකානු රහස් ඔත්තු ගුවන් යානාවලට පිදුරු ගොඩක ඉඳිකටුවක් සොයනවා වගේ වෙන්නට තිබුණා.
නිෂ්පාදනය නවතා දැමේ
1971 දී පැවැත්වූ පැරිසියේ ගුවන් යානා ප්‍රදර්ශනයේ දී (Paris Air Show) අත්හදා බැලුණු V-12 හෙලිකොප්ටරය මුල්වරට ලෝකයාට ප්‍රදර්ශනය කෙරුණා. බටහිර ලෝකය මෙම නිෂ්පාදනයෙන් පුදුමයට පත්වුණා. ඔවුන් බලාපොරොත්තු වුණේ මෙම යානා සිය ගණනක් ඉදිරියේ දී නිෂ්පාදනය වනු ඇති කියා යි. නමුත් එය එසේ සිදු වූයේ නැහැ.
Mil V – 12 නිෂ්පාදනය සඳහා වසර 10කට වැඩි කාලයක් ගතවුණා. 1959 දී මෙම හෙලිකොප්ටරය ඉදිකිරීම සඳහා මූලික අධ්‍යයන කටයුතු ආරම්භ වූ අතර 1962 දී එය ඉදිකිරීම සඳහා අනුමැතිය හිමිවුණා. 1965 දී පළමු අත්හදාබැලීමේ යානය නිර්මාණය වුණා. ප්‍රථම සාර්ථක පියාසැරිය සිදුවුණේ ඉන් තවත් වසර 3කට පසුව යි. ඇත්තෙන්ම මෙම හෙලිකොප්ටරයේ හැකියාව සහ විශාලත්වය සමග සැලකීමේ දී වසර 10 යනු ඉතා කෙටි කාලයක්. මක්නිසා ද යත්, මෙවන් සුවිසල් යන්ත්‍රයක නිර්මාණය කිරීමේ දී පැමිණෙන අභියෝගය සුළුපටු නැහැ. නමුත් සීතල යුද්ධයේ ඇති තරගය සැලකීමේ දී වසර 10ක් යනු අනෙක් පාර්ශවයට ඉදිරියට පියවරක් තැබීමට ලැබෙන විශාල කාලයක්.
1960 දී එක්සත් ජනපදය කැමරා උපකරණ සහිත සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව වන Discoverer XIV කක්ෂගත කරනවා. මෙමඟින් වසර ගණනක සිට ඇමෙරිකානු රහස් ඔත්තු බැලීමේ ගුවන් යානාවලින් සෝවියට් දේශයේ කළ ඡායාරූපකරණය සහ සිතියම්ගතකරණයට වඩා වැඩි ප්‍රමාණයක් එක් දිනක් තුළ සිතියම්ගත කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා 1970 ගණන්වල දී සෝවියට් සංගමය විසින් තම බැලැස්ටික් මිසයිලවල ප්‍රමාණය කුඩාකර ට්‍රක් රථ මඟින් ප්‍රවාහනයට සකස් කෙරෙනවා. එනිසා V – 12 හෙලිකොප්ටරය ලවා ඉටුකර ගැනීමට කාර්යයක් ඉතිරි වන්නේ නැහැ. 1974 දී Mil V -12 හෙලිකොප්ටර ව්‍යපෘතිය අවසන් කිරීමට සෝවියට් සංගමය තීරණය කරනවා. ඒ අනුව ලොව විශාලම හෙලිකොප්ටරය අවසානයේ මූලාකෘති (Prototype) දෙකක් පමණක් නිෂ්පාදනය වූ පසුබිමක අත්හැර දැමෙනවා.
අද වන විට ලෝකයේ ක්‍රියාකාරී විශාලතම භාණ්ඩ ප්‍රවාහන හෙලිකොප්ටරය බවට පත්ව තිබෙන්නේ 1983 දී සෝවියට් දේශයේම නිෂ්පාදිත Mil Mi – 26 හෙලිකොප්ටර් යානය යි. මෙය තනි රොටරයක් සහිත සාමාන්‍ය ආකාරයේ හෙලිකොප්ටර යානයක්. ටොන් 25ක පමණ බරක් ඔසවාගෙන යා හැකි ලෙස යි මෙය නිපදවා ඇත්තේ.
එම යානය ගැන විස්තරයක් ඔබට මේ ලිපිය හරහා කියවන්නට හැකියි: රුසියානු අහසේ දැවැන්තයා – Mil Mi-26