තුර්කි රජය හා සටන් වදින කුර්දිස්ථාන කම්කරු පක්ෂය

කුර්දි ජනතාව වාසය කරන ප්‍රදේශය හෙවත් කුර්දිස්ථානය දේශපාලනික ව ගත් විට​, බටහිර ආසියාවෙහි තුර්කිය​, සිරියාව​, ඉරාකය, සහ ඉරානය යන රටවල් අතර බෙදී තිබෙනවා. කුර්දි ජනගහනයෙහි විශාලත්වය පිළිබඳ විවිධ ඇස්තමේන්තු පවතින අතර, ඒ අනුව ආසන්න වශයෙන් මිලියන 30 සිට 40 දක්වා විවිධ අගයන් කියනු ලබනවා. මෙයින් මිලියන 15ක පමණ ප්‍රමාණයක් වාසය කරන්නේ තුර්කියේ යි.

කාලයක පටන් මෙම රටවල්වල කුර්දි ජාතිකයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. විශේෂයෙන් ම තුර්කියේ සහ ඉරාකයේ කුර්දීන් එරට පාලකයන් විසින් බෙහෙවින් පීඩනයට ලක්වූ නිසා මෙන්ම එම රටවල කුර්දි ජනගහනය විශාල නිසාත්, ඒ රටවල් දෙකේ ම දිගු කලක් තිස්සේ කුර්දි නිදහස් ව්‍යාපාර පැවතුණා.

කුර්දි ජනයා ජීවත්වන ප්‍රදේශ (CIA)

තුර්කිය තුළ කුර්දි භාෂාව භාවිතා කිරීමේ සීමාවන් පනවා තිබුණ අතර කුර්දි සංස්කෘතික අංගයන් ද යටපත් කෙරුණා. මේ හේතුව නිසා කුර්දි ජනතාව තුළ තුර්කි රජයට එරෙහි මතවාදයක් ජනිත වීම ස්වාභාවික යි. විශේෂයෙන් ම 1970 දශකයේ දේශපාලන අස්ථාවරත්වය​, 1980 හමුදා කුමන්ත්‍රණය, සහ ඒ ආශ්‍රිත ව පැවති දේශපාලන අර්බුද හේතුවෙන් රට අස්ථාවර වීම ඔස්සේ සන්නද්ධ ව්‍යාපාරයක් මතුවීමට ඉඩකඩ ද නිර්මාණය වුණා.

PKK සංවිධානය​

තුර්කියෙහි ක්‍රියාත්මක වන ප්‍රධාන ම සන්නද්ධ කුර්දි ව්‍යාපාරය වන්නේ කුර්දිස්ථාන කම්කරු පක්ෂය (PKK) යි. PKK සංවිධානයේ ආරම්භය සිදු වූයේ 1978 නොවැම්බර් 27 වන දා බව යි සඳහන් වන්නේ. ඒ ෆිස් නම් වූ ගම්මානයක දී යි. මෙම සංවිධානයෙහි නායකයා ලෙස කටයුතු කරන්නේ එවකට 31 හැවිරිදි පමණ වූ අබ්දුල්ලා ඔචාලන් නමැති කුර්දි ජාතිකයෙක්.

අබ්දුල්ලා ඔචාලන් (AFP)

මුල් කාලීන ව​ PKK සංවිධානයේ බලාපොරොත්තුව වූයේ ස්වාධීන කුර්දි රාජ්‍යයක් නිර්මාණය කිරීම යි. එමෙන්ම, ඔවුනගේ ආර්ථික, දේශපාලනික දර්ශනය ලෙස PKK සංවිධානය විසින් පිළිගත්තේ මාක්ස් – ලෙනින්වාදය යි. මේ අනුව, සමාජවාදී ස්වෛරී කුර්දි රාජ්‍යයක් තුර්කියෙන් වෙන්ව පිහිටුවා ගැනීම PKK සංවිධානයේ අභිලාෂය වුණා.

පළමු වසර කිහිපය තුළ සංවිධානය ක්‍රියා කළේ සිය ජාලය වර්ධනය කර ගැනීමට සහ ප්‍රචාරණ කටයුතුවලට යි. මෙම සමයේ ඔවුන් රජයට එරෙහි සන්නද්ධ ප්‍රහාරයන් කරා එළඹුණේ නැහැ. 1984 දී PKK සංවිධානය සිය සන්නද්ධ ක්‍රියාකාරකම් ආරම්භ කළා.

සංවිධානය ඇමරිකාව​, බ්‍රිතාන්‍යය​​, යුරෝපා සංගමය​, නේටෝව ආදී රටවල් සහ සංවිධාන කිහිපයක් විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.

සන්නද්ධ අරගලය​

මුල් කාලීන ව PKK සංවිධානයට සිරියානු සහාය ද ලැබෙමින් තිබුණා. මෙකල සිරියාවේ, ඉරාකයේ කුර්දි ප්‍රදේශයන් හි, සහ තුර්කියේ ඇතැම් ප්‍රදේශවලත් පුහුණු කඳවුරු පැවැත්වුණා. තව ද, බටහිර යුරෝපයේ ජීවත් වන කුර්දීන් ද මෙම අරගලයට ආධාර කළා.

1990 දශකයේ දී PKK සංවිධානයට ලැබුණ සිරියානු සහාය අඩු වුණා. මේ අතර 1991 ගල්ෆ් යුද්ධයෙන් පසු ව ඉරාක කුර්දිස්ථානයට ස්වයං පාලන බලතල හිමි වුණා. මෙම කරුණු මත සංවිධානය සිරියාවේ කඳවුරු ඉවත් කර, ඉරාකය කරා සිය කඳවුරු ගෙන ගියා.

PKK සෙබළුන් පිරිසක් ඉරාකයේ දී (workers.org)

තම අරගලයේ දී සංවිධානය මූලික ව ම ඉලක්ක කළේ කුර්දි ප්‍රදේශයන්ගේ තුර්කි සිවිල් පාලනය බිඳ දැමීම යි. මේ අනුව හමුදා ඉලක්කවලට පහර දෙන අතර ම ඔවුන් හමුදා සහ සිවිල් නිලධාරීන් ඝාතනය කිරීම සහ පැහැර ගැනීම​​, තුර්කි රජය සමග සහයෝගයෙන් කටයුතු කරන ප්‍රාදේශීය නායකයන් ඝාතනය​, කඩාකප්පල්කාරී ක්‍රියා ආදියෙහි ද නිරත වුණා.

පසු බැසීම​

1999 පෙබරවාරි 15 වන දා නායක අබ්දුල්ලා ඔචාලන් අත්අඩංගුවට පත් වුණා. ඔහු ව තුර්කියේ දී නඩු විභාගයකට ලක් කර මරණ දඬුවම ලබා දුන් නමුත්, පසු ව එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරනු ලැබුණා.

ඔචාලන් අල්ලාගැනීමෙන් පසු සංවිධානය පසුබෑමකට ලක් වුණා. මෙහි දී එම සංවිධානය වසර කිහිපයක් යන තුරු තුර්කියේ ඔවුනගේ ක්‍රියාකාරකම් අඩු කරන්නට කටයුතු කළා. මේ අතර ඔචාලන්ට එරෙහිව නඩු විභාගය පවතින සමයෙහි යුරෝපා රටවල කුර්දි ජනතාව විරෝධතාවයන් හි යෙදෙමින් සිය අරගලය පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළා.

ඔචාලන් අල්ලා ගැනීමෙන් පසු සංවිධානය සිය මතවාදය ද විපර්යාසයකට භාජනය කළා. මේ අනුව ඔවුන් මාක්ස් – ලෙනින්වාදය බැහැරකොට ප්‍රජාතාන්ත්‍රික සහසන්ධීය ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින්නට වුණා. ඔවුන් සඳහන් කළේ තුර්කියෙන් වෙන්වීම වෙනුවට තුර්කිය තුළ සිටිමින් ම කුර්දි ජනයා වෙත වඩා පුළුල් වූ අයිතීන් හිමිවන ක්‍රමයක් වෙනුවෙන් තමන් සටන් වදින බව යි.

කලාපයේ තත්ත්වය

PKK සංවිධානයෙහි ක්‍රියාකාරකම්වලට අවට ප්‍රදේශයන් හි තත්ත්වය ද බලපානවා. ප්‍රදේශයේ කිසිදු රටක්, අසල්වැසි රටක කුර්දි ජනතාවට ස්වාධීනත්වය හිමි වීම කෙරෙහි කැමැත්තක් දක්වන්නේ නැහැ. එක් ප්‍රදේශයක සිට අනෙකුත් ප්‍රදේශවල කුර්දීන් තම නිදහස් සටන් පණ ගැන්වීමට ඉඩ තිබීම හේතුවෙන් මෙය සිදුවනවා. මීට එක් හොඳ උදාහරණයක් වන්නේ ඉරාක කුර්දිස්ථානයේ සිට සංවිධානය ක්‍රියාත්මක වීම යි.

2011 දී සිරියාවේ සිවිල් යුද්ධය ඇති වූ පසු එරට උතුරුදිග ප්‍රදේශයන් හි කුර්දි ජනයා වාසය කරන ප්‍රදේශ සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා (SDF) නම් ඇමරිකානු ආධාර ලබන සංවිධානය අතට පත් වුණා. ඇමරිකාව PKK සංවිධානයට සහාය නොදෙන නමුත් SDF සහ PKK අතර සබඳතා වර්ධනය වේ යන බිය තුර්කියට ඇති වුණා. තුර්කිය අවස්ථා කිහිපයක දී ම SDF පාලන ප්‍රදේශයන් වෙත හමුදා මෙහෙයුම් පවා දියත් කළේ මෙම බිය හේතුවෙන්.

මේ අතරවාරයේ ඉරාකයේ දී ඉස්ලාමීය අන්තවාදී ISIS ත්‍රස්තවාදීන්ට එරෙහි සටනට ඉරාක කුර්දි සේනා සහභාගී වීම පිළිබඳව ද තුර්කිය දැක්වූයේ නොකැමැත්තක්. එමඟින් ඉරාකය තුළ කුර්දි බලය තවදුරටත් ශක්තිමත් වේය යන බිය තුර්කියට තිබුණා.

2013 සිට 2015 දක්වා සමය තුළ සංවිධානය සටන් විරාමයක් ක්‍රියාත්මක කළා. එම සංවිධානය සඳහන් කළේ කුර්දි ප්‍රශ්නය සම්බන්ධව එකඟතාවයකට පැමිණීම සඳහා තුර්කි රජයට අවස්ථාවක් ලබාදීමට මෙසේ ක්‍රියා කරන බව යි. මේ අනුව සංවිධානය තුර්කියෙහි වූ තම කඳවුරු උතුරු ඉරාකයට ගෙන ගියා.

කෙසේ වෙතත්, 2015 අවසානයේ දී PKK සංවිධානය තුර්කිය සමග සිය සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කළා. මේ අනුව දෙපාර්ශවය අතර නැවතත් සටන් ඇවිළී ගියා.

 

කවරයේ පින්තූරය: PKK සටන්කාමීන් පිරිසක් ඉරාකයේ දී (thenaka.org)

Related Articles

Exit mobile version