නුවර ට්‍රිප් එකක් යන කවුරුත් අනිවාර්යයෙන් යන තැනක් තමයි ලංකාතිලක පන්සල. පිළිමතලාවෙන් හැරිලා දවුලගල පාරේ කි. මී. 4ක් ගියාම ඈත කඳු පර්වතයක් මත සුදට සුදේ බබළන මේ විහාරය දැකගන්න පුළුවන්. උඩුනුවර ලංකාතිලක විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14 වන සියවස දක්වා ඈතට දිවයනවා. නමුත් පන්සලට යන අය අතරින් එහි ඉතිහාසය සහ වැදගත්කම දැනගන්න උනන්දු වන්නේ කලාතුරකින් කෙනෙක් පමණයි.
කලකට පෙර විහාරයට පැමිණිය යුතු වූයේ පුරාණයේ ඉදිකළ පියගැට නගිමින් කන්ද තරණය කරමින්. නමුත් පසුකාලයේ විහාරයට පිටුපසින් ගල්තලාව අසලටම වාහන පැමිණිය හැකි පරිදි මාර්ගයක් සකසා තිබෙනවා.
විහාරය පිහිටා ඇති පර්වතය හඳුන්වන්නේ පැන්හල්ගල නමින්. කඳු පාමුල නුවර යුගයට අයත් සංඝාවාස ගොඩනැගිල්ල දකින්න පුලුවන්. ඒ ගොඩනැගිල්ල ඉදිරිපිට පැරණි වී අටු පිහිටා තිබෙනවා. මේ වී අටු කුඩා ගල්කණු මත ඉදිකර තිබෙනවා.
ස්ථපතිරායර් හැදූ පන්සල
ගම්පොළ පළමු වරට රාජධානිය කරගත් සිව්වැනි බුවනෙකබාහු (1341-1351) රජුගේ අගමැති වුණේ සේනාධිලංකාර යි. මේ අගමැතිවරයා බුදුදහමට බොහොම ලැදි සැදැහැවතෙක්. ලංකාතිලකය කරවූයේ ඔහු විසින් බව පර්වතය මත කොටා ඇති විශාල සෙල්ලිපියේ සඳහන් වෙනවා. එය ඉදිකිරීමට දකුණු ඉන්දියාවෙන් වාස්තු විද්‍යා ශිල්පීන් පැමිණියා. මේ ශිල්පීන්ගේ ප්‍රධානියා වුණේ ස්ථපතිරායර් නම් අයෙක්. මේ ශිල්පියා පර්වතය දැකබලාගෙන, එහි පිහිටීමට ගැලපෙන අලංකාර සැලසුමකින් යුක්තව විහාරය ඉදිකර තිබෙනවා. විහාරය තනා තිබෙන්නේ බුවනෙකබාහු රජුගේ පාලනයේ තුන්වැනි වර්ෂයේ. ඒ කියන්නේ 1444 දී. වජ්‍රාසනාරූඪ බුදු පිළිමය ඇතුළු පිළිම 16ක් ද, දේව රූප සහ බිතුසිතුවම් ද මෙහි කරවූ බව සෙල්ලිපිය සඳහන් කරනවා.
පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතානට අනුව ස්ථපතිරායර් විසින් ලංකාතිලක විහාරය ඉදිකිරීමේ දී, සිංහල, ද්‍රවිඩ, සහ ඉන්දුචීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කොට ගෙන තිබෙනවා. මේ අනුව ලංකාතිලකය දෙස්-විදෙස් වාස්තු විද්‍යාවේ සම්මිශ්‍රණයක් බව කියන්න පුලුවන්.
මෙම විහාරස්ථානයේ අතීතයේ ග්‍රාමවාසී හා වනවාසී භික්ෂූන් වහන්සේලා දෙකොටසම වැඩ වාසය කළ අතර, ගම්පළ රාජධානියේ කඩවත් සතරෙහි සෑම නිවසකින්ම විහාරස්ථානයට පණම බැගින් බද්දක් ගෙවන ලෙස නියම කර තිබූ බව ද සඳහන් වෙනවා. ඒ, විහාරස්ථානයේ නඩත්තුවට අවශ්‍ය ආදායම් ලබාගැනීමට යි.
ශිල්පීන්ට රන්මසු ලක්ෂ 36ක්
ලංකාතිලකය ඉදිකිරීමේ ගාස්තු ලෙස ස්ථපතිරායර් ඇතුළු ශිල්පීන්ට දුන් වී, රන්, රිදී, රෙදිපිළි, සහ මුදල්වල වටිනාකම මසුරන් තුන්කෙළ සැට ලක්ෂයක් හෙවත් රන්මසු ලක්ෂ 36ක් බව සෙල්ලිපියේ දැක්වෙනවා. ඊට අමතරව සේනාධිලංකාර ඇමැති තම පුද්ගලික ධනය ද මෙම පිංකමට යොදවා තිබෙනවා.
ලංකාතිලක සන්නස්
විහාරය ඉදිකිරීමෙන් පසු එය ගම්පොළ රාජධානිය පුරා ප්‍රචලිත පිංබිමක් වුණා. ඊට පසු ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජු (1357-1371) වගේම මහනුවර රාජධානිය කරගත් කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782), රාජාධිරාජසිංහ යන රජවරුන් ද ලංකාතිලක විහාරයට සන්නස්වලින් ධනය පූජාකර තිබෙනවා. සද්ධර්මරත්නාකරය සහ මහාවංශයට අනුව කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු (1412-1467) රජු ද මේ විහාරය ප්‍රතිසංස්කරණය කරවූ පාලකයෙක්. සේනා සම්මත වික්‍රමබාහු ද මෙහි දියුණුවට කටයුතු කළ රජෙක් බව සඳහන්.
විහාර මන්දිරය
පර්වතය කපා ඒ මත තැනූ අත්තිවාරමක මෙය ඉදිකර තිබෙන්නේ කළුගල් සහ ගඩොල්වලින්. ලංකාතිලක තඹ සන්නසට අනුව මුලින්ම තිබූ විහාර ගොඩැනැගිල්ල රියන් 32 (අඩි 80ක්) උස් වූවා. බිම් සැලැස්මට අනුව එය කුරුසයක හැඩය ගන්නවා. බුදුගෙට ඇතුළුවිය යුත්තේ දෙපස ගජසිංහ රූ සහිත ශෛලමය පියගැට පන්තියක් නැගීමෙන්. ඉදිරිපස බිත්තියේ දොරටුව මකර තොරණක් සහිතව ආරුක්කු ආකාරයට නිමකර තිබෙනවා.
බුදුගේ ඇතුළත හිඳි බුද්ධ ප්‍රතිමාව ගම්පොළ යුගයේ ලක්ෂණ දරනවා. එය පිහිටා තිබෙන්නේ හිටි පිළිම දෙකක් මැද යි. හිඳි පිළිමයේ ඇත්තේ ශාන්ත බවක් නොවේ. දෙනෙත් බියකරු බවක් දනවනවා.
“බුද්ධ රූපය කෙරෙහි දිව්‍යමය ස්වරූපයක් ආරූඪ කිරීමට කලාකරුවා දැරූ උත්සාහය දක්නට ලැබේ. දෙවියන්ට දක්වන බියමුසු ගෞරවය බුදුරදුන් කෙරෙහි ද ජනිත කිරීමට විවෘත කරන ලද ඇස් මෙන්ම තේජස්වී බැල්ම ද නිරූපනය කර ඇත”
(ශ්‍රී ලංකාවේ ප්‍රතිමාකරණ සම්ප්‍රදාය- ජම්බුගහපිටියේ ධම්මාලෝක හිමි)
ගම්පොළ යුගයේ මූර්ති කලාව අධ්‍යයනයේ දී මෙම පිළිමය ද ඉතා වැදගත්.
විහාරයට මුලින්ම තිබී ඇත්තේ උළු වහලක් නොව ගඩොල්වලින් කළ ගෙඩිගේ ආකාරයේ ගොඩනැගිල්ලක්. මහනුවර යුගයේ දී උනම්බුවේ දිසාව එහි වහල දිරාපත්ව තිබෙන අයුරු දැක පියස්සක් යොදා වෙනස් කර තිබෙනවා.
සිතුවම්
බුද්ධ ප්‍රතිමාව දෙපස සහ ඉදිරිපස බිත්තිවල නෙලුම් මල් රැගත් රහත් රූප ඇඳ තිබෙනවා. සූවිසි විවරණ චිත්‍රාවලියක් ද මෙහි දැකගත හැකියි. සත්සතිය, සොළොස්මස්ථාන ආදී සිතුවම් ද බිත්ති හැඩ කරනවා. මේවා උඩරට රාජධානි යුගයේ දී ප්‍රතිසංස්කරණවල දී ඇඳි චිත්‍ර යි.
සෙල්ලිපි
විහාර ඉතිහාසය පැහැදිලිව දැනගැනීමට හැකිවී තිබෙන්නේ සෙල්ලිපි සහ සන්නස් නිසා යි. ලංකාතිලකයේ සෙල්ලිපි දෙකක් ද සන්නස් තුනක් ද තිබෙනවා. පර්වතය මත පිහිටි එක් සෙල්ලිපියක් සිංහලෙන් ද අනෙක් ලිපිය දෙමළෙන් ද කොටා තිබෙනවා. විහාරය ඉදිකළ ආකාරය ගැන සම්පූර්ණ විස්තරයක් සෙල්ලිපිවල සඳහන් වන අතර සන්නස්වලින් හෙළිවන්නේ රජවරුන් කළ පූජා සහ ප්‍රතිංස්කරණ පිළිබඳව යි.
පුරාවස්තු
ලංකාතිලකයෙන් හමුවන පුරාවස්තූන් පහත පරිදි යි.
ඕලන්ද යුගයට අයත් කොඩිය
1765 දී උඩරට ආක්‍රමණය කළ බැරන් වැන් එක් ආණ්ඩුකාර කාලයට අයත් එකක්. ඕලන්ද සේනා උඩරටින් පැරදී පලා යන විට මෙම කොඩිය සිංහලයන් සතුවී තිබෙනවා.
මැණික් පිළිමය
මෙය වසර 750ක් පැරණී බව සැලකෙනවා.
ඇත් දළ කරඩුව
මෙය බුදුන්ගේ දන්තධාතුව මුල් කාලයේ තැන්පත් කර තිබූ කරඬුවක් බවයි පැවසෙන්නේ.
මේවාට අමතරව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සළුපිළි ද, සියම් සළුවක් ද, බුවනෙකබාහු රජුගේ ලෝකඩ පිළිමයක් ද මෙහි තිබෙන පුරාවස්තු අතර විශේෂත්වයක් ගන්නවා.
ලැගුම්ගේ හෙවත් පල්ලේ විහාරය
මෙය ප‍්‍රධාන විහාරයේ දොරටුව ඉදිරියේ ඉදිකළ දිගින් වැඩි පළලින් අඩු ගොඩනැගිල්ලක්. එය ලැගුම් ගෙය යනුවෙන් ද හඳුන්වනු ලබනවා. කොටස් තුනකින් යුත්තව සාදා තිබෙන මෙහි පළමු කොටසේ පෙරහැර මංගල්‍යය සඳහා ගෙන යනු ලබන සියලුම උපකරණ තැන්පත් කර තිබෙනවා. දෙවන භාගයේ නැගෙනහිරාභිමුඛව ගල් උලුවස්ස තබා තිබෙනවා. මුල් කාලයේ ප‍්‍රධාන දොරටුව ලෙස මෙය භාවිත කළ බව කියැවෙනවා. මෙයට නුදුරින් පිටගැට පෙළක නටබුන් තිබෙනවා. මෙම මාර්ගයේ පෙරහැර දවුලගල දක්වා ගමන් ගත් බවට ද මතයක් තිබෙනවා.
හතරවන බුවනකබාහු රජු තම මාළිගාවේ තබා වැඳුම් පිදුම් කළ බුදු පිළිමය ප‍්‍රධාන විහාරයේ තිබූ බවත් ඉන් පසු පල්ලේ විහාරයේ තුන්වන භාගයේ තැන්පත් කළ බවත්, එම නිසා මෙය ලැගුම්ගේ විහාරය ලෙස හඳුන්වන බවත් පැවසෙනවා. මෙහි විවිධ ලෝහ හා දාරුමය පිළිම තැන්පත් කර තිබෙනවා.
වීදිය හා සිංහාසන ගෙය
පෙරහැර ගමන් ගන්නා මාර්ගය වීදිය ලෙස හඳුන්වනු ලබනවා. මෙය දෙපසම නිවාස හා වෙළඳ සැල් ඉදිකර තිබෙනවා. මෙහි මීටර් 200ක් පමණ දුරින් සිංහාසන ගෙය හෙවත් රිට්ටා ගෙය දැකගත හැකියි. පෙරහැර ගමන් කොට ටික වේලාවක් මෙහි දේවාභරණ තැන්පත් කොට නර්තනයෙන් මෙන්ම වාදනයෙන් හා ගායනයෙන් පුද සත්කාර පවත්වා, ආපසු පෙරහැර විහාරය හා දේවාලය වෙත පැමිණෙනවා. සිංහාසන ගෙය පසුකර පෙරහැර ගමන් නොකරන අතර මෙය රාජ අණක් ලෙස සලකනවා.
පෙරහැර මංගල්‍යය
ඇසළ මස මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ කප් සිටුවන දිනම ලංකාතිලක දේවාලයේ කප් සිටුවනු ලබනවා. කප් සිටුවා ඊළඟ මාසයේ බිනර මාසයේ මාසේ පෝය පෑල වියට පෙරහැර පුරනවා. ඇතුල් පෙරහැර දින 05ක්, කුඹල් පෙරහැර දින 05ක්, හා රංදෝලි පෙරහැර දින 05ක් පවත්වා, සෙනසුරාදා අලුයම ගොස් දිය කපා, දහවල් පෙරහරින් පෙරහැර මංගල්‍යය අවසන් කරනවා. මෙහි දියකපන්නේ ගම්පල බෝතලාපිටියේ දී යි.
ආශ්‍රිත මූලාශ්‍ර:
ඓතිහාසික ශ්‍රී ලංකාතිලක රජමහා විහාර ඉතිහාසය -අමුණුගම රාජගුරු විපස්සි හිමි
ශ්‍රී ලංකාවේ ප්‍රතිමාකරණ සම්ප්‍රදාය- ජම්බුගහපිටියේ ධම්මාලෝක හිමි
කන්ද උඩරට මහනුවර- අනුරාධ සෙනෙවිරත්න
කවරය:
ගම්පොළ යුගයට අයත් බුද්ධ ප්‍රතිමාව- Wikipedia.org