කෑගලු දිසාවේ ලොකුම ලෙන: ලෙනගල

කෑගල්ල දිස්ත්‍රික්කය ලෙන් විහාර රාශියකින් යුක්ත පෙදෙසක්. ක්‍රි. පූ. තුන්වන සියවසේ ලංකාවට බුද්ධාගම ලබුණු සමයේ සිටම මෙහි වනගත ලෙන් කටාරම් කොටා සුද්ද කොට භික්ෂූන්වහන්සේට බවුන් වැඩීමට පිදූ බව හමුවන සෙල්ලිපි රාශියකින් පැහැදිලි වෙනවා. වැඩි දෙනෙකු දන්නේ දනකිරිගල, වාකිරිගල, දෙවනගල වැනි ස්ථාන පමණක් වුවත්, කවුරුත් දැක බලාගත යුතු කෑගල්ලේ විශාලම ලෙන තිබෙන පුරාණ රජමහා විහාරයක් වශයෙන් ලෙනගල හැඳින්විය හැකියි.

ගමන් මඟ 

ලෙන් විහාරය පිටුපස දෙසින්- amazing lanka.com 

ලෙනගල ලෙන් විහාරයට යන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළින් කරවනැල්ල මාර්ගයේ පැමිණ, අනතුරුව ගලපිටමඩින් කොටියාකුඹුර මාර්ගයෙන් ගමන් කරමින්. වරකාපොළ නගරයේ සිට ඒ වෙත දුර කි. මී. 15ක් පමණ වෙනවා. නුවර පාරේ නෙලුන්දෙණිය හන්දියෙන් හැරී ගලපිටමඩට පැමිණීමෙන් ද මේ විහාරයට යන්න පුළුවන්. කරවනැල්ලේ සිට ලෙනගල දක්වා බස් රථයක් ද ගමන් කරනවා. හැබැයි ඒ බස්එක නිතරම නම් ගමන් කරන එකක් නොවේ.

පිටිසර ගමක්

විහාරයේ පසුපස කොටස -Kusumsiri Wijayawardhana

පුරාණ බෙදීම් අනුව බෙලිගල් කෝරළයේ නැගෙනහිර කීරවැලි පත්තුවට අයත් ලෙනගල ගම්මානය රබර් වතු බහුලව පැතිර තිබෙන කඳුකර ගම්මානයක්. තවමත් සරල කෘෂිකාර්මික ගැමි ජීවිතය තරමක් දුරට හෝ මෙහිදී දැකගත හැකියි. විශාල රබර් වතු යාය මෙන්ම කුඩා රබර් වගාවන් ද කුඹුරු වගාබිම් ද මේ අවට බහුල යි. තැනින් තැන වනාන්තර පැතිර තිබෙනවා. කැලණි නදියේ ශාඛාවක් වන ගුරුගොඩ ඔයේ ජලධාරා ප්‍රදේශයට ලෙනගල ද අයත්. ගුරුගොඩ ඔය නිම්නයේ සිට ඉහළට ඇදී යන කඳු ප්‍රාකාරය විහාරයට පිටුපසින් පිහිටි කොණ්ඩගල කන්ද මුදුනේ දී ප්‍රදේශයේ උසම ස්ථානය බවට පත්වෙනවා. අඩි 1100ක් උස කඳු මුදුන් කිහිපයක්ම අවට පැතිර තිබෙනවා. මේ කන්ද සල්ගල වනාන්තරයට යාවෙනවා. ලෙනගල, පහළ ලෙනගල, පහළ මායින්නොලුව, පරදෙනිය, පල්ලේපැල්පිට, උඩ පැල්පිට, දික්වාන ආදී ගම්මාන විහාරය වටා පැතිර තිබෙනවා. මේ අතර පිහිටි ගල් පර්වත බහුල බිමක තමයි ලෙනගල රජ මහා විහාරය පිහිටා තිබෙන්නේ. විහාරයට නුදුරින් පරදෙනිය රක්ෂිත වනය දැකගත හැකියි.

කෑගල්ලේ ලොකුම ලෙන 

ලොකුම ලෙනේ  ඇති කටාරම ඉහළින් පිහිටා ඇති අයුරු -Kusumsiri Wijayawardhana 

විශාල පර්වතයක කටාරම් කොටා සකසා ඇති ලෙනගල විහාරය ඉතා සුන්දර තැනක්. එය කෑගල්ල දිසාවේ විශාලම ලෙන් විහාරය වශයෙන් සැරලකෙනවා. මේ ලෙන මුලින්ම සකස්කර භික්ෂූන්වහන්සේට පූජාකර ඇත්තේ වළගම්බා රජු බවට ජනප්‍රවාද පැවසුවත්, එය ඔප්පු වන ඓතිහාසික සාධක නම් නැහැ.

ප්‍රධාන ලෙනට අමතරව කටාරම් කෙටූ තවත් ලෙන් හතක් විහාර බිමේ පිහිටා තිබෙනවා. කඳු බෑවුමේ පිහිටි  එමෙ ලෙන් කැලෑවට යටවී පවතින බව අපට දැකගැනීමට ලැබුණා.

එච්.සී. පී. බෙල්ගේ 1892 කෑගල්ල පුරාවිද්‍යා වාර්තාවේ ලෙනගල විහාරය පිළිබඳව තරමක් සවිස්තරාත්මක විස්තරයක් තිබෙනවා:

පිහිටීම සහ දර්ශනීයත්වය අතින් වෙනත් විහාරවලට වඩා මෙය ශ්‍රේෂ්ඨ ය. කඳු බෑවුමේ පහළ සිට අඩි 100ක් පමණ ඉහළ නැගි පර්වතයකි. එම ගලේ බිම සිට අඩි 55ක් උසින් මුළු වාටිය දිගේම ගැඹුරට කටාරම් කොටා තිබේ. එය එදා බොහෝ වෙහෙසකර කාර්යයක් වූවාට සැක නැත. ගල්ලෙනෙහි විශාල ඉඩකඩ නිසා එක පෙළට විහාර තුනක් ඉදිකර තිබේ. 

(H.C.P. Bell,  Report On The Kegalle District – 1892)

විහාරයේ ගල් කටාරම ඇත්තේ වැඩි උසකින් නිසා එය කැපීමට එදා ගල්වඩුවා විඳි දුෂ්කරතාව ගැන සිතන අප සිත් පුදුමයට පත්වෙනවා. විහාරය ඉදිරිපසින් දෙමහල් කොටසක් ඉදිකර පසුකාලීනව පොත් ගුලක් තනා තිබෙනවා. 1922 දී වේරකේ සිරිනිවාස හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණයක් කළ බව සඳහන් වෙනවා. මේ පොත්ගුල ඒ කාලෙ හදපු එකක් විය හැකියි.

ලෙන් විහාර තුනක්

සූවිසි විවරණ බිතුසිතුවම් – Kusumsiri Wijayawardhana 

 

ප්‍රධාන ලෙන් විහාර ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ අඩි 5ක් පමණ උසැති කළුගල් වේදිකාවක් මත යි. මහා විහාරය, සත්සති විහාරය, සහ චෛත්‍ය විහාරය යනුවෙන් විහාර තුනක් ලෙන තුළ සකස්කර තිබෙනවා. මේ විහාරවලට නම් තබා තිබෙන්නේ මෑතක දී යි.

මහා විහාරය පළලින් අඩි 31ක් ද දිගින් අඩි 15ක් ද වෙනවා. උඩරට සම්ප්‍රදායේ සිතුවම් එහි දැකගත හැකි වුවත් ඒවා පසුකාලීනව අලුත්වැඩියාවට ලක්වූ ඒවා යි. 

දේවාරාධනාව – Kusumsiri Wijayawardhana 

සියලුම බුද්ධ ප්‍රතිමා මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ලෙන තුළ පිහිටි සැතපෙන පිළිමය දිගින් අඩි 29ක්. සැතපෙන පිළිමයට ඉදිරිපස බිත්තියේ මකර තොරණ යට විෂ්ණු දේව ප්‍රතිමාවක් තිබෙනවා. සැතපෙන පිළිමය පිටුපස දේවාරධානාව දැක්වෙන අගනා සිතුවමක් ද දැකගත හැකියි. ප්‍රතිමාව ඉදිරිපස ඇති පුරාණ මැටි පහන ද වටිනා පුරාවස්තුවක් ලෙස සඳහන් කළ හැකියි. දනකිරිගල විහාරයෙන් හමුවූ මෙවැනි මැටි පහන් කිහිපයක් මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරයේ දැකගත හැකියි. ලෙන් වියන තීරුවලට බෙදා සූවිසි විවරණය ඇඳ තිබෙනවා. වම් පස බිත්තියේ හිටි බුදු පිළිමයක් ද දැකගත හැකියි.  දකුණු බිත්තියේ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ ප්‍රතිමා සහිතව තවත් බුද්ධ ප්‍රතිමාවක් ද තිබෙනවා. ලෙන් වියන සූවිසි විවරණයට අමතරව නෙළුම් මල් මෝස්තරවලින් ද අලංකාර කර තිබෙනවා. 

බිතුසිතුවමක් – Kusumsiri Wijayawardhana

සත්සති විහාරය දිගින් අඩි 16ක් ද පළලින් අඩි 12ක් ද වෙනවා. මෙහි සත්සතිය මූර්තිමත් කර ඇති නිසා ඒ නම ලැබී තිබෙනවා. මෙහි සිතුවම් සහ මූර්ති සියල්ල අලුත්වැඩියාවට ලක්වූ ඒවා යි. ඒවායේ පෞරාණික අගයක් නැහැ. තුන්වැනි විහාරය තුළ මෑතක දී ඉදිකළ අඩි 10ක් උසැති කුඩා දාගැබක් ද ලෙව්කේ දිසාවගේ නූතන මූර්තියක් ද දක්නට ලැබෙනවා.

කළුගල් උළුවහු 

 දෙවැනි විහාරයේ කළුගල් උළුවස්ස- ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ සිංහල උළුවහු කෘතියනි

උඩරට සම්ප්‍රදායේ බිතුසිතුවම් සහිත මේ විහාරය කළුගල් කැටයම්වලටත් ප්‍රකට යි. මෙහි අගනා කැටයම් සහිත කළුගලින් කළ විශාල උළුවහු දෙකක් පිහිටා තිබෙනවා. ලෙනගල ඇතුළු විහාර ගැබට පිවිසීමට ඇති කළුගල් උළුවස්ස අගනා කලාත්මක නිර්මාණයක්. සිංහ මුහුණු, කිඹිහි මුහුණක්, පලාපෙති සහ ලියවැල් කැටයම් සහිත එය මහනුවර යුගයෙන් එපිට කාලයකට අයත් විය හැකි බවට මත පළවී තිබෙනවා. 

ගල්උළුවස්සක සේයාරුවක් – Kusumsiri Wijayawardhana

මෙහි දෙවැනි විහාරයට ඇතුළුවීමට ඇත්තේ ද අගනා කළුගල් උළුවස්සක්. ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ සිංහල උළුවහු කෘතියේ ඒ ගැන වර්ණනා කර තිබෙනවා.

දිගම බ්‍රාහ්මි සෙල්ලිපිය

කටාරමට යටින් ඇති සෙල්ලිපිය – Kusumsiri Wijayawardhana

ලෙනගල රාජමහා විහාරයේ විශාල බ්‍රාහ්මී සෙල්ලිපිය පිහිටා ඇත්තේ විහාරයේ පියස්සට ඉහළින් ලෙන් කටාරමේ යි. එය දිස්ත්‍රික්කයේ දිගම සෙල්ලිපිය ලෙස ද හැඳින්වෙනවා. මෙය කැපී පෙනෙන තැනක කොටා තිබෙන නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැකගත හැකියි. 

එහි අරුත මෙසේයි:

දුහතර කුමාරයාගේ පුත්‍රයා වූ ද සිව කුමාරයාගේ පුත්‍රයා වූ ද දුහතර කුමාරයට අයත් මනාපදස්සන ලෙන පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට පූජා කරන ලදී. එක ඉඩම් කොටසක් අනුදි ගමේ ය. එක කොටසක් බතස නගරයේ ය. 

(Inscriptions of Ceylon part 1-  Paranavithana)

10 පසුකාලීනව ඉදිකළ පොත්ගුල් ගොඩනැගිලි කොටස – Kusumsiri Wijayawardhana

පළමු පේළියේ විශාල අක්ෂර 47ක් ඇති අතර තවත් අක්ෂර කිහිපයක් අඩි කිහිපයක් පහළින් පේළි 2කින් කොටා තිබෙනවා. මුළු අක්ෂර සංඛ්‍යාව 70ක්. අක්ෂර අඟල් 7ක් පමණ උස වන අතර පර්වතයේ අඟල් 1ක් ගැඹුරට කොටා තිබෙනවා. මෙම සෙල්ලිපිය ක්‍රි. පූ. 2-1 සියවසට අයත් ලේඛනයක්. ක්‍රි. පූ. යුගයේ බෙලිගල් කෝරළයේ පැවති දුහතර නම් කුමාරකුගේ ප්‍රාදේශීය පාලනයක් ගැන ඉඟි මේ සෙල්ලිපියෙන් පවසනවා. දුහතර කුමාරයා ගැන සඳහන් සෙල්ලිපියක් කෑගල්ල යටහලෙන විහාරයෙන් ද හමුව තිබෙනවා.

දාගැබක් සහ බෝධි වෘක්ෂයක් ද ලෙනට නුදුරින් පිහිටා තිබෙනවා. ලෙනට පිටුපසින් ඇදී යන්නේ කඳුවැටියට බද්ධ වූ වනපෙත යි. ඉතා සුන්දර නිස්කලංක පරිසරයක් නගරයෙන් දුරස් වූ මේ විහාරයේ දී අත්විඳගත හැකියි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

රජමහා විහාරාරාම- කුසුම්සිරි විජයවර්ධන

Inscriptions of Ceylon Part 1-  Vol. 1 Paranavithana.

H.C.P. Bell,  Report On The Kegalle District – 1892

Cover- ලෙන් විහාරය - amazing lanka.com

Related Articles

Exit mobile version