ලෙනගම්පල අප්‍රකට කලා නිධානය

කැලණිය විහාරයේ බිතුසිතුවම්වලින් ලෝක ප්‍රකට වුණු සොයිලියස් මෙන්ඩිස් සිත්තරාගේ ශිල්පීය දක්ෂතාව පරීක්ෂා කිරීමට ඔහුට ලබාදුන් විහාරය තමයි, මල්වාන ලෙනගම්පොල පන්සල. කැලණිය විහාරයට අනුග්‍රහය දක්වපු හෙලේනා විජේවර්ධනගේ සිත් පුදුමයට පත් කරන අයුරින් මේ කුඩා විහාර කර්මාන්තය ඔහු නිම කර තිබෙනවා. එය බලන්න යන අපටත් ඒ විස්මය අදත් අත්විඳින්න පුළුවන්. අපි ලෙනගම්පල පන්සලට ගිහින් ම බලමු.

ගමන් මඟ

දෙකටන කොළඹ මහා මාර්ගයෙහි පැමිණ මල්වාන නගරයෙන් සමණබැද්ද පාරට හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කරන විට ශ්‍රී සාරානන්ද මාවත හමුවෙනවා.  එම මාවතෙහි කිලෝමීටර බාගයක් දුරින් මල්වාන පහළ මාපිටිගම  ලෙනගම්පල විහාරය දක්නට ලැබෙනවා.

විහාරයේ දාගබ සහ නුග වෘක්ෂය- google maps, lankadeepa.lk

ලෙනගම්පොල

මේ ගමට ලෙනගම්පල යන නම ලැබී ඇත්තේ මෙහි පිහිටි ලෙන් කිහිපය නිසා යි. එක් ලෙනක් කටාරම් කොටා ඇති අතර තවත් ලෙනක් එයට නුදුරින් විහාර බිමේ පවතිනවා. 2016 අප්‍රෙල් 15 කටාරම් කෙටූ ලෙන පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් ප්‍රකාශිත යි. ප්‍රධාන ලෙන 1952 අප්‍රෙල් 8වැනි දා නැවන සකස් කර සංඝයා වහන්සේගේ උදෙසා දායකයන් පූජා කර තිබුණත් එය දිගු කලක්  තිබුණේ ජරාවාස තත්ත්වයෙන්. මෑතකදී ලෙන යළිත් පිළිසකර කර තිබෙනවා. මෙම ලෙන් පිහිටා ඇත්තේ පුරාණයේ වැව තිබූ දිසාවට මුහුණලා යි. ගංවතුර ගැලූ විට මෙම මිටියාවත එකම ජලාශයක් බවට පත්වන නිසා අලංකාර දසුනක් මැවෙනවා.  මුලින්ම මේ විහාරය කැලණීය රජමහා විහාරයට අයත් විහාරයක් ලෙස තිබුණා.  පසුව එය ස්වාධීනත්නයක් උරුම කර ගෙන තිබෙනවා.  

ගමේ පැරැන්නන්ගෙන් අදින් අවුරුදු 30කට පෙර ලබා ගත් විස්තර අනුව දැනට අවුරුදු 110කට පෙර විහාරයේ අධිපතිත්වය දරා ඇත්තේ අල්ගම නම් හාමුදුරු නමක්.  එවකට තිබූ පැරණි විහාරයේ 18 රියන් සැතපෙන බුදු පිළිමයක් ද හිස දෙසින් හිඳි බුදු පිළිමයක් ද පා දෙසින් හිටි බුදු පිළිමයක් ද තිබුණා. සැතපෙන පිළිමය දෙසට නෙත් යොමාගෙන සිටින පරිදි තැනූ විශාල විෂ්ණු දේව ප්‍රතිමාවක් ද වුණා. 1900 මුල් කාලයේ වරින්වර කැලණිය රාජමහා විහාරයෙන් ලෙනගම්පලට පැමිණි බොහෝ විහාරාධිපති හිමිවරුන් විහාරයට කිසි සේවයක් නොකළ අතර නොයෙක් වටිනා භාණ්ඩ කැලණිය විහාරයට ගෙන ගිය බව පැවසෙනවා. විහාරයට සෙතක් නොවන බව දැනගත් ගම්වැසියන් එකමුතු වී දායක සභාවක් පිහිටුවා ගත්තා.  අබලන්ව තිබුණු විහාර මන්දිරය අලුත්වැඩියා කර අලුතින් ම චිත්‍ර හා මූර්ති නිර්මාණය කිරීමට තීරණය කෙරුණා.

 සොයිලියස් මැන්ඩිස් සමරා නිකුත් කළ මුද්දරය- stamps.gov.lk

කැලණිය නව විහාරය

මේ වනවිට හෙලේනා විජේවර්ධනගේ දායකත්වයෙන් කැලණි නව විහාර ගොඩනැඟිල්ලේ වැඩ අවසන් ව තිබුණු අතර මූර්ති හා සිතුවම්  සඳහා ශිල්පියකු සොයමින් සිටි කාලය වුණා. වලිමුනි සොයිලියස් මෙන්ඩිස් (1896–1975) ගැන විජේවර්ධන පවුලට අසන්නට ලැබුණේ ඒ අතර යි. සෝලියස් මැන්දිස් 1930 වකවානුව වන විට විහාරස්ථාන 06 ක සිතුවම් ඇඳ නිම කර සිටියා. ඉන්දීය චිත්‍ර ශිල්පී නන්දලාල් බෝස්ගේ යෝජනාව අනුව කටයුතු කළ ඩී.සී. විජේවර්ධන, සොයිලිස් මෙන්ඩිස් කලාකරුවා විජේවර්ධන පවුලේ මුදලින් ඉන්දියාවේ චාරිකාවක් සඳහා පිටත්කර යැව්වේ පැරණි සිතුවම් අධ්‍යයනයකට යි.  ඒ ගමනේ දී ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා   වැනි ගුහා චිත්‍ර සියුම් ලෙස ඔහු පරික්ෂා කර බැලු බව පැවසෙනවා. එමෙන් ම සීගිරිය හා පොළොන්නරු යුගයට අයත් තිවංක පිළිම ගේ සිතුවම්වලිනුත් ආභාසය ලබාගෙන තිබෙනවා. ඉන්දීය සංචාරයෙන් පසුව ද කැලණිය නව පිළිමගෙයි  නිර්මාණ කටයුතු සොයිලිස් මෙන්ඩිස්ට එකවර භාරකිරීමට විජේවර්ධන පවුලේ සාමාජිකයන් කැමති වූයේ නැහැ. ඔවුන්ට සිත්තරාගේ නිපුණත්වය පරික්ෂා කර බැලීමට අවශ්‍ය  වුණා.

 විහාර සිතුවමක්- lankadeepa.lk

ලෙනගම්පල විහාර කර්මාන්තය‍

ඒ අනුව මල්වාන  මාපිටිගම ගමේ  පිහිටි කැලණිය පන්සලට අයත් ලෙනගම්පල විහාරයේ පිළිම ගෙයි මූර්ති හා චිත්‍ර නිර්මාණ කිරීමට ඔහුට බාර දුන්නා. ඒ කැලණිය විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත නාහිමියන්ගේ උපදෙස් හා දැනුම්වත් කිරීම මත යි. සොයිලිස් මෙන්ඩිස් ලෙනගම්පල විහාරගෙයි නිර්මාණ කටයුතු 1930-33 කාලසීමාව තුළ නිම කළ බව කියැවෙනවා.  සිත්තරා සහ ගෝලයන් නැවතී සිට ඇත්තේ විහාරයට නුදුරු ජී. ඒ ලුවිනිස් පෙරේරාගේ ගෙදර යි.  සොයිලියස් මැන්දිස් සමඟ චිත්‍ර කර්මාන්තයට සහාය දැක්වීමට බමුණූසිංහ ලියනගේ සෝමපාල නම් ඔහුගේ ශිෂ්‍යයකු ද සහභාගි වී තිබෙනවා.  විහාර චිත්‍ර හා මූර්තිවලට සායම් තනා ගන්නා ලද්දේ දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන්. මූර්තිවලට සිමෙන්ති මිශ්‍ර හුණු බදාම, බෙලිකටු හුණු, අඹරන ලද වැලි යොදාගෙන තිබෙනවා. වර්ණ තනා ගැනීමට හිරියල්, සාදිලිංගම්, දොරණ තෙල් පතඟි ආදී දෑ පාවිච්චි කළා.

ලෙනගම්පොළ විහාරයෙහි පිළිම හා බිතුසිතුවම් තුළින් සෝලියස් මැන්ඩිස්ගේ කලා නිර්මාණ දැක පුදුමයටත් සතුටටත් පත් හෙලේනා විජේවර්ධන ඇතුළු  පිරිස කැලණිය විහාරයෙහි බිතුසිතුවම් නිර්මාණයට ඔහු හට අවස්ථාව ලබා දුන්නා.

මකර තොරණ යට හිටි බුදු පිළිමය- facebook Hasitha, Chamikara Gunasingha

ලෙනගම්පල මූර්ති

ගල්තලාවක් මත ඉදි ව තිබෙන ලෙනගම්පොළ විහාරයේ පිළිම ගෙය අඩි 30 ක් පමණ දිග, අඩි 25 ක් පමණ පළල   කුඩා ඉඩකින් යුක්ත යි. එය පිටමාලයකින් සහ ගර්භගෘහ දෙකකින් සමන්විත යි. මෑතක දී  පිළිමගෙට සම්බන්ධ වන සේ ඉදිරිපසින් විවෘත මණ්ඩපයක් ද තනා තිබෙනවා. විහාරයේ  ගර්භගෘහයට පිවිසීම සඳහා දොරටු දෙකක් දැක ගත හැකි යි.  ඒවායේ සූර්යවංක කැටයමක් සහිත යි.   පුරාණ විහාර ගෙයි තිබූ දැව උළුවහු ම මෙයට යොදා ගත් බව අපට අසන්නට ලැබුණා.

හිඳි බුදු පිළිමය- facebook.com – Hasitha Chamikara Gunasingha

 

පිළිමගෙයි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව සැතපෙන පිළිමයක්. එය පිරිනිවන් මංචකය නිරූපණය කරනවා.  ගර්භගෘහයේ වම්පස බිත්තියේ හිඳි බුදු පිළිමයක් තිබෙන අතර  එයට ඉහළින් අලංකාර  මකර තොරණක් සහිත යි. අලංකාර මකර තොරණකින් සහ රශ්මි මාලාවකින් අලංකාර වුණු හිටි බුදු පිළිමයක් ද මෙහි තිබෙනවා. මෙම මකර තොරණ ද අපේ සාම්ප්‍රදායික මකර තොරණ ආශ්‍රයෙන් නිර්මාණය වුණු නව නිර්මාණ යි. ඒවායේ දැකිය හැක්කේ චාම් අලංකාරයක්. සෝලියස් මෙන්ඩිස් නිර්මාණය කළ    විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය ලෙස මෙම පිළිම හඳුන්වා දිය හැකි යි. බුද්ධ ශරීරය නිර්මාණය කර ඇත්තේ ස්ත්‍රී ලාලිත්‍යයක් පිළිබිඹු වන සේ සහ මඳ සිනහවකින් පිරුණු මුහුණකින් යුක්තව යි.  ඔහුට ම ආවේණික ශෛලිගත සම්ප්‍රදායය මෙම පිළිම ත්‍රිත්වයෙහි අපට හඳුනා ගත හැකි යි.   

මෙත් බෝසත් සිතුවම- facebook.com – Hasitha Chamikara Gunasingha

විහාර සිතුවම්

විහාර මන්දිරයෙහි බිත්තියේ ඇඳ තිබෙන්නේ බුද්ධ පරිනිර්වාණ අවස්ථාවට සපැමිණි රහතන්වහන්සේලාගේ හා ශෝකයට පත් දෙවිවරුන්ගේ රූපයි.  සපැමිණි සියලු දෙනා සිටින්නේ අතින් මලක් රැගෙන හෝ නමස්කාර කරන ආකාරයෙනු යි.  සැරියුත්, මුගලන් ආනන්ද හා මහා කාශ්‍යප හිමිවරුන් වෙන් වෙන්ව හඳුනා ගත හැකි පරිදි සිතුවම් කර තිබෙනවා. 

 ඇතුළු ගර්භයේ දොරටු පිහිටි බිත්තියේ මෛත්‍රී බෝසතුන්ගේ අලංකාර සිතුවමක් දැකගත හැකි යි.  අතින් නෙළුම් මලක් රැගෙන සිටින මෛත්‍රී බෝසත් රුව පසුබිමේ විචිත්‍ර ආකාරයේ මකර තොරණකින් සරහා තිබෙනවා. විහාරගෙයි ඇතුළු වියන අලංකාර කර තිබෙන්නේ නෙත් පැහැර ගන්නා වර්ණ රටාවකින් යුත්   නෙළුම් මල් මෝස්තරයක් සහ පියුම් තුඩින් ගත් හංස රූ පෙළකින්. විහාරයේ සිතුවම් හා මූර්තිවලට  කහ වර්ණය බහුල ව යොදාගෙන ඇති අතර රතු, කොළ, සහ නිල්  මඳ වශයෙන් උපයෝගී කරගෙන තිබෙනවා. සෑම සිතුවමකින් ම සිත්තරාගේ රේඛා හැසිරවීමේ නිපුණත්වය මනාව ප්‍රකට වෙනවා. එමෙන්ම මනස තුළ පහන් හැඟීම් දැනවීමට මෙම සිතුවම් සමත්.

සාරානන්ද ලොකු හාමුදුරුවෝ

1930 දශකයේ දී මේ විහාරයට වැඩම කළ තරුණ භික්ෂුන් වහන්සේ නමක් නිසා එයට නව ජීවයක් උදාවුණා. ඒ අදත් ගමේ පැරැන්නන් සිහිපත් කරන දඹුල්ලේ ශ්‍රී සාරානන්ද නායක හාමුදුරුවෝ යි.  උන්වහන්සේ එනවිට පිළිම ගෙය සහිත ස්ථානය අවට මළුව වළ ගොඩැලි සහිත ව පැවතුණා. කැලණි ගඟෙන් වැලි ගෙනවිත් වැලිමළුවක් තැනීමේ කටයුතු උන්වහන්සේ දායකයන්ගේ සහයෝගයෙන් ආරම්භ කළා.  ගම්වැසියන් සියලු දෙනා එකතු වී කැලණි ගඟ දක්වා ඇති කිලෝ මීටර දෙකක දුර ප්‍රමාණයේ පේළි ගැසී සිට වැලි කූඩා අතින් අත යවමින් ඒ කාර්යය කළ බව පැවසෙනවා. එම කටයුතු කර ඇත්තේ 1934-40  කාලසීමාවේදි යි. මහනුවරින් ගෙන ආ බෝ අංකුරයක් රෝපණය කර ඝංණ්ඨා කුලුනක් ද ඉදිකිරීමෙන් විහාරය අංගසම්පූර්ණ වුණා. අදත් විහාරයට පිවිසෙන මාවත නම්කර ඇත්තේ සාරානන්ද මාවත කියා යි.

අද විහාරය දාගබකින් සහ ධර්මශාලාවක් සහ නූතන සඝාවායකින් ද යුක්ත යි. විහාර ගෙයට නුදුරින් පර්වතය අසල විශාල නුග වෘක්ෂයක් ද දක්නට ලැබෙනවා.

ලෙනගම්පොල විහාරයේ පිළිමගෙයි වයස දැන් අවුරුදු 90ක්. දැන් දැන් මෙහි ප්‍රතිමා හා බිතුසිතුවම් දුර්වර්ණ වීම, වර්ණ පතුරු සේ ගැලවීයාම දැකගැනීමට ලැබෙනවා.  සිතුවම් සහිත බිත්ති පුපුරා යෑම සහ තැනින් තැන කඩාවැටීමත් නිරීක්ෂණය කළ හැකි යි. කැලණිය නව විහාරයේ සිතුවම් වසර කිහිපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පූර්ණ සංරක්ෂණයකට ලක් කළා. කල්ගත නොකර ලෙනගම්පොල කලා නිධානය සඳහාත් බලධාරින්  පිළියමක් කළ යුතු බව අපගේ හැඟීම යි.

කවරයේ ඡායාරූපය: කවරය ලෙනගම්පල ප්‍රතිමා සහ සෝයිලියස් මැන්ඩිස්- Hasitha Chamikara Gunasingha 

මූලාශ්‍ර:

Lankadeepa.lk

වන් මෙ අරණ්නේ- කුසුම්සිරි විජයවර්ධන

පෙරමඟ සගරාව-1989 ඔක්.

Related Articles

Exit mobile version