ලංකාවට සේවයක් කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු තිදෙනෙක්

1789 වසරේ සිදුවුණු ප්‍රංශ විප්ලවයෙන් පසුව ප්‍රංශ සමූහාණ්ඩුව බිහිවුණා. පෙරදිග යටත්විජිතවල අයිතිය ලබාගැනීමේ අරමුණෙන් ප්‍රංශ හමුදාවන් බල අරගලයක නිරත වුණේ ඉන්පසුව යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1794 වසරේ දී ප්‍රංශ හමුදා ඕලන්දය ආක්‍රමණය කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ ඕලන්දයේ පාලකයා ලවා පෙරදිග ලන්දේසී පාලන ප්‍රදේශ ඔවුන් යටතට ගැනීම යි. නමුත් එම අවස්ථාවේ දී ඕලන්දයේ පාලකයා වුණු 5 වන විලියම් කුමරු රැකවරණය පතා මහා බ්‍රිතාන්‍යයට පළා ගියා.  

ප්‍රංශ හමුදාව ලංකාවේ ලන්දේසි පාලන ප්‍රදේශ අල්ලාගනු ඇති බවට සැක කළ බ්‍රිතාන්‍යයන් විලියම් කුමරු ලවා ලිපියක් ලියවාගත්තා. එම ලිපියෙන් ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයාට නියෝග කර  තිබුණේ එරට පාලන ප්‍රදේශවල බලය ඉංග්‍රීසීන්ට පවරන ලෙස යි. 1795 පෙබරවාරි 7 වැනිදා කියු මාලිගයේ සිට ලියූ එම ලිපිය ප්‍රසිද්ධියට පත්වුණේ “කියු ලිපිය” ලෙස යි. විලියම් කුමරා, ෆන් එංගල් බෙක් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයාට යැවූ ලිපියේ සඳහන්ව තිබුණේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලට ප්‍රංශ හමුදාවන් ඇතුළුවීමට පෙර ඉංග්‍රීසි හමුදාවන්ට එහි ඇතුළුවීමට අවසර ලබාදෙන ලෙස යි.

කෙසේ නමුත් විලියම් කුමරු ලබාදුන් නියෝගයට එංගල් බෙක් ආණ්ඩුකාරයා අවනත වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රිතාන්‍යයන් සහ ලන්දේසීන් අතර සටන් ඇතිවුණා. ඒ, ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලාගැනීම සඳහා යි. එම සටන්වලින් ජයග්‍රහණය කළ බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත්තේ පහත දක්වා තිබෙන කාලවකවානුවල දී යි. 

1795 අගෝස්තු 20- ත්‍රිකුණාමලය 

1795 සැප්තැම්බර් 18- මඩකලපුව 

1795 සැප්තැම්බර් 27- පේදුරු තුඩුව 

1795 සැප්තැම්බර් 28- යාපනය 

1795 ඔක්තෝබර් 5- මන්නාරම

1795 නොවැම්බර් 13- කල්පිටිය 

1796 පෙබරවරි 3- මීගමුව 

1796 පෙබරවාරි 16- කොළඹ කොටුව 

1796 පෙබරවාරි 16 වැනිදා ලංකාවේ මුහුදුබඩ පළාත්වල සම්පූර්ණ බලය බ්‍රිතාන්‍යයන්ට හිමිවුණා. ඉන්පසුව 1948 වසර දක්වා ඔවුන් ලංකාවේ පාලන කටයුතු සිදුකළා. එම කාල සමය තුළ බ්‍රිතාන්‍ය ආන්ඩුකාරවරුන් 29 දෙනෙකු ලංකාව පාලනය කළා. ඒ අතරින් ඇතැම් ආණ්ඩුකාරවරුන් අපේ රටට විශාල සේවයක් කර තිබෙනවා. 

ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කිරීම (wikipedia) 

එඩ්වඩ් බාන්ස් (1824-1831)

1776 වසරේ දී උපත ලැබූ එඩ්වඩ් බාන්ස් 17 වැනි වියේ පසුවෙද්දී බ්‍රිතාන්‍ය හමුදාවට එක්වූවෙක්. බාන්ස් සටන්බිමේ දී දැක්වූ දස්කම් නිසා 1813 වසරේ දී මේජර් ජෙනරාල් තනතුර දක්වා උසස්වීමක් ලැබුණා. 1815 වසරේ දී සිදුවුණු සුප්‍රසිද්ධ වෝටර්ලූ සටනට සහභාගී වුණු බාන්ස් බරපතළ තුවාල ලැබුවා. 1818 වසරේ දී ලංකාවට පැමිණි මොහු යුධ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළා. 

1820 වසරේ දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඉවත්වයාමෙන් පසුව වසර 2ක් වැඩබලන ආණ්ඩුකාර තනතුරේ කටයුතු කළ බාන්ස්, ලංකාවේ මංමාවත් තැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළා. වසර 2ක පමණ කාලයක් මෙරට පාලනය කළ බාන්ස් 1822 වසරේ දී ඉන්දියාවට ගියේ එහි ප්‍රධාන අණදෙන නිලධාරි තනතුර භාරගැනීම සඳහා යි.

වෝටර්ලූ සටන (National Army Museum)

ඉන්දියාවේ ටික කලක් සේවය කළ බාන්ස් එහි ප්‍රධානීන් සමග ගැටුමක් ඇතිකර ගත්තා. එම  නිසා ඔහුට යළි එංගලන්තය බලායාමට සිදුවුණා. එම ගැටුම සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව බාන්ස් නිවැරදිකරුවෙකු බව ඔප්පු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1824 වසරේ ජනවාරි 18 වැනිදා ඔහුව යළි ලංකාවට එවනු ලැබුවා. ඉන් පසුව ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාරගත් බාන්ස් මංමාවත් සෑදීම යළි ආරම්භ කළා. එදා බාන්ස්ගේ  මඟපෙන්වීම යටතේ  ඉදිකරන ලද කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය වසර 200කට ආසන්න කාලයක සිට මෙරට ගමනාගමන කටයුතු සඳහා භාවිතා කරනවා. එසේම කොළඹ නගරය තුළ පාරවල් සෑදීම, පේරාදෙණිය, මාවනැල්ල ආදී ප්‍රදේශවල පාලම් ඉදිකිරීම, රාගම, අඹේපුස්ස වැනි ස්ථානවල තානායම් ඉදිකිරීම, මහනුවර රජගෙදර සහ නුවරඑළියේ බාන්ස් හෝල් මන්දිරය ඉදිකිරීම වැනි සේවාවන් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ඉටුවුණා.

එඩ්වඩ් බාන්ස් (Art Uk)

බාන්ස් යුද හමුදා ඉංජිනේරුවන් පාලම් තැනීම සඳහා යොදාගනිද්දී, ලස්කිරිඤ්ඤ හමුදා භටයන් පාරවල් තැනීම සඳහා යොදාගත්තා. ඔහු ලංකාවේ මංමාවත් දියුණු කළේ බ්‍රිතාන්‍යයින්ට සිය කෝපි අස්වැන්න පහසුවෙන්ම කොළඹට රැගෙන යාමට යි. ඔහු ඔවුන්ගේ වාසිය තකා මංමාවත් ඉදිකළත් පසුකලෙක ලාංකිකයන්ට එහි ප්‍රතිලාභ භුක්ති විඳීමට හැකිවුණා.

බාන්ස් ආන්ඩුකාරවරයා 1831 ඔක්තෝබර් 13 වැනිදා යළි එංගලන්තය බලා පිටත්ව ගියා.

පැරණි මාර්ගයක දර්ශනයක් (Pinterest)

හෙන්රි වෝඩ් (1855-1860)

1797 පෙබරවාරි 17 වැන්දා උපත ලැබූ හෙන්රි වෝඩ් සුප්‍රකට ග්‍රන්ථ රචකයෙකු වුණු රොබට් වෝඩ්ගේ පුත්‍රයා යි. හැරෝව් විශ්වවිද්‍යාලයයෙන් උසස් අධ්‍යාපනය ලැබූ මොහු පසුව තානාපති සේවයට එක් වුණා. 1827 වසරේ දී තානාපති සේවයෙන් ඉවත් වුණු වෝඩ් 1832-1849 කාල සමය තුළ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළා. එම කාලය අතරතුර ඔහු වීක්ලි ක්‍රොනිකල් නමින් පුවත්පතක් ආරම්භ කළා. එහි ප්‍රධාන කර්තෘ තනතුර දැරූ වෝඩ් සිය පියා මෙන් දක්ෂ ලේඛකයෙකු වුණා.

හෙන්රි වෝඩ් (Wikpedia)

දුම්රිය සේවය පිළිබඳව විශාල උනන්දුවක් දැක්වූ වෝඩ් ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළා. බ්‍රිතාන්‍යය යටතේ පැවති දූපතක මහ කොමසාරිස් තනතුර දැරූ වෝඩ් 1855 මැයි 11 වැනිදා ලංකාවේ ආණ්ඩුකාර තනතුර භාරගත්තා. 

ආණ්ඩුකාර තනතුර භාරගැනීමෙන් පසුව මොහු ලංකාව පුරාම සංචාරය කළා. එහි දී කැඩී බිඳීගොස් තිබුණු වැව් අමුණු දුටු වෝඩ් ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළා. එම නිසා දේශීය කෘෂිකර්මාන්තය යළි දියුණුවට පත්වුණා. ඉන් නොනැවතුණු වෝඩ් ආන්ඩුකාරවරයා 1856 ජනවාරි 1 වැනිදා ලංකාවේ පළමු විදුලි පණිවිඩ කම්බි මාර්ගය විවෘත කළා. කොළඹ සිට ගාල්ල දක්වා ඉදිව තිබුණු එම මාර්ගය නිසා පහසුවෙන් පණිවිඩ යැවීමට හැකිවුණා. 

1850 වසර පමණ වන විට ලංකාවේ කෝපි වැවිලිකරුවන්ට හොඳ මාර්ග පද්ධතියක අවශ්‍යතාවය මතුවෙමින් පැවතුණා. ඔවුන් එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට  ඒ බව  දන්වා සිටියා. නමුත් එයට පිළියමක් ලබාදීමට ඔහුට හැකිවුණේ නැහැ. එම නිසා කෝපි වැවිලිකරුවන් වෝඩ් ආණ්ඩුකාරවරයාව හමුවුණා. වැවිලිකරුවන් ඉල්ලා සිටියේ කොළඹ සිට මහනුවරට ඉක්මනින් ගමන් කළ හැකි ප්‍රවාහන ක්‍රමයක් සකස් කර දෙන ලෙස යි. 

බ්‍රිතාන්‍යයේ සිටි කාලයේ දී දුම්රිය සේවය පිළිබඳව අධ්‍යයනය කළ ආණ්ඩුකාරවරයාට දුම්රිය පිළිබඳව හසල දැනුමක් තිබුණා. ලබාගත් දැනුමෙන් වැවිලිකරුවන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ඔහු තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1858 වසරේ දී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ වුණා. එම වසරේම අගෝස්තු 3 වැනිදා මෙරට මුල්ම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා මංගල පස් පිඩැල්ල කපනු ලැබුවා. එදා වෝඩ් ඉදිරිපත් කළ අදහස නිසා පසුකලෙක අපේ රටට හොඳ දුම්රිය මාර්ග පද්ධතියක් ලැබුණා. එහි ප්‍රතිඵල අප අදටත් භුක්ති විඳිනවා. 

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා මුල්වුණු හෙන්රි වෝඩ් 1860 වසරේ ජූනි 30 වැනිදා ලංකාවෙන් නික්ම ගියා. ලංකා ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්ව ඉන්දියාවේ මදුරාසියේ ආණ්ඩුකාර තනතුර භාරගත් වෝඩ්ට එහි දී කොළරා රෝගය වැළඳුණා. ඔහු 1860 අගෝස්තු 2 වැනිදා එයින්ම මරණයට පත්වුණා. 

උඩරට දුම්රිය මාර්ගය ඉදිකරමින් (Lankadeepa)

විලියම් ග්‍රෙගරි (1872-1877)

මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් අතුරින් තවත් එක් සුවිශේෂී චරිතයක් වුණු විලියම් ග්‍රෙගරි 1816 ජූලි 1 වැනිදා අයර්ලන්තයේ ඩබ්ලින්හි දී උපත ලැබුවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබූ ග්‍රෙගරි 1842 වසරේ දී බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වුණා. ඉන් පසුව අවස්ථා කිහිපයක දී මහජන මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කළ ග්‍රෙගරි 1872 වසරේ දී ලංකාවට පැමිණියා. 

කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට තිබෙන ග්‍රෙගරි පිළිරුව (PBase.com)

1872 මාර්තු 4 වැනිදා ලංකාවට පැමිණි ග්‍රෙගරි වල්බිහි වී තිබුණු රජරට ප්‍රදේශවල  සංචාරය කළා. අතීතයේ දී හෙළ රජවරුන් තැනූ සුවිසල් නිර්මාණ විනාශයට පත්ව තිබෙන අයුරු දුටු ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ඒවා වහාම ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹුවා. මේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට භාරවුණේ ප්‍රෙඩික් විල්සන් නැමැති නිලධාරියාට යි. ඔහු අනුරාධපුර නගරයේ නටබුන් පමණක් නොව එහි තිබුණු වැව් අමුණු ද ප්‍රතිසංස්කරණය කළා. 

එසේම ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා නුවරඑළියේ වැවක් නිර්මාණය කළා. අද ග්‍රෙගරි වැව ලෙසින් හඳුන්වනු ලබන්නේ එම වැව යි. ඊට අමතරව 1875 වසරේ දී කොළඹ වරායේ දියකඩනයේ වැඩ ආරම්භ කිරීම, 1877 ජනවාරි 1 වැනිදා කොළඹ කෞතුකාගාරය විවෘත කිරීම, උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ඉදිකිරීම වැනි සේවාවන් ද විලියම් ග්‍රෙගරි යුගයේ දී සිදුවුණා. 

1877 වසරේ සැප්තැම්බර් මාසයේ දී මොහු සිය තනතුරෙන් ඉවත් වුණා. නමුත් ඉන් පසුව යළි ලංකාවට පැමිණ රටපුරා සංචාරය කළා. එම ගමනේ දී ඔහුට සීගිරි බිතුසිතුවම් සොයාගැනීමට හැකිවීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා සීගිරිය අවට ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි ග්‍රෙගරි සිය දුරදක්නයෙන් ඈත බලමින් සිටියා. එවිට සීගිරි ගල මුහුණතේ වූ සුන්දර බිතුසිතුවම් ඔහුගේ නෙත ගැටුණු බව පැවසෙනවා. සීගිරි චිත්‍ර සංරක්ෂණය කිරීම සිදුවුණේ මේ සොයාගැනීම නිසා යි.

තරුණ කාලයේ සිටම ලෝකය පුරා සංචාරය කිරීමට කැමැත්තක් දැක්වූ විලියම් ග්‍රෙගරි 1855 වසරේ දී ඊජිප්තුවේ කළ සංචාරයක් පිළිබඳව ග්‍රන්ථයක් ද ලියූ අයෙක්. ඔහු ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් නිසා 1892 වසරේ දී අභාවයට පත්වුණා.

රුවන්වැලිසෑය 1873 වසරේ දී (Wix.com)  

කවරයේ ඡායාරූපය- බ්‍රිතාන්‍ය පාලනය සමයේඋඩරට දුම්රිය මාර්ගය ඉදිවුණු හැටි (Lankapura) 

මූලාශ්‍රයයන්- ලංකාවේ පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු- සෝමදාස අබේවික්‍රම 

Related Articles

Exit mobile version