වර්තමානය වන විට ථේරවාද බෞද්ධ දර්ශනය ප්‍රචලිත වූ ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දෙන්නට පුළුවන්. ථේරවාද බුදු දහම මේ වන තුරු ක්‍රියාත්මකව ඇති අනෙකුත් ප්‍රධාන රටවල් දෙකක් වන්නේ මියන්මාරය හා තායිලන්තයයි. ඉතින් මෙම රටවල් දෙක සමඟ වත්මන වන විට ශ්‍රී ලංකාව බොහොමයක් සම්බන්ධතා පවත්වනවා. මෙම සම්බන්ධතා වලට මූලික වී තිබෙන්නේ රටවල් අතර වසර දෙදහසකටත් අධික කාලයක් තිස්සේ පැවති ථේරවාදී බෞද්ධ දර්ශණයි.
ඉතින් අද ලිපිය මගින් ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ ඉතා ඈත අතීතයේ සිට මියන්මාරය හා තායිලන්තය සමඟ ශ්‍රී ලංකාව පැවැත්වූ සම්බන්ධතා පිළිබඳවයි. ඉන්දියාවේ රජ කළ ධර්මාශෝක අධිරාජ්‍යා විසින් මෙම රටවල් තුනටම එකම අවස්ථාවකදී (ක්‍රි : පූ 3වන සියවසේදී) බුදු දහම හදුන්වා දුන් අතර එදා බුදු දහම හේතුවෙන් රටවල් අතර ගොඩනැගුනු සම්බන්ධතාවය අද දක්වාම නොනැසී පවතිනවා.
මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා
වර්තමානය වන විට මියන්මාරය ලෙස හදුන්වන බුරුමය සමඟ ශ්‍රී ලංකාව පැවැත්වූ බෞද්ධ සම්බන්ධතා ඉන්දියාවේ නාගර්ජුන කොන්ඩ ප්‍රදේශයේ තිබී සොයා ගත් ශිලා ලේඛනයකට අනුව ක්‍රි:පූ 3 වන සියවස දක්වා දිව යනවා. තවද ක්‍රි:පූ 5ස් වන සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණ හෙළටුවා පාලියට පරිවර්තනය කළ බුද්ධඝෝෂ හිමියන් බුරුම ජාතික භික්ෂූන් වහන්සේ නමක් ලෙස බුරුම වංශ කතාවන්හි සදහන් වෙනවා. නමුත් එම භික්ෂුව භාරතීය භික්ෂුවක් ලෙසද ඇතැම් මුලාශ්‍ර වල සදහන් වීම හේතුවෙන් මෙය නිශ්චිතව පැවසිය හැකි සාක්ෂියක් නොවේ.
ප්‍රථම වරට නිශ්චිතව සදහන් කළ හැකි බුරුම-ලංකා සම්බන්ධකම් නිර්මාණය වන්නේ 11 වන සියවසේ මහා විජයබාහු රජුගේ කාල වකවානුවේදීයි. එම රාජ්‍ය සමයේදී විජයබාහු රජු එවකට බුරුමය පාලනය කල පගාන් නුවර වාසය කළ අනුරුද්ධ රජු වෙත දූතයන් යවා මෙරට සංඝ සමාජයේ උපසම්පදාව නැවත ආරම්භ කිරීම සඳහා බුරුම භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගත් බව පොළොන්නරුවේ වේලයික්කාර සෙල්ලිපියේ සදහන්ව තිබෙනවා. තවද මෙම අවස්ථාවේදීම බුරුමයේ තිබෙන්නේ සත්‍ය ත්‍රිපිටකයමද යන්න මෙරටට දූතයන් ඒවා මෙරට ත්‍රිපිටකය හා සංසදනය කර තහවුරු කරගත් බව සදහන් වෙනවා.
12 වන සියවසේදී මහා පරාක්‍රමබාහු රජු විසින් බුරුමය ආක්‍රමණය කර එම කාලයේ බුරුමය පාලනය කළ භුවනාදිත්‍ය රජු පළවාහැරිය අතර මෙම අවස්ථාවේදී බුරුම භික්ෂූන් විසින් තම රට පරාක්‍රමබාහු රජුගෙන් මුදා දෙන ලෙස ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා. අනතුරුව ශ්‍රී ලාංකික භික්ෂූන් විසින් මෙය රජුට දන්වා බුරුමයට නිදහස ලබා දුන් බව මහාවංශයේ සදහන් වෙනවා. තවද එම සමයේ මෙරටට පැමිණි උපසම්පදා ලැබූ බුරුම භික්ෂුන් නමක් නැවත බුරුමයට ගොස් සීහළ සංඝ නමින් නිකායක් ආරම්භ කළ බව සදහන්.
15 වන සියවසේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි භික්ෂූන් බුරුමය තුළ වාසය කළ බව එරට කල්‍යාණි ශීලා ලේඛනයේ සදහන් වෙනවා. 16 වන සියවසේදී නැවතත් ශ්‍රී ලංකාව තුල බුදු දහම විනාශ වී ගිය අතර පළමු විමලධර්මසූරිය රජු විසින් හා ඊට පසුව රජ වූ දෙවන විමධර්මසූරිය රජු විසින් නැවතත් මෙරට උපසම්පදාව ඇති කිරීමට බුරුමයෙන් භික්ෂුන් වහන්සේලා ගෙන්වූ බව සදහන්.
ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන අමරපුර නිකාය මෙරටට පැමිණෙන්නේද බුරුමයට ගිය ශ්‍රී ලාංකික භික්ෂු කණ්ඩායමක් මගිනුයි. ඒ කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදීයි. මෑත කාලයේදී බුරුමයට ගිය තවත් ශ්‍රී ලාංකික භික්ෂු කණ්ඩායමක් විසින් රාමාඤ්ඤ නිකාය මෙරටට හදුන්වා දෙනවා. 1956 වසරේදී මියන්මාරයේ පැවති හයවැනි ධර්ම සංගායනාවට මෙරටින් විශාල භික්ෂු පිරිසක් සහභාගී වෙනවා. අතීතයේ සිට සියවස් ගණනාවක් තිස්සේ වර්තමානයේදීද මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර විශාල ශාසනික සම්බන්ධතාවයක් පවතිනවා.
තායිලන්ත – ශ්‍රී ලංකා සම්බන්ධතාවය
අතීතයේ සියම නමින් හැදින්වූ තායිලන්තයටද බුදු දහම ලැබෙන්නේ ක්‍රි:පූ 3 වන සියවසේදීයි. එම කාලයේ සිට සියමය ශ්‍රී ලංකාව හා සම්බන්ධතා පැවැත්වූ වූ බව සදහන් වූවත් නිශ්චිත සාක්ෂි ලැබෙන්නේ 12 වන සියවසේදියි. එනම් මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේදී මෙරටට පැමිණි සියම් භික්ෂූන් පිරිසක් නැවත සියමට ගොස් එහිදී තායිලන්තයේ අදටත් ක්‍රියාත්මක වන සීහල සංඝ වැනි නිකායන් ආරම්භ කළ බව සදහන් වෙනවා.
13 වන සියවසේදී සියමට ගිය කාශ්‍යප හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා හතරදෙනක් නිබ්බිසි පුරයේ වියැන්මන් නමින් විහාරයක් ඉදිකර එහි බුද්ධ ශිලා නමින් මෙරටින් රැගෙන ගිය බුදු පිළිමයක් තැන්පත් කරනවා. එම බුදු පිළිමය අද පවා එම විහාරස්ථානයේදී දකින්නට පුළුවන්.
18 වන සියවසේදී මෙරටට පැමිණෙන සියම් භික්ෂූන් කණ්ඩායමක් කැළණි සීමා මාලකයේ උපසම්පදාව ලබා ශ්‍රී මහා බෝධියේ අංකුරයක් හා බෞද්ධ ග්‍රන්ථද රැගෙන නැවත ගිය බව සදහන් වෙනවා. මේ සමඟ එරටට ගිය සිංහල හිමිවරු කිහිපදෙනෙක් එරට සීහල සංඝ නිකාය වර්ධනය කිරීමට කටයුතු කළ බව සදහන්.
තවද කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ රජුගේ ආරාධනාව මත මෙරටට පැමිණි උපාලි හිමියන් ප්‍රමුඛ සියම් භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙරට නැති වී ගිය උපසම්පදාව පිහිටුවා වර්තමානය දක්වා ලංකාවේ පැවතෙන සියම් මහා නිකාය නිර්මාණය කරනවා. මෙම නිකාය උපාලි වංශය නමින් හදුන්වන්නේ නිකාය ආරම්භ කිරීමට මුල් වූ සියම් ජාතික උපාලි හිමියන් සිහිවීමටයි.
මේ හැරුණු කොට සියමයේ දෙවන රාම රජුගේ කාලයේද, පස්වන රාම රජුගේ කාලයේද සියම් භික්ෂු නියෝජිත කණ්ඩායම් මෙරට පැමිණ ධර්මදූත මෙහෙවරේ යෙදුනු බව එරට මුලාශ්‍ර වල සදහන් වෙනවා.
2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් මෙරට පැවති ජාත්‍යන්තර බෞද්ධ උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ආරාධනය පරිදි තායිලන්තයේ සංඝරාජ හිමියන්ගේ පැමිණීම මෑත කාලයේ සිදු වූ වැදගත්ම සිදුවීම ලෙස හදුන්වන්නට පුළුවන්.
වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා පැවැත්වූ තායිලන්තය හා මියන්මාරය වර්තමානයේදීද එම සබදතා එලෙසම පවත්වාගෙන යයි. මෙම රටවල් සමඟ අන්තර් සම්බන්ධතා පැවැත්වීමට යොදාගෙන තිබෙන්නේද ථේරවාද බුදුදහම පසු කාලයේදී ලියැවී තිබෙන පාලි භාෂාවෙන් වීම විශේෂත්වයක් වෙනවා.
කවරයේ ජායාරූපය – මියන්මාරයේ බගාන් හි පැරණි විහාරස්ථාන අතුරින් කිහිපයක් (wandervisions.com)
මුලාශ්‍ර –
බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2003)
ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් – බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව (2002)
www.mfa.gov.lk