1950- 60 දශකවලත් කුඩා ගම්මානයක ලෙස පැවති නුගේගොඩ පසුගිය කාලයේ ශීඝ්‍ර නාගරික සංවර්ධනයකට ලක් වුණා. ඒ අවට වෙල්යායවල් සහ වෙනත් කෘෂිකාර්මික බිම් 1990 වනතුරු දැකගත හැකි වුණත් අද වනවිට ඒවා සංවර්ධන කටයුතු සඳහා යොදා ගෙන තිබෙනවා.
කොළඹට යාබද නුගේගොඩ පැරණි මතක අවුස්සා බැලීම සැබෑ ම රසවත් වැඩක්.
නුගෙන් එගොඩ නුගේගොඩ
කෝට්ටේ රාජධානියට කිට්ටුව පිහිටලා තියෙන නුගේගොඩ රාජධානි කාලේ ඉඳන් වගුරු බිම් සහිත පෙදෙසක්. දැනටත් දියවන්නා ඔය, බැද්දගාන, නුගේගොඩ ආශ්‍රිත ව තැනින් තැන පිහිටලා තියෙන තෙත් බිම් මේ කතාවට සාක්කි සපයනවා. පුරාණයේ අලි ඇතුන් පවා මේ තෙත්බිම් අවට ජීවත් වී තිබෙනවා. නාවල ඇළේ අලි නාන බවත් පැරණි කතාවල පැවසෙනවා.
වර්ෂා කාලයට නුගේගොව අවට තෙත්බිම් ජලයෙන් පිරී එක ම ජලාශයක් බවට පත්වීම සිදුවුණා. පුරාණයේ මේ පැත්තේ තිබුණු දිය පාරක් අද්දර විශාල නුග ගසක් තිබුණා. ඒ දිය පාර තරණය කර එගොඩට යාමට මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නෙත් මේ නුග ගහේ පහළට එල්ලිලා තිබුණු නුග මුල් බව පැවසෙනවා. නුග ගහෙන් එගොඩ වෙලා යන ප්‍රදේශය “නුගෙන් එගොඩ” බවට පත්වෙලා තියෙනවා. නුගෙන් එගොඩ, පස්සේ කාලෙක දී “නුගේගොඩ” බවට පෙරළුණු බව තමයි කියැවෙන්නේ.
මේ නුග ගස නුගේගොඩ පුර්වාරාම පාර සහ රූපසිංහ මාවත හන්දියේ දශක කිහිපයක මෑතක් දක්වා පැවති බවත් කෝට්ටේ නගර සභාව මාර්ගය පුළුල් කිරීම සඳහා එය කැපූ බවත් පැවසෙනවා. 1900 ආසන්න කාලේ කැලණි වැලි දුම්රිය මාර්ගය තැනූ පසු මේ පෙදෙස ටිකෙන් ටික නාගරිකරණය වීමට පටන් ගත්තා.
පිටකෝට්ටේ ගල් අම්බලම
නුගේගොඩ නගරයට නුදුරින් කොළඹ – නුගේගොඩ මාර්ගය, බත්තරමුල්ල – දෙහිවල මාර්ගය සහ බොරැල්ල – තලවතුගොඩ යන මාර්ග එකිනෙක හමුවන තුන්මං හන්දියේ තමයි අම්බලම පිහිටා ඇත්තේ.
ජනප්‍රවාද පවසන්නේ මේ අම්බලම කෝට්ටේ රාජධානි සමයේ ඉදි කළ බව යි. පිටකෝට්ටේ සිට ඇතුළුකෝට්ටේ වෙත පිවිසෙන ජනයාගේ ගිමන් නිවා ගැනීම උදෙසා සහ ආගන්තුකයන්ට ඇතුළුකෝට්ටේ වෙත පිවිසීම උදෙසා අවසරය ලැබෙන තුරු නැවතී සිටීමේ ස්ථානයක් ලෙස මෙම අම්බලම ප්‍රයෝජනයට ගන්නට ඇතැයි ද සැලකෙනවා.
අඩි 15ක් දිග, අඩි 20ක් පළල මේ අම්බලමේ ගල් කණු 10ක් දකින්න පුළුවන්. ඒවා කැටයම් කර නෑ. මේ කණු 10 මත සිව්රැස් පියස්ස ඉදිකර තිබෙනවා. වටේ තියෙන කොට බිත්ති නම් පස්සෙ කාලෙක නිර්මාණය කළ බව පේනවා. 2004 වර්ෂයේ දී මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් මෙම අම්බලම පිහිටි ස්ථානයෙන් ගලවා මඳක් පිටුපසට ගෙන යළිත් ස්ථාපනය කර තිබෙනවා. ගල් අම්බලම 1940 අංක 09 දරන පුරා වස්තු ආඥාපනත යටතේ ප්‍රකාශික පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක්. අදටත් මෙහි ජනතාව නිතර ගැවසෙනු දකින්නට පුළුවන්.
සුභද්‍රාරාම පන්සල
නුගේගොඩ ගංගොඩවිල ගම්සභා හන්දියේ සිට සුභද්‍රාරාම පාරේ මඳ දුරක් ගමන් කරන විට සුභද්‍රාරාම විහාරය දැකගත හැකි යි. කෝට්ටේ හය වැනි පැරකුම්බා රජුගේ ( 1412-1467) සුභද්‍රා නම් බිසවක සිහිවීමට මෙම විහාරය රජු ඉදිකරවූ බව යි ජනප්‍රවාද පවසන්නේ.
මෙහි පැරණි උමං දොරටුවක් තිබෙන බවටත් විශ්වාසයක් පවතිනවා. මෙම උමං කටින් ඇතුළු වී, ගමන් කිරීමෙන් කෝට්යේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ උමගයෙන් මතු විය හැකි බවට ද පැවසෙනවා. (කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ පිහිටියේ උමගක් නොවන බව පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු වුණා).
සුභද්‍රාරාම විහාරයේ අතුපතර විහිදා පවතින පැරැණි බෝධීය කෝට්ටේ යුගය නියෝජනය කරන තවත් සාධකයක්. ජනප්‍රවාදයට අනුව පැවසෙන්නේ හයවැනි පැරකුම්බා රජුගේ බෑණනුවන් වන නන්නූර්තුනයා ඇමැති තම බිසව වූ උලකුඩය දේවියට පුතකු ලැබේවායි පතමින් කළ භාරය ඔප්පු කිරීමට ශ්‍රී මහා බෝධි අංකුරයක් මෙම භූමියෙහි රෝපණය කළ බව යි.
විහාරභූමියේ උස් තැනක ඇති පැරැණි දෙල්ගස ද එය වට කර ගත් නුග වෘක්‍ෂය ද එවැනි ම පැරණි ස්මාරක බව සැලකෙනවා.
මෙම විහාර භූමියේ පුරාණයේ පැවැති දාගබ 1963 වසරේ දී ජරාවාස වීමෙන් පසුව වත්මන් චෛත්‍යය 1968 වසරේ දී ඉදිකර තිබෙනවා. නව බුද්ධ මන්දිරය සෑදීම ආරම්භ කරන්නේ 1917 වසරේදී බෝරුක්ගමුවේ ශ්‍රී රේවත නාහිමියන්ගේ යුගයේදී යි. මාල තුනකින් සමන්විත අලංකාර නිර්මාණයක් වන මෙම විහාර මන්දිරය සාදා නිම කිරීමට වසර 51 ක් පමණ ගතවී තිබෙනවා. එහි වැඩ නිම වන්නේ 1968 වසරේදී යි.
බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා
බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා මෙන් ම සම්බුද්ධ ඉතිහාසයේ සිදුවීම් විශේෂයෙන් ප්‍රතිමා අනුසාරයෙන් සජීවී ලෙසින් මේ තුළ ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මෙහි චිත්‍ර සහ මූර්ති නිර්මාණය කර ඇත්තේ එවකට ලංකාවේ දක්‍ෂ මූර්ති ශිල්පීන් වූ බී.එස්. දනේරිස් සහ බී.එස්.ජී. සිරිනේලිස් යන ශිල්පීන්. 1936 වසරේ දී මෙහි පිරිවෙනක් ආරම්භ වන්නේ බෝරුක්ගමුවේ ශ්‍රී රේවත මා හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්. එය අදටත් විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දෙනවා.
ජුබිලි කණුව
ජයවර්ධනපුර කෝට්ටේ නුගේගොඩ, මිරිහාන, සතර මංහන්දිය හඳුන්වන්නේ ‘ජුබිලි කණුව’ යනුවෙන්. ස්ටැන්ලි තිලකරත්න මාවත (නුගේගොඩ පාර), මහරගම පාර, එක්වත්ත පාර සහ කෝට්ටේ පාර යන සිව් මාවත් මෙතැන දී මුහුණට මුහුණ හමුවෙනවා. ඒ මාවත් කරා දිව යන වාහන ගැටීම වළකනු පිණිස මේ මායිම් මංසලේ හරි මැද කණුවක් සිටුවා තිබුණා. උසින් අඩි පහක් පමණ වන මේ කණුව කළු ගලින් නිර්මාණය වූවක්. එය ඓතිහාසික ස්මාරකයක් වන ජුබිලි කණුව යි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බළ ප්‍රදේශයේ මිරිහාන දකුණ ග්‍රාම නිලධාරී වසමට මෙය අයත්.
බ්‍රිතාන්‍ය මහ රැජන ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියාගේ අභිෂේකයේ 50 වසරක් සපිරීමේ ජුබිලිය 1887 දී පැවැත්වුණා. ඒ වෙනුවෙන් යටත්විජිත රටක්ජවූ ලංකාව පුරා උත්සව පැවැත්වුණු බව සඳහන් වෙනවා. ඇගේ ජුබිලිය සැමරීමට ක්‍රිස්තු වර්ෂ 1889 දී මිරිහානේ සිව්මංසලේ දී මේ කළුගල් ‘ස්තම්භය ’ පිහිටුවා තිබෙනවා. එදා සිට අද වනතුරු මිරිහානේ සිව් මං හන්දිය හඳුන්වන්නේ ‘ජුබිලි කණුව’ කියල යි.
‘‘රාජාධිරාජ වික්ටෝරියා මහරැජනියන් රජ පැමිණීමෙන් පනස්වෙනි වර්ෂයේ පවත්වන මංගලෝත්සවය සිහිපත් කෙරෙන ශ්‍රී එක්වාදහස් අටසිය අසූ නවයේ… පිහිටුවන ලදී ‘‘ යනුවෙන් එහි සඳහන් කර තිබෙනවා.
2005 ජූලි 8 වන දින නිකුත් කර ඇති ගැසට් පත්‍රය මඟින් මෙය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා. 2020 නොවැම්බර් මාසයේ දී මාර්ග සංවර්ධන වැඩසටහනක් සඳහා මෙම ස්ථම්භය ගලවා ඉවත් කර නැවත ඒ අසල ම පිහිටුවා තිබෙනවා.
නුගේගොඩ ස්ටේෂම
කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට යන විට මරදානින් පසුව හමුවන 05 වන දුම්රිය නැවතුම්පොළ නුගේගොඩ දුම්රිය ස්ථානය යි. 176 බස් මාර්ගයට යාබද ව නුගේගොඩ බස් නැවතුම්පොළ ආසන්නයේ මෙම දුම්රිය ස්ථානය තනා තිබෙනවා. කැලණිවැලි මාර්ගයේ හමුවන ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන නුගේගොඩ පිහිටා ඇත්තේ, කිරිල්ලපොනේ හා පැඟිරිවත්ත උප දුම්රිය ස්ථාන අතර යි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට නුගේගොඩ දුම්රිය ස්ථානයට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් 11ක්. මුහුදු මට්ටමේ සිට මීටර් 3.96ක උසකින් එය පිහිටා තිබෙනවා. පුංචි කෝච්චිය ඇරඹුණු කාලයේ කළුගල් භාවිතයෙන් ඉදිකළ පැරණි දුම්රිය ගොඩනැඟිල්ලක් ප්‍රධාන වේදිකාවට ඉදිරියෙන් තවමත් දැකගත හැකි යි. එය ඉදිකර තිබෙන්නේ 1904 දි යි. අද නුගේගොඩ දුම්රිය පොළ දුම්රිය වේදිකා දෙකකින් සමන්විත යි.