පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරය ආසන්නයේ ම මෙම මින්නේරිය නාගල කන්දේ අටපට්ටම් පිළිමගෙය සුන්දර පුරාවිද්‍යා භූමිය පිහිටා තිබෙනවා. හබරණ පසු කර පොලොන්නරුව දෙසට පැමිණෙන විට අපට හමු වන බෞද්ධ ආගමික පුරාවස්‌තු සහිත විශාලත ම නටබුන් බිම ලෙස මින්නේරියේ නාගලකන්ද හැඳින්වීමට පුළුවන්. නිදන් හොරුන්ගේ ඇල්ම බැල්ම නාගලකන්දට නොඅඩු ව තිබෙන බව එහි යන කාටත් දැක ගත හැකි කරුණක්. එම ස්ථානය පසුකර පොලොන්නරු යන විශාල පිරිස අතරින් මේ ඉපැරණි ආරණ්‍යය දැක බලා ගැනීමට උනන්දු වන්නේ කලාතුරකින් කෙනෙක් පමණ යි.
පිහිටීම
මෙම ස්ථානය හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නේරිය ග්‍රාම නිලධාරි වසමට අයත් වෙනවා. මින්නේරිය මංසන්ධියේ සිට මීටර් 400ක් පමණ උතුරු දෙසින් තමයි පිහිටා තිබෙන්නේ. මෙය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක්. පුරාවිද්‍යා ස්ථානයට නුදුරින් වර්තමානයේ ආරණය සේනාසනයක් ද ක්‍රියාත්මක ව පවතිනවා.
පුරාවිද්‍යා ගවේෂණ
මෙය අක්කර දහස් ගණනකින් සමන්විත නාගලකන්ද වන රක්ෂිතයේ පිහිටා ඇති රමණීය පූජා භූමියක්. නාගලකන්ද ගැන මුලින්ම ගවේෂණය කර ඇත්තේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල්. වර්ෂ 1897 පුරාවිද්‍යා වාර්තාවේ ඔහු මේ ගැන සඳහන් කරනවා. මෙම ස්ථානයේ පිළිම ගෙයක් සහ බුදු පිළිමයක් තිබුණු බවත් ඒවා මහසෙන් රජ සමයට අයත් නොවන බවත් ඔහු සඳහන් කරනවා.
1966 පුරාවිද්‍යා වාර්තාවෙත් එම පිළිම ගෙය ගැන සඳහන් වෙනවා. 1972 ඓතිහාසික ස්ථාන නාමාවලියේ පිළිම ගෙයක්, දාගබක් සහ පොකුණක් ගැන වාර්තා කරනවා. 2003 දී මධ්‍යම සංස්කෘතික අරමුදල පොලොන්නරුව ආලාහන පිරිවෙන ව්‍යාපෘතිය මඟින් නාගලකන්ද ගැන විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදු කළා.
එහිදී භූමියේ පිහිටීම අනුව මෙම බිම් පෙදෙස මාලක තුනකට බෙදා ඇති බව හඳුනා ගත්තා. ඒ පහත මළුව, මැද මළුව හා උඩ මළුව වශයෙන්. ඒවායේ තිබුණු විනාශ වී ගිය ස්මාරක රාශියක් ද ගවේෂණයේ දී හඳුනා ගත්තා. එම විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණයෙන් මේ බිම පිළිබඳ ව බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා. එහි ඒ වන විට වනගත ව වැනසී සහ වනසා දමා තිබූ පුරාවිද්‍යා ස්‌මාරක රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමටද අවස්ථාව ලැබුණා.
නූතන ආරණ්‍යය පටන් ගත් හැටි
ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩ වසන මේ වනගත අරණේ විහාරාධිපති වන්නේ එලිබිච්චියේ සීලවිමල නාහිමියනු යි. අම්පාර බුද්ධංගල ආරණ්‍යයේ සිට හිඟුරක්‌ගොඩ ප්‍රදේශයට මීට පනස් වසරකට පමණ පෙර ඒ හිමියන් පැමිණ තිබෙනවා. ඒ අවස්‌ථාවේ වනාන්තරයක් ව පැවති නාගලකන්ද පුද බිම ගැන අසා එහි පැමිණි උන්වහන්සේ වනාන්තරයේ තාවකාලික ලැගුම් හලක් තනා ගෙන වාසය අරඹා තිබෙනවා. ඒ පොල්අතුවලින් තැනූ කුටියක යි. පසු කාලයේ ක්‍රම ක්‍රමයෙන් දායකයන්ගේ ආධාර උපකාරයෙන් සංඝාවාස, ජල පහසුව සපයාගෙන බුදු මැදුරු, භාවනා කුටි ආදිය ඉදිකර එය ආරණ්‍ය බිමක් සේ සංවර්ධනය කරගෙන තිබෙනවා. අද වන විට අවට දායකයන් රාශියක් ද නිතර තම ආගමික කටයුතුවලට මෙහි පැමිණෙනවා.
නම හැදුණු හැටි
මේ ප්‍රදේශයේ බහුල ව තිබෙන නා ගස් නිසා නාගලකන්ද යන නම ලැබුණු බවයි ජනප්‍රවාදවල කියවෙන්නේ. උඩමළුවේ ඇති පොකුණක් අසල විශාල නා ගසක මල් වැටී එහි ජලය නාමල් සුවඳින් යුක්ත වූ බවත් ඒ නිසා නාමල් පොකුණ කියූ බවත් පැවසෙනවා. නාගසින් යුත් කන්ද නිසා මේ නම ලැබුණු බව ගැමියන් පවසනවා.
ඉතිහාසය
මෙය මහසෙන් රජු (ක්‍රිස්තු වර්ෂ 273-300) කරවූ විහාරයක් බවට මතයක් පවතිනවා. එය තහවුරු කරන ඓතිහාසික සාධක නම් හමු වී නැහැ. මේ ස්ථානයේ බුද්ධ ප්‍රතිමා, බෝධිඝර, ස්තූප, ප්‍රතිමාගෘහ සහ සංඝාවාස මෙන් ම පොකුණු ආදී පුරාවස්තු විශාල සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබෙනවා. සුවිශේෂී අෂ්ඨාකාර සැලැස්මක් අනුව තැනූ පිළිම ගෙයක් ද ඒ අතරින් හමු වී තිබෙනවා. මෙහි සමහර ගොඩනැඟිලි ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස්වලට අයත් බවට අනුමාන කර තිබෙනවා.
ක්‍රිස්තු වර්ෂ 9 -10 අතර කාලයට අයත්වේ යැයි අනුමාන කළහැකි අභය මුද්‍රාව සහිත හිටි බුදුපිළිමයක් සහිත ප්‍රතිමා ගෘහයක් ද සංරක්ෂණය කර තිබෙනවා. මෙහි ගරා වැටී ශේෂ ව පවතින දාගබ් කිහිපයක් තිබෙන අතර මෑතක දී ඉන් ප්‍රධාන දාගබ කැණීම් කටයුතු සිදු වෙමින් පවතිනවා.
පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ අනුරාධපුර මුල් කාලයේ ඇරඹුණු මෙය එහි මධ්‍ය කාලය වනවිට සංවර්ධනයට පත්ව තිබුණු බව යි. ඒ බවට සාධක ලෙස ඔවුන් දක්‌වන්නේ නාගලකන්දේ දැනට ශේෂව පවතින බුද්ධ ප්‍රතිමා සහ බෞද්ධාගමික ගොඩනැඟිලිවල අවශේෂයන්හි දක්‌නට තිබෙන කලාත්මක ශෛලිය සහ නිර්මාණ ලක්ෂණ යි.
පිළිම ගෙවල්
මෙහි පිළිම ගෙවල් හතරක් හඳුනා ගෙන තිබෙනවා. ඉන් තුනක් ම තිබෙන්නේ පහත මළුවේ යි. අංක දෙක පිළිම ගෙයි සහ ඉහළ මළුවේ පිළිම ගෙයි පමණක් ප්‍රතිමා දක්නට ලැබෙනවා. හුණගලින් කළ මෙම හිටි පිළිම අභය මුද්‍රාව සහිත යි. අංක 2 පිළිම ගෙයි ප්‍රතිමාව උසින් මීටර් 3.40ක්. එහි දෑත් විනාශ වෙලා. මෙම පිළිම 4-5 සියවස්වලට අයත් සේ සැලකෙනවා. ඇස්වලට මැණික් අල්ලා තිබූ බව කුහරවලින් පෙනෙනවා.
අංක 1 දරන පිළිම ගෙයි විශේෂත්වය වන්නේ එට අටපට්ටම් හැඩයෙන් යුක්ත වීම යි. ආරණ්‍යයට පිවිසෙන මාර්ගයේ ගලේ කෙටු පියගැට පෙළ පසුකර යන විට දකුණු පසින් තැනිතලා බිමේ මෙම පිළිම ගෙය දකින්නට ලැබෙනවා. එහි ඉදිරි කොටස ආයත චත්‍රරස්‍රාකාර මණ්ඩපයකින් සහ පිටුපස කොටස අටපට්ටම් හැඩයෙන් යුක්ත යි. මීටර් 19.20 දිගකින් ද මීටර් 12.75ක පළලින් ද යුක්ත යි.
ඉදිරි දොරටුවේ හුණුගලින් කළ සඳකඩ පහණක් සහ මුරගල් දකින්න පුළුවන්. ඒවායේ කැටයම් කිසිවක් නැහැ. පිළිම ගෙයි අටපට්ටම් කොටස කුලුනු වට දෙකකින් සමන්විත යි. පිට වටයේ කුලුනු 24ක් ද ඇතුළු වටයේ කුලුනු 8ක් ද වූ බව පැහැදිලි වෙනවා. බුදු පිළිමය තැබීමට හුණුගලින් කළ පද්ම පීඨයක් තිබුණත් එය කුඩා කැබලිවලට කඩා විනාශ කර දමලා.
පිළිමය ද මෙහි හමුවන්නේ නැහැ. මෙය මුලින් ම අටපට්ටම් බෝධිඝරයක් ව තිබී පසුව පිළිම ගෙයක් බවට පත්කරන්නට ඇති බවට මතයක් ද පවතිනවා.
බැලුම්ගල
කඳු ගැටය මත පිහිටා ඇති බැලුම්ගල මතට පිවිසුණු විට වන සතුන්ගෙන් ගහණ නාගලකන්ද වන රක්ෂිතය, මින්නේරිය සහ ඒ අවට සුන්දර දසුන් රැසක් ම කිලෝමීටර ගණනාවක් ඈතට දැකගත හැකි යි. පොළෝ මට්ටමේ සිට මීටර 300ක් පමණ ඉහළට නඟින කඳු ගැටයට යන මාර්ගය රඹා පොකුණට නැගෙනහිර දෙසින් වැටී තිබෙනවා.
ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මහසෙන් රජු මින්නේරිය වැව ඉදිකිරීමේ දී වැවේ තැනීම් කටයුතු මෙහි සිට පරීක්ෂා කළ බව යි. බටහිරින් මින්නේරිය වැව ද, උතුරින් කඩවුඩුල්ල වැව ද, නැගෙනහිරින් හිඟුරක්ගොඩ පෙදෙස ද, දකුණින් නාගලකන්ද වැව හා පොලොන්නරුව පුරාණ නගරයත් මෙහි සිට දැකගත හැකි යි. මෙහි කටාරම් කෙටූ ලෙනක් ද තිබෙනවා.
සක්මන් මළුව
භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ භාවිත කළ සක්මන් මළුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර තිබෙනවා. එය දිගින් මීටර 53. 30ක් ද පළලින් මීටර 2.38ක් ද වෙනවා. මෙහි උතුරු කෙළවරේ ගල්පුවරුවක් සහ ගල් කණුවක් තිබෙනවා. දෙපස ම පැරණි බැමි තිබුණු බවට සාධක හමුවෙනවා.
පොකුණු
මෙම ආරණ්‍යයේ අලංකාරයට මෙන් ම භික්ෂූන්ගේ ජල අවශ්‍යතා සපිරීමටත් තැනූ පොකුණු තුනක් තිබෙනවා. පහත මළුවේ පොකුණ ගල්තලාවෙන් ආරම්භ ව සෙසු දිසා බැමි ඉදිකර තනා තිබෙන්නක්. එය ඕවාලාකාර යි. එයට වැසි කාලයේදී කන්දේ සිට එන ජලය ගල්පීල්ලකින් ලබා ගෙන තිබෙනවා.
මැද මළුවේ පොකුණ හඳුන්වන්නේ රඹා පොකුණ කියල යි. රඹ ගස්වලින් වැසි තිබුණු නිසා ඒ නම ලැබී තිබෙනවා. එහි වට ප්‍රාකාර කළුගලින් තනා තිනෙවා.
දාගබ සංරක්ෂණය
දැනට ශේෂව පවතින ඉපැරැණි දාගබ සහ අනෙකුත් පරිවාර ස්‌ථූප අවස්‌ථා ගණනාවක් ම නිදන් හොරුන් හාරා පුරාවස්තු සොරා ගත් බව පැහැදිලි යි. මේ අතරින් විශාල දාගබ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මුල්ගල තැබීම 2022 පෙබරවාරි 4 වැනි දා සිදු කෙරුණා. ගරා වැටුණු මේ චෛත්‍යයෙහි ගර්භය ද එහි සිව් දිසා ද, විවිධ අවස්‌ථාවන්හි හාරා විනාශ කර තිබෙනවා.
මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නේ නාගලකන්ද ආරණ්‍ය සේනාසනයෙන්. පුරාවිද්‍යා නිලධාරින්ගේ සංචාරක දීමනා සහ ගමන් වියදම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සපයනවා. පොලොන්නරුව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ උපදේශකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් තමයි එහි කටයුතු සිදු කෙරෙන්නේ.
මින්නේරිය වැව පාමුලින් අහසට නැඟුණු නාගලකන්ද ගිරි ශිඛරය පොලොන්නරුව රාජධානිය ඇතිවීමට පෙර පැවති බෞද්ධ ආගමික පුනරුදය ගැන පවසන නිහඬ ස්මාරකයක්. එමෙන් ම එහි පාරිසරික සුන්දරත්වයත් කදිම යි.