දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර හා අක්ෂ පාර්ශවයන්ගේ ප්‍රබල, බිහිසුණු යුධ ටැංකි සමූහයක් පිළිබඳව ලිපි පෙළක් ඔබ වෙත ගෙන ආවා. මිත්‍ර පාර්ශවයේ ෂර්මන් 4 යුධ ටැංකියත්, නට්සි ජර්මානුවන්ගේ පැන්සර් යුධ ටැංකි මාලාවේ පැන්තර් යුධ ටැංකිය පිළිබඳවත්, ශක්තිමත් සන්නාහයක් හා ප්‍රබල වෙඩි බලයක් සහිත විශාල ප්‍රමාණයේ නට්සි යුධ ටැංකියක් වන ටයිගර් 1 පිළිබඳවත් එම ලිපි ඔස්සේ කරුණු ගෙන ආවා.
අද ගෙනෙන ලිපියෙන් ඉදිරිපත් කරන්න සැරසෙන්නේ ටයිගර් 1 යුධ ටැංකියේ ඊළඟ පියවර වූ ටයිගර් 2 ටැංකිය පිළිබඳව යි. ඉතා කෙටි කාලයක්, ටැංකි කුඩා ප්‍රමාණයක් යුධ බිමට මුදා හැරුණු අතර මෙහි සන්නාහ ශක්තිය හා ප්‍රබල වෙඩි බලය හමුවේ මිත්‍ර හමුදාව අසරණ වුවායැ යි පැවසීම වරදක් නොවේ.
ටයිගර් 2හි විශේෂත්වය
දෙවන ලෝක යුධ සමයේ ජර්මනියේ නිෂ්පාදනයක් වූ ටයිගර් 2 ටැංකියේ දිගු නාමය වන්නේ Panzerkampfwagen Tiger Ausf. B යි. එය කෙටිකර ටයිගර් B ලෙස හඳුන්වනවා. එය තවත් අවස්ථාවල දී රෝයල් ටයිගර් ලෙසත් කින්ග් ටයිගර් ලෙසත් හඳුන්වා තිබෙනවා.
ටයිගර් 1 යුධ ටැංකියට වඩා බරින් වැඩි වූ මෙම ටැංකිය දිග හා පළලෙන් ද ටයිගර් ටැංකිය ඉක්මවා යනවා. ප්‍රධාන අවිය සමඟ එහි මුළු දිග මීටර් 8 ඉක්මවා යන අතර ටැංකියේ පළල ද මීටර් 3ට මදක් වැඩියි. එහි උස මීටර් 3 ඉක්මවා යන අතර එයද ටයිගර් 1 යුධ ටැංකියට වඩා වැඩියි.
ටයිගර් 1 යුධ ටැංකියට වඩා මෙහි ඇති වැදගත්ම දේ වන්නේ ශක්තිමත් සන්නාහය යි. ටයිගර් 1 ටැංකියේ සන්නාහය මි.මී 25–120 අතර අගයක් ගත් අතර ටයිගර් 2 යුධ ටැංකියේ සන්නාහය ටැංකියේ සෑම ස්ථානයකම මි.මී 25–185ත් අතර අගයක් ගන්නවා. ඒ අනුව බලන කල දෙවන ලෝක යුධ පිටිය තුළ තිබුණු ශක්තිමත්ම සන්නාහය සහිත යුධ ටැංකිය වූයේ මෙම ටයිගර් 2 යුධ ටැංකිය යි. ටයිගර් 2 යුධ ටැංකියක් යුධ පිටියේ දී මුණ ගැසීම මිත්‍ර හමුදා යුධ ටැංකි භටයන් භීතියට පත් කිරීමට සමත් වූ කාරණයක් වූ අතර ඉන් නිකුත් වන උණ්ඩ හමුවේ මිත්‍ර හමුදාවේ ෂර්මන් 4 හා චර්චිල් වැනි ටැංකිවල සන්නාහය පහසුවෙන් විනාශ වී යනවා.
ටයිගර් 2 ටැංකියේ ප්‍රධාන අවිය ලෙස සෙ.මී 8.8 KwK 43 අවියක් සවිකර තිබු අතර එහි එකවැර උණ්ඩ 80ක් රැගෙන යාමේ හැකියාව පවතිනවා. යුධ ටැංකියේ උප අවිය ලෙස මි.මී 7.92 Maschinengewehr 34 (MG 34) අවි දෙකක් සවිකර තිබූ අතර ඒ සඳහා එකවර උණ්ඩ 5850ක් රැගෙන යාමේ හැකියාව පැවතිනි.
ඉන්ධන ටැංකියේ ධාරිතාව ලීටර් 860ක් ලෙස සඳහන් වෙනවා. නැවත ඉන්ධන පිරවීමකින් තොරව සාමාන්‍ය මාර්ගයක නම් කි.මී 170ක් ගමන් කිරීමේ හැකියාව පැවතුනු අතර බාධක සහිත සටන් බිමේ දී එම අගය කි.මී 120ක් දක්වා පහළ අගයක් ගන්නවා. සාමාන්‍ය මාර්ගයක ටැංකියට ගමන් කළ හැකි උපරිම වේගය පැයට කි.මී 40 ඉක්මවා යන අතර එය බාධක සහිත අක්‍රමවත් මාර්ගයක නම් පැයට කි.මී 15 – 20ත් අතර අගයක් ගන්නවා. යුධ ටැංකියේ කාර්ය මණ්ඩලය ටයිගර් 1 යුධ ටැංකියේ මෙන්ම පස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර යුධ ටැංකියේ අණදෙන්නා, රියදුරු, අවිකරු, උණ්ඩ පුරවන්නා හා සහායක රියදුරු ලෙස එම සාමාජිකයන්ගේ රාජකාරීන් බෙදී යනවා.
ටයිගර් 2 යුධ ටැංකි නිෂ්පාදනය
දෙවන ලෝක යුධ සමය තුළ ටයිගර් 2 යුධ ටැංකි නිෂ්පාදනය කරන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණ යි. ඊට හේතුව වන්නේ මේ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම මෙන්ම ඒ හා සමාන ආකාරයෙන්ම අධික මිනිස් ශ්‍රමයක් යෙදවීමට සිදුවීම යි. ඒ හේතුවෙන් 1943 – 1945 කාලය තුළ දී මේ ආකාරයේ යුධ ටැංකි නිෂ්පාදනය වන්නේ 400–500 ත් අතර ප්‍රමාණයක්.
ඒ වගේම මෙම යුධ ටැංකිය නඩත්තුව සඳහා විශේෂඥ පුහුණුව ලත් පිරිසක් යුධ පිටිය ආසන්නයේ රැඳී සිටිය යුතු වෙනවා. නඩත්තුව සඳහා ගතවෙන කාලය හා ශ්‍රමය ද ඉතා ඉහළ විය. ටයිගර් 2 යුධ ටැංකියේ ඉන්ධන පරිභෝජනය ඉතා අධික වූ අතර යුධ ටැංකි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය නොකිරීමට මෙම කරුණු ද හේතු සාධක වෙනවා.
ටයිගර් 2 නම් ප්‍රබල සන්නාහයකින් හා ප්‍රබල වෙඩි බලයක් යුක්ත මෙම යුධ්ධ ටැංකිය යොදවන පළමු සටන වන්නේ නෝර්මැන්ඩි ආක්‍රමණ සටන යි. එහිදී මිත්‍ර පාර්ශවයේ යුධ ටැංකිවලට බරපතළ හානි සිදු කිරීමට ටයිගර් 2 යුධ ටැංකිය සමත් වෙනවා. නමුත් මෙම සටනේ දී ඔවුන් අනුගමනය කළ යුධ උපක්‍රම අසාර්ථක වීම හේතුවෙන් නෝර්මැන්ඩි සටන ජයග්‍රහණය කරන්නේ මිත්‍ර පාර්ශවය යි.
වැඩිදුරටත් කියවන්න – නොර්මැන්ඩි සටනේ යුධ ටැංකි
1944 වසරේ අගෝස්තු මාසය වන විට හිට්ලර්ගේ පැන්සර් යුධ ටැංකි ඩිවිෂණයට ඇතුළත්ව නැගෙනහිර යුධ පෙරමුණේ සටන්වලට සිය දායකත්වය දක්වන ටයිගර් 2 යුධ ටැංකිය එම පෙරමුණේ මෙහෙයුම් විශාල ප්‍රමාණයකට සහභාගී වෙනවා.
දෙවන ලෝක යුධ්ධය අවසාන වීමේ දී ටයිගර් 2 ටැංකි බොහෝ ප්‍රමාණයක් යුධ පෙරමුණේ දී විනාශ වෙන අතර යුධ්ධය පැරදෙන බව දැන ගන්නා බොහෝ කාර්ය මණ්ඩල තම ටයිගර් 2 ටැංකි විනාශ කිරීම ද සිදු කරනවා. ඊට අමතරව මිත්‍ර හමුදා අල්ලාගත් ටයිගර් 2 යුධ ටැංකි අතරින් කිහිපයක් විවිධ රටවල යුධ කෞතුකාගාරවල මේ වන විට ප්‍රදර්ශනයට තබා තිබෙනවා.