කළින් ලිපියෙන් අප විස්තර කළ ආකාරයට 1942 මාර්තු මාසය වනවිට ජපනුන් මලයාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වගේම අන්දමන් දූපත් ද යටත් කරගෙන ඉන්දියන් සාගරය වෙත කඩා පැනීමට සූදානමින් බලා සිටියා. මෙය දෙවන ලෝක යුද්ධයේ ඉතා තීරණාත්මක අවස්ථාවක් වුණා.
(මෙම ලිපි පෙළෙහි කොටස් එක, දෙක, තුන සහ පහ මෙම සබැඳි හරහා ඔබට කියවන්නට පුළුවන්.)
මේ අවස්ථාවේදී ලංකාවේ ආරක්ෂාව බ්‍රිතාන්‍යයන්ට ඉතා වැදගත් වුණා. දූපතේ පිහිටීම නිසාවෙන් ලංකාව අල්ලාගතහොත් ජපනුන්ට ඉන්දියන් සාගරය පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. ත්‍රිකුණාමලය වැනි වරායක් තිබීම අමතර වාසියක් වූ නමුත් මෙහිදී ඊටත් වඩා වැදගත් වුණේ රටේ පිහිටීම බව කිව හැකියි.
මේ කරුණ හේතුවෙන් ලංකාවේ සැළකිය යුතු බ්‍රිතාන්‍ය ගුවන් සහ නාවික සේනා ද සිටිනු ඇතැයි ජපනුන් බලාපොරොත්තු වුණා. ඔවුන් සාමාන්‍යයෙන් කළ පරිදි මුලින් ම ගුවන් ප්‍රහාර එල්ල කර එම සේනා විනාශ කිරීමේ උපක්‍රමය ලංකාවේදී ද භාවිත කරනු ඇතැයි බ්‍රිතාන්‍යයන් අනුමාන කළා.
ලංකාවේ සහ අවට ප්‍රදේශවල තම හමුදා ශක්තිය පිළිබඳ බ්‍රිතාන්‍යයන්ට පැහැදිලි අවබෝධයක් තිබුණා. ජපන් ආක්‍රමණයකට ඔවුනට මුහුණ දිය හැකි වේද යන පැහැදිලි සැකයක් ඔවුනට තිබුණු බව නම් රහසක් නොවෙයි.
තත්ත්වය කෙතරම් බරපතල වී ද යත් බ්‍රිතාන්‍යයේ එවක අගමැති වූ වින්ස්ටන් චර්චිල් පසුව ප්‍රකාශ කළේ එය යුද්ධයේ භයානකම අවස්ථාව වූ බවයි.
ජපන් හමුදා 1942 දී දෙවතාවක් ලංකාවට ගුවනින් පහර දුන්නා. ඒ අප්‍රේල් 5 වනදා කොළඹට සහ අප්‍රේල් 9 වනදා ත්‍රීකුණාමලයටයි. අප්‍රේල් 5 වනදා පාස්කු ඉරිදා වූ හෙයින් කොළඹට එල්ල වූ ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය ලෙස වෙනම හඳුන්වනවා. එමෙන්ම කොළඹට සහ ත්‍රීකුණාමලයට එල්ල වූ ප්‍රහාර දෙකම ලංකා සටන (Battle of Ceylon) ලෙස එක්ව හඳුන්වනු ලබනවා.
ලංකාවට පහරදීම සඳහා ගුවන් යානා ගෙනයන නෞකා ද ඇතුලත් නාවුක සේනාංකය 1942 මාර්තු 26 වනදා ඉන්දුනීසියාවේ සුලවේසි දූපතෙන් පිටත් වුණා. ජපන් නාවික සේනාංකය ගුවන් යානා ගෙනයන නෞකා හයකින් ද පරිවාර නෞකාවලින් ද යුක්ත වුණා. මෙම ගුවන් යානා ගෙනයන නෞකා වූයේ අකාගි, රියුජෝ, හිර්යු, සෝර්යු, ෂෝකාකු සහ සුයිකාකු යන ඒවායි. ජපන් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ අද්මිරාල් චුයිචි නගුමෝ යි.
යුද්ධය එළඹෙන විට බ්‍රිතාන්‍යයන් ලංකාවේදී ද ඒ සඳහා සූදානම් වුණා. බ්‍රිතාන්‍යය විසින් ලංකාවේ සිය හමුදාවල අණ දෙන නිලධාරියා ලෙස අද්මිරාල් සර් ජෙෆ්‍රි ලේටන් පත් කරන ලද අතර ගුවන් හමුදා අණ දෙන්නා ලෙස එයාර් වයිස් මාර්ෂල් ජෝන් ඩ’අල්බයික් පත් කරනු ලැබ තිබුණා. බ්‍රිතාන්‍ය පෙරදිග නාවික බල ඇණියට අණ දෙන ලද්දේ අද්මිරාල් සර් ජේම්ස් සමර්විල් ය.
රටේ ස්ථාන කිහිපයකම ගුවන් කඳවුරු ඉදි කිරීම ද මේ අතර සිදු වුණා. කොග්ගල අලුතින් ම ගුවන් පථයක් ඉදි කරනු ලැබුණු අතර කොළඹ තුරඟ තරඟ පිටියේ (රේස් කෝස්) ද ගුවන් කඳවුරක් ඉදි කෙරුණා.
මේ අතර අද්මිරාල් සමර්විල් විසින් ලංකාවේ නවතා තිබූ පෙරදිග නාවික බල ඇණියේ ප්‍රධාන කොටස මාලදිවයින දෙසට යැවීමට නියෝග කළා.
HMS කෝන්වෝල් සහ HMS ඩෝර්කෙස්ටර් යන බ්‍රිතාන්‍ය යුධ නෞකා ද HMS හර්මීස් නම් ගුවන් යානා ගෙන යන යුධ නැව ද, HMAS වැම්පයර් නම් ඔස්ට්‍රේලියානු නැව ද ලංකාවේ රඳවාගත් නෞකා අතර වුණා. ඉන් පළමු දෙක නවතා තිබුනේ කොළඹයි. අනෙක් නෞකා දෙක ත්‍රීකුණාමලයේ නැංගුරම් ලා තිබුනා.
කලින් ලිපියක අප දුටු පරිදි ජපානය මලයාවට පහර දුන්නේ බ්‍රිතාන්‍ය හමුදා සිටින ස්ථාන පිළිබඳ හොඳ අවබෝධයකින්. නමුත් ලංකාවට පහර දීමට පෙර එතරම් විස්තර ලබාගැනීමට හැකි වූ බවක් නම් දිස් වූයේ නැහැ.
ලංකාවේ “ගැලවුම්කාරයා”
මේ අතර බ්‍රිතාන්‍යය හමුදා ද ජපනුන් ගේ පියවර පිළිබඳ එතරම් දැන සිටියේ නැහැ. ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි යන සැකය තිබුන ද එය කෙදිනක සිදු වේද යන්න බ්‍රිතාන්‍යයන්ට අනුමාන කිරීමට හැකිවූයේ නැහැ.
මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් යානා නිරන්තරයෙන්ම මුර සංචාරක කටයුතුවල යෙදුණා. මේ ආකාරයෙන් අප්‍රේල් 4 වනදා සවස් යාමයේ බලඝන නායක ලෙනාර්ඩ් බර්චෝල්ගේ මෙහෙයවීමෙන් කොග්ගලින් ගුවන්ගත වූ කැටලිනා ගුවන් යානයකට ලංකා වෙරළෙන් කිලෝමීටර 640 ක් දකුණින් වූ කුඩා තිතක් දිස් වුණා.
වඩා හොඳින් නිරීක්ෂණය. කිරීමේදී එය අද්මිරාල් චුයිචි නගුමෝගේ ජපන් යුධ නෞකා සෙනාංකය බව තේරුම් ගන්න බර්චෝල්ට හැකි වුණා. ඔහුගේ යානය වෙඩි තබා හෙළීමට පෙර මෙම සේනාංකය දිස්වීම පිළිබඳ පණිවිඩය ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා වෙත රේඩියෝ මගින් යවා ගැනීමට බර්චෝල් සමත් වුණා. ජපන් අත් අඩංගුවට පත් වූ ඔහු යුද්ධය අවසන් වනතුරු යුධ සිරකරුවකු ලෙස ජපනුන් භාරයේ කල් ගත කළා.
ලංකාවට පහර දීම
1942 අප්‍රේල් 5 උදෑසන ජපන් ගුවන් හමුදා කොළඹට ප්‍රහාර එල්ල කළා. හිමිදිරි උදෑසන ප්‍රහාරය එල්ල වේ යයි බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වූ නමුත් උදෑසන හත පසුවන විටත් කිසිවක් සිදු නොවූ හෙයින් ප්‍රහාරය එල්ල නොවේ යයි ඔවුන් සැක කරන්නට වුණා.
මේ අතර ජනතාව කලබල වේ යන අදහසින් කොළඹ ජනතාවට, ළඟ පැමිණිය හැකි තර්ජනය පිළිබඳ දැනුවත් කිරීමක් කරනු ලැබුණේ නැහැ. එදින පාස්කු ඉරිදා වූ බැවින් කොළඹ නගරයේ බොහෝ කතෝලික සහ ක්‍රිස්තියානු බැතිමතුන් දේවමෙහෙයන්වලට සහභාගී වීමට දේවස්ථාන වෙත ගොස් තිබුණා.
ජපන් ප්‍රහාරක ගුවන් යානා “රැල්ල” ගාල්ල ප්‍රදේශයෙන් ලංකා භූමිය ඉහළ අහසට කඩා වැදී උදෑසන 8 පමණ වනවිට කොළඹ නගරය වෙත ළඟා වුණා. නගරයේ ස්ථාන කිහිපයකට ම බෝම්බ දමනු ලැබුණා. ඒ වගේම දෙපිරිස අතර ගුවන් සටන් ද කොළඹට ඉහළ අහසේදී දකින්නට ලැබුණා.
මෙම ප්‍රහාරයේදී සිදු වූ විශාලතම ජීවිත හානි වාර්තා වුණේ අංගොඩ ප්‍රදේශයේ වූ මානසික රෝගීන් සඳහා වන රෝහලට බෝම්බ දැමීමෙන්. එය ජපනුන් අතින් වූ වරදක් බව ද පැවසෙනවා.
අප්‍රේල් 5 වනදා එල්ල වූ දෙවැනි ප්‍රහාරය සැබැවින් ම එල්ල වූයේ කොළඹ වරායෙන් ඈත දියඹේ තිබුණු HMS ඩෝර්සෙට්‍ෂයර් සහ HMS කෝර්න්වෝල් නෞකා දෙකටයි. මෙම නෞකා මුහුද දෙසට දියත් කරන ලද්දේ නගරයට එල්ල වන ප්‍රහාරයේදී ඒවා ආරක්ෂා කරගැනීමට යි. නමුත් එම නෞකා ජපනුන්ට නිරීක්ෂණය වූ අතර ලංකා මුහුදෙන් නිරිතට වන්නට ඒවාට පහර දී ගිල්වන ලදී.
කොළඹ නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරය අතරතුර බ්‍රිතාන්‍යයට ගුවන් යානා 27 ක් අහිමි වූ බව සඳහන් විය. ජපනුන්ට ද ඒ ආසන්න ප්‍රමාණයක් යානා අහිමි වූ බව බ්‍රිතාන්‍යයන් කියා සිටිය ද ජපනුන් පිළිගත්තේ යානා පහක් අහිමි වූ බව පමණි.
නෞකා දෙකට එල්ල වූ ප්‍රහාරය හමුවේ 424 දෙනකු මිය ගොස් ඇතැයි සැළකුණා.
ජපනුන් ත්‍රීකුණාමලයට පහර දුන්නේ 1942 අප්‍රේල් 9 වනදා යි. මෙහිදී ජපන් ගුවන් යානයක් ත්‍රීකුණාමලයේ තෙල් ටැංකියකට කඩා වැදුණ අතර එයින් නැගී ආ දුම සතියක් පමණ කාළයක් පැවති බව කියවෙනවා. ඒ වගේම එදින මඩකලපුවට ඈත මුහුදේ දී ලොව පළමු ගුවන් යානා ගෙනයන නෞකාව ලෙස සැළකුණ HMS හර්මීස් නැව ජපන් ප්‍රහාරයකින් ගිලී ගියා.
කෙසේ නමුත් ජපන් හමුදාවලට බ්‍රිතාන්‍ය පෙරදිග නාවික බල ඇණියේ ප්‍රධාන කොටස සොයාගන්නට නම් ලැබුණේ නැහැ. අනෙක් අතට ඔවුන් බලාපොරොත්තු වූ තරම් ලංකාවට එල්ල කළ ප්‍රහාරය සාර්ථක වුණේ ද නැහැ.
මෙයින් ටික දිනකට පසු කොරල් මුහුදේ සටන සහ මිඩ්වේ සටන සිදු වුණා. පැසිෆික් සාගරයේ සිදු වූ මෙම සටන්වලින් ජපන් ඉදිරි ගමන නැවතුණා. විශේෂයෙන් ම මිඩ්වේ සටන ඔවුනට දරුණු පරාජයක් වුණා. මේ අතර ජපනුන් ආසියාවේ බුරුමය අල්ලාගත් නමුත් ඉන් දියාව අල්ලාගන්නට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වුණා.
මේ අනුව නැවත ලංකාවට පහර දීමට ඔවුන් උත්සාහ කළේ නැහැ.
මූලාශ්‍ර
- Most Dangerous Moment: Japanese Assault on Ceylon, 1942
- wikipedia.org
Cover Image: අකාගි නෞකාව සෙලබීස් දිවයිනෙන් ලංකාව බලා පිටත් වූ අවස්ථාව (Public Domain)