1960 දශකයේ දී අප රට තුළ ආන්දෝලනාත්මක මිනිමැරුම් සිද්ධි කිහිපයක්ම වාර්තා වුණා. කැලැත්තෑව ප්‍රදේශය තුළ භීෂණය පතුරවමින් සිටි ඇල්ප්‍රඩ් සොයිසා කළ මිනිමැරුම්, ගෝඨාභය කිරඹකන්ද ඝාතනය, සහ පද්මිණී කුලරත්න ඝාතනය එම භයානක මිනීමැරුම් අතරට අයිති වුණා. ඉහත සඳහන් කරන ලද සිද්ධීන් අතුරින් වඩාත් හද කම්පා කරවන සිදුවීම බවට පත්වුණේ පද්මිණී කුලරත්න ඝාතනය යි. ගාලු ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිවසක සිදුවුණු එම ඝාතනය පිළිබඳව අදටත් ඇතැම් උදවිය කතා කරනවා.
සමුද්‍රසිරි නිවස
1505 වසරේ දී මුල්ම වරට මෙරටට ආ පෘතුගීසීන් ගොඩබැස්සේ ගාලු පුරවරයට යි. පසු කලෙක පෘතුගීසින් ගාලු නගරය ආශ්‍රිතව අලංකාර කොටුවක් නිර්මාණය කළා. ඉන් අනතුරුව ලංකාවට පැමිණි ලන්දේසීන් ගාලු කොටුව නවීකරණය කර එයට තවත් අංග එකතු කළා. 19 වන සියවසේ අවසානය වන විට ගාලු කොටුවේ ජීවත් වුණේ ධනවත් මිනිසුන්. එකල ගාල්ල ප්‍රදේශයේ ජීවත්වුණු ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වුණු කුලරත්න ජීවත්වුණේත් ගාලු කොටුවේ ඉදිව තිබූ සමුද්‍රසිරි නම් නිවසේ යි. රමණීය මුහුදු තීරයට මුහුණලා, පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබුණු එම දෙමහල් නිවසේ වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ වුණු ලෝරා කුලරත්න ජීවත් වුණා.
වෛද්‍ය ඩේමන් ගාමිණී කුලරත්න
කුලරත්න වෛද්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට පුතෙක් ඉපදුණා. එම පුත්‍රයාට ඩේමන් ගාමිණී කුලරත්න යන තැබුවා. කුඩාකල සිට හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවුණු ඩේමන් දරුවාගේ එකම සිහිනය වුණේ සිය පියා මෙන්ම වෛද්‍යවරයෙකු බවට පත්වීම යි. එම සිහිනය සැබෑ කරගැනීමට රෑ දවල් නොබලා වෙහෙසුණු ඩේමන් දරුවා අවසානයේ දී වෛද්‍යවරයෙකු බවට පත්වුණා.
සිය වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ දී කැකිරාව, අනුරාධපුරය වැනි ප්‍රදේශවල සේවය කළ ඩේමන් කුලරත්න වෛද්‍යවරයා පසුව සිය ගම් පළාත වුණු ගාල්ලට පැමිණියා. ගාල්ලේ ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීම නිසා මෙම වෛද්‍යවරයා අත මිල මුදල් යහමින් ගැවසුණා.
සිය වෘත්තීය ජීවිතය සාර්ථකත්වය කරා ගෙනගිය කුලරත්න වෛද්‍යවරයා විවාහ ජීවිතයට ඇතුළත් වන්නට කල්පනා කළා. නමුත් ඔහු කාර්යබහුල ජීවිතයක් ගතකළ නිසා සුදුසු සහකාරියක් සොයාගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. එම නිසා ඔහු විවාහයට සුදුසු සහකාරියක් සෙවීමේ කාර්යය සිය මවට භාර කළා.
වෛද්‍යවරයා විවාහ වෙයි
කළුතර විසූ ධනවත් පුද්ගලයෙකු වුණු සී. ඊ. පෙරේරාට සිටි බාලම දියණිය වුණු සුසිලා පද්මිණී පෙරේරා, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සහ කොළඹ බෞද්ධ කාන්තා විදුහලෙන් සිප් සතර හදාරා තිබූ තරුණියක්. රූපයෙන් ද කිසිදු අඩුවක් නොතිබුණු එම ඇය 1947 වසරේ සැප්තැම්බර් 28 වැනිදා කුලරත්න වෛද්‍යවරයා සමග විවාහ වුණා. විවාහ වුණු අවස්ථාවේ තරුණියගේ පියා දෑවැද්ද ලෙස රුපියල් 25000ක මුදලක්, කළුතරින් නිවාස 2ක්, ඇහැලියගොඩින් රබර් අක්කර 50ක්, සහ ඇඹිලිපිටියෙන් මැණික් ඉඩමක් ලබාදුන්නා. විවාහ වුණු අළුත කුලරත්න සහ පද්මිණී ඉතාමත් ප්‍රීතියෙන් කාලය ගත කළා. ඒ අතරතුර ඔවුන් දෙපළට කුළුඳුල් දරුවාගේ මුහුණ බැලීමට වාසනාව ලැබුණා.
වෛද්‍ය කුලරත්න ඇමරිකාවට යයි
වෛද්‍යවරයෙකු ලෙසින් සේවය කරමින් සිටිය දී තවදුරටත් ඉගෙනීම් කටයුතුවල නිරත වුණු කුලරත්න සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ඇමරිකාවට ගියා. සිය සැමියා ඇමරිකාව බලා ගිය නිසා පද්මිණී තම දරුවා ද රැගෙන දෙමාපියන්ගේ නිවසට ගියා.
ඇමරිකාවේ දී අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කළ කුලරත්න වෛද්‍යවරයා ලංකාවට පැමිණියේ වසර 2කින්. ඔහු සිය බිරිඳ සමග යහපත් පවුල් ජීවිතයක් ගත් කළා. ඒ අතරතුර ඔවුන්ට තවත් දරුවන් තිදෙනෙකු ලැබුණා. කුලරත්න යුවල ජීවත් වුණු නිවසේ වෛද්‍යවරයාගේ මව වුණු ලෝරා ද ජීවත් වුණා. එසේම රොමියෙල්, බණ්ඩා, සොපියා, සිසිලින් යන මෙහෙකරුවන් ද එහි වාසය කළා.
1960 දශකයේ අග භාගය පමණ වන විට කුලරත්න වෛද්‍යවරයා රජයේ සේවයෙන් ඉවත්වී පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කර තිබුණා. මුල් අවධියේ දී ඔහු බෙහෙත් ශාලාවේ කටයුතු තනියම කරගත්තේ වැඩි රෝගීන් ප්‍රමාණයක් එහි නොපැමිණි නිසා යි. නමුත් වෛද්‍ය කුලරත්න රෝගීන්ට හොඳින් ප්‍රතිකාර කළ නිසා බෙහෙත් ශාලාවට එන රෝගීන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවුණා. එම නිසා බෙහෙත් ශාලාවේ සේවය කිරීම සඳහා කෙනෙකු සොයාගැනීමට පුවත්පත් දැන්වීමක් පළ කිරීමට වෛද්‍ය කුලරත්න කටයුතු කළා. එලෙස පළ වුණු පුවත්පත් දැන්වීම හරහා බෙහෙත් ශාලාවේ සේවයට පැමිණියේ ආරියවතී නම් ඉතාමත් රූමත් තරුණියක්. ආරියවතී සේවයට පැමිණ ටික කලකින් කුලරත්න පවුලේ සමගිය නැතිව යන්නට පටන්ගත්තා.
කුලරත්න යුවල අතර ගැටුම් ඇතිවෙයි
ආරියවතීගේ පියකරු පෙනුමට වහ වැටුණු වෛද්‍ය කුලරත්න ටික කලකින්ම ඇය සමග සමීප ඇසුරක් ආරම්භ කළා. එම නිසා ඔහු ඇයට ආරියා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ද පටන් ගත්තා. දිනක් පද්මිණී හදිසියේම බෙහෙත් ශාලාව වෙත යද්දී වෛද්‍ය කුලරත්න සහ ආරියවතී පමණට වඩා ළංවී සිටියා. එය දැකීමෙන් කෝපයට පත්වුණු වෛද්‍යවරයාගේ බිරිඳ ආරියවතීට බැණ වැදුනා. එම සිද්ධියෙන් පසුව කුලරත්න යුවල අතර නිතරම ගැටුම් ඇතිවුණා. ගැටුම් ඇතිවුණු අවස්ථාවන්වල දී වෛද්‍ය කුලරත්නගේ මව ආරියවතීගේ පැත්ත ගැනීම නිසා පද්මිණී තවත් කෝපයට පත්වුණා.
කුලරත්න නිවසේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙද්දී වෛද්‍යවරයාගේ රියදුරා වුණු රොමියෙල් දැඩි ලෙස කම්පාවට පත්ව සිටියා. එම නිසා ඔහු දිනක් ආරියවතීට බැණ වදිමින් පවසා තිබුණේ “මේ ලස්සන පවුල කඩා ඉහිරවන්නෙ නැතිව උඹ මෙහෙන් පලයන්” යන වචන කිහිපය යි. ආරියවතී එම සිද්ධිය පිළිබඳව වෛද්‍යවරයාට පැවසීමත් සමග රොමියෙල්ට රැකියාව අහිමිවුණා.
පද්මිණී කුලරත්න කාමරයක සිර කරයි
තම බිරිඳ සමග ඇතිවුණු ගැටුම් එන්න එන්නම වැඩිවන විට ඇයට, මානසික රෝගයක් තිබෙන බව පවසා අංගොඩ යැවීමට වෛද්‍යවරයා උත්සහා කළා. නමුත් පද්මිණීගේ සොයුරිය එම අවස්ථාවේ පැමිණ ඇයව පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළා. එම වෛද්‍යවරයා පවසා සිටියේ පද්මිණී තදබල හිත් වේදනාවකින් පෙළුණත් ඇයට මානසික ආබාධයක් නොමැති බව යි.
එම සිදුවීමෙන් පසුව කුලරත්න යුවල අතර ඇතිවුණු ගැටුම් තවත් වැඩි වුණා. එක්තරා දිනයක කුලරත්න යුවල අතර ඇතිවුණු ගැටුමක දී අශ්වයන්ට තලන කසය අතට ගත් වෛද්‍යවරයා ඉන් සිය බිරිඳට පහරදෙන්නට වුණා. එම පහරවල් වැදී පද්මිණී වේදනාවෙන් කෑගසන විට දරුවන් මැදිහත් වී ඇයව බේරාගත්තා. එදින සිද්ධියෙන් පසුව සිය බිරිඳව උඩුමහලේ කාමරයක සිර කිරීමට තරම් සාහසික වුණු වෛද්‍යවරයා, ඇයට පහත තට්ටුවේ සිට කෑමබීම යැව්වේ ලණුවක ගැටගැසූ වේවැල් කූඩයක් හරහා යි.
සිය බිරිඳව කාමරයක සිරකර විනෝදකාමී දිවියක් ගතකළ වෛද්‍ය කුලරත්න එක්තරා දිනයක දී අසුපිටින් වැටීම නිසා රෝහල්ගත කළා. දින ගණනාවක් රෝහලේ සිට නිවසට පැමිණි වෛද්‍යවරයා කිහිලිකරුවලින් ගමන් කරන ආකාරය උඩු මහලේ කාමරයක සිටි පද්මිණීගේ නෙතට හසුවුණා. එම අවස්ථාවේ ඇය වෛද්‍යවරයාට බැන වැදීම නිසා විශාල ගැටුමක් ඇතිවුණා. එම ගැටුමේ අවසන් ප්‍රතිඵලය වුණේ රුපියල් 50,000ක මුදලක් ලබා දී බිරිඳගෙන් වෙන්වීමට වෛද්‍යවරයා තීරණය කිරීම යි. නමුත් එම තීරණයට පද්මිණී එකඟ නොවුණේ දරුවන්ගේ අනාගතය පිළිබඳව ඇයට සිහිපත් වුණු නිසා යි. පද්මිණී දික්කසාදයට අකමැතිවීම නිසා වෛද්‍ය කුලරත්න සහ ඇයගේ මව දැඩි ලෙස කෝපයට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පද්මිණීගේ ඉරණම අවාසනාවන්ත අයුරින් විසඳුණා.
පද්මිණී කුලරත්නගේ අවසන් ඉරණම
1967 වසරේ අප්‍රේල් 9 වැනිදා සුපුරුදු පරිදි පද්මිණීට වේවැල් කූඩයෙන් ආහාර එවනු ලැබුවා. එම ආහාර අනුභව කළ පද්මිණීට නොනවත්වාම වමනය යන්නට පටන් ගත්තා. එසේම නොනවත්වා වැසිකිලි යන්නටත් අවශ්‍ය වුණා. දරාගන්නට බැරි තරම් ඇයගේ බඩ රිදුම්දුන් නිසා පද්මිණී සිය සොයුරියට දුරකථනයෙන් කතා කරමින් උදව් ඉල්ලා සිටියා. නිවසේ සිටි මෙහෙකරුවන් එම අවස්ථාවේ දී වෛද්‍ය කුලරත්නට දුරකථනයෙන් කතාකර සිද්ධිය දැනුම් දුන්නත් ඔහු ඒ ගැන තැකීමක් කළේ නැහැ. පැය කිහිපයක් මරුවා සමග සටන් කරමින් සිටි පද්මිණී කුලරත්න අවසානයේ දී මරුවාට පරාජය වී සදහටම දෙනෙත් පියාගත්තා.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි
සිද්ධිය පිළිබඳව ආරංචි වීමෙන් පසුව ගාල්ල පොලිසියේ නිලධාරීන් සමුද්‍රසිරි නිවසට පැමිණියා. ඔවුන් පද්මිණී ආහාරගත් පිඟාන සහ වමනය කොටස් පරීක්ෂා කළා. ඒ අතරතුර මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නිලධාරියා අනාවරණය කළේ හුස්ම හිරවීම සහ ආමාශය දැඩි ලෙස හානියට පත්වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව යි. දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වුණේ පද්මිණී කුලරත්න මියගියේ පොටෑසියම් ආසනේට් විෂ ශරීරගතවීමෙන් බව යි.
සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වෙයි
වෛද්‍ය කුලරත්න ළඟ තිබී පොටෑසියම් ආසනික් බෝතල් 2ක් හමුවීම හේතුවෙන් වෛද්‍යවරයා, ඔහුගේ මව, සහ මෙහෙකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. 1967 අප්‍රේල් 29 වැනිදා නඩුව ඇසූ අවස්ථාවේ දී කිසිදු චෝදනාවක් නොමැතිවීම නිසා සිසිලියාට නිදහස ලැබුණා. නමුත් ඉතිරි තිදෙනාට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කරමින් නඩුව ඉදිරියට පවත්වාගෙන ගියා.
අවසානයේ දී විත්තිකරුවන්ට නිදහස ලැබුණා
විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් කොල්වින් ආර්. ද සිල්වා, සුනිල් රොද්‍රිගෝ, ෂන්මුගනාදන්, රාජා ගුණරත්න වැනි දක්ෂ නීතිඥවරුන් පෙනී සිටියා. නමුත් ජූරියේ අවසන් තීරණයට අනුව විත්තිකරුවන් තිදෙනාට මරණ දඬුවම හිමිවුණා.
කෙසේ නමුත් විත්තිකරුවන් තිදෙනාගේ නීතිඥයන් මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළා. විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ තාර්කික කරුණු ගණනාවක් පිළිබඳව සලකා බැලූ අධිකරණය විත්තිකරුවන් තිදෙනාට නිදහස ලැබුණා. එමනිසා මියගිය පද්මිණී කුලරත්නට ඇත්තටම වහ දුන්නා ද එසේ නැතිනම් පීඩනය දරාගත නොහැකිව ඇය සියදිවි හානිකරගත්තා ද යන සැකය අදටත් ඉතිරිව තිබෙනවා.