මොලමුරේට පාඩමක් ඉගැන්වූ පනාමුරේ හස්තියා

පනාමුරේ…. පනාමුරේ…

පනාමුරේ ඇත් රාජා

පනාමුරේ ඇත් රාජා

අභීත නද පා

හස්‌ති රජා ඒ

කළේ සටන් පා තේජා

සුගතපාල මලලසේකර  ගායනා කරන එම ගීතය 1950 දශකයේ ඉතා ජනප්‍රිය වූ පැරණි රසාංගයක්. අදටත් එය ඉඳහිට අහන්න ලැබෙනවා. ලංකාවේ අවසන් ඇත්ගාලෙ දී තම පුරපුරේ නිදහස උදෙසා දිවිදුන් පනාමුරේ ඇතා සිහිපත් කිරීමට යි ඒ ගීතය ලියැවුණේ.

යන්නේ කොහොම ද?

පුරාවිද්‍යා නාම පුවරුව- twitter.com

පනාමුර ඇත්ගාල පිහිටි ප්‍රදේශයට කොළඹ සිට පැමිණෙන්නේ නම් රත්නපුර හරහා ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලව පසුකල පසු රංචමඩම හන්දියෙන් හැරී දකුණට පනාමුර දක්වා වූ මාර්ගයේ ගමන් කළ යුතු යි. මෙම ගමන් මාර්ගය තරමක් දුෂ්කර යි. ඇඹිලිපිටිය උඩගම හන්දියෙන් හැරී කොලොන්න හරහා සූරියකන්ද දක්වා වන මාර්ගයේ කි.මී. 10ක් පමණ ගමන් කිරීමෙන් ද පනාමුර හන්දියට පැමිණිය හැකියි. ඇඹිලිපිටිය නගරයේ සිට මේ වෙත දුර කිලෝමීටර් 12ක්. පනාමුරේ නගරයේ සිට කිලෝමීටර් 3ක් දුරින් කලුකන්දාව කඳුවැටියට යාබදව ඓතිහාසික පනාමුරේ ඇත්ගාල පෙදෙස පිහිටා තිබෙනවා. පනාමුර නගරයේ සිට ඇත්ගාල දක්වා වන බොරළු පාරෙන් වැඩි කොටසක් සෝදාපාලුවට ලක්වෙමින් රථවාහන ගමන්කිරීමේ දුෂ්කරතාවක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන්  ඇත්ගාල නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙකු ආපසු හැරී යන බවත් පසුගිය කාලයේ වාර්තා වුණා.

පුරාවිද්‍යා රක්ෂිතයක්

ඇත්ගාල අවට අද තත්ත්වය –  Dailynews.lk

ඇත්ගාල අවට පෙදෙස පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර තිබෙනවා. පසුගිය කාලයේ  පනාමුරේ හස්‌ති රාජයාට ගෞරව කිරීමක්‌ වශයෙන් “ඓතිහාසික පනාමුර හස්‌තිරාජ පදනම” නමින් පදනමක්‌ පිහිටුවා ගැනීම ද සිදුවුණා. එහි සංවිධායකත්වයෙන් හස්ති කෞතුකාගාරයක් ද හස්ති ප්‍රතිමාවක් ද පිහිටවනු ලැබුවා. නමුත් විවිධ හේතු නිසා මේ වනවිට එය අක්‍රියවෙලා.

පනාමුරේ ඇත්ගාල් ඉතිහාසය

ඇත්ගාල වටා බඳින දඩුවැට- Nishan Weerasoooriya , Amazing lanka.com

අලි ඇල්ලීම ලංකාවට අලුත් දෙයක් නොවේ. රජ කාලේ සිට ලංකාවේ බොහෝ පළාත්වල ඇත්ගාල් පවත්වා අලි ඇල්ලුවා. අලි කොටසක් පිටරටටත් පැටෙව්වා. නමුත් මෙහි දී සිදුවන ම්ලේච්ඡත්වය ලෝකයටම හෙළිවුණේ පනාමුර ඇත්ගාලෙන්. 

පනාමුර යනු මඩුවන්වෙල නින්දගමට අයත් පැරණි ගම්මානයක්. අක්කර 7000කින් පමණ සමන්විත වූ පනාමුර නින්දගම උඩරට පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් සන්නසක් මගින් මඩුවන්වෙල මොහොට්ටාලට ප්‍රදානය කරන ලද්දක්. විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව මෙම පරපුරේ අවසානයා වුණා. ඔහු විසින් පනාමුර ප්‍රදේශයේ ඇත්ගාල්  බහුලව කරවූ බව පැවසෙනවා. වර්ෂ 1896, 1898, 1902, 1907, 1912, 1914, 1918, 1922, 1929 යන අවුරුදුවල මඩුවන්වෙල මහ දිසාව විසින් ඇත්ගාල් බඳවා තිබෙනවා. ඔහු 1930 සැප්තැම්බර් මාසයේ මියගියා. ඔහුට දරුවන් සිටියේ නැහැ.

ප්‍රැන්සිස් මොලමුරේ – dbsjeyaraj.com

මේ නිසා මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බූදලය හිමිවුයේ ඔහුගේ සොහොයුරෙකුගේ පුතෙකු වූ, ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේට යි. ඔහු විසින් ද ඇත්ගාල් 2ක් බන්දවා තිබෙනවා. පළමු ඇත්ගාල පැවැත්වුණේ 1944 දී යි. අලි විශාල සංඛ්‍යාවක් අල්ලා ගැනීමට හැකිවූ එය ඉතා සාර්ථක වුණා. මෙය බඳවන්නේ කලුන්දාව දියබුබුල නම් ස්වභාවික දියබුබුල මුල්කරගෙන යි. කොලොන්න අවට වනාන්තරවල සරන අලිඇතුන් වියළි කාලයේ දී එයට දිය බීමට පැමිණීම සිරිතක් කරගෙන සිටියා.

ඇත්ගාලට සූදානම

ඇත්ගාල නැරඹීමට පැමිණි ජනකාය- Dailynews.lk

වල්අලි අල්ලා ගැනීමේ මෙහෙයුම සේවකයන් 1800ක් පමණ දෙනා සූදානම් කළ යුතු යි. වනයේ සිටින ඔවුන්ට අවශ්‍ය මඩු කූඩාරම් හා වෙනත් උපකරණ ද කල්ඇතිව සපයනවා. ගාල බැඳීමට ගන්නා බුරුත ලී, ලණු, කඹ, දම්වැල් හා අවිආයුධ ආදියත් සූදානම් කර ගන්නවා. අවට වලව්වල සිටින හීලෑ අලිඇතුන්, ඇත්ගොව්වන්, වල්අලි බැඳීමට දක්ෂ පනික්කියන්, ගිනිමැල ගසන්නන්, හෙල්ල දරන්නන්, ගස් කපන්නන්, බෙරකාරයන්, පණිවුඩ ගෙනියන්නන්, වඩුවන්, කෝකියන් ආදී විශාල පිරිසක් මේ සඳහා එක්වෙනවා.

රටේ අවසන් ඇත්ගාල

ඇත්ගාල සිත්තරෙක් දුටු අයුරු- Rally For Animal Rights & Environment/ facebook page

මොලමුරේ සංවිධානය කළ දෙවන ඇත්ගාල 1950 අගෝස්තු මාසයේ පැවැත්වුණා. අගෝස්තු  මස 8 වෙනි දින අලුයම් කාලයේදී අලි ඇතුන් 17 දෙනකුගෙන් යුත් රංචුවක් ගාල් කර ඓතිහාසික ඇත්ගා‍ලේ දොරටු වසා දැම්මා. දින කිහිපයක් ගතකිරීමෙන් පසුව එම අලි අල්ලා ගස් බැඳීම පටන් ගත්තා. ඇත්ගා‍ලේ කටයුතු නැරඹීමට මොලමුරේගේ ආරාධනයෙන් අමුත්තෝ රැසක් සහභාගි වී සිටියා. ඒ අතර ප්‍රධාන අමුත්තා වුණේ  එවකට ලකිසුරුධුරය හෙබ වූ සෝල්බරි සාමියි. කීර්තිමත් ‍ලේඛකයෙකු වූ වෛද්‍ය ආර්. එල්. ස්පිටල් ද ඒ අතර සිටියා. මෙම අමුත්තන් සඳහා සුවිශේෂි වේදිකාවක් ද ලීවලින් ඉදිකර තිබුණා. වැවිලිකරුවන් රාශියක ද මේ සතුන් ඇල්ලීම බලා විනෝදවීමට පැමිණ සිටියා.  සාමාන්‍ය ජනතාව ද ටිකට්පතක් ගෙන අලිගාල බැලීමට පොදිකමින් පැමිණි බව සඳහන් වෙනවා.

අලි ඇල්ලීම ඇරඹේ

ගාලට කොටුවූ අලි ගස්බඳිමින්-  twitter.com

ඇත්ගාලේ දුෂ්කරම ජවනිකාව ගාල්කළ අලි අල්ලා ගස්වල බැඳීම යි. මේ සඳහා හීලෑ අලින්ගේ සහයෝගය ද ලබාගන්නවා. මෙය නරඹන්නන්ට ත්‍රාසජනක අවස්ථාවක්. අලි ඇල්ලීමේ පළමු දිනය නිමාවන විට අලි අල්ලන්නන්ට ගස් බැඳ ගත හැකි වූයේ අලි දෙදෙනෙකු පමණ යි. එය ඇත්ගාලේ සංවිධායකයන් තුළ ඇති කළේ නොසතුටක්.  වන අලින්ගේ නායක හස්තියා ලෙස පෙනුණු කෙණරගේ ප්‍රචණ්ඩ හැසිරීම නිසා ගා‍ලේ වැඩ කටයුතු එතරම් සාර්ථක වුණේ නැහැ. ඌ ඇත්ගාල තුළ දූවිලි අවුස්සාගෙන ඇත්ගාලේ ආරක්ෂක වැට කඩා බිඳ දමන්නට උත්සාහ කළා. දවස අවසානයේ ගස් බඳින ලද අලින් නරඹන්නට ගාල තුළට පැමිණෙන්න යැයි ආරාධිතයන්ට ඇරයුම් ලැබුණා. මිනිස් පිරිස නිසා වන අලින්ගේ කෝපය වැඩිවී නරඹන්නන්ට පහරදීමට දිව ආවා. ටයිකෝට් ඇඳ සිටි ආරාධිත අමුත්තන් පණ බේරා ගනු වස් ඒ මේ අත දුවයන්නට වුණා. ප්‍රධාන අමුත්තා සෝල්බරි සාමි ද පණ බේරා ගැනීමට දිවගිය අය අතර සිටියා. නරඹන්නන්ට මෙය විනෝදජනක අවස්ථාවක් වූ බව සඳහන්. පසුදින බොහෝ පුවත්පත්වලට මෙය ආකර්ෂණීය පුවතක් වී තිබෙනවා. “Daily News” පුවත්පත එය වාර්තා කළේ “Governor General seeks safety from charging Elephants” යනුවෙන්.

ගස්බැඳි අලියෙක් විරෝධය දක්වමින්-   twitter.com

කලවාන, ඇලපාත, මාකඳුරේ, ඉද්දමල්ගොඩ, මහවලතැන්න, එල්ලාවල ආදී වලව්ලට අයත් හීලෑ අලි යොදාගත්තත් දරුණු හස්තියා මෙල්ල කිරීමට අසීරු වුණා. නරඹන්නන්ට මෙය ත්‍රාසජනක නාට්‍යයක් මෙන් වුණා.

තුන්වන දිනය වන විට ගාල්කළ අලින්ගෙන් 9 දෙනෙකු අල්ලා ගස්බැඳීමට පනික්කියන්ට හැකිවුණත් නායක කෙණරගේ ප්‍රචණ්ඩ හැසිරීම අඩුවුණේ නැහැ. මේ නිසා පැමිණ සිටි  හීලෑ අලි 14 දෙනා ද ඌට කිට්ටුවීමට බිය වුණා.

පනාමුරේ හස්තියා දිවි පුදයි

වෙඩි උණ්ඩයට බිලිවූ පනාමුරේ හස්තියා- Amazing lanka.com

එන්න එන්නම දැඩි කෝපයෙන් ඇත්ගාල බිඳ දමා සහෝදර අලින්ට නිදහස ලබාදීමට උත්සාහ කරන මේ තරුණ කෙණරගෙන් ඇත්ගාල රැකගැනීමට අසීරු වුණා.  ප්‍රැන්සිස් මොලමුරේ නියෝග දුන්නේ ගාලේ දොර ඇර ඌව පිටට පන්නා එලවා දමන ලෙස යි. දොරටුව විවෘත කළත් ඇතා පලා ගියේ නැහැ. ඌ උත්සාහ කළේ ගස් බැඳ ඇති අලින් ගලවා ගැනීමට බව පෙනුණා. මේ අතර පුවත්පත් සහ ගුවන්විදුලියෙන් මේ තොරතුරු රටේ පැතිර ගිය අතර මොලමුරේට එරෙහිව ජනමතයක් ගොඩනැගෙමින් පැවතුණා.

හස්තියාගේ මරණය පුවත්පත් වාර්තා කළ අයුරු-   twitter.com

අවසානයේ මොලමුරේ තීරණය කළේ ඇත්ගාල කඩාකප්පල් කළ කෙණර වෙඩි තබා මරා දැමීමටයි. ඒ සඳහා ශූර වෙඩික්කරුවකු වූ නාවික කොමදෝරු සෑම් කදිරගාමර් කැඳෙව්වා. ඔහු රයිපලය ගෙන ඉදිරියට ගියත් කෙණර නොසෙල්වී උණ්ඩයට මුහුණදුන් බව යි කියැවෙන්නේ. ටික වේලාවකට පසුව ඇත්ගාල අවට ප්‍රදේශය ගිගුම් දෙමින් මේ අභිමානවත් හස්තිරාජයාගේ සිරුර බිම ඇදගෙන වැටුණා. පැමිණ සිටි ජනතාව මේ සිද්ධියෙන් බොහෝ කම්පාවට පත්වූ බව සඳහන් වෙනවා. සතුන්ට ආදරය කරන්නන් අතර ඇත්ගාල්වලට එරෙහිව විශාල විරෝධයක් මතුවුණා. එය පාර්ලිමේන්තුව දක්වා ඇදී ගියා. ආණ්ඩුවට ඇත්ගාල් තහනම් කිරීමට නීතියක් ගෙන ඒමට පවා සිදුවුණේ ඒ නිසයි.

සංචාරක ආකර්ශනය කැලෑවට

පනාමුරේ ඉදිකර ඇති හස්තියාගේ ප්‍රතිමාව –  srishithajanith.blogspot.com

එදා ඇත්ගාල තිබූ පෙදෙස අද සුන්දර ගම්මානයක්. එහි කෙත්වතු, වගාබිම් විශාල වශයෙන් දැකගත හැකියි. කඳුවැටි පසුබිම්කරගත් මේ සුන්දර වටපිටාව සබරගමුව පළාත් සංචාරක අමාත්‍යංශය විසින් සංචාරක ආකර්ශනයක් ලෙස සංවර්ධනය කිරීමට පසුගිය කාලයේ සැලසුම් කළ බව වාර්තා වුණා. ඒ අනුව ඇත්ගාල සහිත අක්කර 10ක රක්ෂිත ප්‍රදේශයක් වෙන්කිරීම, අලි කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය, ඇත්ගාලේ ඉතිරිව ඇති ඓතිහාසික සාධක සංරක්ෂණය, ගාලේ ජල උල්පත සහ වැට සංරක්ෂණය යන යෝජනා එහි තිබුණත් ඒවා ක්‍රියාත්මක වූ බවක් නම් අසන්නට ලැබුණේ නැහැ. දැනට එහි ඉදිකළ කෞතුකාගාරය සහ කෙණරගේ ප්‍රතිමාව ද කැලෑ වදිමින් පවතිනවා.

ආශ්‍රිත මූලාශයයන්:

https://www.divaina.com

http://repository.kln.ac.lk/

සබරගමුව වංශ කතාව- සබරගමුව පළාත් සභාව

කවරය - ඇත්ගාලේ දොරටුව අසල- Rally For Animal Rights & Environment/ facebook page

Related Articles

Exit mobile version