උතුරු මැද පළාතට අයත් වන දිස්ත්‍රික්ක දෙක අතුරින් ප්‍රධාන දිස්ත්‍රික්කය වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කය යි. මෙතෙක් පවත්වා ඇති ජනාධිපතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මෙම දිස්ත්‍රික්කය, ඔවුන් පරාජයට පත් වුණේ 1982 වසරේ දී පැවැත්වුණු පළමු ජනාධිපතිවරණයේ දී පමණ යි. එසේම, 1988 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිලේ අපේක්ෂකයා වුණු සිරිමාවෝ බණ්ඩාරනායකට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාදුන් දිස්ත්‍රික්කය වුණේත් අනුරාධපුරය යි.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වන ආසන
1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව මාතර දිස්ත්‍රික්කය ආසන 7කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.
1) මැදවච්චිය ආසනය
2) හොරොව්පතාන ආසනය
3) නැගෙනහිර අනුරාධපුරය ආසනය
4) බටහිර අනුරාධපුරය ආසනය
5) කලාවැව ආසනය
6) මිහින්තලේ ආසනය
7) කැකිරාව ආසනය
මැදවච්චිය ආසනය
1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී අනුරාධපුර ආසනයෙන් කොටසක් කැඩී මැදවච්චිය ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිලේ බලකොටුවක් වුණු මැදවච්චිය ආසනය මෙතෙක් පවත්වා ඇති ජනාධිපතිවරණ 7 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිල යි. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ; 2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ 69.25%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මැදවච්චිය ආසනය ජයග්‍රහණය කිරීම යි.
හොරොව්පතාන ආසනය
1946 දී අනුරාධපුර ආසනයෙන් කොටසක් කැඩී නිර්මාණය වුණු හොරොව්පතාන ආසනයත් අතීතයේ සිටම වඩාත් වාසිදායක වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිලට යි. එම නිසාම 1988-2015 කාල සීමාව තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 6 දී ම හොරොව්පතාන ආසනය ජයග්‍රහණය කළේ ඔවුන්ගේ පාර්ශවය යි.
නැගෙනහිර අනුරාධපුර ආසනය
1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී අනුරාධපුර ආසනය කොටස් 2කට වෙන්කරනු ලැබුවා. එහි දී එක් කොටසක් නැගෙනහිර අනුරාධපුරය ලෙසින් නම් කළා. මෙම ආසනයත් අතීතයේ සිටම පැවති ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිලට හිතකර එකක් වුණේ නැහැ. එම නිසාම 1982 ජනාධිපතිවරණයෙන් පසුව ඔවුන්ට මෙම ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ.
බටහිර අනුරාධපුර ආසනය
1976 දී පැරණි අනුරාධපුර ආසනයෙන් කොටසක් කැඩී බටහිර අනුරාධපුර ආසනය නිර්මාණය වුණා. දිස්ත්‍රික්කයේ ඇති අනිකුත් ආසන මෙන්ම මෙම ආසනයත් වඩාත් හිතකර වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිලට යි. එම නිසාම 1988-2015 කාල සමය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 6 දී ම මෙම ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිල යි.
කලාවැව ආසනය
1947 දී අනුරාධපුර ආසනයෙන් කොටසක් වෙන් වී කලාවැව ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිලේ බලකොටුවක් වන කලාවැව ආසනය, අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 6 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිල යි. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂක චන්ද්‍රිකා බණ්ඩාරනායක 69.80%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන කලාවැව ආසනය ජයග්‍රහණය කිරීම යි. එසේම එය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසනයක් වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අවස්ථාව බවටත් පත් වුණා.
මිහින්තලේ ආසනය
1959 දී අනුරාධපුර ආසනයෙන් කොටසක් වෙන් වී මිහින්තලය ආසනය නිර්මාණය වුණා. 80 දශකයේ පැවැත්වුණු ජනාධිපතිවරණ 2 දී ම මිහින්තලේ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිල යි. නමුත්, ඉන්පසුව පැවැත්වුණු කිසිදු ජනාධිපතිවරණයක දී ඔවුන්ට මිහින්තලේ ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ. එසේම ජනාධිපතිවරණයක දී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිල අවසන් වරට ජයග්‍රහණය කළ අනුරාධපුර දිස්ත්‍රික් ආසනය බවට පත් වුණේ මිහින්තලය ආසනය යි. ඒ 1988 ජනාධිපතිවරණයේ දී මිහින්තලය ආසනය ඡන්ද 9කින් ජයග්‍රහණය කරමින්.
කැකිරාව ආසනය
1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී කලාවැව ආසනයෙන් කොටසක් කැඩී කැකිරාව ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිලට වඩාත් හිතකර කැකිරාව ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.
ජනාධිපතිවරණවල දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වන ආසන 7ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිලට වඩාත් වාසිදායක වනවා. එම නිසාම 1988-2015 කාල සීමාව තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 6 දී ම අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිල යි. එසේම 1988 ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම මෙම දිස්ත්‍රික්කයේ එකදු ආසනයක්වත් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිල අපොහොසත් වීම සුවිශේෂී සිදුවීමක් වුණා.
1982 ජනාධිපතිවරණය
මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එහි දී ජේ. ආර්. ජයවර්ධන මැදවච්චිය ආසනය හැර අනිකුත් සියලුම ආසන ජයග්‍රහණය කළ නිසා ඔහු දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ, වැඩි ඡන්ද 14,900ක් ලබා ගනිමින්.
ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 117,873 (49.84%)
හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 102,973 (43.54%)
1988 ජනාධිපතිවරණය
1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. රට පුරාම භීෂණකාරී වටපිටාවක් නිර්මාණය වී තිබුණු අවස්ථාවක පැවති එම ජනාධිපතිවරණයේ දී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 40.36%ක් ලෙස සටහන් වුණා. එහි දී මිහින්තලේ ආසනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 24.94% වන විට, හොරොව්පතාන ආසනයේ ප්‍රතිශතය 26.69%ක් බවට පත්ව තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ පැවති ජනාධිපතිවරණයේ දී මිහින්තලේ හැර අනෙකුත් සියලුම ආසන ජයග්‍රහණය කළ සිරිමාවෝ බණ්ඩාරනායක, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 16,203ක් ලබා ගනිමින්.
සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 73,154 (55.15%)
රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 56,951 (42.94%)
1994 ජනාධිපතිවරණය
1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ, ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 7ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ 64.00%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්.
චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 200,146 (64.00%)
ශ්‍රීමතී දිසානායක- ඡන්ද 107,342 (34.30%)
1999 ජනාධිපතිවරණය
1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ, රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක දිස්ත්‍රික්කයේ ආසන 7ම පහසුවෙන් ජයග්‍රහණය කළත්, ලබාගත් ඡන්ද ප්‍රතිශතය 54.14% දක්වා අඩු වී තිබුණා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 189,073 (54.14%)
රනිල් වික්‍රමසිංහ- ඡන්ද 139,180 (39.86%)
2005 ජනාධිපතිවරණය
2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ, රනිල් වික්‍රමසිංහ යි. එහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 7ම ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, වැඩි ඡන්ද 48,084කින් දිස්ත්‍රික් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා.
මහින්ද රාජපක්ෂ- ඡන්ද 231,040 (55.08%)
රනිල් වික්‍රමසිංහ- ඡන්ද 182,956 (43.62%)
2010 ජනාධිපතිවරණය
2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිල) තරග වැදුණේ, සරත් ෆොන්සේකා යි. එවරත් දිස්ත්‍රික්කයේ ආසන 7ම අපහසුවකින් තොරව ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 154,687ක් ලබා ගනිමින්. එසේම දිස්ත්‍රික්කය තුළ 66.32%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගත් මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවටත් පත් වුණා. එහි දී ඔහු බිඳ දැමුවේ, 1994 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබුණු 64.00%ක ඡන්ද ප්‍රතිශතය යි.
මහින්ද රාජපක්ෂ- ඡන්ද 298,448 (66.32%)
සරත් ෆොන්සේකා- ඡන්ද 143,761 (31.94%)
2015 ජනාධිපතිවරණය
2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග වැදුණේ, මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් මහින්ද රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 7ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමි වුණේ වැඩි ඡන්ද 42,754ක් ලබා ගනිමින්.
මහින්ද රාජපක්ෂ- ඡන්ද 281,161 (53.59%)
මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 238,407 (45.44%)