
අප සමාජයේ ජිවත් වන බොහෝ උදවිය විනෝදාංශයක් ලෙසින් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා නරඹනවා. ඒ අතුරින් සමහර විදෙස් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලාවල තේමාව වන්නේ සැඟ වී තිබෙන අබිරහස් සොයා යාම යි. එක්තරා යුගයක ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රියත්වයට පත්වුණු රෙලික් හන්ටර් කතා මාලාව ඊට කදිම උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

රෙලික් හන්ටර් කතා මාලාවට අනුව එක්තරා පුරාවිද්‍යා මහාචාර්යවරියක් සහ ඇයගේ ගෝලයා, සැඟවී තිබෙන පුරාවස්තු සොයා ගෙන යනවා. එහි දී ඔවුන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා එම පුරාවස්තු සොයා ගන්නා ආකාරය කතා මාලාවෙන් නිරූපණය වෙනවා. රෙලික් හන්ටර් කතා මාලාවෙන් නිරූපණය කරන ආකාරයේ සැඟවුණු පෞරාණික වස්තු ලෝකයේ සමහර තැන්වල අදටත් ඉතිරි ව තිබෙන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අදටත් සොයාගත නොහැකි ව සැඟවී තිබෙන එවැනි සුප්‍රසිද්ධ නිධාන 3ක් පිළිබඳ විස්තර යි.
1) බ්ලැක්බියර්ඩ්ගේ සැඟවුණු මහා නිධානය
16 සහ 17 වන සියවස්වල දී අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ව වඩාත් දරුණු මුහුදු කොල්ලකෑම් සිදු වුණා. ඒ හෙන්රි මෝගන්, හෙන්රි ඒවරි, බ්ලැක් බාට්, එඩ්වඩ් ටීච් හෙවත් බ්ලැක්බියර්ඩ් වැනි ඉතාමත් දරුණු මුහුදු කොල්ලකරුවන් එම මුහුදු කලාපයේ සිය ආධිපත්‍ය පතුරුවාගෙන සිටි නිසා යි.
ඉහත සඳහන් කළ මුහුදු කොල්ලකරුවන් අතුරින් එඩ්වඩ් ටීච් හෙවත් බ්ලැක්බියර්ඩ් සුවිශේෂී පුද්ගලයෙක්. ඒ ඔහු 30 හැවිරිදි වියේදී ම ධනවත් මුහුදු කොල්ලකරුවෙක් බවට පත්වුණු නිසා යි.

1716 වසර වන විට බ්ලැක්බියර්ඩ්ගේ මුහුදු කොල්ල කල්ලිය අත්ලාන්තික් සාගරය පුරා භීෂණය පතුරවමින් සිටියා. එදා දකුණු අමෙරිකාවෙන් සහ මෙක්සිකෝවෙන් කොල්ල කෑ වස්තුව රැගත් ස්පාඤ්ඤ නැව් බොහොමයක් අත්ලාන්තික් සාගරය හරහා සිය රටට ආපසු යද්දී බ්ලැක්බියර්ඩ් ඇතුළු කොල්ල කල්ලියට කොටු වුණා.
එවැනි විශාල මුහුදු නැව් විශාල ප්‍රමාණයක් කොල්ල කෑ බ්ලැක්බියර්ඩ් එම යුගයේ දී විශාල ධනවතෙකු බවට පත්වුණා. ඒ අයුරින් කොල්ල කෑ වස්තුවෙන් වැඩි කොටස් රහසිගත ස්ථානයක සඟවා තැබීමට බ්ලැක්බියර්ඩ් අමතක කළේ නැහැ.

1718 වසරේ අග භාගය වන විට බ්ලැක්බියර්ඩ්ගේ කල්ලිය නිසා නැව්වලට අත්ලාන්තික් සාගරය හරහා යාත්‍රා කිරීමට අපහසු වාතාවරණයක් නිර්මාණය වී තිබුණා. එනිසා බ්ලැක්බියර්ඩ් ඇතුළු මුහුදු කොල්ල කල්ලිය විනාශ කිරීමට ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය වැනි රටවල් මාන බලමින් සිටියා.
1718 නොවැම්බර් 21 වැනිදා බ්‍රිතාන්‍ය ලුතිනන් රොබට් මේනාඩ්ට බ්ලැක්බියර්ඩ් ඇතුළු කොල්ල කල්ලිය සිටින ස්ථානයක් ගැන හෝඩුවාවක් ලැබුණා. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණු මේනාඩ් විශාල සෙබළුන් පිරිසක් සමඟින් බ්ලැක්බියර්ඩ් අල්ලාගැනීම සඳහා පිටත්ව ගියා. එම සටනේ දී බ්ලැක්බියර්ඩ් මරා දැනීමට බ්‍රිතාන්‍ය සෙබළුන් පිරිසට හැකි වුණා.

මිය යන්නට මොහොතකට පෙර බ්ලැක්බියර්ඩ් ඔහුගේ වස්තුව සඟවා ඇති බව පවසා සිටියා. ඉන් පසුව ලුතිනන් මේනාඩ් වස්තුව සඟවා තිබෙන ස්ථානය පිළිබඳ ව බ්ලැක්බියර්ඩ්ගෙන් විමසා සිටියා. නමුත් ඔහු එම ස්ථානය පිළිබඳ ව කිසිදු තොරතුරක් අනාවරණය කළේ නැහැ. ඉන් පසුව දිගින් දිගට ම ඔහුගෙන් වස්තුව තිබෙන ස්ථානය පිළිබඳව බ්‍රිතාන්‍ය සෙබළුන් විමසා සිටිය ද එයින් කිසිදු පලක් වුණේ නැහැ. ඊට පැය කිහිපයකට පසුව බ්ලැක්බියර්ඩ් මරණයට පත්වුණා. ඒ සමඟම බ්ලැක්බියර්ඩ්ගේ මහා වස්තු සම්භාරය පිළිබඳ තොරතුරු සදාකාලිකව ම අතුරුදහන් වී ගියා. එදා ඔහු කොල්ල කෑ ධනය අදටත් අත්ලාන්තික් සාගර ආශ්‍රිත කුඩා දූපතක සැඟ වී තිබෙන්නට ඉඩ තිබෙනවා.
2) ලීමා නිධානය
ස්පාඤ්ඤ ජාතිකයන් 16 වන සියවසේ දී ඉන්කාරුවන් පරාජය කර එහි බලය අල්ලා ගත්තා. ඉන් පසුව සියවස් 2කට වැඩි කාලයක් පේරු රාජ්‍යය පාලනය කළ ස්පාඤ්ඤ ජාතිකයන් 1820 වසරේ දී එම ප්‍රදේශයෙන් ඉවත් වුණා. ඒ ඔවුන්ට එරෙහි ව එල්ල වුණු විරෝධතා නිසා යි. එදා පේරු රටේ ලීමා නගරයෙන් පලා යාමට පෙර එහි සඟවා තිබුණු මහා ධනස්කන්ධය මෙක්සිකෝව වෙත රහසේ ම යැවීමට ස්පාඤ්ඤ ජාතිකයන් සැලසුම් කළා.
විලියම් තොම්සන් නම් බ්‍රිතාන්‍ය ජාතික කපිතාන්වරයා අණ දුන් මේරි ඩියර් නෞකාව එම කාර්යය සඳහා යොදා ගැනුණා. මේරි ඩියර් නෞකාවෙන් මෙක්සිකෝව බලා යාමට ස්පාඤ්ඤ පූජක සහ සොල්දාදුවන් පිරිසක් ද එකතු වුණා.

මෙක්සිකෝව බලා යන ගමනේ දී කපිතාන් තොම්සන්ට සහ ඔහුගේ සගයන්ට ධනය ගැන විශාල තණ්හාවක් ඇති වුණා. එනිසා ඔවුන් ස්පාඤ්ඤ සොල්දාදුවන් සහ පූජකයන් මරා දමා ධනය කොල්ල කෑවා. ඉන් පසුව කොස්ටරිකාවේ කොකෝස් දූපතට ගොස් එම නිධානය වළ දැම්මා. එදා මේරි ඩියර් නෞකාවේ ගිය ස්පාඤ්ඤ ජාතිකයන් පිරිසට අත්වුණු ඉරණම පිළිබඳව වැඩි දිනක් ගත වන්නට පෙර ප්‍රසිද්ධියට පත්වුණා.
එය ඇසූ ස්පාඤ්ඤ රජය මේරි ඩියර් නෞකාව ලුහුබැඳ යාම සඳහා යුද නැවක් පිටත් කර හැරියා. එම යුද නෞකාව සති කිහිපයක් ඇතුළත මේරි ඩියර් නෞකාව සහ එහි සිටි පිරිස අල්ලා ගත්තා. ඉන් අනතුරුව එහි කපිතාන්වරයා සහ ඔහුගේ පළමු සහායකයා හැර ඉතිරි සියලු දෙනා ම එල්ලා මැරුවා. එහි දී කපිතාන්වරයා සහ ඔහුගේ සහායකයා නිධානය වළලා ඇති ස්ථානය පෙන්වීමට පොරොන්දු වුණු නිසා ඔවුන්ට නිදහස ලැබුණා.

ස්පාඤ්ඤ යුද නැවට නැගුණු කපිතාන් විලියම් තොම්සන් සහ ඔහුගේ සගයා නිධානය වළලා තිබුණු කොකෝස් දූපතට නැව පදවන මෙන් එහි නියමුවාට අණ දුන්නා. ඉන් පසුව ස්පාඤ්ඤ යුද නෞකාව කොස්ටරිකාවේ කොකෝස් දූපතට ගියා. එම අවස්ථාවේ තොම්සන් සහ ඔහුගේ සගයා සූක්ෂම අයුරින් ස්පාඤ්ඤ සෙබළුන්ගෙන් බේරී පලා ගියා.
දූපත පුරා ඔවුන් පිළිබඳ සෝදිසි කළත් කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැහැ. බොහෝ වාර්තාවල සඳහන් වන්නේ එදා කපිතාන් තොම්සන් සහ ඔහුගේ සගයා කුඩා නෞකාවක ආධාරයෙන් නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙත පලා ගිය බව යි. එසේ පලා යාමෙන් පසුව ඔවුන් දෙදෙනා යළි කිසිදු දිනක කොකෝස් දූපත වෙත පැමිණි බවට සාක්ෂ්‍ය නැහැ.

නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයේ ජීවත් වුණු ජෝන් කීටින් නම් පුද්ගලයා කොකෝස් දූපතේ වළ දමා තිබුණු මහා නිධානය පිළිබඳ තොරතුරු දැන ගත්තා. ඒ ඔහුගේ මිතුරකු වුණු කපිතාන් විලියම් තොම්සන්ගෙන්. කීටින් සූක්ෂම අයුරින් සිය මිතුරාගෙන් නිධානය තිබෙන ඉසව්ව පිළිබඳ ව දැන ගත්තා. එම නිධානයේ තිබුණු දේවල් පිළිබඳ විස්තරයක් කපිතාන් තොම්සන් දැන සිටියා. ඒ මේරි ඩියර් නෞකාවට නිදන් පෙට්ටි පටවන විට එහි තිබුණු දේවල් පිළිබඳ ස්පාඤ්ඤ ජාතිකයන් කළ දැනුම්වත් කිරීම නිසා යි.
නිධානයේ අඩංගු වී තිබුණු දේ
ඒ අනුව නිධානයේ අඩංගු වී තිබුණු දේවල් පිළිබඳ පවා කීටින්ට සිය මිතුරා හරහා දැනගන්නට ලැබුණා. 1844 දී කොස්ටරිකාවේ කොකෝස් දූපත වෙත ගිය කීටින් නිධානය සොයාගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඉන් වසර කිහිපයකට පසුව කීටින් හදිසියේ ම මිය ගියා. ඔහු මිය යන්නට පෙර ලීමා නිධානයේ අඩංගු වන දේවල් පිළිබඳ යම් කිසි අනාවරණයක් කළා. පහත දක්වා තිබෙන්නේ ලීමා නිධානයේ තිබෙනවා යැයි පවසන වටිනා වස්තු පිළිබඳ විස්තර යි.
1) මැණික් ගල් ඔබ්බවන ලද රන් කැබලි 1244ක් සහ රන් සේද රෙදි අඩංගු පෙට්ටියක්
2) පවුම් 120ක් බර රන් බඳුන් 2ක්, ටොපෑස්, එමරල්ඩ්, කාර්නේලියන් යන වර්ගවලට අයත් මැණික් 624ක්, දියමන්ති 12ක් අඩංගු පෙට්ටියක්
3) රූබි මැණික් 860ක්, දියමන්ති 19ක්, රාත්තල් 160ක් බර වාත්තු ලෝහ බහාලුම් 3ක් අඩංගු වුණු පෙට්ටියක්
4) මේරි කන්‍ය මරියතුමියගේ සහ ජේසු බිළිඳුන්ගේ අඩි 7ක් උස ඝන රන් ප්‍රතිමාවක්, ටොපෑස් සහ එමරල්ඩ් යන මැණික් වර්ග ඔබ්බවන ලද රත්තරන් කුරුස 7ක්, ස්වර්ණාභරණ 1684කින් සරසා තිබුණු රන් කුටියක් අඩංගු දැවැන්ත පෙට්ටියක්
5) ස්පාඤ්ඤ රන් සලකුණු 8ක්, කඩු 124ක්, කුඩා රන් ඔටුනු 5000ක්, කිණිසි 64, උරහිස් පටි 120, රවුම් පලිහ 28ක් අඩංගු පෙට්ටියක්
6) රන් කාසි, මුතු, මැණික් සහ තවත් වස්තුව පුරවන ලද පෙට්ටි 7ක්

ජෝන් කීටින්ට පසුව ලීමා නිධානය පිළිබඳව වඩාත් උනන්දු වුණේ ඔගස්ට් ගිස්ලර් නම් ජර්මානුවා යි. 1897 දී කොකෝස් දූපතේ නිල ආණ්ඩුකාරවරයා බවට පත්වුණු ගිස්ලර් සිය නිල බලය අනිසි ලෙස භාවිත කරමින් නිධානය සෙවීමේ කටයුතුවල නිරත වුණා. නමුත් ඔහුට නිධානය හමුවුණේ නැහැ. 1932-1945 කාලයේ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළ ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් 1910 දී මෙම නිධානය සෙවීමට උත්සාහ කළා.
බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුණු ශ්‍රීමත් මැල්කම් කැම්බල් 1920 දශකයේ දී ද, සුප්‍රසිද්ධ නළු එරොල් ෆ්ලයින් 1940 දශකයේ දී ද මෙම නිධානය සෙවීමට උත්සාහ කළා. එපමණක් නොව බග්සි සීගල් නම් අමෙරිකානු අපරාධකරුවා ද මෙම නිධානය සෙවීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරුවා. නමුත් ඔවුන් කිසි කෙනකුට නිධානය හමුවුණේ නැහැ.

අවසන් වරට 2012 දී ෂෝන් වයිට්හෙඩ් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා මෙම දූපත ආශ්‍රිත ව පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකරමින් නිධානය සොයා ගැනීමට උත්සාහ කළා. එමඟින් ද අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ අනුව තවදුරටත් ලීමා නිධානය කොකෝස් දූපතේ සැඟවී තිබෙනවා. මෙම මහා නිධානයේ වර්තමාන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 208ක් පමණ යැයි අනුමාන කරනවා.
3) අත්ලාන්තික් සාගරයේ සැඟවුණු නිධානය
18 වන සියවසේ මුල් භාගය වෙද්දී ස්පාඤ්ඤය ලතින් අමෙරිකානු කලාපයේ රටවල් රැසක බලය අල්ලාගෙන සිටියා. එදා එම රටවල්වල තිබුණු වස්තුව කොල්ල කෑ ස්පාඤ්ඤ ජාතිකයන් විශාල නෞකා මඟින් ඒවා සිය රටට රැගෙන ගියා. 1715 ජූලි 24 වැනිදා රන්, රිදී, මැණික්, දියමන්ති, රන් කාසි ඇතුළු වටිනා වස්තුව පිරවූ නැව් 11ක් කියුබාවේ හවානා නුවරින් ස්පාඤ්ඤය බලා යාමට පිටත් වුණා.
එයින් නෞකා 6ක් කපිතාන් ගරේරා දොන් ඇන්තෝනියෝගේ නායකත්වය යටතේ ද ඉතිරි යාත්‍රා 5 කපිතාන් දොන් ජුවාන් උබිලාගේ නායකත්වය යටතේ ද යාත්‍රා කළා. එම නෞකා පෙළ 1715 ජූලි 30 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට ෆ්ලොරීඩා වෙරළ ආසන්නයට පැමිණ තිබුණා.

ජූලි 31 වැනිදා පාන්දර 2ට පමණ ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් අත්ලාන්තික් සාගරය හරහා හමා ගියා. එහි බලපෑම ෆ්ලොරීඩා වෙරළ ආශ්‍රිත ප්‍රදේශයට හොඳින් ම දැනුණා. පාන්දර 4ට පමණ කුණාටුවේ ප්‍රචණ්ඩත්වය වැඩි වුණා. ඒ සමඟ ම ප්‍රචණ්ඩ සුළං ධාරා ප්‍රහාරවලින් නෞකා සුණුවිසුණු වී ගියා. සමහර නාවිකයන් මුහුදට වැටෙද්දී තවත් සමහර නාවිකයන් නෞකා තුළ දීම මරණයට පත් වුණා.
එම කුණාටුවේ බලපෑම හේතුවෙන් ස්පාඤ්ඤ නෞකා 10ක් මුහුදුබත් වී නාවිකයන් 1000කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්වුණු බව පැරණි වාර්තාවල ලියැවී තිබෙනවා. එම නෞකාවල ගමන් කළ සමහර නාවිකයන් ජීවිත බේරා ගත් බවට ද වාර්තාවල දැක්වෙනවා.

එදා කුණාටුව හමුවේ සිය ජීවිත බේරාගත් නාවික පිරිස එක් ස්ථානයකට එකතු වුණා. ඉන් පසු ව ඉතිරි වුණු නෞකාවට නැගුණු එම නාවිකයන් මුහුදු පතුලේ සැඟවුණු වස්තු සම්භාරය සොයා මෙහෙයුම් සිදු කළා. එම අවස්ථාවේ මුහුදු කොල්ලකරුවන් ඔවුන්ට පහර පිට පහර එල්ල කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම නාවික පිරිසට එම ප්‍රදේශයෙන් පලා යාමට සිදුවුණා.
ඉන් අනතුරුව මේ නිධානය සොයා ගැනීමට බොහෝ උදවිය උත්සාහ කළා. 2015 ජූලි මාසයේ සිදු කළ විශේෂ ගවේෂණයක දී රන් කාසි 350ක් සොයාගැනීමට හැකි වුණා. එම කාසිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් බව තක්සේරු කළා. එම සොයා ගැනීමත් සමඟින් මෙම නිධානය පිළිබඳ ව බොහෝ උදවිය උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. ඒ අනුව ඉදිරියේ දී මෙම නිධානයේ තවත් කොටස් සොයා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දරනු ඇති බවට සැකයක් නැහැ.
