ඔටුනු නොපළන් රජුන් සේ සිටි සබරගමු රදළවරු

පුරාණ ලංකාවේ රදළයන් සතු ව තිබූ රජුන්ගෙන් ප්‍රදාන සේ ලැබුණු ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙස යි. ලංකාවේ වැඩි ම නින්දගම් ප්‍රමාණයක් තිබූ ප්‍රදේශය සබරගමුව බව ඉංග්‍රීසි වාර්තාවල සඳහන්. කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ සබරගමුවේ ප්‍රධානීන් 13 දෙනකුට කටුවන ලන්දේසි බළකොටුව විනාශ කිරීම නිසා නින්දගම් අක්කර දහස් ගණනක් ප්‍රදානය කර තිබෙනවා.

මඩුවන්වෙල දිසාවට මෙන් ම ඇමිටියගොඩ නිලමේට ද අක්කර දහස් ගණනින් නින්දගම් හිමි ව තිබූ බව පැවසෙනවා. මේ රදළයන් ජනතාව පීඩාවට පත් කරමින් එම ප්‍රදේශවල රජවරු සේ කටයුතු කර තිබෙනවා. මේ, සබරගමුවේ නින්දගම් හිමි රදළයන් කිහිප දෙනකු ගැන කළ සොයා බැලීමක්.

 නින්දගම් විශාල ප්‍රමාණයක් තිබූ බව කියවෙන මඩුවන්වෙල පරපුරේ වලව්ව – sunday observer.lk

 

නින්දගම්

 රජුට හෝ රටට කළ සේවය සඳහා ලබා දුන් වරප්‍රසාදයක් ලෙස යි නින්දගම් සැලකුණේ. සමහර නින්දගම් අදිකාරම් වැනි නිලවලට ලබා දී තිබූ වරප්‍රසාද වුණා. තවත් නින්දගම් පුද්ගලයන් සිදු කළ සේවා සඳහා රජුගේ ප්‍රසාදය පළ කිරීමට ප්‍රදානය කළ ඒවා යි. රජතුමා සතුටු කිරීම වෙනුවෙන් ද විශේෂ අවස්ථාවල එක් නින්දගම් වර්ගයක් පිරිනමා තිබෙනවා. මේවා සන්තෝෂම් විදිහටත් සැලකිය හැකි යි.

රජතුමාට ඇලිගෝනකු (සුදු ගෝනකු) අල්ලා දීම වෙනුවෙන් මඩුවන්වෙල දිසාවේට ද, තිත් මුවකු අල්ලා දීම වෙනුවෙන් කෝණාර මුදියන්සේට ද නින්දගම් පිරිනමා ඇති බව සඳහන් වෙනවා. මොරහැල දිසාවට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නින්දගමක් ලබාදී ඇත්තේ 1820 දී මඩකළපුවේ සිට ලුණු ගෙන ඒමට තිබූ මාර්ග අවහිරතාව ඉවත් කර දීම වෙනුවෙනු යි. ඔහු ඉංග්‍රිසින් නියෝග කර තිබූ හරක් මස් සැපයීමක් ප්‍රතික්ෂේප කළ නිසා ඔහුගේ නින්දගම පසුව අහෝසි කර තිබෙනවා.

 මඩුවන්වෙල නිලමේ සහ කුමාරිහාමි- lankatravelguide.com

 

සන්නසකින් ප්‍රදානය කරන නින්දගම් රාජකීය ගම් ලෙස සැලකුණා. එවැනි ගම්වල පදිංචිව සිටි ජනතාව කලින් තමන් රජුට ගෙවූ බදු හා ආදායම අලුත් නින්දගම් හිමි පුද්ගලයාට ගෙවිය යුතු වුණා. ඇතැම් නින්දගම්වල අයිතිය හිමිවුණේ අදාළ පුද්ගලයාට පමණ යි. ඔහුගෙන් පසු එය වෙනත් අයකුට පැවරීමට රජුට අවස්ථාව තිබුණා. ඒවා මාරුවන පංගු ලෙසත් හැඳින්වුණා. තවත් නින්දගම් කොටසක අයිතිය එම පරම්පරාවට දිගටම හිමිව තිබුණු අතර ඒවා පරවේණි පංගු ලෙස හැඳින්වුණා.

උඩරට පිහිටා තිබූ නින්දගම්වල සංඛ්‍යාව ඉතා අල්ප යි. සිංහල රාජධානිය 1815 දී අහෝසි වුව ද මේ නින්දගම් ලැබූ පුද්ගලයන් ඒවා දිගට ම භුක්ති විඳීම සිදු වුණා. රජ සමයේ නින්දගම් පවරා දීම සඳහන් කර තිබුණේ ලේකම් මිටිවල යි. බ්‍රිතාන්‍ය පාලකයන් 1870 දී කොමසාරිස් ලේඛනය නමැති නිල ලේඛනයක් සකස් කළේ පැරණි ලේකම් මිටියට අයත් වූ ගම්බිම් පිළිබඳ විස්තර ඇතුළත් කිරීමෙනු යි.

අක්කර දහස් ගණනක ගම්මාන පිටින් ම නින්දගම්වල අයිතිය හිමි පුද්ගලයන් රාශියක් සිටීම ඉංග්‍රීසි ආණ්ඩුවට හිතකර වුණේ නැහැ. නින්දගම්වලින් බදු අය කර ගැනීම සඳහා ඉංග්‍රීසින් ඒවා ලියාපදිංචිය ආරම්භ කළා. 1872 වර්ෂයේ දී නින්දගම් කොමිසම පත් කළේ එම ලියාපදිංචි කටයුතු විධිමත් ව ඉටු කිරීමට යි. කොමිසමේ වාර්තාවලට අනුව වැඩි ම නින්දගම් ඉඩම් ප්‍රමාණයක් තිබුණේ සබරගමුව පළාතෙ යි.

එය පරවේණි පංගු 1706ක් ලෙස වාර්තා වෙනවා. එයට අමතර ව මාතලේ සහ වයඹ පළාතේ හත්කෝරළේ ද සැලකිය යුතු නින්දගම් ප්‍රමාණයක් පැවති බව සඳහන්. අද වන විට නම් ඒ වැඩවසම් නින්දගම් දකින්නට ලැබෙන්නේ විහාර දේවා‍ලගම් පනතට යටත් රජමහා දේවාල සහ විහාරවලට පමණ යි. පෞද්ගලික අයිතිය යටතේ තිබූ නින්දගම්වලින් වැඩි ප්‍රමාණයක් පසුව ගෙනා නීති නිසා අහෝසි වී ගිහින්.

එම පරවේණි නින්දගම් අතරින් වැඩි ම ඉඩම් ප්‍රමාණයක් හිමිව තිබූ සබරගමුවේ ප්‍රභූන් කිහිප දෙනකු ගැන මේ ලිපියෙන් විමසා බලමු.

ඉද්දමල්ගොඩ කුමාරිහාමි – gemsociety.org

ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ

නින්දගම් කොමිසටම අනුව සබරගමුවේ නින්දගම්වලින් වැඩි ප්‍රමාණයක් අයිති ව පැවතුණේ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේට යි. ඔහු සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරය දැරූවා. නිවිතිගල ගමේ පරවේණි පංගු 141ක් ද, එලුවාන ගමේ 23ක් සහ පනාවැන්නේ පංගු 19ක් ද ඔහුගේ භුක්තියට යටත් ව පැවතුණා.

නුගවෙල පංගු 14ක් ද, ඉද්දමල්ගොඩ පංගු 11ක් ද ඔහුට අයත් වුණා. කොට්ටගංගොඩ පංගු 11ක් සහ ආගරේගම, පනාවල,ගනේගොඩ, පලලේවෙල, තන්ඩුවාව යන ගම්වල ද පංගු ඔහුට අයත් ව පැවතියා.

වලව්වේ ජිවත් වූ ඉද්දමල්ගොඩ කුමාරහාමිටත් වටාපොත ග‍මේ පරවේණි පංගු 5ක් සහ වාරිගම පංගු 4ක් පැවතුණා. මේ අනුව පේන්නේ ඉද්දමල්ගොඩ නිලමේට ගම්මාන පිටින් අයිති ව පැවති බව යි. මේ නිසා නින්දගම් හිමි ප්‍රභූවරුන් ජීවත්වුණේ ඔටුනු නොපළන් රජවරු ලෙස යි.

 ඉද්දමල්ගොඩ වලව්ව -අසිරිමත් සබරගමුව facebook page

ඉද්දමල්ගොඩ පරපුර ජීවත්වුණේ පැල්මඩුලේ ඉද්දමල්ගොඩ වලව්වේ. ඉද්දමල්ගොඩ වලව්වේ ජීවත් වූ කැපී පෙනෙන චරිත ලෙස ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ සහ සුන්දරත්වයෙන් අග තැන්පත් කාන්තාවක් සේ සැලකෙන ඉද්දමල්ගොඩ කුමාරිහාමිත් ප්‍රකට

යි. ඉද්දමල්ගොඩ නිලමේ ඉදි කළ වලව්ව කබොක් ගල් සහ මැටියෙන් තනා ගෙබිමට කළුගල් අතුරා තිබෙනවා. සිංහල හා ලන්දේසි ගෘහ නිර්මාණ සැලසුම්වල මිශ්‍රණයක් එහි දැකගත හැකි යි.

 එක්නැලිගොඩ වලව් ගොඩනැඟිල්ල අද – sunday observer.lk

එක්නැලිගොඩ බස්නායක නිලමේ

කුරුවිට එක්නැලිගොඩ වලව්වේ වාසය කළ එක්නැලිගොඩ බස්නායක නිලමේ ද සබරගමුවේ නින්දගම්කාරයන් අතර මුල් තැනක සිටි තවත් කෙනෙක්. ඔහුට මොරහෙල ගමේ පමණක් පරවේණි පංගු 140ක් තිබුණා. මැද්දේගම පංගු 37ක් ද, ඉලුක්කුඹුරේ 15ක් ද, වලකඩ පංගු 12ක් ද ඔහු සතු වුණා. බදුල්ලේගම, බලංගොඩ තංජම, වියමිගුර සහ පනාමුර ගම්වල ද ඔහුට අයත් පරවේණි පංගු තිබුණා. එක්නැලිගොඩ ලොකු රටේ මහත්මයා සහ එක්නැලිගොඩ ලොකු කුමාරිහාමි ද පරවේණි පංගු හිමි රදළයන් වුණා.

කුරුවිට එරත්න මාර්ගයේ කිලෝ මීටර 01 ක් පමණ ගිය විට වම් පසින් උස් බිම්කඩක් මත පිහිටා තිබෙන පෞරාණික ගොඩනැඟිල්ල එක්නැලිගොඩ පරපුර වාසය කළ වලව්ව යි. වලව්ව පිටුපසින් ඇදී යන්නේ කුරු ගංගාව යි.

එක්නැලිගොඩ කුමාරිහාමි හා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය පී. ඊ. පී. දැරණීයගල විවාහ වීම නිසා මෙහි අයිතිය එක්නැලිගොඩ පරපුරෙන් දැරණීයගල පරපුරට හිමි වුණා. පසුව එහි අයිතිය පී. ඊ. පී. දැරණියගලගේ පුත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණීයගලට හිමි ව තිබුණා.

 සබරගමුවේ ජන ප්‍රධානින්ට නින්දගම් හිමිකර දුන් කටුවන සටන සිදුවූ කොටුව – sundayobserver.lk

 

පියස්සට සිංහල උළු සෙවිලි කළ වලව්වේ බිත්ති කළුගල් සක්ක බැම්මෙන් නිමවා තිබෙනවා. මෙම වලව්ව ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් පැරණි යි. ආලින්දයේ එක් කොටසකුත් පිටුපස මුළුතැන්ගෙයි කොටසත් හැර ගෙබිමේ ඉතිරි කොටස්වලට අතුරා ඇත්තේ සතරැස් බිම් ගඩොල්. වලව්වේ පැරණි ගෘහ භාණ්ඩ රාශියක් ද තව ම දැක ගත හැකි යි.
එක්නැලිගොඩ වලව් පරපුර සපරගමුවේ ඉපැරණි වලව් පෙළපත්වු මොළමුරේ, වාරියගම, ඉද්දමල්ගොඩ, මඩුවන්ගල, මුත්තෙට්ටුගම, එල්ලාවල, ඇලපාත, දෙල්වල, දෙල්ගොඩ, බදුල්ලේ රඹුක්පොත හා රුවන්වැල්ලේ මීදෙණිය යන පරපුරුවලට ඉතා සමීප නෑකම් සහිත ව පැවතුණු බව පැවසෙනවා.

  මහවලතැන්න වලව්වේ ඉදිරිපස- Rathnasiri A. Hewage facebook page

මහවලතැන්න රටේ මහත්මයා

බලංගොඩට නුදුරු ව පිහිටි මහවලතැන්න වලව්වේ දිවි ගෙවූ රටේ මහත්මයා ද සබරගමුවේ විශාල නින්දගම් ප්‍රමාණයකට හිමිකම් කියූ පුද්ගලයෙක්. බලංගෙඩ මහවලතැන්න වලව්වට විශාල ඉඩම් ප්‍රමාණයක් අදත් හිමි ව තිබෙනවා.

මහවලතැන්න රටේ මහත්මයාට 1870 වන විට පනාන ගමේ පරවේණි පංගු 25ක් තිබු අතර, ගල්ඉන්න ගමේ පංගු 13ක් ද මහවලතැන්නේ පංගු 2ක් ද හිමි ව තිබුණා.

නින්දගම් අයිතිය සීමා කළ පනත් ගෙනා සිරිමා රත්වත්තේගේ විවාහය දා – lankadeepa.lk

මහවලතැන්න සානුව පාමුල සුන්දර බිම්කඩක තමයි මේ වලව්ව පිහිටා ඇත්තේ. පැරණි වලව්ව පිහිටි තැන ඉංග්‍රීසි ගෘහ නිර්මාණ සැලසුමට අනුව තැනූ ගොඩනැඟිල්ලක් එහි දැකගත හැකි යි. අද දැකගත හැකි වලව්ව ඉදිකර ඇත්තේ 20 වැනි සියවසේ මුල් කාලයේදි යි. ඉදිරිපස පෝටිකෝවක්, සුවිශාල විසිත්ත කාමරයක්, නිදන කාමර හතරක්, සේවක කාමර සහ මුළුතැන්ගෙවල් දෙකකින් මහවලතැන්න වලව් ගොඩනැඟිල්ල සමන්විත යි. වත්මන් වලව්ව ඉදිකර තිබෙන්නේ සැමුවෙල් ඩේවිඩ් මහවලතැන්න මහ දිසාවේ යි.

ඔහු මහවලතැන්න පරපුරෙහි අවසන් උරුමකරුවා වුණා. 1916 වසරේ දී ඔහු මිය ගිය අතර ඔහුගේ අභාවයෙන් පසුව වලව්වේ අයිතිය හිමිවුණේ ඔහුගේ දියණිය වූ රොස්මන්ඩ් හිල්ඩා මහවලතැන්න කුමාරිහාමි (සිරිමාවෝ බණ්ඩාරනායකගේ මව)ට යි. ඉන් පසුව ඇය විවාහ වු බාන්ස් රත්වත්තේට වලව්ව හිමි වූ අතර අදත් එය අයිති රත්වත්තේ පරපුරට යි. පසුව සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ලෙස 1970 දශකයේ නින්දගම්වලින් සහ වෙනත් ක්‍රමවලින් උරුම වූ අක්කර දස දහස් ගණනක ඉඩම් අහෝසි කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙන ඒමත් දෛවයේ සරදමක් බව පේනවා.

කවරයේ ඡායාරූපය: සබරගමුවේ රදළ ප්‍රධානින් ඉංග්‍රීසි නිලධාරින් සමඟ -gemsociety.org

මූලාශ්‍ර:

repository.knl.lk
lankadeepa.lk
සිංහල සමාජ සංවිධානය ( මහනුවර යුගය) - රැල්ෆ් පීරිස්

Related Articles

Exit mobile version