කතරගම යන සමහර බැතිමතුන් සිතුල්පව්වටත් යනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම ඓතිහාසික පුදබිමට යාමට තිස්සමහාරාමයෙන් කිරින්ද පාරේ ගොස්, යෝධකණ්ඩිය වැව පසුකරනවාත් සමගම හමුවන කඩමණ්ඩිය අසලින් වමට හැරී තවත් කි. මි. 15ක් පමණ ගමන් කළ යුතු වෙනවා. මෙම බොරළු පාරේ ගමන් කිරීම තරමක් දුෂ්කර යි. නමුත් එය සුන්දර අත්දැකීමක්. හාත්පසින් අලි කොටි ගැවසෙන යාල මහා වනයත් තැතින් තැන ඉහළ නගින කඳු ගැටත් මේ දසුන අලංකාර කරනවා. මේ ප්‍රදේශය අයත් වන්නේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට යි.
නම ලැබුණු හැටි
සිත් අලවන පර්වතය යන අරුත ඇති චිත්තල පබ්බත, චිත්තල කූට යනුවෙන් මහාවංශ ආදී ඓතිහාසික පොත්වල ද, චිතල පවත, චිතල පවම යනුවෙන් ශිලාලේඛනවල ද මේ විහාර බිම හඳුන්වා තිබෙනවා. සැබවින්ම අදටත් කාගෙත් සිත් ආකර්ශනය කරන ඉතා සුන්දර පෙදෙසක් තමයි. මෙය ජාතික වනෝද්‍යානයක පිහිටා තිබීම නිසා අනවශ්‍ය ආකාරයෙන් පරිසරය වෙනස් කිරීමට ඉඩක් නැතිවීමත් ඒකට එක හේතුවක්. මේ පෙදෙස අයත් වන්නේ මැණික් ගඟ සහ කිරිඳි ඔය නිම්නයට යි. ගල්ලෙන්වලින් පිරි පර්වත අවට බහුල යි.
හැදුවේ කවුද?
මෙම විහාරය කාවන්තිස්ස රජු (ක්‍රි.ව. 100 – 140) ඉදිකළ බව පිළිගැනෙනවා. මහාවංසයේ සඳහන් වන ආකාරයට දාන ශාලා, ධර්මශාලා ආදී අංගයන්‍ගෙන් යුතු අංග සම්පූර්ණ විහාරයක් කරවා සත් දිනක් පූජා පවත්වා කාවන්තිස්ස රජු මෙකී විහාරය සඟසතු කර තිබෙනවා.
අනුරාධපුරයේ මහා විහාරයට සමානවම රෝහණයේ වූ මහා විහාරයක් ලෙස චිත්තල පබ්බත විහාරය හඳුනා ගත හැකියි. එළාර රජ සමග යුද්ධයකට යාමට රුහුණේ දී සේනා සංවිධානය කළ කාවන්තිස්සගේ පුත් දුටුගැමුණු කුමරු සිතුල්පව්ව විහාරයේ භික්ෂුන්ට දන් පිළිගන්වා මාගමින් පිටත් වූ බව සහස්‌සවත්ථූපකරණයේ සඳහන් වනවා. ශ්‍රී මහා බෝධියේ දෙතිස්‌ඵල රුහ බෝධීන් වහන්සේ නමක් මේ විහාරයේ ද රෝපණය කර ඇතැ යි සිංහල බෝධිවංශය සඳහන් කරනවා.
සෙල්ලිපි 75ක්
වර්ග කි. මී. 2ක් 3ක් ඇතුළත කටාරම් කෙටූ ලෙන් 100කට අධිකව විසිරී තිබෙනවා. එම ලෙන්වල කොටා ඇති ක්‍රි. පූ. 03- ක්‍රි. ව. 01 අතර පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි 66ක් ද පර්වත මත කෙටූ ගිරි ලිපි 9ක් ද සිතුල්පව්වේ ඓතිහාසිකත්වයට දෙස් දෙනවා. ඒ අතරින් පූර්ව බ්‍රාහ්මී ලිපියක සඳහන් වන “දෙවනපියරජ අභය” යන නාමය දුටුගැමුණු ලෙස මහචාර්ය සෙනරත් පරණවිතාන සලකනවා. මේ සෑම ලෙන් ලිපියකම සඳහන් වන්නේ ලෙන කටාරම් කොටා භික්ෂූන් උදෙසා පූජා කිරීම පිළිබඳව යි. කාවන්තිස්ස, මහානාග, දුටුගැමුණු, ලජ්ජිතිස්ස, වංකනාසිකතිස්ස, කණිට්ඨතිස්ස, දප්පුල, මහසිළුමහතිස්ස, මහල්ලක නාග, වසභ, ගජබාහු, ඉළනාග, වලගම්බා ආදී රජවරු පිළිබඳ තොරතුරු මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා. දුටුගැමුණු රජු සමග යුධ පෙරමුණට ගිය දස මහා යෝධයින්ගෙන් ගෝඨයිම්බර, ඵුස්‌සදේව, වේළුසුමන, නන්දිමිත්‍ර යන සිව් දෙනාම සිතුල්පව්වේ සංවර්ධනයට දායක වී ඇති බව මෙහි ලෙන්වල කොටා ඇති සෙල්ලිපිවලින් තහවුරු වෙන තවත් කරුණක්.
ඉතිහාසය
පැරණි මාගම්පුර රාජධානියට අයත් මහාවිහාර අතර සිතුල්පව්ව විහාරයට ප්‍රමුඛ ස්‌ථානයක් හිමිවෙනවා. සිතුල්පව්ව අයත් යාල වනෝද්‍යානය ප්‍රදේශය අතීතයේ ඉතා සශ්‍රීක ජනාවාසයක් බවට වනයෙන් වැසී ඇති නටබුන් සාක්‍ෂි දරනවා. මෙම භූමියේ ඓතිහාසිකත්වය මාගම්පුර රාජධානි සමයටත් වඩා ඈතට ගෙනයාමට ඉතිහාස ගවේශක සී. ඩබ්ලිව්. නිකලස් උනන්දු වෙනවා. ඊට අනුව පැරණි කතරගම ප්‍රාදේශීය රාජ පෙළපතක් වූ කතරගම ක්‍ෂත්‍රීයයන්ගේ පාලන ප්‍රදේශයට මෙම ප්‍රදේශය අයත්ව තිබී තිබෙනවා. මහානාග උපරාජයා ක්‍රි. පූ. 3 වන සියවසේ දී මාගම් ප්‍රදේශයේ රාජධානිය ආරම්භ කිරීමත් සමග සිතුල්පව්ව ආශ්‍රිත ප්‍රදේශය ද රුහුණු මාගම්පුර රාජධානියට අයත් වී තිබෙනවා.
ඓතිහාසික කාලපරිච්ඡේදය ඉක්‌මවා ගිය සාධක වන ප්‍රාග් ඓතිහාසික සාධක ද සිතුල්පව්ව අයත් යාල වනෝද්‍යාන ප්‍රදේශයෙන් ලැබී තිබීම නිසා, ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙම ප්‍රදේශ ජනාවාස වී තිබු බව සැලකිය හැකියි. ඒ අනුව සිතුල්පව්ව ප්‍රදේශය අවටින් ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් තිබූ බවට සාක්ෂ්‍ය 06ක් පමණ 2004 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්‌කෘතික අරමුදල ඒකාබද්ධව කරන ලද ගවේශනවලින් තහවුරු කරගෙන තිබෙනවා.
රාජකීය අනුග්‍රහය
වසභ රජු මෙම ස්ථානයේ ස්ථුප 10ක් ඉදිකළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. වසභ රජුගේ මුනුබුරෙකු වන ගජබාහු රජු ද සිතුල්පව්ව ස්‌ථුපයට අනුග්‍රහය දක්‌වන ලද රජ කෙනෙක්. පසු කාලීනව මහාදාඨික, මහානාග, අමණ්ඩ ගාමිණී අභය රාජ්‍ය සමයන්හි දී එම ස්ථුප නැවත ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මහල්ලක නාග, දප්පුල රාජ්‍ය සමයන්හි ද මෙම විහාරස්ථානයට විවිධ ප්‍රදානයන් කර තිබෙනවා.
වළගම්බා රජ සමයේ දී සිතුල්පව්ව රහතන්වහන්සේ ඉතා විශාල ප්‍රමාණයක් වැඩසිටි ආරම සංකීර්ණයක්ව පැවතුණක්. එකල හටගත් ‘බැමිණිතියා’ නම් මහා නියං සාගතය හේතුවෙන් මේ විහාරයේ රහතන්වහන්සේ විශාල පිරිසක් පිරිනිවන්පා ඇති බව බෞද්ධ සාහිත්‍ය කෘතිවල සඳහන් වෙනවා.
නැවත සොයා ගැනීම
අනුරාධපුරය බිඳවැටීමත් සමග වනගත වූ සිතුල්පව්ව විසිවෙනි සියවස ආරම්භයේ දී නැවත සොයාගෙන පූජනීය ස්ථානයක් බවට පත්කරන්නේ ගාල්ලේ යටගල රජමහ විහාරාධිපතිව වැඩ විසූ කළහේ රතනජෝති ශ්‍රී ගුනරතනාභිධාන නායක හාමුදුරුවන් විසින්. පසුව වර්ෂ 1909 දී පුරාවිද්‍යාඥ වූ හෙන්රි පාකර් මෙහි පර්යේෂණ කටයුතු කර තිබෙනවා. 1922 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි නටබුන් ලේඛනගත කර තිබෙනවා.
මහා සිතුල්පව්ව සහ කුඩා සිතුල්පව්ව
මහා සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව යනුවෙන් පර්වත දෙකක් මත චෛත්‍යයන් දෙකක් දැකගත හැකියි. කාවන්තිස්ස රජ කරවූ චෛත්‍යය පිහිටියේ පළමුව හමුවන පර්වතය මතයි. මේ චෛත්‍යය දැන් රියන් 36ක් උසට බඳවා පිළිසකර කර තිබෙනවා. මේ දාගැබට පරිවාර චෛත්‍ය ලෙස වසභ රජු ඉදිකළ අනෙක් චෛත්‍ය දහයේ අත්තිවාරම් කඳුවල දකින්න පුළුවන්. සිතුල්පව් ලෙන් විහාරය මහා සිතුල්පවු කන්දේ බෑවුමක ඉදිකොට තිබෙනවා. එය අඩි 67ක් පමණ දිගකින් හා අඩි 30ක උසකින් යුක්තයි. එහි ඇති සැතපෙන බුදු පිළිමය දිගින් අඩි 37ක් පමණ වෙනවා.
මහා සිතුල්පව්වට නැගෙනහිරින් පිහිටි කඳු ගැටයේ කුඩා සිතුල්පව්ව පිහිටා තිබෙනවා. සිතුල්පව් ලෙන් විහාරය ඉදිරිපස ඇති මාර්ගය කුඩා සිතුල්පව්ව කරා දිවයනවා. මෙහි ද චෛත්‍ය දෙකක්, ගල් ලෙන්, පොකුණු හා විශාල ගල් කුඩය ලෙස හැඳින්වෙන ගල් ලෙනක් දැකගත හැකියි.
සිතුල්පව්ව පුදබිමෙන් පැරණි පිළිමගෙයක්, බෝධිඝරයක්, හා උපෝසථඝරයක් ද හමුවී තිබෙනවා. ඒ සමගම ඉතා අලංකාර බෝධිසත්ත්ව ප්‍රතිමා දෙකක් ද දක්‌නට ලැබෙනවා. එම ප්‍රතිමා අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බව හෙළිවී තිබෙනවා. ප්‍රධාන පර්වතයේ හා කුඩා සිතුල්පව් පර්වතයේ තිබූ ඉපැරණි ස්‌ථුප දෙකක් මේ වන විට සංරක්ෂණ කර තිබෙනවා.
පුරාණ සිතුවම්
සිතුල්පව්වේ දක්‌නට ලැබෙන සිතුවම් අනුරාධපුර යුගයේ මහා සම්ප්‍රදායේ සිතුවම්වලට නිදර්ශන සපයනවා. ප්‍රධාන පිළිම ලෙනේ කටාරමට යටින් ඉතා සිහින් බදාම ඇතුරුමක් මත ඇඳ ඇති මෙම සිතුවම් මේ වන විට දැඩි ලෙස විනාශයට පත් වෙලා. මෙම සිතුවම පශ්චාත් අනුරාධපුර යුගයට අයත් බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක සඳහන් කරනවා. ලෙනෙහි කුඩා තීරුවක මෙම සිතුවම් ඉතිරි වී තිබෙනවා. පුරාණයේ සම්පූර්ණ ලෙන් වියනම සිතුවම්වලින් අලංකාර කර තිබෙන්නට ඇති බව සැලකෙනවා. මේ සිතුවම්වල හඳුනාගත හැකි කොටස් අතර වළි කුකුළන් රෑනකගේ සිතුවම් කොටස සුවිශේෂී වෙනවා. රතු, කහ සහ සුදු වර්ණ මේ සඳහා යොදාගෙන තිබෙනවා. මෙම වළි කුකුළන් පෙළ එකා පිටුපස එකා දිවයන ආකරයෙන් නිරූපනය කෙරෙනවා. ඊට අමතරව ජනේලයක් (කූරු තුනේ), අං තට්‌ටුවක් සහිත මුවෙකුගේ රුවක්, බුදුන් වහන්සේගේ රූප දෙකක් හා අතක කොටසක් මෙන්ම ඉහළ අහසේ සිටින දේවරූපයක් ද හඳුනාගත හැකියි.
රන් ආලේපිත මැටි බඳුන්
සිතුල්පව්ව ආරාම සංකීර්ණයේ “අයිමර” නම් ලෙන අසල පිහිටි නටබුන් ගොඩනැගිල්ලක් පාදා ගැනීමේ කැණීම් කටයුතු 2014 දී දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් විසින් ආරම්භ කෙරුණා. එහිදී ක‍්‍රිස්තු වර්ෂ පළමුවන හා දෙවන සියවසට පමණ අයත් විය හැකි ඉදිකිරීම් ලක්‍ෂණ සහිත නටබුන් ගොඩනැගිල්ලක් පාදාගෙන තිබෙනවා. දැනට අනාවරණය වී ඇති සාධකවලට අනුව මෙය මහල් කිහිපයකින් යුත් ආවාස ගෘහයක් විය හැකි බවට අනුමාන කරනවා.
මීට අමතරව රන් ආලේපිත මැටි බඳුන් කැබලි, විවිධ වර්ණයන්ගෙන් යුත් මැටි බඳුන් කැබලි, පැරණි පෙති උළු, පැරණි කාසි හා පැරණි යකඩ ඇණ ආදිය ද මෙම කැණීමේ දී හමුවුණා. රන් ආලේපිත මැටි බඳුන් ලංකාවෙන් හමු වී ඇති ප‍්‍රථම අවස්ථාව මෙය යි.
මඟුල් මහා විහාරය, ආකාස චේතිය, කටගමුව නටබුන්, මහා සීලව පර්වතය, කොරවක්ගල් කන්ද ආදී ලෙස මේ අවට වනාන්තරයේ තවත් ස්ථාන කිහිපයකම පුරාණ විහාරවල නටබුන් දැකගත හැකියි.