වර්තමානයේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා පනවා තිබූ සංචරණ සීමා වැනි දේ හමුවේ තමන්ගේ ම නිවසට වී කාලය ගත කිරීම කෙතරම් දුෂ්කර වූවා ද යන්න ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. තමන්ගේ ම නිවසේ හෝ එක දිගට දීර්ඝ කාලයක් රැඳී සිටීමට කිසිවකුත් කැමැති නැත.
එවැනි තත්ත්වයක් තුළ යම්කිසි බලවත් පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කිහිප දෙනකුගේ අණසකට කීකරු ව, බැලමෙහෙවර කරන්නට කවුරුන් නම් කැමැති වේද? කෙසේ වෙතත් වසර දහස් ගණනක පටන් සිය හාම්පුතුන්ගේ අණට කීකරු වෙමින් ඔවුන්ට සේවය කරන්නට සිදු වූ ජනකොටස් ජීවත් වූ බව අපි දනිමු.
ඔවුන් නිදහසට කෙතරම් ඇලුම් කළේ ද යත් ලැබුණු ඇසිල්ලකින් සිය හාම්පුතුන් මරා දමා හෝ නිදහස සොයා ගිය එවැනි කණ්ඩායම් පිළිබඳව ඉතිහාසය පුරාවට සඳහන් වේ. මෙම ලිපිය වසර දහස් ගණනක අතීතය පුරාවට වහල් සේවයේ යෙදුණු මිනිසුන් නිදහස උදෙසා සිදු කළ එවැනි අරගල කිහිපයක් පිළිබඳවයි.
01). ස්පාටකස් සහ තෙවැනි සර්විල් යුද්ධය
පුරාතන රෝමයේ වහල් ජනතාව සිදු කළ අති සාර්ථක ම, කැරැල්ලකට නායකත්වය දුන් සටන්කාමියෙකි- ඒ ස්පාටකස් ය. ක්‍රිස්තු පූර්ව 73 දී ආරම්භ වූ එම කැරැල්ල රෝමයේ ඇති වූ දරුණුත ම කැරැල්ල ලෙස ද සැලැකේ. මුලින් ම ස්පාටකස් ඇතුළු වහල් සේවයේ යෙදුණු කණ්ඩායමක් එක්තරා කඳවුරකින් පලා ගියේ මුළුතැන්ගෙයි උපකරණ ආයුධ වශයෙන් භාවිත කරමිනි. ඉතා කෙටි කාලයක් ඇතුළත රෝමය පුරා වහල් සේවයේ යොදවා සිටි පුද්ගලයන් දහස් ගණනක් එම කැරැල්ලට එක් විය.
ඓතිහාසික මුලාශ්‍රවලට අනුව 120,000කට ආසන්න පිරිසක් එම කැරැල්ලට එකතු වූ නමුත් ඔවුන් පසුකාලීන ව විවිධ කණ්ඩායම්වලට බෙදී ගොස් තිබේ. ඔවුන් අතර තිබු එකමුතුකම බිඳී ගිය බැවින් එහි වාසිය ලබාගත් රෝම පාලකයන් ක්‍රිස්තු පූර්ව 71 දී එම කැරැල්ල මර්දනය කිරීමට සමත් වූහ. කැරැල්ල අතරතුර ස්පාටකස් මිය ගියේ ය. නැවත එවැනි කැරලිවලට සම්බන්ධ වන අයට අත්වන ඉරණම කුමක්දැයි පෙන්වීමේ අරමුණින් මෙම කැරැල්ලට සම්බන්ධ වූ 6,000ක පිරිසක් ඝාතනය කර මහා මාර්ගයක් අසල ප්‍රදර්ශනය කළ බව කියැවේ.
02). නැට් ටර්නර්ගේ කැරැල්ල
අමෙරිකානු ඉතිහාසයේ ඇති වූ වඩාත් දරුණු සහ ප්‍රසිද්ධ වහල් සේවකයන්ගේ කැරැල්ලක් ලෙස 1831 දී වර්ජීනියා ප්‍රාන්තයේ සවුත්හැම්ප්ටන්හි ඇති වූ කැරැල්ල හැඳින්විය හැකි ය. අතිශයින් ම ආගම්වාදී පුද්ගලයකු වූ නැට් ටර්නර් සහ ඔහු සමඟ සේවය කළ තවත් කිහිප දෙනෙක් එක්ව 1831 අගෝස්තු 21 දින, නින්දේ සිටි ඔවුන්ගේ ස්වාමියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියල්ල මරා දැමූහ. ඉන් අනතුරුව 70කට ආසන්න පිරිසක් ගෙයින් ගෙට යමින් සුදු ජාතිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මරා දැමීමත් සමඟ කැරැල්ල ආරම්භ විය.
කැරැල්ල ටිකෙන් ටික වර්ධනය වූ බැවින් හමුදා බලය යොදවා කැරැල්ල මැඩ පැවැත්වීමට රජය කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් වහල් සේවකයන් 55කගේ හිස ගසා මරා දැමිණි. එම කැරැල්ලෙන් පසුව වහල් සේවයේ යෙදුණු පුද්ගලයන් 200කට අධික පිරිසක් සුදු ජාතිකයන් අතින් ඝාතනයට ලක් වූහ. ටර්නර් ගේ ඉගැන්වීම් නිසා අනිකුත් පුද්ගලයන් කැරැල්ලට සම්බන්ධ වූ බවට වන මතය නිසා සමහර ප්‍රාන්තවල වහල් සේවයේ යෙදෙන පවුල්වල කිසිවකුට කියවීමට හෝ ලිවීමට ඉගෙනීම තහනම් කරමින් නීති රීති පවා සම්මත විය.
03). සාන්ජ් කැරැල්ල
අප්‍රිකානුවන් වහල් සේවය සඳහා උතුරු අමෙරිකාවට රැගෙන ඒමට බොහෝ කලකට පෙර, මැදපෙරදිග රටවල ජීවත් වූ අප්‍රිකානුවන් පිරිසක් කැරැල්ලක් ඇති කළහ. නැගෙනහිර අප්‍රිකානු වහල් සේවකයන් වූ ඔවුන් අලි බින් මුහම්මද් නම් විප්ලවවාදියකු සමඟ එක් ව අබ්බාසිඩ් නම් කැලිෆතයට එරෙහි ව නැගී සිටියේ ඉඩම් සහ නිදහස ලබාදෙන ලෙස බල කරමිනි. ඔවුන් රාත්‍රී කාලයේ තැනින් තැනට යමින් කැරැල්ල සඳහා සාමාජිකයන් එක්රැස් කළ බව කියැවේ.
මෙම කැරැල්ල වසර 15ක් පුරාවට පැතිර ගිය අතර ඊට 500,000කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඔවුන් වර්තමාන ඉරාකයේ නගර හයක් පාලනය කළ බව කියැවේ. ක්‍රිස්තු වර්ෂ 880 දී අබ්බාසිඩ් හමුදාව මෙම කැරලිකරුවන්ගේ මූලස්ථානයට පහර දීමත් සමඟ කැරැල්ල අවසන් විය. මුහම්මද් කැරැල්ල අතරතුර මිය ගියේ ය. ඉතිරි වූ කැරලිකරුවන්ගේ සටන්කාමී බව නිසා ඔවුන්ගෙන් සමහරක් අබ්බාසිඩ් හමුදාවට පවා බඳවාගෙන තිබේ.
04). හයිටි විප්ලවය
මෑතකාලීන ඉතිහාසයේ වඩාත් සාර්ථක වූ වහල් සේවකයන්ගේ කැරැල්ලක් ලෙස හයිටි විප්ලවය සැලැකේ. එය කෙතරම් දුරට සාර්ථක වූයේ ද යත් ඔවුහු අවසානයේ ස්වාධීන රාජ්‍යයක් පවා පිහිටවූහ. 1791 දී මෙම කැරැල්ල මුලින් ම ආරම්භ වූයේ ශාන්ත ඩොමින්ගෝ නම් ප්‍රංශ යටත් විජිතයේ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. 1789 සිදු වූ ප්‍රංශ විප්ලවය නිසා අභිප්‍රේරණය වූ කළු ජාතිකයන් පිරිසක් එක්ව සුදු ජාතිකයන් දහස් ගණනක් මරා දැමූ අතර උක් වගා කර තිබූ අක්කර දහස් ගණනක් ද ගිනිබත් කළහ. වසරක් වැනි කාලයක් තුළ ඔවුන් ශාන්ත ඩොමින්ගෝහි උතුරු ප්‍රදේශයේ පිහිටි පළාත්වල බලය අල්ලා ගත්හ.
එම කැරැල්ල 1794 දක්වා පැතිර ගොස් තිබේ. එය පාලනය කරගත නොහැකි වූ බැවින් ප්‍රංශ රජය ඊට අයත් සියලු රාජ්‍යයන්හි වහල් සේවය තහනම් කර තිබේ. එම කැරැල්ලට නායකත්වය දුන් පුද්ගලයෙක් 1801 දී එක්තරා දූපතක ආණ්ඩුකාරවරයා තමන් බව ප්‍රකාශයට පත් කළේ ය. ඒ සමඟ ම එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පාලනය විය. කෙසේ වෙතත් නැපෝලියන් බොනපාට් ගේ හමුදා 1802 දී එම ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගෙන, නැවැත එහි වහල් සේවය ඇති කිරීමට උත්සහ කර තිබේ. ඒ සමඟ ම එම දූපතේ ජීවත් වූ පුද්ගලයෝ ආයුධ අතට ගෙන නැවතත් සටන් කිරීමට ගත්හ. වසරකට ආසන්න කාලයක් තිස්සේ සටන් කළ ඔවුහු 1803 දී ප්‍රංශ හමුදා පරාජය කර නැවතත් පෙර කී දූපතේ පාලන බලය අත්පත් කරගෙන එය නව හයිටි ජනරජය ලෙස නම් කළහ.
05). ශාන්ත ජෝන් කැරැල්ල
උතුරු අමෙරිකාවේ ඇති වූ ප්‍රාරම්භක වහල් සේවක කැරලි අතර ශාන්ත ‘ජෝන් කැරැල්ල’ ප්‍රසිද්ධ එකකි. වර්තමාන ඝානා රාජ්‍යයේ සිට රැගෙන ආ කළු ජාතිකයන් විශාල පිරිසක් එකල ඩෙන්මාර්කය යටතේ පැවති ශාන්ත ජෝන් දූපතේ වහල් සේවයේ යොදවා තිබිණි. විවිධ ලෙඩරෝග, නියඟය සහ දැඩි නීති නිසා පිඩාවට පත්ව සිටි ඔවුහු 1733 දී සිය හාම්පුතුන්ට විරුද්ධ ව කැරලි ගසන්නට වූහ. ඔවුහු මුලින් ම වගාබිමක පිහිටි බළකොටුවක සේවය කළ ඩෙන්මාර්ක හමුදා සෙබළුන් කිහිප දෙනෙක් මරා දැමූහ.
ඉන් අනතුරුව 150ක පමණ කළු ජාතිකයන් පිරිසක් ආසන්නයේ පිහිටි වෙනත් වගාබිම්වල සිටි සුදු ජාතිකයෝ රැසක් ද මරා දැමුහ. ඒ සමඟ ම ඔවුන් එම දූපතේ බලය අත්පත් කරගත්තත් එහි බලය වැඩි කල් තබාගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත. ඊට හේතුව ප්‍රංශ හමුදා 1734 මැයි මස දී එහි කඩාවැදී එහි බලය අත්පත් කර ගැනීම යි. ඒ සමඟ ම දූපතේ ජීවත් වූ කළු ජාතිකයන්ට නැවතත් වහල් සේවයේ යෙදීමට සිදු විය. එහි වහල් සේවය තහනම් කරනු ලැබුවේ 1848 වසරේදී ය.
06). බැප්ටිස්ට් යුද්ධය
සාමකාමී විරෝධතාවක් ලෙස ආරම්භ වූ ජැමෙයිකාවේ බැප්ටිස්ට් යුද්ධය නිසා අවසානයේ විශාල පිරිසකට දිවි අහිමි විය. 1831 දෙසැම්බර් 25, එනම් නත්තල් දින ජැමෙයිකාවේ තැන් තැන්වල සේවය කළ වහල් සේවකයන් 300,000න් 60,000ක් වැඩ වර්ජනයක් ආරම්භ කළේ බැප්ටිස්ට් මතධාරියකු මෙන් ම වහල් සේවයේ යෙදුණු තැනැත්තකු වූ සැමුවෙල් ශාර්ප් ගේ උපදෙස් මත ය. මූලික අයිතිවාසිකම් සහ ප්‍රමාණවත් වැටුපක් ලැබෙන තෙක් සේවයට නැවත වාර්තා නොකරන බව ඔවුහු හාම්පුතුන්ට දැනුම් දුන්හ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හමුදා බලය යොදා ගෙන වැඩ වර්ජනය මැඬපැවැත්වීමට සූදානම් වන බවට කටකතා පැතිර ගිය බැවින් එය කැරැල්ලක් බවට පත් විය. වැඩ වර්ජනයේ යෙදුණු පිරිස අක්කර දස දහස් ගණනක වගාබිම් ගිනි තබා විනාශ කළ අතර ඒවායේ වටිනාකම එවකට අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් බව කියැවේ. ඔවුහු සුදු ජාතිකයන් විශාල පිරිසක් ද ඝාතනය කළහ. අවසානයේ හමුදා බලය යොදවා කැරැල්ල මැඬපැවැත්වීමට බ්‍රිතාන්‍ය කටයුතු කළ බැවින් හමුදා ප්‍රහාරවලින් කැරලිකරුවන් 300කට වැඩි පිරිසක් මිය ගියහ. තවත් කැරලිකරුවන් 300ක් පමණ පසුව එල්ලා මරා දැමිණි. ඊට වසරකට පසුව සියලු යටත් විජිතයන්හි වහල් සේවය තහනම් කිරීම සඳහා වන යෝජනාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත විය.