වහකෝට්ටේ කියන විටම අපට මතක් වෙන්නේ එහි පිහිටි ප්‍රකට කතෝලික පල්ලිය යි. මේ සුන්දර ගමේ ඉන්නේ පෘතුගීසි කතෝලිකයන් බව ඔබ දන්නවා ද? පංච තූර්ය නාදයෙන් දෙවිඳු පුදන, හේවිසි හොරණෑ නාද නැඟෙන කතෝලික පුදබිමක් ලංකාවේ ඇත්නම් ඒ වහකෝට්ටේ පමණ යි. මේ පල්ලිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ සහ කතෝලික සිරිත් විරිත් දෙවර්ගයම අනුගමනය කරන අපූරු ඓතිහාසික පුදසුනක් විදිහට යි.
වහකෝට්ටේ පිහිටා තිබෙන්නේ කොළඹ සිට කි. මී. 137ක් දුරින්. ගලේවෙලින් හැරිලා යන මාතලේ පාරේ කි. මී. 7ක් යන විට මේ ස්ථානයට ළගාවීමට පුළුවන්.
වාසල කෝට්ටේ
1834 දී ලියූ The Ceylon Almanac නම් වාර්තාවේ ඇත්තේ මේ විදිහට යි.
පුරාණයේ වහකෝට්ටේ සමෘද්ධිමත් නගරයක්ව පැවතුණි. එහි කොටු පවුරු ආදියෙන් සුරක්ෂිත බලකොටුවක් තිබුණු බවට සාධක තිබේ. අවුරුදු ගණනාවක් එහි යුවරජවරු විසූහ. වරක් රාජ මාලිගාවක් පිහිටියේ යයි කියන බිම් කොටස දැනුදු ගම්වැසියෝ පෙන්වති. දුටුගැමුණු රජු විසින් පරාජය කළ එළාර රජුගේ බලකොටුවක් මෙහි තිබූ බවට ද විශ්වාසයක් පවතී. වහකෝට්ටෙට නුදුරින් අම්බොක්ක කන්ද පාමුල පුරාණ පත්තිනි දේවාලයක් ඇති අතර, යාබද වනාන්තරයේ රංගල්ල නුවර නටබුන් පවතින බව වාර්තාවල සඳහන් ය.
බලකොටුව තුළ තිබූ මාලිගය යන අර්ථයෙන් තමයි මේ ගමට වාසල කෝට්ටේ හෙවත් වහකෝට්ටේ නම ලැබී තිබෙන්නේ. පැරණි බලකොටුවල නටබුන් නම් පසුකාලීන ජනාවාස සහ ඉදිකිරීම් නිසා විනාශ වූ බව යි පේන්නේ.
පෘතුගීසින්ගේ උදව්වෙන් උඩරට ටික දිනකට රජ වූ, කරල්ලියැද්දේ රජුගේ පුත් යමසිංහ බණ්ඩාර (දොන් පිලිප්) මන්නාරමේ සිට පැමිණෙන විට රාජ ගෞරවයෙන් පිළිඅරන් රාජ්‍යත්වය නිවේදනය කළේ ද වහකෝට්ටේ දී බව ක්වේරෝස් සඳහන් කරනවා. ඔහු උඩරට රජ වූ එකම ක්‍රිස්තු භක්තික රජු ලෙස සදහන් වෙනවා. හැබැයි ටික දිනකින් ඔහු මරා දමා පළමුවන විමලධර්මසූරිය රජ වී මහනුවර අංගසම්පූර්ණ රාජධානියක් කිරීමට පදනම දමනවා.
පෘතුගීසින් ගමට ආ හැටි
පෘතුගීසින් පාලනය කළ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සියල්ල 1658 වන විට ලන්දෙසින් අල්ලා ගන්නවා. ලන්දේසි පාලකයන් රෙපරමාදු දහම ව්‍යාප්ත කරමින් කතෝලික ආගම අදහන පෘතුගීසින් බොහෝ පීඩාවන්ට ලක්කරනවා. දෙව්මැදුරු, පාසල්, පුණ්‍යායතන ආණ්ඩුවට අයිතිකර ගන්නවා. කතෝලික දහම ඇදහීමට විරුද්ධව නීති පනවනවා.
මහනුවර දෙවැනි රාජසිංහ රජු (1629-1681) ලන්දේසි ප්‍රදේශවල දුක්විඳින පෘතුගීසි යුධ සිරකරුවන්ට උඩරට රාජධානියට පැමිණෙන මෙන් ආරාධනා කරන්නේ මේ අතර යි. ඔවුන්ට ආරක්ෂාව ලබාදීමට ද රජු පොරොන්දු වූ බව ඒ කාලේ උඩරට සිටි රොබට් නොක්ස් සඳහන් කරනවා.
රාජසිංහ රජුගේ මව වූයේ කතෝලික බිසවක් වූ දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය යි. එසේ පැමිණි පෘතුගීසි ජනයා උඩරට රජුගේ ආරක්ෂාව ලබා මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගොඩ පල්ලේසිය පත්තුවේ වහකෝට්ටේ අවට පදිංචි වෙනවා. කතෝලික ධර්මයට අයත් කිසිවක් ළඟ පවතින බව හසුවුවහොත් ලන්දේසින් අතින් මැරුම්කන්නට සිදුවන බැවින් බත් හැලියක සඟවාගෙන පැමිණි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවක් බලකොටුව අසල තැන්පත් කළ ජනතාව එයට රාත්‍රි කාලයේ යාඥා කළ බව ජනප්‍රවාදවල පැවසෙනවා.
ශාන්ත අන්තෝනි මුනිවරයා
මෙම පල්ලිය කැපකරන තිබෙන්නේ ප්‍රාතිහාර්යේ සාන්තුවරයා ලෙස සැලකෙන ‘පාදුවාහී ශාන්ත අන්තෝනි මුනිඳු’ නමට යි. 1231 ජුනි 13 වෙනිදා පාදුවාහි දී ස්වර්ගස්ථ වූ බැවින් ‘පාදුවාහී ශාන්ත අන්තෝනි මුනිඳු’ යන නමින් අද ද බොහෝ බුහුමන් ලබනවා. මේ නිසා වහකෝට්ටේ පල්ලියට ද රට වටෙන්ම එන ජනතාව තම පීඩාවන්වලින් ගැලවීමට යාඥා කරනවා.
ජුසේවාස් පියනමගේ පැමිණීම
1687 වර්ෂයේ දී ලන්දේසීන්ට හොරෙන් වෙස්වලාගෙන ලංකාවට පැමිණි ජුසේවාස් පියනම වහකෝට්ටේට ළගාවෙනවා. මේ පැල්පත් දෙව් මැඳුර තුළ සිට ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකර තිබෙනවා. මේ ගැන රදගුරු එඩ්මන්ඩ් පීරිස් මෙසේ ලියා තිබෙනවා: ජුසේවාස් පියතුමන්ගේ කාලයේ දී රහසිගත ස්ථානයක පුදසුනක් තනවන ලදී. දිවා කාලයේ එය ගව ගාලකි.රාත්‍රිය දේව මන්දිරයකි. අද වුව වහකෝට්ටේ වාර්ෂික උත්සවයේ දී ශාන්ත අන්තෝනි දෙව් රුව රැගෙන යන පෙරහරේ දී ජුසේවාස් පියතුමාගේ නම යාඥා ගායනයෙන් සිහිපත් කෙරේ.
(ඓතිහාසික මාතලේ- 158 පිට)
ජුසේවාස් පියනම නැවතී සිටි බව විශ්වාස කෙරෙන තැන මෑතක දී ජුසේවාස් මණ්ඩපය ඉදිකර තිබෙනවා. එහි ජුසේ වාස් ප්‍රතිමාවක් ද දැකගත හැකියි. ජුසේවාස් පියතුමන් විසින් සිටුවනු ලැබූ කුරුසය අදට ද මෙම බිමේ දක්නට ලැබෙනවා. 1713-14 වර්ෂවල දී ජෝශප් ගෝමස් නම් පියනම ද ලංකාවට පැමිණි වහකෝට්ටේ කතෝලික ධර්ම ප්‍රචාරක කටයුතු කළ බව සඳහන් වෙනවා.
කීර්ති ශ්‍රී රාජසිංහ
කීර්ති ශ්‍රී රාජසිංහ රජු කිරුළට පත්වූ විගස දැඩි කතෝලික විරෝධියකු වූ අතර, උඩරට පදිංචි වී සිටි පෘතුගීසින් ගම්මානවලින් පන්නා දැමීමට කටයුතු කළා. එකල උඩරට නියඟයක් හටගෙන වසංගතයක් සහ සාගතයක් ඇතිවුණා. එය පෘතුගීසින් එළවා දැමීම නිසා සොබාදහම ලබා දුන් දඬුවමකැ යි රටපුරා රාවයක් ද පැතිරුණා. ඉන් බියට පත් රජු පෘතුගීසින් නැවත ගෙන්වා වහකෝට්ටේ ග්‍රාමය ඔවුන්ට ප්‍රදානය කළ බව පැවසෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජු පෘතුගීසින් ඇතුළු කිතුනු භක්තිකයන්ට පුද පූජා පවත්වන්නට දෙව් මැදුරක් ද තනවා දුන් බවත් කියැවෙනවා. ජුසේවාස් පියනමගේ මහනුවර බෝගම්බර දෙව්මැදුරෙන් පැහැරගෙන තිබු මරියතුමියගේ ප්‍රතිමාව ඇතුළු ඇතුළු සියලු භාණ්ඩ වහකෝට්ටේ දෙව්මැදුර තෙක් පෙරහරෙන් රැගෙන ගිය බව ද දැක්වෙනවා. එම ආගමික භාණ්ඩ වහකෝට්ටේ වෙත ගෙන ගියේ බෙර, හේවිසි හොරණෑ හඬ සහිත පෙරහරකින්. අද වන විටත් වහකෝට්ටේ පූජනීය සිද්ධස්ථානයේ මංගල්‍ය අවස්ථාවල දී උඩරට නැට්ටුවන් හේවිසි නාද පවත්වන්නේ ඒ අතීතය සමරමින් බවයි පැවසෙන්නේ.
ජූනි මාසයේ දී පැවැත්වෙන මංගල්‍යයේ දී මරියතුමියගේ පැරණි ප්‍රතිමාව දේවස්ථානය වටා පෙරහරකින් වැඩම කරවනවා. මේ පෙරහර බෞද්ධ පෙරහරකට තරමක් සමාන යි. සංස්කෘතික අංග රැසක්, වෙස් නැටුම් කණ්ඩායමක්, හේවිසි කණ්ඩායමක් වැනි සුවිශේෂී අංග රැසකින් සමන්විත පෙරහර පැය දෙකකට වැඩි කාලයක් දෙව්මැදුර වටා ගමන් ගන්නවා.
උඩරට රජ කාලයේ දී මාතලේ ප්‍රදේශය දරුණු නියඟයකින් පීඩාවට පත්ව සිටි අතර වහකෝට්ටේ කතෝලික බැතිමතුන් ශාන්ත අන්තෝනි පිහිට පතා යාඥා කර තිබෙනවා. එහිදී මහා වැසි වස්සමින් නියඟය දුරු වූ බව පැවසෙනවා. ලන්දේසි පලවා හැර ඉංග්‍රීසි පාලනය 1815 දී ආරම්භ වූ පසු ඕලන්ද තර්ජන පහව ගිය අතර පෘතුගීසි කතෝලික ජනතාවට නිදහසක් හිමිවෙනවා.
පල්ලියේ කතාව
මුලින්ම පොල්අතු මඩුවක් වශයෙන් තමයි පල්ලිය ඉදිකර තිබෙන්නේ. 1819 දී ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ඉංග්‍රීසි කතෝලික පූජකවරුන්ට වහකෝට්ටේ කතෝලිකයන් බැලීමට යාමට ලිඛිත අවසර ලබාදෙනවා. ඉන් පසු එහි කතෝලිකයන් මනරම් උස්බිම්කඩක් මත කුඩා දෙවස්ථානයක් ඉදිකර ගන්නවා.
1821 සිට එහි සේවය කළ පූජකවරුන්ගේ නාම ලේඛනයක් ද පල්ලියේ තෝම්බුවල තිබෙනවා. පසුව 1838 දී රොම්නෙක්ස් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව බාල්ක නොමැතිව විශාල ආරුක්කු මත දේවස්ථානයක් ඉදිකර ගත් බව සඳහන්. පැවති පල්ලිය අබලන් වීම නිසා 1920 දී විශාල පල්ලියක් ඉදිකිරීමට සැලසුම් කළා. පැවති පල්ලිය කඩා දමා නව පල්ලි ගොඩනැගිල්ල ඉදිකර නිමවූයේ 1938 දී යි. ගොතික් පුනරුද ශෛලියට අනුව දර්ශනීය දෙව්මැදුරක් එහි ඉදිවුණා. බාල්ක රහිත වහලක් සහිත මෙම ගොඩනැගිල්ලේ පියස්සේ හරස් ලීයක් කොතැනකවත් දක්නට ලැබෙන්නේ නැහැ.
වහකෝට්ටේ පුජනීය සිද්ධස්ථානය ශ්‍රී ලංකාවේ ශාන්ත අන්තෝනි මුනිදුන්ට කැප වූ පැරණිතම දේවස්ථානය යි. වරක දී පූජා අවස්ථාවකට හාර දහසක පමණ පිරිසක් සහභාගී වීමට තරම් ඉඩ පහසුකම් එහි පවතිනවා. ශ්‍රී ලංකාවේ බැසිලිකා දේවස්ථාන පහ අතරට ද මෙය එක්වෙනවා. වහකෝට්ටේ පල්ලියේ දී පමණක් ජාකොමේ ගොන්සාල්වේස් පියනම විසින් රචිත පසන් ගී අසන්නටත් පුළුවන්.
වහකෝට්ටේ වාසය කළ මිනිසුන් පෘතුගීසින්ගෙන් පැවතෙන්නන් වුව ද කාලයාගේ ඇවෑමෙන් සිංහල මිනිසුන් සමග නිදහසේ ඇසුරු කිරීමෙන් සංස්කෘතික වශයෙන් බොහෝ සමානතා හටගෙන ඇත. කතාබහ, ඇදුම් පැළදුම්, සංගීතය, නැටුම් සිරිත් විරිත් සිංහල බවට පත්ව ඇත. ඔවුන්ගේ ආගම කතොලික වුව ද සමාජ පැවැත්ම උඩරට සිංහල විය.
(ඓතිහාසික මාතලේ- 158 පිට)
වහකෝට්ටේ වැසියන් “දොන්” යන පෘතුගීසි නාමය තම වාසගම්වලට එක්කර ගන්නා බව රදගුරු එඩ්මන්ඩ් පීරිස් සදහන් කර තිබෙනවා. ඔවුන්ගේ සිංහල වාසගම් කිහිපයක් මෙසේ යි, කොළඹ ගෙදර, කොහොඹගහ ගෙදර, බෝවත්තේ ගෙදර, සමරකෝන් ගෙදර, පිටියේ ගෙදර, වෑඋඩ ගෙදර, මිරිහැල්ලේ ගෙදර, මාත්ගමුවේ ගෙදර, මැටියම්පත ගෙදර, වහකෝට්ටේ රාළලෑ ගෙදර, තුම්පනේ ගෙදර ආදිය යි.
වප් මගුල
සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේ දී වප්මගුල් උත්සවයක් ද පියතුමන්ලාගේ මෙහෙයවීමෙන් ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් පවත්වනවා. වප්මගුල් දා සාමාන්‍ය ඉරු දින දේව මෙහෙය පැවැත්වෙන්නේ පල්ලිය අසල වෙල්යායේ දී යි. අවට ගැමියන් තම නගුල්, ගොවි උපකරණ, ට්‍රැක්ටර්, හරකබාන ආදිය එදින රැගනෙවිත් ආසිරි ගනවන අයුරු දැකගත හැකියි.