ටෙක්සාස් ප්‍රාන්තය ඇමරිකාවට එකතු වූ අයුරු

ඇමරිකා එක්සත් ජනපදය බටහිර දෙසට ව්‍යාප්ත වෙද්දී වැදගත් ම සිදුවීමක් වුණේ, ටෙක්සාස් ප්‍රාන්තය එය සමග එකතු වීම යි. නමුත්, එය සිදු වූ ක්‍රියාවලිය තරමක් දිගු වූවක්. කලක් මෙක්සිකෝවට අයත් ව තිබුණු ටෙක්සාස් ප්‍රාන්තය පසුව ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර, එම රාජ්‍යය එක්සත් ජනපදය සමග එකතු වුණේ එයින් ස්වල්ප කලකට පසු යි. ටෙක්සාස් ප්‍රදේශය ස්වාධීන ජනරජයක් බවට පත් වීම “ටෙක්සාස් විප්ලවය​” යනුවෙන් හඳුන්වනු ලබනවා.

මෙක්සිකෝ ටෙක්සාස්

ටෙක්සාස් ප්‍රදේශය අයත් වූයේ මෙක්සිකෝවට යි. 1821 වන තුරු එය පාලනය කළේ ස්පාඤ්ඤය විසින්. එකල ටෙක්සාස් ප්‍රදේශය ඉතා අඩු ජනගහනයකින් යුක්ත වූ ප්‍රදේශයක් වූ අතර, එය ප්‍රයෝජනවත් වූයේ යාබද ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය විජිතයන් හි ප්‍රසාරණය වළක්වන ප්‍රදේශයක් ලෙස යි.

මෙක්සිකෝව 1821 දී ස්පාඤ්ඤයෙන් නිදහස ලැබූ පසු මෙම උතුරුදිග ප්‍රදේශයන් හි පාලනය තහවුරු කරගැනීමට උත්සුක වුණා. එකල එහි මෙක්සිකානුවන් එතරම් පදිංචි වී නොසිටි අතර අපාචේ, කොමන්චේ වැනි ස්වදේශික ඇමරිකානු ගෝත්‍රික ජනයා එහි වැඩි වශයෙන් වාසය කළා. මෙක්සිකානුවන් එහි පදිංචි වීම කෙරෙහි විශාල උද්‍යෝගයක් ද දැක්වූයේ නැහැ. එහෙයින් මෙක්සිකෝ රජය ඇමරිකානුවන්ට එහි සංක්‍රමණය වීමට තිබූ නීතිමය බාධා ලිහිල් කළා.

මෙක්සිකෝවේ පළාත් 1835 පමණ සිට 1846 තෙක්. ටෙක්සාස් ද මෙම සිතියමට ඇතුළත් කර තිබේ. (Wikimedia Commons)

ඇමරිකා එක්සත් ජනපදය 1803 දී ලුවිසියානාව මිල දී ගැනීමෙන් පසු එවකට ස්පාඤ්ඤ පාලනය යටතේ වූ මෙක්සිකෝවේ අසල්වැසි රටක් බවට පත් ව තිබුණා. ඔවුන් කිහිපවිටෙක ම ටෙක්සාස් ප්‍රදේශය මිල දී ගැනීමට සූදානම ප්‍රකාශ කළත් මෙක්සිකෝව ඊට සූදානම් වූයේ නැහැ.

ටෙක්සාස් ප්‍රදේශය වෙත ඇන්ග්ලෝ- ඇමරිකානුවන්ට සංක්‍රමණය වීම සඳහා අවස්ථාව සලසන ලද්දේ 1820 දී එම ප්‍රදේශය ස්පාඤ්ඤ පාලනය යටතේ තිබිය දී ම යි. නමුත්, 1821න් පසු ද එම තත්ත්වය එලෙසම පැවතුණා. 1823 දී සම්මත කරන ලද නීතියකට අනුව​, සංක්‍රමණික පදිංචිකරුවන්ට වසර හතක් යනතුරු බදු සහන ලබාදුන්නා. එමෙන්ම, 1829 දී මෙක්සිකෝව වහල් මෙහෙය අහෝසි කළ ද​, ටෙක්සාස් හි පදිංචි වන ඇමරිකානු වහල් හිමියන් එම නීතියෙන් නිදහස් කෙරුණා.

ඇන්ග්ලෝ- ඇමරිකානු සංක්‍රමණයන් අධික වීම පිළිබඳ මෙක්සිකෝ රජය තුළ යම් බියක් ඇති වීම හේතුවෙන් 1830 දී ඔවුන් එම සංක්‍රමණිකයන් සීමා කිරීමට කටයුතු කළා. මෙකල ටෙක්සාස් යනු තනි ප්‍රාන්තයක් නොව කොආහුයිලා සහ ටෙක්සාස් යන ප්‍රදේශයේ කොටසක් වුණා. මෙම ප්‍රදේශයට ඇන්ග්ලෝ- ඇමරිකානු සංක්‍රමණ තවදුරටත් සිදුවීම නවතා දැමීමට 1830 දී මෙක්සිකෝ රජය කටයුතු කළා. එමෙන්ම තීරුබදු සහනයන් ද ඉවත් කෙරුණා.

මෙම ක්‍රියාමාර්ග සංක්‍රමණික ඇන්ග්ලෝ – ඇමරිකානුවන් සහ මෙක්සිකෝ රජය අතර ගැටුම් ඇති වීමට හේතු වුණා. කුඩා මෙක්සිකෝ භට පිරිසක් ටෙක්සාස් වෙත එවන ලද අතර, 1832 දී ඔවුන් සහ ටෙක්සාස් වැසියන් අතර ගැටුමක් ඇති වී එයින් ටෙක්සාස් වැසියන් ජය ගත්තා. ඒ සමග ම මෙක්සිකෝ සේනා ටෙක්සාස් හි බොහෝ ප්‍රදේශයන්ගෙන් ඉවත් කරගනු ලැබුණා. ගොලයඩ් සහ සැන් අන්ටෝනියෝ හි පමණක් හමුදා දිගටම රැඳී සිටියා.

ටෙක්සාස් විප්ලවය

මෙකල මෙක්සිකෝ ජනාධිපති ඇනස්ටාසියෝ බුස්ටාමන්ටේට එරෙහිව අන්තෝනියෝ ඩි සන්ටා ආනා විසින් දියත් කළ කැරැල්ලක් ක්‍රියාත්මක වෙමින් පැවතුණා. මෙය මධ්‍යගත රාජ්‍යය සහ ෆෙඩරල් රාජ්‍යය සංකල්ප දෙක අතර අරගලයක් සේ පෙනෙන්නට තිබුණා. බුස්ටමන්ටේ වඩා මධ්‍යගත රජයක් අපේක්ෂා කළ අතර සන්ටා ආනා ඊට විරුද්ධ වූ මතයක් දැරුවා. එහෙයින්, ප්‍රාන්ත කිහිපයක ම සන්ටා ආනාට පක්ෂව කැරලි හට ගත්තා. ටෙක්සාස් ද ඉන් එක් ප්‍රාන්තයක්.

සන්ටා ආනා (Public Domain)

මෙක්සිකෝවේ ජනාධිපති ධුරයට​ පත් වූ පසු සන්ටා ආනා සිය ස්ථාවරයන් වෙනස් කරමින් මධ්‍යගත රජයක් ස්ථාපිත කිරීමට උත්සුක වුණා. ඔහු ප්‍රාන්තයන් මිලිටරි දිස්ත්‍රික්ක බවට පත් කළ අතර, බලය ඉඩම් හිමි රදල පැළැන්තිය වෙත ලබා දුන්නා.

ටෙක්සාස් හි තත්ත්වය පිළිබඳ සන්ටා ආනා වෙත වූයේ සැකයක්. එක් අතකින් එම ප්‍රදේශය කැරලි ගසනු ඇති බව මෙන්ම, ඇමරිකාව විසින් එය ඈඳාගනු ඇතැ යි යන්න ද ඔහු තුළ වූ සැකයක් වුණා. 1835 සැප්තැම්බරයේ දී සන්ටා ආනා ටෙක්සාස් වෙත හමුදා යැවීමට කටයුතු කළා. ජෙනරාල් මාර්ටින් පර්ෆෙක්ටෝ ඩි කොස් යටතේ 500ක පමණ සේනාවක් සැන් අන්ටෝනියෝ (සැන් අන්තෝනියෝ ඩි බෙක්සාර්) වෙත ළඟා වුණා.

“ඕන නම් ඇවිත් ගන්න​” සංකේතය සටහන් ධජයේ අනුරුවක්. මෙය ටෙක්සාස් ප්‍රාන්ත කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ලේ දකින්නට තිබේ (TSHA Online)

මෙම සේනාංකය ගොන්සාලෙස් නම් නගරයක් කරා ගමන් ගත්තේ එහි වූ කාලතුවක්කුවක් යළි ලබා ගන්නා අටියෙන්. ස්වදේශික ඇමරිකානුවන් විසින් එල්ල කරන ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම පිණිස මෙම කාලතුවක්කුව ලබා දී තිබුණා. ටෙක්සාස් වැසියන් මෙම කාලතුවක්කුව පවරා දීමට සූදානම් වූයේ නැහැ. හැකි නම් පැමිණ එය ගන්නැ යි ඔවුන් මෙක්සිකෝ සේනා වෙත අභියෝග කළා. එපමණක් නොව, ඔවුනගේ ප්‍රහාරය ද පරාජය කළා. මෙය ටෙක්සාස් විප්ලවයේ පළමු සටන ලෙස හඳුන්වනු ලබනවා.

ස්ටීවන් ඔස්ටින්ගේ නායකත්වයෙන් වූ ටෙක්සාස් හමුදා සැන් අන්තෝනියෝ ඩි බෙක්සාර් වටලෑවා. ඒ ඔක්තෝබර් මැද දී. මෙයත් සාර්ථක වූ අතර, දෙසැම්බර් 11 වන දා ජෙනරාල් කොස්ගේ හමුදා යටත් වුණා.

අලාමෝ

සන්ටා ආනා මෙම සිද්ධියෙන් දරුණු ලෙස කෝපයට පත් වුණා. ටෙක්සාස් හි කැරලිකරුවන් මර්ධනය කරන අටියෙන් ඔහු 7000 ක පමණ සේනාවක් එක් කරගෙන රියෝ ග්‍රාන්ඩේ නදිය තරණය කළා. ඒ 1836 ජනවාරි මුල දී.

සන්ටා ආනා පැමිණියේ සැන් අන්තෝනියෝ දෙසට යි. මේ අවස්ථාවේ අලාමෝ හි කතෝලික ආරාම සංකීර්ණය සිය ප්‍රධාන බලකොටුව බවට පත් කරගැනීමට ටෙක්සාස් සෙබළුන් ක්‍රියා කළා.

පෙබරවාරි 23 වන දා මෙක්සිකෝ සේනා අලාමෝ වටලෑවා. එහි දී දින දහතුනක සටනකින් පසු මාර්තු 6 වන දා ටෙක්සාස් සේනාංක පරාජය කෙරුණා. මෙහි දී 2000කට ආසන්න මෙක්සිකෝ සේනාවකට මුහුණ දුන් ටෙක්සාස් සේනාංකයේ පිරිස් ශක්තිය පිළිබඳ ඇස්තමේන්තු අනුව​, එහි 187 සිට 260ක් දක්වා පිරිසක් වූ බව විශ්වාස කෙරෙනවා. ඒ අනුව තමන්ට වඩා ඉතා ම විශාල සේනාවකට ටෙක්සාස් සේනා මුහුණ දුන්නා.

අලාමෝ සටනේ අවසානය​ (Robert Jenkins Onderdonk)

මාර්තු 6 වන දා මෙක්සිකෝ හමුදා ප්‍රහාර හමුවේ අලාමෝ සටන නිම වුණා. සන්ටා ආනාගේ අණ පරිදි කිසිදු සිරකරුවෙකු නිරුපද්‍රිත ව තැබුණේ නැහැ. යටත් වූ ටෙක්සාස් සෙබළුන් ද ඝාතනය කෙරුණා.

අලාමෝ සටනේ දී ටෙක්සාස් සෙබළුන් දැක්වූ වීරත්වය සහ සියලු ටෙක්සාස් සෙබළුන් මරා දැමීමට සන්ටා ආනා ලබා දුන් නියෝගය විසින් ටෙක්සාස් නිදහස්කාමීන් තවත් දිරිමත් කළා. සන්ටා ආනා පරාජය කළ යුතුයැ යි ඔවුන් පැහැදිලි ව අදිටන් කරගත්තා.

සන්ටා ආනා අලාමෝ වෙත එන අතරතුර ජෙනරාල් හොසේ ඩි උරියාගේ හමුදාව කර්නල් ජේම්ස් ෆැනින්ගේ ටෙක්සාස් හමුදාවක් සමග ගැටුණා. ඔවුන් අතර අවසන් සටන සිදුවූයේ මාර්තු 20 වන දා යි. එහි දී ෆැනින් ඇතුළු 400ක පිරිසක් යටත් වුණා. මාර්තු 27 වන දා සන්ටා ආනාගේ අණ පරිදි මේ පිරිස ඝාතනය කරනු ලැබුණා.

ස්වාධීනත්වය ප්‍රකාශ කරයි

අලාමෝ සටන පවතින අතරතුර වොෂිංටන් ඔන් ද බ්‍රැසොස් (බ්‍රැසොස් නදීබඩ වොෂිංටන්) නගරයේ දී ටෙක්සාස් හි නියෝජිතයන් 59 දෙනෙකු හමුවුණා. 1836 මාර්තු 1 වන දා රැස් වූ ඔවුන් මාර්තු 2 වන දා ටෙක්සාස් හි ස්වාධීනතා ප්‍රකාශනය සම්මත කරගත්තා. මාර්තු 3 වන දා පටන් නියෝජිතයන් එහි අත්සන් තැබූ අතර, මීළඟ දිනවල ඔවුන් රජය සඳහා නිලධාරීන් තෝරා ගත්තා. මෙම සම්මේලනය නිම වූයේ මාර්තු 17 වන දා යි.

සෑම් හියුස්ටන් (Public Domain)

ටෙක්සාස් හි පළමු වැඩ බලන ජනාධිපති ලෙස ඩේවිඩ් ජී. බර්නෙට් පත් වූ අතර, සෑම් හියුස්ටන් එහි පළමු හමුදා ප්‍රධානියා ලෙස නම් කෙරුණා.

සැන් ජසින්ටෝ

සෑම් හියුස්ටන් තම සේනාංක සමග කල්මරමින් සිටියේ සන්ටා ආනාට පහර දෙන අවස්ථාවක් එන තුරු යි. 1836 අප්‍රේල් 21 වන දා සැන් ජසින්ටෝ සටනේ දී විවේක ගනිමින් සිටි සන්ටා ආනාගේ හමුදාව, හියුස්ටන්ගේ හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පරාජයට පත් වුණා. පලා යාමට තැත් කළ සන්ටා ආනා අල්ලාගනු ලැබුණා.

මෙක්සිකෝ හමුදාවන්ට ටෙක්සාස්වලින් ඉවත් වන ලෙස අණ කිරීමට සන්ටා ආනාට සිදුවුණා. මේ අතර මැයි 14 වන දා ඔහු වෙලාස්කෝ හි ගිවිසුම්වලට අත්සන් කළා. මෙයින් එකක් ප්‍රසිද්ධ කරන ලද අතර​, අනෙක රහස් ගිවිසුමක්ව පැවතුණා. ප්‍රසිද්ධ කරන ලද ගිවිසුම මඟින් යුද්ධය නිමා කර ටෙක්සාස් ජනරජය පිළිගනු ලැබුණා. අනෙක් ගිවිසුම මඟින් ටෙක්සාස් ජනරජයට එරෙහිව මෙක්සිකෝව ගැනීමට ඉඩ ඇති පියවර හැකි සෑම විට ම නවතා දැමීමට සන්ටා ආනා ප්‍රතිඥා දුන්නා.

තුවාල ලබා සිටි හියුස්ටන් වෙත පැමිණ වූ සන්ටා ආනා යටත් වෙයි. (William Henry Huddle)

මේ අතර සන්ටා ආනා බලයෙන් පහ කිරීමට මෙක්සිකානුවන් පියවර ගෙන තිබුණා. එහෙයින් සන්ටා ආනා අත්සන් කළ ගිවිසුම් අනුව ක්‍රියා කිරීමට ඔවුන් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් ඔවුනට ටෙක්සාස්වලට එරෙහිව පියවර ගැනීම පහසු වූයේ ද නැහැ.

එක්සත් ජනපදයට එක් වීම​

ටෙක්සාස් ප්‍රදේශය එක්සත් ජනපදයට එක් වීම කෙරෙහි ටෙක්සාස් හි ජනයා මුල සිට ම පක්ෂ වූ නමුත්, එක්සත් ජනපදයේ තත්ත්වය ඊට වෙනස් වුණා. හේතුව නම් එවකට පැවති ව්‍යාකූල දේශපාලන තත්ත්වයත් සමග​, වහල් හිමිකාරීත්වය සහිත විශාල ප්‍රදේශයක් එක්සත් ජනපදයට එක් වීමෙන් සිදුවිය හැකි වූ තත්ත්වයන් පිළිබඳ පැවති අනියතභාවය යි.

ජනාධිපති ජෝන් ටයිලර් 1843 දී එවකට ටෙක්සාස් ජනාධිපති වූ සෑම් හියුස්ටන් සමග ටෙක්සාස් ඈඳා ගැනීමේ සාකච්ඡා ආරම්භ කළා. මෙසේ ඇති කර ගත් යෝජනා මාලාව ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට යොමු කළ ද එහි දී විග් පාක්ෂික බහුතරයක් සහිත සෙනට් සභාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළා.

ටෙක්සාස් ජනරජය. ළා කොළ පැහැයෙන් යුත් ප්‍රදේශය ටෙක්සාස් විසින් අයිතිවාසිකම් කී මෙක්සිකානු පාලනය යටතේ වූ ප්‍රදේශය යි (Wikimedia Commons)

1844 ජනාධිපතිවරණය අවස්ථාවේ මෙම යෝජනාව ඉතා වැදගත් වුණා. ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජේම්ස් කේ. පෝක් ඊට තරග කළේ ටෙක්සාස් ඈඳා ගන්නා පදනමකින්. විග් පාක්ෂික හෙන්රි ක්ලේ, ඊට එරෙහිව සිටියා. ජනාධිපතිවරණයේ දී පෝක් ජයගත්තා.

ටයිලර් තම ධුර කාලයේ අවසන් දිනවල නැවත එම යෝජනා ඉදිරිපත් කළා. කොන්ග්‍රස් සභාව එම යෝජනාව මෙවර අනුමත කළා. මේ අනුව නව ජනාධිපති පෝක් යටතේ 1845 දෙසැම්බර් 29 වන දා ටෙක්සාස් ප්‍රාන්තය එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් ලෙස ඊට එක් වුණා.

ටෙක්සාස් හි එක් කොටසක් පිළිබඳ ව දෙපාර්ශවය අතර දිගටම දේශසීමා අර්බුදයක් තිබුණා. එක්සත් ජනපදයට එක් වූ පසුව ද මෙම දේශසීමා අර්බුදය පැවතුණා. එය 1846 දී මෙක්සිකෝව සහ එක්සත් ජනපදය අතර යුද්ධය ඇති වීමට ද බලපෑවා.

කවරයේ පින්තූරය: අලාමෝ හි ටෙක්සාස් ධජය ලෙළ දෙයි (Public Domain)

Related Articles

Exit mobile version