ශ්‍රී ලංකාවේ තුවක්කු නිෂ්පාදනය ඈත අතීතය දක්වා දිව යනවා. ඒවා නිෂ්පාදනය කර ඇත්තේ විදේශීය රටවල තුවක්කු නිෂ්පාදනය කිරීමටත් පෙර සිට බව යි වාර්තා වන්නේ. එසේ නිෂ්පාදනය කළ තුවක්කු තාක්ෂණයෙන් යුක්ත වීම ද විස්මිත යි. කන්ද උඩරට රාජධානියේ අතීතය පිරික්සීමේ දී කැපී පෙනෙන අංගයකි, තුවක්කු භාවිතය.
කොඩි තුවක්කු
දීර්ඝ කාලීන ගවේෂණවල ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පළමුවෙන්ම නිෂ්පාදනය කළ පැරණිම තුවක්කුව සොයාගෙන තිබේ. ඇත්තෙන්ම එය කොඩි තුවක්කුවක්. බණ්ඩාර තුවක්කුව ලෙස ද හඳුන්වන මෙය පළමුවෙන් නිෂ්පාදනය කර ඇත්තේ 1505 දී.
ලංකාවේ පළමු මෙන්ම විශාලතම කොඩි තුවක්කුව ද සොයාගෙන ඇති බව යි වාර්තා වන්නේ. “කින්ග් බාන් ෆෝල් ගන්” යනුවෙන් හඳුනාගන්නා මෙය අඩි 7ක් පමණ උසකින් යුක්ත යි. මෙය මේ වන විට ඇත්තේ රුසියාවේ. එ් කිසිදු කෞතුකාගාරයක් තුළ නම් නොවේ. එය ඔවුන් ගබඩාවල අසුරා ඇති බව යි මාධ්‍ය වාර්තා පවසන්නේ.
කාල තුවක්කු
එකල ශ්‍රී ලංකාවේ සෙබලුන් භාවිතා කළායැ යි කියන කාල තුවක්කු ද මේ වන විට හමු වී තිබේ. ඒ අතර ලංකාවේ පැරණිම කාලතුවක්කු දෙක ද පවතින අතර පසුකාලීනව මේවා හමුව ඇත්තේ බිබිල ප්‍රදේශයේ වළලා තිබිය දී යි.
මේ සොයාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන ඉංග්‍රීසි ජාතික ඩේවී නම් පුද්ගලයා 1821 දී පවසා ඇත්තේ, “මිනිසුන් නැති අද්භූත නැවක් මඩකලපු වෙරළට ආ බවත්, එම නැවේ තුවක්කු තිබුණු බවත්” ය. එම නැවේ තිබුණු තුවක්කු ලංකාව වටා එදා තිබුණු මුර පොළවලට ලබා දී ඇති අතර තුවක්කු පිළිබඳ යම් දැනීමක් තිබුණු නිසා සිංහල හමුදාව ඒවා භාවිතා කර තිබේ. මඩකලපු වෙරළට එදා පැමිණ ඇත්තේ කුණාටුවකට හසු වූ නැවක් බව යි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මෙම තුවක්කු දෙක බැගින් සෑම මුර පොළකටම ලබා දී ඇති අතර මැද මහනුවරට එදා ලබා දුන් තුවක්කු දෙකෙන් එකක් අදටත් මහනුවර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. පඩිපෙල් කඩවත මුර පොළට ලබා දුන් තුවක්කු ගැන ද තොරතුරු වාර්තා වේ.
ස්නයිපර් තුවක්කු
ලංකාවේ ස්නයිපර් තුවක්කු ද නිපදවා ඇති බව යි වාර්තා වන්නේ. ඒ 1680 දී. අඩි 7ක පමණ දිගකින් යුක්ත වන මේවා, මේ වන විට ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ යි.
මෙවැනි තුවක්කු සඳහා අවශ්‍ය වන උණ්ඩ සාදාගෙන ඇත්තේ ද ලංකාව තුළම යි. ලංකාව තුළ වෙඩි බෙහෙත් පවා නිපදවා තිබෙන බව යි වාර්තා වන්නේ.
දළදා මාළිගාවේ තුවක්කුව
පෙර ලක්දිව දළදා මාළිගාවට ද තුවක්කුවක් තිබී ඇත. ඒ ශබ්ද පූජාවට සහ පෙරහැර එන බවට සංඥා ලබා දීමට යි. ඇත් වීදියේ ස්ථානයක වළලා තිබී එදා මාළිගාවේ භාවිතා කළ උණ්ඩ සහ තුවක්කු ද හමු වී තිබේ. මේවා සොයාගෙන ඇත්තේ ඉංග්‍රීසින් වන නමුත් ඔවුන් එදා උණ්ඩ සොයාගැනීමට අපොහොසත් වී තිබේ. ඒ උණ්ඩ සොයාගෙන ඇත්තේ 1984 දී සිදුකළ කැණීම්වල දී.
1815 දී ඉංග්‍රීසින් විසින් ලංකාද්වීපය යටත් කරගන්නා විට දළදා වහන්සේ සඟවා තබා ඇත්තේ පුසුල්පිටිය පන්සලේ. එතැන් සිට නුවර දළදා මාළිගයට දළදා වහන්සේ වැඩම කරවා ඇත්තේ පෙරහැරකිනි. එම පෙරහැරට තුවක්කු යොදාගෙන ආචාර වෙඩි මුර ද පවත්වා ඇති බව වාර්තා වේ.
“කොඩිතුවක්කු” පෙළපත් නාමය ආ හැටි
ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ අපේ රටේ පෙළපත් නාම ලැබී ඇති ආකාරය අපූරු යි. බුද්ධ ශාසනය ආරක්ෂා කරගත් නිසා සංඝ ආරක්ෂකට “සංගක්කාර” පෙළපත ලැබී තිබේ. රිරියගම ගමේ සිටි නිළමේ යි මේ අයුරින් සංඝයා වහන්සේ ආරක්ෂා කර ඇත්තේ. පසු කලෙක එය සංගක්කාර වශයෙන් හඳුන්වා තිබේ.
එමෙන්ම, එදා කොඩිතුවක්කු භාවිතා කළ අය යි මෙකල “කොඩිතුවක්කු” නම් වන්නේ. දෙමළ භාෂාවෙන් “කොඩි” යන්න “ශබ්දය” යන අර්ථය දෙයි.
කොඩිතුවක්කු ගැන පුස්කොළ පොතක සඳහන් වන්නේ මේ ආකාරයෙන්.
“කොඩිතුවක්කු යුද්ධයට ගෙන යන විට එය භාවිතා කළේ ආධාරක අවියක් ලෙසින්. බර අවි යුද්ධයේ දී භාවිතා කරන්නේ අල්ලා ගත් තැන ආරක්ෂා කිරීමට යි. එසේ නැත්නම් සතුරාට පහර එල්ල කොට එම ස්ථානය අල්ලා ගැනීම උදෙසා යි. බර අවියක් භාවිතා කිරීමේ දී පස් දෙනෙකු පමණ පුද්ගලයන් ඒ සඳහා එකතු වේ. තුවක්කුව රැගෙන යන්නේ එක් අයෙකි. ආධාරකය රැගෙන යන්නේ තවත් අයෙකි. බැරලය රැගෙන යන්නේ තවත් අයෙකි. අවිය සමගම නිළධාරියෙකු ද ගමන් කරයි. ඔවුන් සියල්ලගේ සහය ලබා ගන්නේ ආයුධයේ වේගය වැඩි කිරීම අවශ්‍ය වන විට යි. මේ අවිය කොඩිතුවක්කුව කියා හඳුන්වන නිසා එම අවි භාවිතා කළ අයට ලබාදෙන පෙළපත් නාමයක් ලෙස යි, “කොඩිතුවක්කු” නාමය ලබා දී ඇත්තේ.