1968 අගෝස්තු 20 වන දා රාත්‍රියේ මාස ගණනක් තිස්සේ පැවති අවිනිශ්චිතභාවය කෙළවර කරමින් සෝවියට් දේශය ප්‍රමුඛ වෝර්සෝ සන්ධානයේ රටවල් කිහිපයක හමුදා චෙකොස්ලොවැකියාව වෙත කඩා වැදුණා. පසුදින උදෑසන වනවිට ප්‍රාග් නගරයේ වූ විරෝධතා මධ්‍යයේ චෙකොස්ලොවැකියාවේ පාලනය සෝවියට් හමුදා විසින් අල්ලාගන්නා ලද අතර කෙටි කලක් පැවති ප්‍රතිසංස්කරණ යුගය එසේ අවසන් වුණා.
ප්‍රාග් වසන්තය
මෙම ප්‍රතිසංස්කරණ යුගය නම් කර ඇත්තේ ප්‍රාග් වසන්තය යන නමින්. 1968 ජනවාරි මාසයේ දී මේ සඳහා පාර කැපුණේ එතෙක් චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් ලෙස කටයුතු කළ ඇන්ටොනින් නොවොට්නි එම තනතුරෙන් ඉවත් කිරීමත් සමග යි.
දෙවන ලෝක යුද්ධය නිම වූ පසු කොමියුනිස්ට් පක්ෂය චෙකොස්ලොවැකියාවේ ප්‍රධාන පක්ෂවලින් එකක් වුණා. විශේෂයෙන්ම ජර්මන් පාලනයෙන් එරට නිදහස් කරගන්නා ලද්දේ සෝවියට් දේශය වීම හේතුවෙන් සහ නට්සි ජර්මන් පාලනයට එරෙහිව කරන ලද යටිබිම්ගත අරගලය හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය සත්‍ය වශයෙන්ම යම් ජනප්‍රියත්වයක් දිනාගන සිටියා. 1946 දී පවත්වන ලද මහමැතිවරණයේ දී එම පක්ෂය ආසන 300න් 93ක් දිනාගෙන ප්‍රථම ස්ථානයට පත් වුණා.
1948 පෙබරවාරි 25 වන දා කොමියුනිස්ට් පක්ෂය චෙකොස්ලොවැකියාවේ බලය අල්ලාගත්තා. එහි නායකයා වූයේ ක්ලෙමන්ට් ගොට්වාල්ඩ්. ඔහු යටතේ ස්ටාලින්වාදී පාලනයක් චෙකොස්ලොවැකියාවේ බිහි වුණා. 1953 දී ඇන්ටොනින් නොවොට්නි කොමියුනිස්ට් පක්ෂ පළමු ලේකම් බවට පත් වූයේ ගොට්වාල්ගේ මරණින් පසුව යි. නොවොට්නි ද ගොට්වාල් මෙන්ම දැඩිමතධාරී කොමියුනිස්ට්වාදියකු වුණා.
නමුත් කල් යත්ම ඔහුගේ පාලනය කිසිවකුත් නුරුස්සන් තැනට පැමිණියා. චෙකොස්ලොවැක් කොමියුනිස්ට් පක්ෂය තුළ ප්‍රතිසංස්කරණවාදී කඳවුර සවිමත් වුණ අතර 1968 ජනවාරි 5 වන දා නොවිට්නිට පක්ෂයේ පළමු ලේකම් තනතුර අහිමි වුණා. එම තනතුරට පැමිණියේ ඇලෙක්සැන්ඩර් ඩුබ්චෙක්. මේ අතර මාර්තු මාසයේ දී නොවොට්නි ජනාධිපති ධුරයෙන් ද ඉවත් වූ අතර ලුඩ්වික් ස්වොබෝදා එම තනතුරට පත් වුණා.
අප්‍රේල් මාසයේදී නව රජය සිය “ක්‍රියාකාරී සැලැස්ම” ක්‍රියාවට නැගුවා. ප්‍රකාශනයේ සහ ආගම ඇදහීමේ නිදහස තහවුරු කරන ලද අතර වාරණය ද අහෝසි කෙරුණා. කෘෂිකර්මාන්තයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයන් ද ක්‍රියාවට නැගුණා. ඩුබ්චෙක් කියා සිටියේ තමන් “මානුෂීය මුහුණුවරකින් යුතු සමාජවාදය” හඳුන්වා දෙන බව යි. ජනතාව මෙම ප්‍රතිසංස්කරණ සඳහා විශාල වශයෙන් සහය දැක්වූවා.
සෝවියට් බලපෑම්
සෝවියට් නායකත්වය මෙම නව ප්‍රතිසංස්කරණ පිළිබඳව නොසතුටට පත් වුණා. එවක සෝවියට් නායකයා වූ ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් චෙකොස්ලොවැකියානු නායක ඩුබ්චෙක් වෙත ප්‍රතිසංස්කරණ නවතා දමන ලෙස බල කළා. නමුත් සිය ජනතාවගේ සහයෝගය පිළිබඳ විශ්වාසය තැබූ ඩුබ්චෙක් සෝවියට් බලපෑමට යටත් වීම ප්‍රතික්ෂේප කළා.
1968 අගෝස්තු 3 වන දා යුරෝපයේ කොමියුනිස්ට් රටවල නායකයන් චෙකොස්ලොවැකියාවේ බ්‍රටිස්ලාවා නගරයේදී මුණගැසී මෙම අර්බුදය පිළිබඳ සාකච්ඡා කළා. මීට සෝවියට් දේශය සහ චෙකොස්ලිවැකියාවට අමතරව බල්ගේරියාව, නැගෙනහිර ජර්මනිය, හන්ගේරියාව, සහ පෝලන්තය යන රටවල නියෝජිතයන් සහභාගී වුණා. මෙහි දී වෝර්සෝ සංවිධානය තුළ සහයෝගය දිගටම පවත්වාගෙන යෑමටත් මාක්ස් – ලෙනින්වාදය අනුව කටයුතු කිරීමටත් සියලු රටවල් එකඟ වුණා.
සෝවියට් දේශයට වූයේ චෙකොස්ලොවැකියාව බටහිර දෙසට නැඹුරු වීමෙන් කොමියුනිස්ට් කඳවුර අභියෝගයට ලක් වේ යන බිය යි. සිය දේශසීමාවේ ආරක්ෂාව සෝවියට් දේශයට ඉතා වැදගත් වුණා. නැගෙනහිර යුරෝපා රටවල සීමා සහිත ප්‍රතිසංස්කරණ පිළිබඳව බලපෑම් කිරීමට සාමාන්‍යයෙන් සෝවියට් දේශය ක්‍රියා කළේ නැහැ. නමුත්, සිය කඳවුරෙන් යම් රටක් ඉවත් වන බව සැක කළහොත් ඒ පිළිබඳ දරුණු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් ක්‍රියා කළා.
චෙකොස්ලොවැකියානු ආක්‍රමණය සඳහා යුරෝපයේ කොමියුනිස්ට් කඳවුරම පොළඹවා ගන්නා ලද්දේ එය ඒකාබද්ධ ක්‍රියාවක් බව පෙන්වීමට යි. මීට පෙර 1956 දී හන්ගේරියානු විප්ලවය මැඩ පවත්වන ලද්දේ සෝවියට් හමුදා විසින් තනිවම වුව ද මෙවර අනෙකුත් සමාජවාදී කඳවුරේ රාජ්‍යයන් ද ඊට එක් කර ගැනීමට සෝවියට් දේශය අදහස් කළා. “සමාජවාදයට එරෙහි බලවේග විසින් යම් රටක සමාජවාදී මාර්ගය ධනවාදය දෙසට නැඹුරු කරන්නට උත්සාහ කරයි ද එය සමස්ථ සමාජවාදී රාජ්‍යයන් සියල්ලකම ගැටළුවක් වන්නේය” යන මෙම අදහස චෙකොස්ලොවැකියානු ආක්‍රමණයෙන් පසු නිල සෝවියට් ප්‍රතිපත්තියක් ලෙස අර්ථ දක්වනු ලැබුණ අතර එය සාමාන්‍යයෙන් “බ්‍රෙෂ්නෙව් ප්‍රතිපත්තිය” ලෙස හඳුන්වනු ලැබුණා.
ඩුබ්චෙක්ගේ ප්‍රතිසංස්කරණ අනවශ්‍ය තරම් දුර යන බවට සෝවියට් දේශය තුළ වූ සැකය දුරු වූයේ නැහැ. සෝවියට් මාධ්‍ය දිගින් දිගටම චෙකොස්ලොවැකියාවට පහර ගැසුවා. මේ අතර චෙකොස්ලොවැකියා දේශසීමාව ආසන්නයේ වෝර්සෝ ගිවිසුමට අයත් රටවල යුධ අභ්‍යාස ද සිදු වුණා. (වෝර්සෝ ගිවිසුමට ඇතුලත් වූ රටවල් වූයේ සෝවියට් දේශය, ඇල්බේනියාව, බල්ගේරියාව, රුමේනියාව, හන්ගේරියාව, පෝලන්තය සහ නැගෙනහිර ජර්මනිය යි. රුමේනියාව සහ ඇල්බේනියාව චෙකොස්ලොවැකියාව ආක්‍රමණය සඳහා සහය දැක්වූයේ නැහැ).
සෝවියට් ආක්‍රමණය
අගෝස්තු 20 වන දා රාත්‍රී 11 ට සෝවියට් යුධ ටැංකි සහ භටයින් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කළා. ඊට හන්ගේරියානු, පෝලන්ත, සහ බල්ගේරියානු සේනාංක ද එක් වුණා. නැගෙනහිර ජර්මනිය මෙම මෙහෙයුමට සහභාගී වීමෙන් වැළකී සිටියේ බ්‍රෙෂ්නෙව් විසින් දුන් උපදෙස් මතයි. ජර්මන් සේනාංක චෙකොස්ලොවැකියාවට ඇතුල් වුවහොත්, දෙවන ලෝක යුධ සමයේ දී ජර්මන් පාලනය සම්බන්ධ අමිහිරි මතකයන් හේතුවෙන් චෙකොස්ලොවැක් ජනයා දරුණු ලෙස ප්‍රතිචාර දක්වතැයි සැක කරනු ලැබුණා.
ඇලෙක්සැන්ඩර් ඩුබ්චෙක් උපදෙස් දුන්නේ ආක්‍රමණික සේනාංකවලට විරුද්ධව සටන් නොකරන ලෙස යි. මේ අනුව ඊළඟ දිනයේ දී ප්‍රාග් නගරයේ සෝවියට් සේනාංකවලට මුහුණ දීමට වූයේ බොහෝකොටම සාමකාමී වූ විරෝධතාවන්ට යි. ජනතාව බස් රථ ආදියෙන් මාර්ග බාධක ඉදි කරමින් විරෝධතාවයේ නිරත වුණා.
ඩුබ්චෙක් අත්අඩංගුවට ගෙන සෝවියට් දේශයට රැගෙන යනු ලැබුණ නමුත් අගෝස්තු 27 වන දා ඔහු යළි සිය රට බලා පැමිණියා. එමෙන්ම ඔහුගේ ප්‍රතිසංස්කරණ කටයුතු ආපසු හැරවීමට පටන් ගැනුණ ද ඔහුව එකවරම පක්ෂ පළමු ලේකම් ධුරයෙන් ඉවත් කෙරුණේ නැහැ. ඔහුට එම තනතුර අහිමි වූයේ 1969 අප්‍රේල් මාසයේ දී යි.
එසේ වුවද චෙකොස්ලොවැකියාව යළි දැඩිමතධාරී කොමියුනිස්ට් පාලනයක් කරා ගමන් කළ බව පැහැදිලි වුණා. මෙම කලබල සිදු වූ මුල්ම දිනවල විශාල පිරිසක් රට හැර පළා ගිය අතර ඒ අතරට විශාල උගතුන් පිරිසක් ද අයත් වුණා. පසුව සෝවියට් පාලනය විසින් එසේ රටින් ජනතාවට පළා යා හැකි ඉඩකඩ අහුරා දමනු ලැබුණා.
කෙටි කලකින් පසු රටේ ජනජීවිතය පෙනුමට සාමාන්‍ය අතට හැරුණා. සෝවියට් හමුදා ප්‍රසිද්ධියේ පෙනෙන්නට සිටියේ නැහැ. නමුත් මෙය මායාවක් පමණක් වූ අතර සෝවියට් හමුදා සිය බැරැක්කයන්හි රැඳී සිටින බවත්, සෝවියට් සහ චෙක් ඔත්තු සේවා තමන් දෙස නිරීක්ෂණය කරමින් සිටින බවත් ජනතාව දැන සිටියා.
මෙයින් පසු යම් යම් විරෝධතා මතු වුවද නැවත වරක් චෙකොස්ලොවැකියාවේ බරපතල ජනතා විරෝධයක් මතු වූයේ 1989 දී කොමියුනිස්ට් කඳවුර බිඳ වැටෙන සමයේ දී යි.
Cover Image: සෝවියට් යුධ ටැංකියක් (Josef Koudelka)
මූලාශ්‍රයයන්:
- Rebirth: A History of Europe Since World War Two by Cyril E. Black, Jonathan E. Helmreich, Paul C. Helmreich, Charles P. Issawi, A. James McAdams. Westview Press (1992)
- Soviets Invade Czechoslovakia (history.com)
- Soviet Invasion of Czechoslovakia, 1968. (US Department of State)