කොළඹට නුදුරු ගම්පහ දිස්ත්‍රික්කය කැලණි සහ අත්තනගලු ඔය යන ජල මාර්ග දෙකට මැදිවූ බිම් පෙදෙසක්. එය විශාලත්වයෙන් ව. කි. මී. 1386ක්. පුරාණයේ පටන්ම බෞද්ධ ප්‍රබෝධයක් මේ කලාපයේ පැවති බව හෙළිදරව් කරන කටාරම් කෙටූ ලෙන් විහාර, සෙල් ලිපි ආදී සාධක හමු වෙනවා. මහනුවර යුගයේ දී මේ අවට යුරෝපීය යටත් විජිත බලපෑම තදින් ලැබුණ ද විහාරාරාම ඉදි කිරීම ප්‍රභූන්ගේ මැදිහත්වීමෙන් කරගෙන ගොස් තිබෙනවා. මේ ප්‍රදේශයේ ටැම්පිට විහාර අයත් වන්නේ යුරෝපීය යටත් විජිත කාලයට යි. ඔබේ විවේක දිනයකම ටැම්පිට විහාර වන්දනාවේ ගියොත් එය අපූරු අත්දැකීමක් වේවි.
ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිට විහාර මොනව ද?
ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයට අයත් ගම්පහ දිස්‌ත්‍රික්‌කය, ටැම්පිට විහාර බිහි වීමට බලපෑ දේශගුණික, ආර්ථික ආගමික හා සමාජීය වාතාවරණයන් ගෙන් යුක්‌ත වූ ප්‍රදේශයක්. නිතර වැසි වසින නිසා මෙහි ගල්කුලුනු මත ඉදි කළ විහාරවලට මුල් තැනක් ලැබුණා. එලෙස ඉදි කළ විහාර 10ක් අපට හමුවෙනවා. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ටැම්පිට විහාර වැඩි ප්‍රමාණයක් නිශ්චිතව කාලනිර්ණය කිරීමට ප්‍රමාණවත් සාධක ලැබෙන්නේ නැහැ. චිත්‍ර හා මූර්තිවල ශෛලීය ලක්‍ෂණ හා වාස්‌තු විද්‍යාත්මක අංගයන්හි විකාශනය මේවා කාලනිර්ණය කිරීමේ දී ප්‍රයෝජනවත් වෙනවා. මේවා 18 වැනි සියවසේ අගභාගයේ පටන් 19 වැනි සියවස දක්වා කාලයට අයත්.
- අටුපොත්දෙණිය – මීරිගම කණ්ඩලම පිහිටා තිබෙන විහාරයක්.
- අනුරාගොඩ- පූගොඩට නුදුරින් සියනෑ කෝරළයට අයත් පුදබිමක්
- මොට්‌ටුන්න- වේයන්ගොඩ මල්ලැහැව පාරේ පිහිටා තිබෙනවා
- මැටිකොටුමුල්ල-වේයන්ගොඩ මිනුවන්ගොඩ පාරේ පිහිටි වඩුමුල්ල හන්දියට ආසන්නව පිහිටා තිබෙනවා
- යටවත්ත- ගම්පහ නගරයට ඉතා ආසන්න විහාරයක්
- වරපලාන- යක්කල සිට කි. මී. 6යි
- රද්දල්ගොඩ-පස්යාල මීරිගම පාරේ කල්එලියට ආසන්නව
- ගනේවත්ත -දිවුලපිටිය නගරයට ආසන්නව
- මාහල්ඔළුව- කිරිඳිවැල නගරයට ආසන්නයි
- හපුවලාන ක්ෂේත්‍රාරාමය -දිවුලපිටියට නුදුරින් පිහිටා තිබෙනවා.
සමනබැද්ද කලින් ටැම්පිට විහාරයක් වුවත් දැන් එය දක්නට නැහැ. එහි දක්නට ලැබෙන්නේ ලෙන් විහාරයක්. අපි මේ ටැම්පිට විහාර කිහිපයක් හඳුනා ගනිමු.
අනුරාගොඩ
පූගොඩ නගරයට ආසන්නව පිහිටි පැපිලියවල හන්දියෙන් අනුරාගොඩ පාරේ ගමන් කිරීමෙන් මේ විහාරයට පැමිණිය හැකියි. වන වදුලු බඩවැටි සහිත ග්‍රාමීය පරිසරයක් මේ අවට දක්නට ලැබෙනවා. පූගොඩ සුමංගල නම් හිමිනමක් මෙම විහාරය 1775 දී ඉදිකළ බව සඳහන් වෙනවා. මේ ටැම්පිට විහාර ගොඩනැගිල්ලට උඩුමහලක් ද තිබෙනවා. නමුත් අද උඩුමහලට පිවිසීමට තරප්පු පෙළක් නැහැ. එහි කිසිම සිතුවමක් ද නැහැ.
අඩි 2ක් උඩ ගල්කණූ 9ක් මත ඉදිකළ මේ විහාරය දිගින් අඩි 20ක් සහ පළලින් අඩි 18ක්. පැරණි ටැම්පිට විහාරය ගරාටැටෙමින් පැවති නිසා 1990 දී පමණ එය නවීකරණය කර තිබෙනවා. එහිදී පැරණි වාස්තු විද්‍යාත්මක සැලසුමට හානි පැමණ තිබෙනවා. ටැම්පිට විහාරයේ ලෑලි ඉවත්කර කොන්ක්‍රීට් යොදලා. පැරණි බිතුසිතුවම් සහ මූර්ති ද අද දකින්න ලැබෙන්නෙ නැහැ. ටැම්පිට විහාරය මැදිවන සේ විහාර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා.
යටවත්ත ටැම්පිට විහාරය
ගම්පහ නගරයේ සිට කි. මී. 1ක් දුරින් පහළගම පාරේ පිහිටි පූජනීය ස්ථානයක්. මහනුවර යුගයේ ලියවුණු නම්පොත හෙවත් විහාර අස්නේ ද මේ විහාරය ගැන සඳහන් වෙනවා. පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙය අද ප්‍රකටව ඇත්තේ විද්‍යාරවින්ද්‍ර පිරිවෙන් විහාරය වශයෙන්. විහාරයේ ආරම්භය පිළිබඳ නිශ්චිත අදහසක් නැතත් විහාර මන්දිරයේ උළුවස්සේ බු. ව. 2403 ( ක්‍රි. ව. 1861) යන්න සඳහන් වෙනවා. ඒ විහාරය ඉදිකළ කාලය බව පේනවා.
මෙම විහාරය ගොඩනගා තිබෙන්නේ අඩි 4ක් උස ගල්කණු 30ක් මත. විහාරය ඉදිරිපසින් විවෘත මණ්ඩපයක් තිබෙනවා. විහාරය වටා යන සේ ප්‍රදක්ෂණා පථයක් ද දැකගත හැකියි. විහාර මන්දිරය බරාදයකින් සහ ගර්භ ගෘහකින් සමන්විත යි. විහාරයට ඇතුළුවන උළුවස්ස දෙපස මකර තොරණ සහ දොරටුපාල මූර්ති දෙකක් දැකගත හැකියි.
විෂ්ණු සහ කතරගම දේවරූප ද ගනේබණ්ඩාර නම් දේව ප්‍රතිමාවක් ද මෙහි තිබෙනවා. හිඳි බුද්ධ ප්‍රතිමාවක්ද මෙහි ඉදි කර තිබෙනවා. මේ සියලු මූර්ති සහ සිතුවම් උඩරට සම්ප්‍රදායේ පසුකාලීන අවස්ථාවක් අඟවනවා. බොහෝ සිතුවම් පහන් දැලි වැදීම නිසා කළු පැහැයට හැරිලා.
වරපලාන
යක්කල සිට රදාවාන මාර්ගයේ කි. මී. 6ක් දුරින් පිහිටා තිබෙනවා. මෙහි ආරම්භය 18 වැනි සියවසේ අගභාගය බවට විශ්වාස කෙරෙනවා. විහාරය කරවා ඇත්තේ වෑ උඩ විපස්සි නම් හිමිනමක් බවයි පැවසෙන්නේ. දැනට දක්නට ලැබෙන චිත්‍ර සහ මූර්ති ඉංග්‍රීසි පාලන කාලයට අයත් ඒවා බව පෙනෙනවා. විහාරය ඉදිකර තිබෙන්නේ අඩි 3ක් උස ගල්ටැම් 25ක් මතයි. පියස්ස පල හතරනකට බෙදා සිංහල උළු සෙවිලි කර තිබෙනවා.
ප්‍රතිමා මන්දිරයෙහි හිඳි බුද්ධ ප්‍රතිමාවේ වර්ණ බොහෝ දුරට මැකී ගිහින්. එය වටාම යන සේ රැස් වළල්ලකින් අලංකාර කර තිබෙනවා. ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් ද දැකගත හැකියි. බුදු පිළිමවලට ආසන්නව විෂ්ණු සහ කතරගම දේව රූප නිරූපිතයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විනාශ වී යමින් තිබූ මෙම ප්‍රතිමා සංරක්ෂණය කර තිබෙනවා.
නෙලුම් මල් මෝස්තර සහ රහත් රූපවලින් මෙහි බිත්ති අලංකාර කර තිබෙනවා. පුරාණ ස්වරූපය බොහෝ දුරට සුරැකුණු පුදබිමක් ලෙස වරපලාන හැඳින්විය හැකියි.
මාහල්ලොලුව
කිරිඳිවැල සිට වතුපිටිවල මාර්ගයේ කිරිඳිවැල නගරයට කි. මී. එකහමාරක් දුරින් මෙම විහාරය දැකගත හැකියි. මෙය වසර 200ක් පැරණි බව පැවසනෙවා. මෙය ගම්පහ දිසාවේ විශාලම ටැම්පිට විහාරයයි. මෙම විහාරයේ විශේෂත්වය නම් ටැම් වශයෙන් ඇත්තේ කබොක් ගල්වලින් කළ කුලුනු වීමයි. ඒවා පසුව හුණු බදාමෙන් කපරාරු කර යටි මහල ධර්ම ශාලාව ලෙස යොදාගෙන තිබෙනවා. ඉහළ මහලට පිවිසීමට දැව තරප්පු පෙළක් තනා තිබෙනවා. එහි පිහිටි ප්‍රතිමා මන්දිරය තුළ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, හිඳි බුදු පිළිමයක්, විෂ්ණු සහ කතරගම දේව ප්‍රතිමාද නිරූපිතයි. ටැම්පිට විහාරයක දක්නට ලැබෙන එකම සැතපෙන බුදු පිළිමය පිහිටා ඇත්තේ මෙම විහාරයේ යි. රහත් හිමිවරුන්ගේ සිත්තම් සහ ගමේ පිංකමක පෙරහරක් මෙහි සිතුවම් අතර කැපී පෙනෙනවා. උඩරට සිතුවම් කලාවේ පසුකාලීන ලක්ෂණ මෙම සිතුවම්වලින් පේනවා.
මොට්ටුන්න
වේයන්ගොඩ නගරයට නුදුරුව පිහිටි මෙම ටැම්පිට විහාරය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක්. ගම්පහ දිසාවේ ටැම්පිට විහාර අතරින් හොඳ මට්ටමේ පෞරාණිකත්වය ආරක්ෂා වී පවතින විහාරයක් ලෙස නම් කළ හැකියි. පිළිම ගේ වටා යන සේ ප්‍රදක්ෂිණා පථයක් මෙහි දක්නට ලැබෙනවා. එය වටා බීරලු ටැටක් දැකගත හැකියි. පෙතිඋළු සෙවිලි කළ පියස්සක් විහාරයට සෙවණ සදනවා.
දොරටුපාල මූර්ති සහිත දොරටුවකින් මොට්ටුන්න ටැම්පිට විහාරයට ඇතුළු විය යුතුයි. විහාරය තුළ හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද විෂ්ණූ සහ සමන් දේව ප්‍රතිමා දෙකක් ද ඉදි කර තිබෙනවා. සූවිසි විවරණ බිතුසිතුවම් මෙහි බිත්ති අලංකාර කරනවා.
අටුපොත්දෙනිය
චිත්‍රය- ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර සම්ප්‍රදාය- ගාමිණී විජේසූරිය
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කණ්ඩලම හන්දියෙන් මීරිගම අලව්ව මාර්ගයේ සැතපුම් දෙකක් පමණ ගිය විට මදුරුපිටිය හන්දිය හමුවෙනවා. එතැනින් දකුණු පසට වැටී ඇති මඟෙහි තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගමන් කළ විට දකුණු පසට වන්නට අටුපොත්දෙණිය රජ මහා විහාරස්ථානය පිහිටා තිබෙනවා.
ටැම්පිට විහාරය පිහිටා ඇත්තේ අඩි දෙකක් පමණ උස් වූ ගල්කණු විසි එකක් මත යි. විහාර මන්දිරයෙහි හිඳි බුදු පිළිමයක් සහ හිටි පිළිම දෙකක් පිහිටා තිබෙනවා. මෙහි ඇති දේව රූප නාථ දෙවියන්ගේ හා විෂ්ණු දෙවියන්ගේ බව විශ්වාස කරනවා. සූවිසි විවරණය සහ මල් මෝස්තර ද මෙහි සිතුවම් කර තිබෙනවා.
ආශ්‍රිත මූලාශ්‍ර-
ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර- කුසුම්සිරි විජයවර්ධන
ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර සම්ප්‍රදාය- ගාමිණී විජේසූරිය
ගම්පහ දිස්ත්‍රික්කය- සමාජ සංස්කෘතික සමීක්ෂා- සංස්. ඒ. වී. සුරවීර
පුරාණ ස්මාරක- ගම්පහ දිස්ත්‍රික්කය- සිරිනිමල් ලක්දුසිංහ
කැප්ෂන්
කවරය- මොට්ටුන්න ටැම්පිට විහාර සිතුවමක්- භුෂණ කල්හාර