පුනරුද සමයේ යුරෝපය වෙළඳ කටයුතුවලට, ශ්‍රාස්තීය නවෝදයට සහ විද්‍යාත්මක ප්‍රබෝධයට පමණක් නොව විශිෂ්ට කලා නිර්මාණ බිහි කළ යුගයක් ලෙස ද ප්‍රසිද්ධ යි. මයිකල් අාන්ජෙලෝ සහ රෆායෙල් වැනි අග්‍රගණ්‍ය කලාකරුවන් අතින් නිම වූ සිතුවම් සහ ප්‍රතිමාවන්ගෙන් අලංකාර වූ රෝමයේ සිස්ටීන් සහ ශාන්ත පීතර බැසිලිකාව වැනි දේවස්ථානයන් අදටත් මධ්‍යතන යුරෝපයේ පැවති කලා ශිල්පයන්ගේ විශිෂ්ටත්වය ලොවට පෙන්වන නිර්මාණ ලෙස සැලකෙනවා.
යටත් විජිත රාජ්‍යයන්ගෙන් ගෙන යන ලද කිරිගරුඬ, වටිනා මිණි කැට, මුතු ඇට, පබළු, රන් සහ රිදී යොදා ගනිමින් යුරෝපය පුරා මනස්කාන්ත දේවස්ථාන ගොඩ නංවන ලද සමයක පෘතුගාලයේ විසූ ෆ්‍රැන්සිස්කානු පූජකයන් පිරිසක් ඔවුන්ගේ දෙව් මැදුර ගොඩ නැංවීම සඳහා යොදාගෙන ඇත්තේ මිනී ඇටකටු යි. අදටත් ආගමික කටයුතු සඳහා විවෘත කැපෙලා දොස් ඕසොස් හෙවත් පෘතුගාලයේ මිනී ඇටකටු දෙව් මැදුර ගැන තොරතුරු යි මේ.
එවොරා හි ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානය
පෘතුගාලයේ දකුණු දෙසට වන්නට ඇති තැනිතලා බිමක් මත අදින් වසර පන් දහසකට පමණ පෙර ගොඩ නංවන ලද එවොරා නුවර පිහිටා ඇති ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රකට එයට අයත් මිනී ඇටකටු යොදා ගනිමින් තනන ලද දෙව් මැදුර හේතුවෙන්.
ක්‍රිස්තු වර්ෂ 1475 – 1550 අතර කාලයේ දී පෘතුගීසි ජාතික මාටිම් ලොරන්සෝ ඩා කූන්යා, ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගනිමින් ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානය නිර්මාණය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1226 දී රොමනෙස්ක් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩ නංවන ලද දේවස්ථානය මත යි. දේවස්ථානය ඉදිරිපිට විවිධ හැඩයන්ගෙන් යුතු ආරුක්කු හතකින් සමන්විත ආරුක්කු පේළියක් දක්නට ලැබෙනවා. මීනි ඇටකටු යොදා ගනිමින් ඉදි කළ කැපෙලා දොස් ඕසොස් දෙව් මැදුර පිහිටා ඇත්තේ ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයට ඇතුළු වන දොරටුවත් සමග ම යි.
කැපෙලා දොස් ඕසොස් හි නිදාන කතාව
16 වැනි සියවසේ මුල් කාලයේ දී එවොරා නුවර වටිනා ඉඩම් බොහෝමයක් වෙන් වී තිබුණේ ගණනින් 43 ක් වූ සොහොන් බිම් සඳහා යි. ක්‍රමයෙන් ජනගහනය වැඩි වන විට සොහොන් බිම් සඳහා වෙන් කරන ලද ඉඩම්, නිවාස ඉදි කිරීම සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගුණ ද ඒ සොහොන් බිම් හි මිහිදන් කරන පුද්ගලයින්ගේ ආත්මයන්ට හානියක් සිදු නොවන ලෙස ඔවුන්ගේ ඇටකටු ඉවත් කරන්නේ කෙසේ ද යන ගැටලුව මතු වුණා.
එයට පිළියම් ලබා දෙමින් ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයේ වාසය කළ පූජකරුවන් තීරණය කර ඇත්තේ ඇටකටු තැන්පත් කරමින් දෙව් මැදුරක් තැනීමට යි. කෙසේ නමුත් ගොඩ ගන්නා ලද ඇටකටු යළිත් වරක් වසා දමන ලද කාමරය තැන්පත් කරනවා වෙනුවට ඒවා සෑම දෙනෙක්ට දර්ශනය වන ආකාරයට තැබිය යුතු බව ඔවුන් තීන්දු කරන ලද්දේ එවකට පැවති ධනයෙන් මත් වූ සමාජයට ආදර්ශයක්ද ලබා දීමේ අරමුණෙන්.
යුරෝපයේ විද්‍යාත්මක ප්‍රබෝධයත් සමග ක්‍රමයෙන් පල්ලියෙන් ඈත් වූ සමාජය, මධ්‍යතන යුගයේ දී මිනිස් ජීවිතයේ සෑම ක්ෂේත්‍රයක් කෙරෙහි ම බලපෑමක් ඇති කළ කතෝලික ආගමික ඉගැන්වීම් සහ ක්‍රිස්තු සභාව දෙස විවේචනාත්මක ව බැලීමට පටන් ගෙන තිබුණා. එසේ ම ධනයෙන් සහ බලයෙන් මත් වී සිටි ඔවුන් පව් කිරීමට බිය වූයේ ද නැහැ. මේ නිසා පිරිහී යන ජන සමාජයට ජීවිතයේ අනිත්‍ය බව සහ සෑම දෙනෙක් වෙත ම මරණය ළඟා වන බව පෙන්නුම් කර දීම සඳහා දේවස්ථානයේ දී මීනි ඇටකටු ප්‍රදර්ශනය කිරීමට ෆ්‍රැන්සිස්කානු පූජකයන් පියවර ගත්තා.
දෙව් මැදුරට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ සඳහන් කර ඇති පණිවිඩයෙන් ම එය පෙනී යනවා. පෘතුගීසි බසින් Nós ossos que aqui estamos pelos vossos esperamos යනුවෙන් ලියැවී ඇති එහි අර්ථය වන්නේ ‘මෙහි ඇති ඇටකටු ඔබේ ඇටකටු පැමිණෙන තෙක් බලා සිටියි’ යන්න යි.
බියෙන් සිත කලඹන අලංකාර දෙව් මැදුර
ඉතාලියේ මිලානෝ නුගර පිහිටා ඇති සැන් බර්නඩීනෝ අල්ලේ ඔස්සා දේවස්ථානයේ ආකෘතියක් මෙන් පෙනෙන මීනි ඇටකටු දෙව් මැදුර ප්‍රමාණයෙන් තරමක් කුඩා යි. ආරුක්කු ත්‍රිත්වයක් මත ගොඩ නගා ඇති එය ගොඩ නැංවීම සඳහා සිරුරු 5,000 කට පමණ අයත් ඇටකටු සහ මීනි ඔළු යොදාගෙන තිබෙනවා. එහි බිත්ති සහ වහලය දරා සිටි කුළුණු පිළිවෙළකට අසුරන ලද ඇටකටු යොදා ගනිමින් නිර්මාණය කර ඇති අතර ඒවා සරසා ඇත්තේ හිස් කබල් යොදාගෙන යි.
සුදු පැහැ ගඩොල් භාවිත කරමින් නිර්මාණය කර ඇති දෙව් මැදුරේ සිවිලිම මරණයේ අවස්ථා නිරූපණය වන ලෙස පින්තාරු කර තිබෙනවා. එසේ ම දෙව් මැදුරු වහලයේ ‘උපන් දිනට වඩා මිය යන දිනය යහපත් වේ’ යන අරුත ගෙන දෙන Melior est die mortis die nativitatis යන වදන් පෙළ සටහන් කර ඇති අතර බොහෝමයක් හිස් කබල් හි කුරුටු අකුරුවලින් ලියන ලද යම් යම් වැකි දැක ගත හැකි යි.
කුරුසය සවි කර ඇති දෙව් මැදුරු බිත්තියට යාබදව ලණු මගින් එල්ලා ඇති හොඳින් වියළුණු මළ සිරුරු දෙකක් දක්නට ලැබෙනවා. එයින් එක් සිරුරක් කුඩා දරුවෙකුගේ යි. මීට අමතර ව අල්තාරය ආසන්නයේ සුදු පැහැ මිනී පෙට්ටියක් දක්නට ලැබෙන අතර එහි තැන්පත් කර ඇති ඇටකටු අයත් වන්නේ 13 වැනි සියවසේ දී ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානය ගොඩ නැගීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ෆ්‍රැන්සිස්කානු පූජකයින් තිදෙනෙකුට යි.
කැපෙලා දොස් ඕසොස් දෙව් මැදුර තුළ ඇති කුළුණක සවි කර ඇති දැවමය පුවරුවක් මත එය නිර්මාණය කිරීමේ අරමුණ පෙන්නුම් කරන කවියක් දක්නට ලැබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1845 – 1848 අතර කාලයේ දී ඇන්ටෝනියෝ ඩා ඇසෙන්සෝ ටෙලීස් නම් පියතුමා විසින් රචනා කරන ලද එය පසු කාලීන ව ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත්තේ කාලෝස් ඒ. මාටින්ස් පියතුමා විසින්.
එය මෙසේ දැක්විය හැකි යි. “මේ තරම් හදිසියකින් ඔබ කොහේ ද යන්නෙ, සංචාරකය? මදකට ඔබේ ගමන නතර කර මේ දෙස බලන්න. මේ ලෝකය හැරදා ගිය අය ව මතකයට නගා ගෙන ඔබටත් ඒ ගමන යන්නට සිදු වන බව මතක් කර ගන්න. බොහෝ දෙනෙක් නොසිතූ මරණය ගැන ඕනෑකමින් සිතා බලන්න. නොනැවතී යන ගමන් නතර කර ජීවිතයේ අනියත බව මෙනෙහි කළහොත් සිතුවාටත් වඩා වැඩි දුරක් යන්නට ඔබට හැකි වේවි.”
මූලාශ්‍ර :
- atlasobscura.com
- en.wikipedia.org
- evora-portugal.com
- sacred-destinations.com
- odditycentral.co
- algarve-tourist.com
Cover image: wikimedia commons