Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෝටර්ගේ මහා දුම්රිය මංකොල්ලය සහ ඇමරිකානු ගොපලු සිනමාව

රෝදය කියන්නෙ තාක්ෂණයේ දියුණුවට මොන තරම් රුකුලක් වුණු සොයාගැනීමක්ද කියන කාරණය ගැන විවාදයක් නැහැ. කලාව සම්බන්ධයෙන් කතා කරද්දී ඒ වගේම වැදගත්කමක් තියෙන සොයාගැනීමක් තමයි ‘චලන චිත්‍රය’ (Motion Picture) කියන්නෙ. විසිවෙනි සියවස ආරම්භයටත් කළින් ඉඳලම මේ විෂය සම්බන්ධයෙන් විවිධ අය උනන්දු වුණා. විශේෂයෙන්ම යුරෝපයේ සහ ඇමරිකාව වගේ රටවල්වල තෝමස් අල්වා එඩිසන්, ලුමියර් සහෝදරවරු වගේ අය ඒ අතරින් ප්‍රමුඛයි.

සිදුවීම් ඒ ආකාරයෙන්ම පටිගත කළහැකි යන්ත්‍රයක් නිපදවීම කියන්නෙ සල්ලි මවන උල්පතක් බව ආරම්භක අවධියේ ඉඳලම ගොඩක් අය දැනගෙන හිටියා. චලන චිත්‍රයේ මූලධර්ම හොයාගෙන ඒ තරම් කාලයක් ගතවෙන්න කළින්ම ඒ විෂය සම්බන්ධයෙන් ඇතිවුණු ශීඝ්‍ර දියුණුවට හේතුවත් ඒකම තමයි. ගොඩක් අය කැමතිවුණා කියවනවට, අහනවට වැඩිය ඇස් දෙකෙන්ම දේවල් දකින්න.

එඩ්වින් එස්. පෝටර් කියන්නෙත් සිනමාවේ මුල් යුගය සහ චලන චිත්‍රයේ විකාශනය ගැන කතා කරද්දි අමතක කරන්න බැරි චරිතයක්. ඇමරිකානු වෘත්තාන්ත සිනමාවේ වගේම ගොපළු සිනමාවේ (Cowboy Films) ආරම්භය සිද්ධ වෙන්නෙත් ඔහුගේ චිත්‍රපටයක් හරහා. එඩ්වින් එස්. පෝටර් සහ ඒ සුවිශේෂී චිත්‍රපටය ගැනයි මේ සටහන.

පෝටර් සහ සිනමාවේ මුල් යුගය

එඩ්වින් එස්. පෝටර් (Edwin Stanton Porter) ඉපදෙන්නෙ 1870 අප්‍රේල් 21 වෙනිදා ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙ දි. ඔහුගෙ තරුණ අවධිය ලෝක සිනමාවේ විශිෂ්ඨම සොයාගැනීම් සහ සංවර්ධනය කිරීම් වෙනුවෙන් ගොඩක් අය මහන්සි වෙමින් හිටපු කාල සීමාවක්. පෝටර් මුල් කාලීනව එඩිසන් සමාගමේ තාක්ෂණ ශිල්පියෙක් විදියටත් සේවය කරනවා. මුල ඉඳලම ඔහුට ඕන වෙන්නෙ චලනය වෙන රූපරාමු කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් එහා ගිය ආකර්ෂණීය දෙයක් ප්‍රේක්ෂකයට ලබාදෙන්න.

සංස්කරණයේ පියා, එඩ්වින් එස්. පෝටර් (imdb.com)

පෝටර්ව සිනමාව ඇතුළෙ සුවිශේෂී වෙන ප්‍රධානම තැන තමයි සංස්කරණය. ‘රූප දෙකක් එකතු කරලා කතාවක් කියන්න පුළුවන්’ කියන අදහසත් එක්ක දිගින් දිගටම හැප්පෙන්න සහ වැඩ කරන්න ඔහු පෙළඹෙනවා. සිනමාව ප්‍රබල කලා මාධ්‍යයක් විදියට දියුණු වෙන්න ඒ මූලික සංකල්පය එක්ක පෝටර් කරපු අත්හදාබැලීම්වලින් ලැබුණෙ දැවැන්ත තල්ලුවක්. සමහර විචාරකයන් සඳහන් කරන විදියට ලෝක සිනමාවේ වැදගත් කාලසීමාව තමයි එඩ්වින් එස්. පෝටර් ගෙ Life of an American Fireman (1903) චිත්‍රපටයත්, ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් ගෙ ‘The Birth of A Nation (1915)’ චිත්‍රපටයත් අතර කාල පරිච්ඡේදය.

කතන්දර කීමේ කලාව සහ The Great Train Robbery

පෝටර් නිර්මාණය කරපු වඩාත් ජනප්‍රිය සිනමා නිර්මාණය තමයි The Great Train Robbery (1903). මිනිත්තු 12 ක ධාවන කාලයකින් සහ දර්ශන 14කින් සමන්විත මේ නිහඬ චිත්‍රපටය වර්තමානයට සාපේක්ෂව බලද්දි ඉතාම ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක් වුණත් ඒ චිත්‍රපටය හරහා ඇමරිකානු සිනමාවට වගේම ලෝක සිනමාවටත් දායාද වුණු දේවල් සුළුපටු නැහැ. තවත් විදියකට පැහැදිළි කළොත්, අද මුළු ලෝකයම හොල්ලන ඇමරිකානු සිනමාවේ ආරම්භය තියෙන්නෙ එතන.

හොරු කල්ලියක් එකතුවෙලා දුම්රියක් මංකොල්ලකෑම ගැන කතාවක් තමයි The Great Train Robbery (1903) චිත්‍රපටයෙන් කියන්නෙ. ටෙලිග්‍රාෆ් ඔපරේටර්ට තර්ජනය කරලා කෝච්චියක් නවත්තගන්න ‍හොරු රැළ ඒ කෝච්චියේ ගෙනියන සල්ලි සහ මගීන්ගේ වස්තුව ඇතුළු සියළු දේ මංකොල්ලකනවා. මේ අතරෙ කෑමත් අරගෙන තාත්තා බලන්න එන ටෙලිග්‍රාෆ් ඔපරේටර්ගෙ පුංචි දුව දකිනවා තමන්ගෙ තාත්තව අතපය බැඳල දාල තියෙන හැටි. ඔහු තාත්තව බේරගන්නවා.

පොලීසිය මංකොල්ලකාරයින්ගෙ පස්සෙ පන්නන්නේ ඊට පස්සෙ. අන්තිමේ හොරු රංචුව පොලිසියට කොටුවෙනවා. මංකොල්ලකාරයෙක් කැමරාව පැත්තට පිස්තෝලයක් එල්ලකරලා වෙඩි තියන දර්ශනයකින් තමයි චිත්‍රපටය ඉවර වෙන්නෙ. Alfred C. Abadie, Broncho Billy Anderson, Justus D. Barnes, Walter Cameron, Marie Murray සහ Mary Snow ඇතුළු පිරිසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණා.

The Great Train Robbery (1903) චිත්‍රපටයේ දර්ශනයක් (publicdomainreview.org)

‘කව්බෝයි චිත්‍රපට’; එහෙමත් නැත්නම් ‘ගොපළු සිනමාව’ කියන්නෙ ඇමරිකානු සිනමාවේ අනන්‍යතා සංකේතයක් බවයි ගොඩක් අයගෙ පිළිගැනීම. ඇමරිකානු වෘත්තාන්ත සිනමාවේ වගේම මේ කව්බෝයි චිත්‍රපටවල ආරම්භය සනිටුහන් වෙන්නෙත් ක්‍රියාදාම ලක්ෂණවලින් පිරුණු, පෝටර්ගෙ The Great Train Robbery (1903) චිත්‍රපටයෙන්.

සංස්කරණයේ උත්පත්ති කතාව සහ පෝටර්

රූපරාමුවලින් කතාවක් කියන්න ‘සංස්කරණය’ මුලින්ම භාවිතා කළේ එඩ්වින් එස්. පෝටර්. සංස්කරණයේ මූලික සිද්ධාන්ත සම්බන්ධයෙන් ඔහු කරපු සමහර අත්හදාබැලීම් සහ ඒ හරහා නිර්මාණය වුණු සංස්කරණ ක්‍රමවේද අද පවා සිනමාව ඇතුළෙ බහුලව භාවිතා වෙනවා. එයින් එකක් තමයි ‘සමාන්තර ඡේදනය’ (Parallel Cutting). Life of an American Fireman (1903) වගේ චිත්‍රපට නිර්මාණය කරද්දි මේ ක්‍රමවේදයෙන් ඉතාම සාර්ථක විදියට වැඩ ගන්න ඔහුට හැකියාව ලැබෙනවා.

ස්ථාන දෙකක වෙන වෙනම රූගත කරපු දර්ශන එක ළඟ පෙන්වීම හරහා ඒ දර්ශන එකම සිදුවීමකට අයත් බව හැඟවීම තමයි එතනදි සිද්ධ වෙන්නෙ. ගිනිගැනීමේ දර්ශනයක් එක්ක වෙනත් තැනක රූගත කරපු ගිනි නිවන භටයින්ගේ දර්ශන පෙළක් සංස්කරණය කිරීමෙන් ඒ දර්ශන එකම මොහොතක සිද්ධවෙන, එකම සිදුවීමකට සම්බන්ධ දර්ශන බව සාර්ථකව අඟවන්න පෝටර්ට පුළුවන් වෙනවා. (මුල්ම ඇමරිකානු වාර්තා චිත්‍රපටය විදියටත් ගොඩක් අය හඳුන්වන්නේ Life of an American Fireman (1903) චිත්‍රපටය). මේ ‘සමාන්තර ඡේදනය’ හරහා වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත්ත තවත් නිර්මාණයක් තමයි The Great Train Robbery (1903).

තවත් වැදගත් කාරණයක් තමයි, දර්ශනයකින් දර්ශනයකට යෑමේ ජනප්‍රියම ක්‍රමය වුණු Dissolve හෙවත් දර්ශන මුසු කිරීම වෙනුවට ‘ක්ෂණික ඡේදනය’ භාවිතා කිරීම. මේ වගේ ශිල්පක්‍රම හරහා කතාවේ නාටකීය ගුණය වඩාත් හොඳින් රඳවාගන්න පෝටර් සමත් වෙනවා. තවත් පැහැදිළිව සඳහන් කළොත්, සංස්කරණයේ තිබෙන බලය මොන තරම්ද කියන කාරණය ගැන ඔහු හොඳින්ම දැනගෙන හිටපු බව තමයි Life of an American Fireman (1903), The Great Train Robbery (1903) වගේ චිත්‍රපට හරහා අපට නිගමනය කරන්න වෙන්නෙ.

Life of an American Fireman (1903) සහ The Great Train Robbery (1903) චිත්‍රපට සඳහා නිර්මාණය වූ පෝස්ටර් (filmsite.org)

පෝටර් නිතරම උත්සාහ කරනවා කැමරාව තැන් තැන්වලට අරගෙන ගිහිල්ලා රූගත කරන්න. ඒ වෙනකොට ගොඩක් අය පුරුදුවෙලා හිටියෙ වේදිකා නාට්‍යයක් බලනවා වගේ එකම රූපරාමුවක හැමදේම දකින්න. පෝටර් ඒ එකාකාරී රටාව වෙනස් කරලා විවිධ දර්ශන විවිධ තැන්වල පටිගත කරන්න පටන්ගන්නවා. ඊට පස්සෙ ඒ රූප පුරුද්දලා ඔහුගෙ කතාව අපට කියන්නයි පෝටර් උත්සාහ කළේ. එතනදි කාර්මික ශිල්පියෙක් විදියට එකතු කරගත්ත දැනුමෙන් ඔහුට ලැබෙන්නෙ ලොකු උදව්වක්.

Life of an American Fireman (1903), The Great Train Robbery (1903) කියන ජනප්‍රිය චිත්‍රපට දෙකට අමතරව The Kleptomaniac (1905), The Life of a Cowboy (1906), Rescued from an Eagle’s Nest (1908) ඇතුළු තවත් චිත්‍රපට නිර්මාණය කරන පෝටර් තමන්ගෙ දිවි සිනමාව කෙළවර කරන්නෙ 1941 අප්‍රේල් 30 වෙනිදා නිව්යෝක් නුවරින්. සිනමාව කියන්නෙ මැජික් පෙන්වීමේ මාධ්‍යයක් හෝ සිදුවීම් වාර්තාකිරීමේ මාධ්‍යයක් විතරක් නොවෙන බව තේරුම් ගත්ත සිනමාකරුවෙක් විදියට එඩ්වින් එස්. පෝටර්ට ලෝක සිනමාව ඇතුළෙ හිමිවෙන්නෙ සුවිශේෂී ස්ථානයක්.

මූලාශ්‍ර –

ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ – සුනිල් මිහිඳුකුල

රූප පෙළගැන්වීමෙන් කථාන්තර කීම – එම්.ඩී. මහින්දපාල (ලංකා කැමරා 2000 ගිම්හාන කලාපය)

https://www.britannica.com/biography/Edwin-S-Porter

https://www.imdb.com/name/nm0692105/bio?ref_=nmmi_bio_sm

https://www.biography.com/people/edwin-s-porter-21194085

Related Articles