පොළොන්නරුවේ අපූරු කලාගාරය – තිවංක පිළිමගෙය

ක්‍රි.ව 1153-1186 කාල සමය තුළ පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා එම යුගයේ දක්නට ලැබුණු ප්‍රබලම පාලකයා යි. එදා පොළොන්නරු රාජධානියේ ස්වර්ණමය යුගය නිර්මාණය කළ පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ නිර්මාණයන් රැසක් තවමත් පොළොන්නරු බිමේ විරාජමානව වැජඹෙමින් තිබෙනවා. එලෙස පුලතිසි පුරවරය තුළ දක්නට ලැබෙන නිර්මාණ අතුරින් තිවංක පිළිමගෙයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ, එහි තිබෙන සුන්දර සිතුවම් නිසා යි. එම සිතුවම්වල තිබෙන විචිත්‍රවත් බව නිසාම බොහෝ දෙනෙකු එය හඳුන්වනු ලබන්නේ පොළොන්නරුවේ කලාගාරය නමින්.

ඉතිහාසය

පොළොන්නරු යුගයේ දී ගෙඩිගේ සම්ප්‍රදායට අනුව ඉදිකළ පිළිමගෙවල් තුනක් හමුවනවා. ලංකාතිලකය, ථූපාරාමය, සහ තිවංක පිළිමගෙය යන එම පිළිමගෙවල් ත්‍රිත්වයම නිර්මාණය වුණේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී යි. එකල මහා පරාක්‍රමබාහු රජතුමා විසින් පොළොන්නරුවේ ඉදිකරන ලද ජේතවනාරාම විහාර සංකීර්ණයේ පිළිමගෙය ලෙසින් හැඳින්වෙන්නේ තිවංක පිළිමගෙය යි. 

ලංකාතිලක පිළිමගෙය (gettyimages)

ගොඩනැගිල්ලේ තොරතුරු 

තිවංක පිළිමගෙය ලෙසින් හඳුනාගෙන තිබෙන ගොඩනැගිල්ල දිගින් අඩි 123ක් පමණ වන අතර පළලින්  අඩි 67ක් පමණ වනවා. ආරුක්කු හැඩයෙන් යුත් ඉතාමත් අලංකාරව නිම කළ ගඩොල්  පියස්සක් තිබු මෙම ගොඩනැගිල්ලේ උස අඩි 55ක් පමණ වන්නට ඇතැ යි අනුමාන කරනවා. එසේම මෙහි බිත්ති අඩි 6 සිට 8 පමණ වන ඝනකමින් යුක්ත යි. මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ දී පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා  කර ඇති බව පැහැදිලිව පෙනීයන කරුණක්. මෙහි පිටත බිත්තිවල විමාන, වාමන රූප, සිංහ රූප, දේවරූප, හංස රූප, බෝධිසත්ත්ව රූප  ආදී නොයෙක් කැටයම් දක්නට ලැබෙනවා. එසේම මෙහි ඉහළ මහල් තනා තිබෙන්නේ පිළිමගෙය තුළ දෙපස වේදිකාවේ රඳවනු ලැබූ ගල් කණු ආධාරයෙන්. ශ්‍රී ලංකාවේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ සෙනරත් පරණවිතානගේ මතය වුණේ තිවංක පිළිමගෙය ඉදිකිරිමේ දී භාවිතා කර ඇති ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුරාධපුර යුගයට නෑකමක් දක්වන බව යි.

තිවංක පිළිමගෙය (gettyimages)

හිටි පිළිමය 

පොළොන්නරුවේ ගෙඩිගේ සම්ප්‍රදාය අනුව ඉදිකර තිබෙන පිළිමගෙවල්වල බුදු පිළිම දක්නට ලැබෙනවා. එහි දී ථූපාරාමය පිළිමගෙය තුළ හිඳි පිළිමයක් දක්නට ලැබුණත් ලංකාතිලක සහ තිවංක යන පිළිමගෙවල් තුළ හිටි පිළිම දක්නට ලැබෙනවා. තිවංක පිළිමගෙය තුළ නිර්මාණය කර ඇති හිටි පිළිම වහන්සේ පද්මාසනයක් උඩ වැඩ සිටින ආකාරය නිරීක්ෂණය කළ හැකියි. අභය මුද්‍රාව නිරූපණය කරන එම පිළිම වහන්සේගේ උස අඩි 35ක් පමණ වුණත් වර්තමානය වන විට එහි හිස කොටස දක්නට ලැබෙන්නේ නැහැ. එම හිටි පිළිමය දන, උකුල, සහ උරහිස යන තුන් තැනින් නැමෙන සේ ඉදිකර තිබුණු නිසා මෙම පිළිමගෙයට තිවංක පිළිමගෙය යන නම ලැබුණු බවට මතයක් පවතිනවා.

හිටි පිළිමය (Amazing Lanka)

සිතුවම් 

තිවංක පිළිමගෙය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි තිබෙන සිතුවම් නිසා යි. පසුගිය කාලයේ දී එම සිතුවම් ක්‍රමයෙන් විනාශයට පත්වන ආකාරය දක්නට ලැබුණා. නමුත් තවමත් ද්වාර මණ්ඩලය, අන්තරාලය, සහ ගර්භ ගෘහය යන ස්ථානවල විනාශයට පත් නොවුණු සිතුවම් දැකිය හැකියි. එහි දී ටෙම්පරා නම් ශිල්පීය ක්‍රමය යොදාගෙන නිර්මාණය කර ඇති සිතුවම් වර්ණ ගන්වා ඇත්තේ රතු, කොළ, කහ, සහ කළු යන වර්ණ හතර යොදාගනිමින්. චිත්‍ර වර්ණ ගැන්වීම සඳහා යොදාගත් තීන්ත සෑදීමට භාවිතා කර තිබෙන්නේ නිල් අවරිය, ගොකටු, සාදලිංගම්, ගුරුගල් පතඟී, මකුළු මැටි, හිරියල් ආදී දේශීය අමු ද්‍රව්‍යය යි. එලෙස අඳින ලද සිතුවම් තිවංක පිළිමගෙය තුළ ස්ථානගත කොට ඇත්තේ ද ක්‍රමවත් සැලසුමකට අනුව යි. එහි දී පිළිමගෙයි පිටත කොටස බෝධිසත්ත්ව අවධියේ පාරමිතාවන් දැක්වෙන ජාතක කථවලටත්, මැද කොටස දේව අවධියටත්, අභ්‍යන්තර කොටස බුද්ධත්වයෙන් පසු අවස්ථාවන් පිළිබිඹු කිරීමටත් වෙන්කර තිබෙනවා. මෙම පිළිමගෙය තුළ ඇඳි චිත්‍ර අතුරින් බොහෝ සිතුවම් ප්‍රමාණයක් අද වන විට විනාශ වී ඇතත්, පහත සිතුවම් කිහිපය තවමත් හඳුනාගත හැකි තත්ත්වයේ පවතිනවා.

1) විහාරගෙයට ඇතුල් වී ඉදිරියට යන විට පළමුව වම් පැත්තේ ආසන්කවතී ජාතකය දැක්වෙන සිතුවමක් ඇඳ තිබෙනවා 

2) ඊළඟ සිතුවමෙන් සස ජාතකය නිරූපණය වනවා 

3) එම චිත්‍රයට ඉදිරියේ  දකුණු පසින් කාලගෝල කතාව නිරූපණය කරන සිතුවමක් දක්නට ලැබෙනවා 

4) එම බිත්තියෙහි මහාමායා දේවිය දුටු සිහිනය සහ බෝසත් උපත සිතුවම් කර තිබෙනවා 

5) මහා සුදස්සන සහ තේමිය ජාතක කතා ද එහි දී දක්නට ලැබෙනවා 

6) එසේම විදුර, චුල්ලපදුම, සහ මෛත්‍රී බල යන ජාතක කතා මෙහි සිතුවම් කර තිබෙනවා 

7) වම පස බිත්තිය පුරාම දක්නට ලැබෙන්නේ තුසිත දෙව්ලොව සිටි බෝසතුන්හට බුදුවීමට දෙවි වරුන් විසින් කරන දේවාරාධනාව නම් සිතුවම යි.

8) පිළිමය ඉදිරිපස බිත්තියේ සතර වරම් දෙවිවරුන් සිතුවම් කර තිබෙනවා. ඒ අතර දක්නට ලැබෙන අමුතු ආකාරයේ හිස්වැස්මක් පැළඳ ඇති පුද්ගලයා  පිටසක්වල වැසියෙක් ලෙසින් සමහරු අර්ථ දක්වනවා.

9) පිළිමයට දකුණු පස බිත්තියේ බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම සිතුවමට නගා තිබෙනවා. 

ආසන්කවතී ජාතකය සිතුවම (archeology.lk)

විනාශයට පත්වීම 

ක්‍රි.ව 1215 දී කාලිංග මාඝ නම් ආක්‍රමණිකයා පොළොන්නරුව ආක්‍රමණය කිරීමෙන් පසුව පොළොන්නරු රාජධානිය බිඳ වැටුණා. එදා පුලතිසි රාජධානියේ තිබුණු වෙහෙර විහාර සහ වැව් අමුණු විනාශ කළ කාලිංග මාඝ විනාශකාරී පාලනයක් ගෙන ගියා.  පොළොන්නරුව විනාශයෙන් විනාශයට ගෙන යමින් සිටි මාඝ එම භූමියෙන් පළවා හැරුනේ ක්‍රි.ව 1236-1270 කාල සමයේ දඹදෙණිය රාජධානියේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා යි. එදා මාඝ විසින් තිවංක පිළිමගෙයට විශාල හානියක් සිදුකර තිබුණා. නමුත් දෙවන පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුව අත්පත් කරගැනීමෙන් පසුව විනාශ වී තිබුණු තිවංක පිළිමගෙය යළි පිළිසකර කරනු ලැබුවා. එලෙස ප්‍රතිසංස්කරණය කෙරුණු තිවංක පිළිමගෙය යළි විනාශයට පත් වුණේ පසුකාලීනව රාජධානි නිරිතදිගට සංක්‍රමණය වීමත් සමග යි.

යළි ගොඩනැගීම 

සියවස් ගණනාවක් තිස්සේ වල් බිහිවී තිබුණු පොළොන්නරු රාජධානියේ නටබුන් යළි පිළිසකර කිරීම ආරම්භ වුණේ  19 වැනි සියවසේ අග භාගයේ දී යි. ඒ අනුව 1885 වසරේ දී ගරා වැටී තිබුණු තිවංක පිළිම ගෙය යළි පාදා ගනු ලැබුවේ එස්.එම්. බැරෝස් නැමැති සිවිල් නිලධාරියා යි. ඒ වන විට පිළිමගෙය ගරා වැටී එහි සිතුවම් විශාල වශයෙන් විනාශ වී තිබුණා. ඒ වන විට ඉතිරිව තිබුණු සිතුවම්වලින් කොටසක් 1886 වසරේ දී පිටපත් කරනු ලැබුවේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වුණු මරේ නම් පුද්ගලයෙකු විසින්. මෙහි සිතුවම් සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබුණේ 1940 වසරේ දී යි. නමුත් ඒ වන විට සිතුවම් තවත් විනාශ වී තිබුණු බව ඉතිහාස මූලාශ්‍රයන්වල සඳහන් වනවා. පුරාවිද්‍යා කොමසාරිස්වරුන් ලෙසින් කටයුතු කළ සෙනරත් පරණවිතාන, බෙල්, සහ ලෝන්ග්හර්ස්ට් වැනි අය මෙම සිතුවම් ආරක්ෂා කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරූ බව මෙහි දී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.

මෙය ආරක්ෂා කළ යුතු යි 

‘පොළොන්නරුවේ කලාගාරය’ ලෙසින් හැඳින්වෙන තිවංක පිළිමගෙය ක්‍රමයෙන් විනාශයට පත්වෙමින් තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. විශේෂයෙන්ම එහි සිතුවම් ආරක්ෂා කරගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා. තිවංක පිළිමගෙය තුළ ඇඳි ඇතැම් සිතුවම්වල අනුරූ කොළඹ ජාතික කෞතුකාගාරයේ සහ දඹුල්ල බිතු සිතුවම් තුළ දක්නට ලැබෙනවා. තිවංක පිළිමගෙය නම් වටිනා කලා නිර්මාණය ආරක්ෂා කරගැනීම අප සැමගේම යුතුකමක්. එසේ නොවුණොත් අනාගත පරපුරට තිවංක පිළිමගෙයි සිතුවම් කෞතුකාගාර තුළ දී පමණක් නැරඹීමට සිදුවනු ඇති.

කවරයේ ඡායාරූපය- දේවාරාධනාව සිතුවම (gettyimages)

මූලාශ්‍රයන්- මධ්‍යකාලීන පොළොන්නරුව

Related Articles

Exit mobile version