සිංහල රාජාවලිය ඇතැම් විටක ලියැවුණේ අභීත සටන්කාමියෙකුගේ ජනග්‍රහණයක් ලෙස යි. තවත් විටෙක එය සොයුරන් අතර රාජ්‍යත්වය සඳහා වූ තරඟයක්. සදාකාලික කඳුළ උරුම වූ ආදර කතා ද ලක් ඉතිහාසයේ නැතුවා ම නොවෙයි. උන්මාද චිත්‍රා කුමරියගේ කතාව එවැන්නක්. රජ පෙළපතක උපත ලබා රුවෙන් අග තැන්පත් වුව ද නැකත්කරුවන්ගේ බස් නිසාවෙන් ඇය ගත කළේ දුක් මුසු ළමා වියක් සහ සිහින සඟවා ගත් යොවුන් කාලයක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
විජයගෙන් ඇරඹි රජ පෙළපත
දඹදිව් තලයෙන් පිටුවහල් කළ ලක්දිව ගොඩ බට විජය රජුගේ කතාව මෙන් ම ඔහුට දාව කුවේණියට උපන් දරු දෙදෙනා ගැනත් ඉතිහාස පොතේ සඳහන්. නමුත් රාජ වංශිකයෙකු නොවූ කුවේණියගේ දරුවන්ට රජකම උරුම වුණේ නැහැ. ඒ හේතුවෙන් ඉන්දියාවෙන් ගෙන්වා ගත් රජ කුමරියක් අග බිසෝ තනතුරේ පිහිටුවා කුවේණිය ව පිටුවහල් කළ විජයට, ඒ පාපය නිසාවෙන් දෝ රජකම උරුම කර දෙන්න තම ලෙයින් උපන් පුත් රුවනකගේ සුරතල් බලන්නට නොහැකි වුණා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ රජකම තමන්ගේ සොයුරාගේ පුතුට ලබා දෙන්නට විජය රජු තීරණය කළ අතර වංග රාජධානියේ (වත්මන් බෙංගාලය) සුමිත්‍ර රජුගේ පුත්, පඬුවස්දෙව් කුමරු ලක්දිවට පැමිණියේ ඒ අනුව යි. ඔහුගේ බිසව, භද්දකච්චායනා කුමරිය පැමිණ ඇත්තේ ගිනිකොණ දිග භාරතයෙන්. ඇය ශුද්ධෝදන රජුගේ සොයුරු අමිතෝධන රජුගේ පුත් පණ්ඩු කුමරුට දාව සුසීමා නම් කුමරියට උපන් දියණිය යි. අතිශය රූමත් වූ හද්දකච්චායනා කුමරිය ව සටන් කර හෝ තමන් සතු කර ගැනීම රාජධානි හතක කුමාරවරුන් මාන බලමින් සිට ඇති අතර නැකැත්කරුවන්ගේ උපදෙස් මත අවසානයේ දී ඇය ව ගංගා නදියෙන් මුහුදට පා කර යැවීමට පණ්ඩු කුමරු තීරණය කළා. ඒ අනුව පරිවාර ස්ත්‍රීන් සමග ගංගා නදියේ පා කර යැවූ හද්දකච්චායනා කුමරිය දෙසතියකට පසු ව තම්මැන්නා වෙරළට පැමිණි බව සඳහන් වෙනවා.
නමුත් ඇතැම් මූලාශ්‍රයන් සඳහන් කරන්නේ විජය රජුට මෙන් ම රාජ වංශික අග මෙහෙසියකගේ වුවමනාව පඬුවස්දෙව් රජුට ද ඇති වූ බැවින් භද්දකච්චායනා කුමරිය ව විවාහ කර ගැනීමේ අරමුණෙන් ඔහු පණ්ඩු රජුට හසුනක් යවා ඇති බව යි. ඒ අනුව භද්දකච්චායනා කුමරිය, පරිවාර ස්ත්‍රීන් සහ සොයුරන් සය දෙනෙකු සමග නැගෙනහිර වෙරළේ ගෝකණ්ණ තොටුපළට පැමිණ තිබෙනවා. කෙසේ හෝ විජය රජුගෙන් පසු ව කිරුළ දරාගෙන සිටි පඬුවස්දෙව් රජු, ඇය ව විවාහ කර ගත් අතර ඔවුන් දෙපළට පුතුන් දස දෙනෙක් සහ එක් දූ කුමරියක් උපත ලැබුවා. ඒ චිත්‍රා කුමරිය යි.
නැකත්කරුවන්ගේ අනාවැකිය
මෙසේ ශාක්‍ය රුධිරය දුවන රජ පෙළපතකට උපන් චිත්‍ර කුමරියගේ උපන් වේලාව පිරික්සීම සඳහා පැවතුණු සාම්ප්‍රදාය අනුව නැකැත්කරුවන් ගෙන්වා ඇති අතර ඔවුන්ගේ මතය වුණේ මතු අනාගතයේ දී චිත්‍රා කුමරියේ කුසයෙන් බිහි වන පුතණුවන්, සිය මාමාවරුන්ව ඝාතනය කර රජකම ලබා ගන්නා නිසා ඇය ව මරණයට පත් කළ යුතු බව යි. නමුත් බෞද්ධ දර්ශනයට අනාවරණය වී සිටි ඇගේ දෙමව්පියන් එම අදහසට එකඟ වුණේ නැහැ. නමුත් තමන්ගේ ජීවිතවලට එල්ල වී ඇති අවදානම දුටු ඇගේ සොයුරන් චිත්‍රා කුමරිය ව මරණයට පත් කිරීමට තීරණය කළ ද පඬුවස්දෙව් රජුගෙන් පසු ව සිහසුන උරුම වීමට නියමිත ව සිටි අභය කුමාරයා ඒ අදහසට විරුද්ධ වූ බව සඳහන් වෙනවා.
ඒ අනුව පිරිමියෙකු මුණ නොගැසෙන ලෙස එක්ටැම්ගෙයක සිර කරන ලද චිත්‍රාගේ ආරක්ෂාව සඳහා චිත්ත රාජ සහ කාලවේල නම් යක්ෂයින් දෙදෙනෙක් යොදවන ලද ඉතිහාසයේ කියැවෙනවා. චිත්‍රා කුමරිය ව රඳවා සිටි එක්ටැම්ගෙයට ඇතුළු වීමේ දොරටුව පිහිටා තිබුණේ ඇගේ දෙමව්පියන්ගේ සිරියහන් ගබඩාව ඔස්සේ යි. එසේ ම චිත්‍රා කුමරියට උවටැන් කිරීම සඳහා එක් විශ්වාසවන්ත සේවිකාවක් පමණක් සිටිය බවත්, දෙමව්පියන් හැරුණු විට ඇය ව මුණ ගැසීමට අවසර තිබුණේ අභය කුමරුට පමණක් බවත් පැවසෙනවා.
කාලය ගත වී ගිය ද එක්ටැම්ගෙයින් පිට වන්නට තරුණ චිත්‍රා කුමරයට අවසර ලැබුණේ නැහැ. තමන්ගේ මවගේ රුව අබිබවා ගිය තරමේ රූප ශ්‍රියකින් යුතු වූ නිසා ම රට වැසියන් අතර ඇය උන්මාද චිත්‍රා නමින් ප්‍රසිද්ධ වූ බව සඳහන් වෙනවා. මේ හේතුවෙන් ම ඇය ව විවාහ කර ගැනීමට බොහෝ ප්‍රාදේශීය කුමාරවරු කැමැත්ත පළ කළ ද නැකැත්කරුවන්ගේ අනාවැකිය හේතුවෙන් ඒ සෑම යෝජනාවක් ම ප්‍රතික්ෂේප වුණා.
දිඟාමඩුල්ලෙන් පැමිණි ඇවැස්ස මස්සිනා
භද්දකච්චායනා කුමරිය සමග ලක්දිවට පැමිණි ඇගේ සොයුරන් සය දෙනා පඬුවස්දෙව් රජුගේ සෙන්පතියන් ලෙස ප්‍රාදේශීය පාලකයන් බවට පත් වුණා. ඒ අනුව දීඝායු කුමරුට පවරා ඇත්තේ දිඟාමඩුල්ල යි. එහි වාසය කළ යක්ෂ ගෝත්‍රික කුමරියක් හා විවාහ වූ රාජ්‍ය පාලනය කළ දීඝායු කුමරුට දීඝ ගාමිණී නමින් පුතෙක් සිටි බව සඳහන් වෙනවා. තරුණ වියේ සිටි කඩවසම් දීඝ ගාමිණී කුමරුට තම ඇවැස්ස නෑනණ්ඩිය, උන්මාද චිත්‍රාගේ රූප ශෝභාව ගැන අසන්නට ලැබී ඇති අතර ඇය ව දැක ගැනීමේ ආශාවෙන් පසු වූ දීඝ ගාමිණී කුමරු පඬුවස්දෙව් රජු රාජ්‍ය මෙහෙය වූ පඬුවස් නුවරට පැමිණ තිබෙනවා.
තමන්ගේ ඥාති පුත්‍රයා ව ආදරයෙන් පිළිගත් පඬුවස්දෙව් රජු සහ භද්දකච්චායනා රැජින ඔහුට රජවාසලේ රාජකාරි පවරා ඇත්තේ ඔහුගේ ම ඉල්ලීම මත යි. ඒ අනුව කෙටි කලකින් ම කාගෙත් සිත දිනාගෙන උප රාජ සහ රාජ උපස්ථායක තනතුරේ කටයුතු කිරීමට දීඝ ගාමිණී කුමරුට හැකි වුණා. නමුත් උන්මාද චිත්‍රා ව දැක ගැනීමට ඔහුගේ සිතේ පැවති ආශාව ගැන කිසිවෙක් දැන සිටියේ නැහැ.
උන්මාද චිත්‍රා – දීඝ ගාමිණී
කෙසේ හෝ රජ මැදුරේ සේවය කරමින් සිටිය දී උන්මාද චිත්‍රා කුමරිය රඳවන ලද එක්ටැම්ගෙයි ආරක්ෂාවට සිටි චිත්ත රාජ සහ කාලවේල නම් යක්ෂයින් සමග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට දීඝ ගාමිණී කුමරුට හැකි වූ බව පැවසෙනවා. එයට බොහෝ විට හේතු වන්නට ඇත්තේ ඔහුගේ මව, යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වීම යි. මේ මිත්‍රත්වය මත උන්මාද චිත්‍රා කුමරිය දැක ගැනීමට එක්ටැම්ගෙයට පිවිසි දීඝ ගාමිණී කුමරු, පළමු දැක්මෙන් ම ඇය හා ප්‍රේමයෙන් වෙළුණු බව යි ඉතිහාසයේ දැක්වෙන්නේ.
මෙසේ ප්‍රේමයෙන් බැඳුණු උන්මාද චිත්‍රා කුමරියට සහ දීඝ ගාමිණී කුමරුට දහවලේ දී නිදහසේ හමු වන්නට නොහැකි වූ නිසාවෙන් රාත්‍රියේ දී දීඝ ගාමිණී කුමරු ඇය ව හමු වන්නට පැමිණි බව මහාවංසයේ සඳහන් වෙනවා. ඒ කර්කටක නම් යන්ත්‍රයක උපකාරයෙන්. කර්කටක යන්ත්‍රය කුමක් ද යන්න පිළිබඳ ව නිශ්චිත පැහැදිලි කිරීමක් නැතත් ඉතිහාසඥයින්ගේ මතය වන්නේ එය ඇකිළිය හැකි යාන්ත්‍රික පඩිපෙළක් විය හැකි බව යි. මේ ලෙස බාධා මධ්‍යයේ දළු ලා වැඩුණු උන්මාද චිත්‍රා – දීඝ ගාමිණී ප්‍රේම වෘත්තාන්තය ලොවට හෙළි වුණේ දීඝ ගාමිණීට දාව චිත්‍රා කුමරිය ගැබ් ගැනීම හේතුවෙන්.
හොර රහසේ උපන් පණ්ඬුකාභය පුතු
උන්මාද චිත්‍රා කුමරිය ගැබ් ගත් පුවත ඇසූ ඇගේ සොයුරන් යළිත් වරක් ඇය ව මරණය පත් කිරීමට සාකච්ඡා කළ ද පසු ව සෑම දෙනාගේ ම එකඟතාවය මත ඇයට පුතෙක් උපන්නොත් පමණක් ඔහු ව මරණයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව චිත්‍රා කුමරියට උපදින පුතු උපන් විගස ම ජීවිතක්ෂයට පත් කරන පොරොන්දුව පිට ඇය ව දීඝ ගාමිණී කුමරුට රහසින් ම විවාහ කර දීමට ඇගේ දෙමව්පියන් කටයුතු කළ බව සඳහන්. තමන්ගේ නූපන් දරුවාගේ ආරක්ෂාව ගැන සිතා බැලූ චිත්‍රා කුමරිය, සම වයස් ඇති ගැබක් සහිත කාන්තාවක් රජ මාලිගාවට ගෙන්වා ගත් අතර ඇයට උපන් දියණිය සමග තම පුතු ව මාරු කර ඔහුගේ ආරක්ෂාව පතා දොරමඩලාව නම් ගම්මානයට පිටත් කර තිබෙනවා.
තම පියාණන්ගේ සහ වැඩිමහල් සොයුරාගේ නාමයන් එක් කොට නම් කරන ලද ඔහු පසු කලෙක ලක්දිව එක්සේසත් කර පණ්ඩුකාභය නමින් රජ වුණා. විටින් විට පණ්ඩුකාභය කුමරුගේ පැවැත්ම ගැන දැන ගත් ඔහුගේ මාමාවරුන් ඔහු ව මරණයට පත් කිරීමට විවිධ උපක්‍රම යෙදුවත් ඒවා සෑම විට ම අසාර්ථක වුණා.
මේ එක්ටැම්ගෙයක සිර වූ උන්මාද චිත්‍රාගේ කතාව. ඇය ගැන එතරම් සාක්ෂි ඉතිහාසයේ හමු නොවන නිසා බොහෝ ඉතිහාසඥයින් පවසන්නේ ඇය ජනශ්‍රැතියක් බව යි. කෙසේ නමුත් සාක්ෂි නොමැති ව වුවත් උන්මාද චිත්‍රා – දීඝ ගාමිණී ප්‍රේම වෘත්තාන්තය තවත් බොහෝ කාලයක් ලක් ඉතිහාසය වර්ණවත් කරන බව නොඅනුමාන යි.
කවරයේ පින්තූරය : (© Ambika Sharma)