මහනුවර ඇසළ සමය ටිකෙන් ටික ළං වෙනවා. පුරාණයේ පටන් ම සෙංකඩගල, ඇසළ කාලෙට උත්සවශ්‍රීයකින් සැරසෙනවා. මහනුවර දළදා වන්දනාවේ යන වැඩි දෙනකු අවධානය යොමු නොකරන තැන් කිහිපයක් ගැන දැනුම්වත් කිරීමටයි මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ.
දළදා මාලිගයේ වැඩසිටින මාලිගයේ බිතුසිතුවම්
දළදා මාලිගයට යන වන්දනාකරුවන් කිසිම කෙනකුට දළදා වහන්සේ තැන්පත් කර තිබන වැඩසිටින මාලිගය ඇතුළට ගමන් කිරීමට ලැබෙන්නෙ නැහැ. නමුත් එම ගොඩනැගිල්ල ඇතුළත උඩරට සම්ප්‍රදායේ බිතුසිතුවම් රාශියක් ඇඳ තිබෙනවා. දළදා මාළිගාව විවිධ කාලවල අලුත්වැඩියා කර ඇති නිසා සිතුවම් කලාවෙහි ද වෙනස්කම් රාශියක් දක්නට ලැබෙනවා .
මෙහි ඉහළ මාලය දළදා වහන්සේ තැන්පත් කර ඇති හඳුන්කූඩමයි. එහි වැඩිපුර ම දක්නට ලැබෙන්නේ බුද්ධ රූප යි. එහි බිත්තියේ උඩින් ම සූවිසි විවරණය ඇඳ තිබෙනවා. මෙහි ජාතක කතා කිහිපයක් ද ඇඳ තිබෙන අතර වෙස්සන්තර ජාතකය ඒ අතරින් මුල් තැන ගන්නවා. හඳුන්කූඩමේ බ්‍රහ්ම රාජයා, ශක්‍ර දෙවියා පමණක් නොව වෙනත් දෙවි දේවතාවුන් ද සිතුවම් කර තිබෙනවා. නවග්‍රහ මණ්ඩලයේ සිතුවමක් වැඩසිටින මාලිගාවේ වම් පැත්තේ සිවිලිමේ දක්නට ලැබෙනවා.
දැවයෙන් කළ වියනේ වගේ ම බිත්තිවලත් සිතුවම් දැකගත හැකියි. ඉහළ මාලයේ බාල්ක අලංකාර කර තිබෙන්නේ නෙළුම් මල් සහ ලියවැල් රටාවලින්. කඩුපුල් මල්, දෙලුම් මල්, කතුරු මල්, මානෙල් මල්, සපු මල් ආදී මෝස්තරත් එහි පිහිටා තිබෙනවා. උඩු මාලේ සිවිලිම පනේල හයක් සේ දැකගත හැකි අතර ඒ සෑම කොටසක් ම මෝස්තර රටාවලින් තමයි විසිතුරු කර තිබෙන්නේ. හංස පූට්ටුව, නෙළුම් මල, බෝධිසත්වයන්ට වන්දනා කරන දෙවිවරුන් ආදී මෝස්තර එහි ඇඳ තිබෙනවා.
චිත්‍ර ශිල්පියා එකිනෙකට වෙනස් ආකාරයේ නෙළුම් මල් මෝස්තර යොදා ගෙන තිබෙනවා. කලාතුරකින් කල්ප වෘක්ෂ සහ ලියවැල් රටාත් තිබෙනවා. කාන්තාවන් හත් දෙනකු නිරූපිත සප්ත නාරි රථය නම් මෝස්තරය මේ අතරින් විශේෂිතයි. පංච නාරි ඝටය, චතුර්නාරි පල්ලැක්කිය ආදි මෝස්තරයත් එහි දකින්න ලැබෙන තවත් සිතුවම් අතර වෙනවා. වැඩ සිටින මාලිගය පිටත බිත්තියේ සහ පිටත සිවිලිම්වලත් සිතුවම් පිරිලා. ඒවා නම් කාටත් දැකගත හැකියි.
දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලය
මහනුවර දළදා මාලිගාව තුළ පිහිටි ප්‍රාචීන පුස්තකාලය ඉපැරණි ග්‍රන්ථ මෙන් ම ඓතිහාසික වටිනාකම්වලින් යුත් පුස්කොළ පොත් රාශියක් සහිත දැනුම් ගබඩාවක්. මෙහි තිබෙන පුස්කොළ පොත් පරිශීලනය පහසුකිරීමට ලියූ පුස්කොළ පොත් ව්‍යක්‍යාව නම් සූචි ග්‍රන්ථයක් 2016 දී පළ කෙරුණා. පර්යේෂකයන්ට දළදා මාලිගයෙන් අවසර ගෙන මෙම පුස්තකාලය භාවිත කළ හැකියි. ප්‍රාචීන පුස්තකාලය පිහිටුවූයේ 1875 ජුනි 15 වැනිදායි. එවකට ආණ්ඩුකාර ධූරය දැරූ විලියම් ග්‍රෙගරි ඒ සඳහා මුල් වූ බවත්, මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් අනුග්‍රහය දැක්වූ බවත් සඳහන් වෙනවා. පසු කාලයේදී මධ්‍යම පළාතේ රජයේ ඒජන්ත ධුරය දැරූ සුප්‍රකට පඬිවරයකු ව සිටි එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන්ගේ විශේෂ අනුග්‍රහයක් මෙම පුස්‌තකාලයට ලැබී තිබෙනවා. මුල් කාලයේ පත්තිරිප්පු ගොනැගිල්ලේ පවත්වාගෙන ගිය මෙය 1998 බෝම්බ ප්‍රහාරයෙන් පසු මාලිගාවේ ඇතුළත කාර්යාලයක ස්ථාපිත කර තිබෙනවා.
මෙහි පුස්‌කොළ පොත් එකතුව තුළ ඇති සමස්‌ත ග්‍රන්ථ සංඛ්‍යාව දෙදහසක් පමණ වෙනවා. ඒ අතුරින් අති විශේෂිත වූ ග්‍රන්ථ සංඛ්‍යාව එක්‌දහස් පන්සියයක් පමණ බව සැලකෙනවා. එම ග්‍රන්ථ ගැන විස්‌තර පසුගිය කාලයේ පළ කළ ව්‍යාඛ්‍යාවේදී නවීන සුචිකරණය විධික්‍රම අනුව පාඨකයන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. එයට අමතර ව ඉතා දුලබ මුද්‍රිත කෘති රාශියක් ඇතුළු ව තුන්දහසක පොත් එකතුවක් මෙහි තිබෙනවා.
මෙහි පුස්කොළ කෘති එකතුවේ මෙයට පෙර අප්‍රකට ව පැවැති දුර්ලභ කෘතියක් වන සක්‌වාලිහිණි සංදේශයත් තිබෙනවා. එය කෝට්‌ටේ යුගයේ රචනා වූවක්. පුස්‌කොළ පොත් එකතුවෙන් වැඩි කොටසක් සැදැහැවතුන් පින් පිණිස දළදා මාලිගාවට පූජා කළ ඒවායි. ධර්ම පුස්‌තක පූජා කිරීම මහත්පල, මහානිශංස ගෙන දෙන්නක් බව සිතූ සැදැහැවතුන් බරපැන ගෙවා ධර්ම පුස්‌තක පිටපත් කොට පූජා කළ බව සැලකෙනවා. විශේෂත්වය නම් මේ පොත් වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කොට ඇත්තේ කාන්තාවන් වීමයි. විදේශීය දුලබ පොත්, ධර්ම ග්‍රන්ථවලට අමතරව සම්භාව්‍ය සාහිත්‍යට අයත් සිදත් සඟරාව, අභිධානපදිපිකා ආදී වු සිංහල සහ පාලි පාඨ ග්‍රන්ථ ද මේඝදූත සන්නස වැනි සංස්‌කෘත ග්‍රන්ථ ද මෙහි තැන්පත් ව තිබෙනවා. කඩයිම් පොත් වන කුරුණෑගල විස්‌තරය වැනි විත්ති පොත් ද, ලේකම් මිටි පිටපත් ද මෙහි තිබෙන තවත් දුලබ ලේඛනයි. ප්‍රශස්‌ති සහ සටන් කාව්‍ය කෘති ද මෙම එකතුව සතුයි.
මල්වතු විහාරයේ පැරණි ළිඳ
උඩරට රාජධානි කාලෙ මල්වතු පන්සලේ හාමුදුරුවරුන් ස්නානය කරපු ළිඳ අදත් මහ පාර අයිනේ දකින්නට ලැබෙනවා. හැබැයි ඒක පුරාණ ළිඳක් බව වැඩිදෙනෙක් දන්නෙ නැහැ. ඒකට හේතුව ළිඳ වටා තාප්පයක් බැඳ දොරවල් අල්ලා ඉබියතුරු දමා තිබෙන හින්දයි. මහනුවර මල්වතු මහ විහාරයට පිවිසෙන වාහල්කඩ ඉදිරියෙන් වැව් ඉවුරේ තිබෙන ළිඳ මේ සමඟ ඇති පින්තුරය බැලීමෙන් හඳුනාගත හැකියි. මාලිගාව වැඳ පුදා ගෙන වැව රවුමෙ ඇවිදිනවානම් මේ ළිඳ ඔබත් දකින්නට ඇති.
පුරාණයේ කිරිමුහුදු නමින් හැඳින් වූ වැව නිර්මාණය වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව වූ වෙන්කතරංගම්මාල්ගේ ඉල්ලිමකට කියලයි පැවසෙන්නේ. ඒ නිසා රජු දළදා මාලිගාව සහ මල්වතු විහාරය මැදි කර ගෙන පිහිටා තිබුණු ටිගොල්වෙල කියන සාරවත් කුඹුරුයාය අයිතිකරුවන්ගෙන් බලෙන් පවරා ගත් බවත් කියනවා. ටිගොල්වෙල කුඹුර කෙළවරෙහි තමයි මල්වතු විහාරයට අයත් ළිඳ තිබුණෙ.එ ළිඳෙන් තමයි මල්වතු මහනාහිමියන් ඇතුළු මල්වතු නාහිමිවරුන් ස්නානය කළේ. ටිගොල්වෙල වෙල් යාය කපාගෙන වැව තනාගෙන යන විට මල්වතු මහා විහාරයට අයත් ළිඳ ද, වැවට බිලිවන බව මල්වතු විහාරයේ මහනායක ඇතුළු නාහිමිවරුන්ට දැනගන්න ලැබුණා. නාහිමිවරුන් ඒ බව රජුට පැවසීමට රජ මාලිගාවට වැඩියා . එම ඉල්ලිමට රජතුමන් කිසිවක් නොකියා නිහඬ ව සිට තිබෙනවා. ඒ මහා සංඝරත්නය සමඟ අමනාප විය නොහැකි නිසා. රජුගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ ඇතුඵ සියලූ ම භික්ෂූන් වහන්සේ, ඇහැලේපොළ, පිලිමතලව්වේ අදිකාරම්වරු ඇතුළු නුවර වැසියන් ද ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට වුණා. මේ නිසා වැවේ වැඩ කළ ජනතාවත් ඒ වැඩවලින් ඉවත් වුණා.
මේ නිසා කෝපයට පත් රජු වැව හෑරීමට සත් කෝරලයෙන් මිනිසුන් ගෙන්වා දෙන මෙන් නියම කළා.. ඒ අනුව මිනිසුන් එකසිය අනූ දෙනකු පැමිණ වැඩ කිරීම ආරම්භ කළ ද, මල්වතු මහනායක හිමියන්ගේ විරුද්ධත්වය නිසා ඔවුන් ද වැඩ නතර කර තිබෙන බවත් සදහන් වෙනවා. ඒ නිසාම රජතුමාට ළිඳ අතහැර දැමීමට සිදුවුණා. ළිඳට හානියක් සිදු නොකළ බැවින් මහානායක හිමියන්ගේ විරුද්ධත්වය පහ ව ගියා. මිනිස්සුන්ගේඋද්ඝෝෂණයත් නතර වුණා. සත්කෝරළේ මිනිස්සු ඇතුඵ නුවර වැසියන් වැවෙහි යළි වැඩ කිරීමට පටන් ගත්තා. මේ ළිඳ පසුගිය කාලයේ අලූත්වැඩියා කර තියෙනවා. ළිඳ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලයටත් පෙර ඉදි වු එකක් බව පැවසෙනවා. මේ ළිඳට යතුරු තුනක් තියෙනවා. ඒ යතුරු තියෙන්නේ මල්වතු විහාරයේ පන්සල් තුනක. ළිඳ වටකර බැම්මක් බැඳලා දොරවල් දාලා වසලා තියෙන්නේ.
ජලතිලක මණ්ඩපයට තැනූ අකුලන පාලම
මහනුවර නගරයේ අලංකරණය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වැව මැද දූපතක් තැනුවා. එය හඳුන්වා තිබෙන්නේ කුණ්ඩසාලේ හෙවත් දියතිලක මණ්ඩපය ලෙසයි. මෙය කිරි මුහුද මධ්‍යයේ කුඩා දුවක් ලෙස නිර්මාණය කොට එහි කුඩා විවේක මාළිගයක් තනා තිබෙනවා. රජුගේ සීත මාළිගය වශයෙන් මෙය භාවිතා කළ බව පැවසෙනවා. එයට යෑම සඳහා දැවයෙන් ඉදි කළ පාලමක් ද තිබුණා. එය හල්වැල නමින් හඳුන්වා තිබෙනවා. එම පාලමේ මුල් කොටස අකුලා ඉවත් කළ හැකි ලෙස තිබූ බවයි දැක්වෙන්නේ. එවකට කොළඹ සිටි ජෝන් ඩොයිලි 1812 ජුනි 12 දරන දිනපොත් සටහනේ මෙසේ සඳහන් කරනවා:
රජතුමන් විසින් ළඟදී තනවන ලද වැව මැද කුණ්ඩ ශාලාවක් ගොඩ නංවා කොකු උළු සෙවිලි කරන ලදී. එම කුණ්ඩ ශාලාවට ගමන් කිරීමට දිග හැරීමට හා හැකිලීමට හැකි පාලමක් ද තැනවීය. ( ඩොයිලිගේ දිනපොත- පරි. ධර්ම ශ්‍රී ගුණපාල, 141 පිට)
එම පාලම අද දකින උල්පැන්ගෙය අසල වැව් බැම්ම අසලින් තනා තිබුණු බවට සාධක තිබෙනවා. එතැන වැව් බැම්ම නැති අතර වැව දෙසට යොමුවු පියගැට තනා තිබුණු බවට සාධක පවතිනවා. දූපතේ තිබූ අෂ්ටාස්‍ර කුණ්ඩශාලා ගොඩනැගිල්ල 1850 වන තෙක් ඉතා හොඳ මට්මකින් ආරක්ෂා වී පැවතියත් ඉංග්‍රීසි ආණ්ඩුව එය කඩා බිඳ දමා වෙඩි බෙහෙත් ගබඩාවක් තනා තිබෙනවා. පසුකාලීන කැණීම්වලින් එහි ගඩොල් අත්තිවාරම පාදා ගෙන තිබෙනවා. එහි ආරුක්කු හැඩැති උළුවස්ස පමණක් අද දැකිය හැකියි.
රජ මාලිගා පරිශ්‍රයට ඇතුළු වීමටත්, දියඅගලට ඉහළින් හකුලන පාලමක් තිබුණා. එය ගැන 1821 දී ජෝන් ඩේවි සඳහන් කරන අතර ඉංග්‍රීසින් එම ඉදිකිරීම් ද විනාශ කර තිබෙනවා.