රෝමන් අධිරාජ්‍යය දෙකඩ වීමෙන් පසු බටහිර රෝම අධිරාජ්‍යය හෙවත් බිසන්ටියන් අධිරාජ්‍යය වැඩිකල් නොපැවැතුණ ද, නැගෙනහිර රෝම අධිරාජ්‍යය කොන්ස්තන්තිනෝපලය කේන්ද්‍ර කරගෙන ශතවර්ෂ ගණනාවක් පැවතුණා. ඇතැම් අවස්ථාවන්හි ඉතා ප්‍රබල තත්ත්වයක පැවතුණ මෙම අධිරාජ්‍යය තවත් අවස්ථාවන්හි විවිධ තර්ජන සහ අර්බුදවලට ලක් වුණා.
10 වන සියවසේ දී මෙවන් එක් අර්බුදකාරී අවස්ථාවක බිසන්ටියන් අධිරාජයාගේ සේවයට පැමිණි විශේෂ බලකායක් මීළඟ සියවස් දෙකකට තරමක් වැඩි කාලයක් තුළ අධිරාජයාගේ විශ්වසනීයම බලකාය ලෙස ක්‍රියා කළා. මෙම බලකාය ස්ථාපිත කරන ලද්දේ යුරෝපා ඉතිහාසයේ රණකාමීම ජාතියක් ලෙස සැලකෙන වයිකිංවරුන් 6,000ක් විසින්.
වැරන්ගියන් බලකාය
වර්තමාන රුසියාවෙහි මූලය ලෙස ගැනෙන්නේ කියේවන් රස් නම් වූ රාජ්‍යය යි. මෙය නිර්මාණය කිරීමේ පුරෝගාමීන් වූයේ ස්කැන්ඩිනේවියානු ප්‍රදේශවල සිට සංක්‍රමණය වූ වයිකිංවරු යි.
වයිකිංවරුන්ගේ නිජබිම් ප්‍රදේශවල එතරම් තැනිතලා බිම් වූයේ නැහැ. එමෙන්ම එම ප්‍රදේශයන් වසරේ වැඩි කලක් ශීතලෙන් යුතු වුණා. මේ හේතු නිසාවෙන් වයිකිංවරුන් මුහුදින් එතෙර ප්‍රදේශයන්හි වාසනාව සොයා යන්නට වුණා. මෙහිදී ස්වීඩන් ප්‍රදේශයන්හි වූ වයිකිංවරුන් නැගෙනහිරට පැමිණියා.
862 දී රුරික් නම් වයිකිං කුමාරයකු වර්තමාන නොව්ගොරොද් නගරය බවට පත් වූ ජනවාසය පිහිටුවා ගත්තා. 16 වන සියවස තෙක් රුසියාව පාලනය කළ රුරිකිඩ් රාජවංශය ඇරඹෙන්නේ ඔහුගෙන්. පසු කලෙක ඔවුන් කියෙෆ් නගරය පිහිටුවාගත්තා.
10 වන සියවසේ දෙවන භාගයේ බිසන්ටියන් අධිරාජ්‍යය පාලනය කළේ දෙවන බැසිල් නම් වූ අධිරාජ්‍යයකු විසින්. මේ අතර කියේවන් රස් පාලනය කළේ පළමුවන ව්ලැදිමීර් විසින්. දෙවන බැසිල් 988 පමණ වනවිට බර්දාස් ෆොකාස් නම් වූ රදළ ප්‍රධානියකුගේ කැරැල්ලකට මුහුණදෙමින් සිටියා. එමෙන්ම එක් පසෙකින් බල්ගේරියාව වෙතින් ද, අනෙක් පසින් ෆැටිමිඩ් කලිපාතය වෙතින් ද බිසන්ටියම තර්ජනයට ලක් වුණා.
මේ අතරතුර බැසිල්ගේ සහෝදරිය වූ ඇනා පොර්ෆිරෝගෙනිටා විවාහ කරගැනීමට ව්ලැදිමීර්ට අවශ්‍ය වුණා. 988 දී ඔහු ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගම වැළඳගත් අතර ඊළඟ අවුරුද්දේ ඔහුගේ සහ බැසිල්ගේ සහෝදරියගේ විවාහය සිදු වුණා. රුසියාව සහ අවට රාජ්‍යයන් ඕර්තඩොක්ස් ක්‍රිස්තියානිය වැළඳ ගැනීම සිදු වූයේ කියේව් හි පළමුවන ව්ලැදිමීර් එම ආගම පිළිගැනීමෙන් පසු යි.
මේ අතර 988 දී ව්ලැදිමීර් විසින් වයිකිංවරුන් 6,000ක බලකායක් කොන්ස්තන්තිනෝපලය වෙත එව්වා. ඔවුන් සමග සටන් බිමට ගිය දෙවන බැසිල්, ෆොකාස්ගේ කැරැල්ල පහසුවෙන්ම මැඩ පැවැත්වූවා.
වැරන්ගියන් බලකායේ කටයුතු
වැරන්ගියන් බලකායේ වගකීම් සියවස් ගණනකට පෙර රෝමන් අධිරාජයේ ප්‍රිටෝරියානු බලකායේ වගකීම් හා සමාන වුණේයැ යි කියන්න පුළුවන්. ප්‍රිටෝරියානු බලකාය ගැන මතක් කරගන්න අවශ්‍ය නම් පහත ලිපියෙන් ඔබට ඒ ගැන කියවන්න පුළුවන්.
රෝම අධිරාජ්‍යයේ විශේෂ බලකාය – ප්‍රිටෝරියානු ආරක්ෂක හමුදාව
බිසන්ටියන් අධිරාජයාගේ පුද්ගලික ආරක්ෂක බලකාය ලෙස කටයුතු කිරීම වැරන්ගියන් බලකායේ ප්‍රධාන කාර්යය වුණා. අධිරාජයා යන එන තැන්වල ඔහුගේ වටේ රැඳෙමින් ඔවුන් ඔහු ආරක්ෂා කළා.
මීට අමතරව වැරන්ගියන් බලකාය සටන් බිමට ද අධිරාජයා සමග ගමන් කළා. එය කටයුතු කළේ අතිරේක හමුදාවක් ලෙස යි. ඒ අනුව අත්‍යවශ්‍ය අවස්ථාවල සටනක ගමන් මඟ අනෙක්පස හැරවීමට මෙන්ම අවාසි සහගත සටනක දී අධිරාජයා ආරක්ෂා කරගෙන පසුබැසීමට ද එම බලකාය යොදවාගනු ලැබුණා.
මේ අතර, චරපුරුෂ කටයුතු මෙන්ම අධිරාජයාට එරෙහිව කුමන්ත්‍රණය කළේයැ යි සැකයට බඳුන් වන්නන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ කටයුතු ද සිදු කළේ ඔවුන් විසිනුයි.
තම කාර්යයන් වෙනුවෙන් වැරන්ගියන් බලකායේ සාමාජිකයන්ට ඉතා හොඳ වැටුප් ගෙවනු ලැබුණා.
ආයුධ සහ උපක්‍රම
වැරන්ගියන් බලකායේ ප්‍රධාන අවිය වූයේ ඩේන් පොරව යි. මෙය ඉතා තියුණු තලයක් සහිත දිග පොරවක් වුණා. මීට අමතරව ඔවුන් තල දෙකේ කඩු, හෙල්ල යන ආයුධ ද භාවිතා කළා. රවුම් හැඩැති ශක්තිමත් පළිහ ද සටන් බිමේ දී ඔවුන් සතු වූ වැදගත් ආරක්ෂක අවියක් වුණා.
පළිහ යනු සෑම විටම ආරක්ෂාවට යොදාගත් අවියක් වූයේ ද නැහැ. සටන් බිමේ දී ප්‍රහාරක ක්‍රමවේදයක් ලෙස “පළිස් පවුර” නමින් හැඳින්වූ සැකැස්මක් ඔවුන් භාවිතා කළා. මෙහිදී සිදු වූයේ වැරන්ගියන් සෙබලුන් පිරිසක් එක පෙළට සිටගෙන තම පළිහ එකිනෙක සම්බන්ධ වන ලෙස තබා ගැනීම යි. මෙසේ පළිස් පවුරක් තනාගන්නා ඔවුන් ඉන්පසු ප්‍රතිවාදී සෙබල පෙරමුණ වෙත කඩා වදින්නේ එහි සෙබලුන් සී සී කඩ යවමින්. මෙහිදී වැරන්ගියන්වරුන්ගේ කාය ශක්තිය ද ඉතා වැදගත් වූ බව සඳහන් කළ යුතු යි.
වැරන්ගියන්වරුන් ස්වභාවයෙන්ම දරුණු ජාතියක් වුණ අතර එහෙයින්ම ඔවුන් කෙරෙහි ප්‍රතිවාදීන්ගේ භීතියක් තිබුණා. සැකපිට අත් අඩංගුවට ගන්නා අයගෙන් ප්‍රශ්න කිරීමේදී දැඩි ලෙස ඔවුනට වධ දීම පිළිබඳ වැරන්ගියන්වරුන් ප්‍රකට වුණා.
ප්‍රසිද්ධම වැරන්ගියන්වරයා
1030 දී 15 හැවිරිදි තරුණ වයිකිං රජ කුමාරයකු සිය අර්ධ සහෝදරයා වෙනුවෙන් සටන් බිමට ගියා. ඒ ක්නුට් රජුට එරෙහිව යි. එහිදී ඔහුගේ අර්ධ සහෝදර ඔලාෆ් හැරල්ඩ්සන් මියගිය අතර මේ තරුණයා කියේවන් රස් වෙත පළා ආවා. හැරල්ඩ් සිගුර්ඩ්සන් නම් වූ මොහු වඩා ප්‍රකට වූයේ හැරල්ඩ් හඩ්‍රාඩා යන නමින්.
කියේව් හි පළමුවන යරොස්ලාව් හෙවත් නුවණැති යරොස්ලාව් විසින් හැරල්ඩ්ට රැකවරණය ලබා දුන් අතර 1034 දී ඔහු කොන්ස්තන්තිනෝපලය වෙත ගොස් වැරන් ගියන් බලකායට එක් වුණා. සාමාන්‍යයෙන් රජ කුමරුවන් එයට බඳවා නොගත්ත ද, හැරල්ඩ්ට එම අවස්ථාව ලැබුණා පමණක් නොව ඔහු යටතේ වැරන්ගියන්වරුන් ඉතා ශක්තිමත් බලකායක් බවට පත් වුණා. ඔවුන් සුළු ආසියාව, සිසිලිය, බල්ගේරියාව ආදී ප්‍රදේශයන්හි සටන් වැදුණා. මෙහිදී සිසිලිය අල්ලා ගැනීම සඳහා කළ සටන් විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ එහිදී ශක්තිමත් බලකොටුවලට එරෙහිව සටන් කිරීමට සිදු වූ නිසා යි.
හැරල්ඩ් හඩ්‍රාඩා වැරන්ගියන් හමුදාවේ සේවය කරන අතර විශාල මුදලක් එක්කර ගත්තා. ඔහු මේ මුදල් යරොස්ලාව් වෙත වැඩි ආරක්ෂාව පිණිස යවන ලදැ යි සඳහන්. පසුව ඔහුට මුදල් අයථා ලෙස ඉපයීම පිළිබඳ චෝදනා එල්ල වූයේයැ යි කියවෙනවා. ඔහු 1042 දී ආපසු කියෙව් වෙත ගියා.
1046 දී හැරල්ඩ් නැවත නෝර්වේ හි රජකමට පත්ව 1066 තෙක් එහි රජකම් කළා. 1066 දී එංගලන්තයේ කිරුළ ලබා ගැනීම සඳහා කළ උත්සාහයේ දී හැරල්ඩ් ගොඩ්වින්සන් රජුගේ හමුදා සමග කළ ස්ටැම්ෆර්ඩ් පාලමේ සටනේ දී හැරල්ඩ් හඩ්‍රාඩා මියගියා.
හැරල්ඩ් ගොඩ්වින්සන්ට ද තම බලය වැඩි දිනක් පවත්වාගන්නට හැකි වූයේ නැහැ. නෝර්මැන්ඩියේ සිට පැමිණි විජයග්‍රාහී විලියම් විසින් ඔහුව හේස්ටිංස් සටනේ දී පරාජය කළා.
වැරන්ගියන් බලකාය වෙනස් වීම
මෙම සිදුවීම වක්‍රාකාරයෙන් වැරන් ගියන් බලකාය වෙත බලපෑමක් ඇති කළා. එංගලන්තයේ බලය ඇන්ග්ලෝ-සැක්සන්වරුන් අතින් නෝර්මන්වරුන් වෙත මාරු වීමෙන් පසු ඇන්ග්ලෝ-සැක්සන් නායකයින් රට හැර ගියා. ඔවුන් බොහෝ දෙනා කොන්ස්තන්තිනෝපලය කරා ගිය අතර එහිදී වැරන්ගියන් බලකායට ද බැඳුණා. මේ අනුව වැරන්ගියන් බලකායේ සංයුතිය කෙමෙන් වෙනස් වුණා. වසර කිහිපයක් තුළ එහි වයිකිංවරුන්ට වඩා ඇන්ග්ලෝ-සැක්සන්වරුන් දකින්න ලැබුණා.
වැරන්ගියන්වරුන්ගේ අවසානය සිදු වූයේ 1204 දී සිව් වන කුරුස යුද්ධය අවස්ථාවේ කතෝලික හමුදා කොන්ස්තන්තිනෝපලය කොල්ලකෑම අවස්ථාවේ යි. එහිදී ද එම ප්‍රහාරයට එරෙහිව වැරන්ගියන්වරුන් සැලකිය යුතු ප්‍රතිරෝධයක් දැක්වූවා.