කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලට නුදුරින් තමයි වාකිරිගල පිහිටා තිබෙන්නේ. අද උඩරට සම්ප්‍රදායයට අයත් රජමහා විහාරයක් තිබෙන මේ ගම පොළොන්නරු යුගයේ දී මහා විජයබාහුට පිහිට වූ වැදගත් රහසිගත බළකොටුවක් තිබූ ස්ථානයක් බව වැඩිදෙනකු දන්නේ නැහැ.
ගමන් මඟ
වාකිරිගලට යාමට මාර්ග දෙකක් තිබෙනවා. මාවනැල්ලේ සිට අරණායක පාරේ ඇවිත් උස්සාපිටිය හන්දියෙන් දකුණට හැරී ගල්අතර පාරේ ගමන් කර වාකිරිගල දක්වා තිබෙන අතුරු පාරට පිවිසෙන්න පුළුවන්. නැත්නම් කෑගල්ල හෙට්ටිමුල්ල දිවෙල හරහා පැමිණීමෙන් ද මේ ගමට එන්න හැකියාව තිබෙනවා.
දෙවැනි මාර්ගය උඩරට රාජධානි සමයේදී වාකිරිගල කන්ද පාමුලින් කොළඹ සිට මහනුවරට වැටී තිබූ පැරණි රජ මාවතයි. මාවනැල්ලේ සිට වාකිරිගලට දුර කි. මී. 10ක් පමණ වෙනවා. වාකිරිගල දක්වා ඇති අතුරු මාර්ගය නම් ඉතා දුෂ්කරයි. බොරළු පාර සමහර තැනක කොන්ක්‍රීට් දමා තිබුණද තවත් තැනක එය සේදී ගිහින්. මේ නිසා මෝටර් රථයක පැමිණෙන්නේ නම් අතරමග නවතා පයින් ගමන් කළ යුතු වෙනවා.
ගල්බොඩ කෝරළේ
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි හතර කෝරළේ එක් කෝරළයක් තමයි, ගල්බඩ කෝරළේ.කියන්නේ. ඒ නම වැටී ඇත්තේ ගල් පර්වත පිරිවරා ගත් කඳු ගැට රාශියක් එහි තැන තැන නැගී සිටින හින්දයි. අඩි 1000ක්- 1500ක් වගේ උස මේ කඳුගැට නිසා ම පුරාණයේ මේ පැත්තට විශේෂ ආරක්ෂාවකුත් ලැබී තිබෙනවා. ඒ කඳු අතර කැපී පෙනෙනා ඉතිහාසයේ සැඟවුණු කතා පුවත් රැසක් පිරිවරා ගත් ස්ථානයක් තමයි, වාකිරිගල පර්වතය.
එය පොළොන්නරුවේ රජ වූ පළමුවන විජයබාහු (1070- 1114)රජුට රැකවරණය සැලසූ බළකොටු දුර්ගයක් බව මහාවංශය සඳහන් කරනවා. මෙය කදිම රැකවරණ ස්ථානයක් බව වසර 900කට පසු අදත් ඒ අවටට ගොස් විපරම් කරන විට අපට පෙනෙන දෙයක්. ඒ කන්දට නැගීම එතරම් දුෂ්කර හින්දා. අනෙක් කඳු අතර සැඟවිලා වගේ තිබෙන හින්දා ළඟට යනකම් වාකිරිගල කන්ද කාටවත් දැකගන්නත් බැහැ.
පිහිටීම
අඩි 1000ක පමණ උන්තාංශයකින් යුත් මේ කන්ද උත්තර අක්ෂාංශ 7 13 සහ නැගෙනහිර දේශාංශ 80 24 අතර පිහිටා තිබෙනවා. වාකිරිගල ගම්මානය තේ, රබර් හා කොස්, පොල්, කරාබුනැටි, අඹ ආදී බෝගවලින් යුත් ගෙවතුවලින් ද පහත නිම්නයේ කෙත්වතුවලින් ද යුක්ත පිටිසර පෙදෙසක්. අවට කඳුගැටවල උපත ලබා පැමිණෙන කුඩා ඇළ මාර්ග කෙත්වතු සරැසාර කරමින් ගලා බසින ආකාරය ඒ අවට සංචාරය කරන විට දැකගත හැකියි. මේ ප්‍රදේශය සෞම්‍ය දේශගුණයකින් යුක්තයි.
ඉතිහාස කතා
රටේ අගරජු වීමට යන ගමනේ දී විජයබාහු කුමාරයට බාධක රාශියකට මුහුණ දීමට සිදුවෙනවා. එකල අගනුවර වූ පොළොන්නරුව පැවතුණේ සොළී ආධිපත්‍යය යටතෙයි. ඔහු මුලින්ම රෝහණයේ ප්‍රාදේශීය පාලකයකු ලෙස රජ වෙනවා. ඒ අතර සේනා සංවිධානය සටන් පුහුණු කරනවා. ඉන්පසු පලුට්ඨගිරියේ දී චෝලයන් හා සටන් කොට පොළොන්නරුව අල්ලා ගන්නවා. මේ බව ආරංචි වූ විට චෝල දේශයේ වීරරාජේන්ද්‍ර රජු පොළොන්නරුවේ සිටි චෝල සාමාන්තයාට ආධාර ලෙස සේනාවක් එවනවා.
මේ බලවත් සේනාව සමඟ අනුරාධපුරය අසල දී කළ සටනින් සිංහලයන් පැරදෙනවා. විජයබාහු රජු ආරක්ෂාව පතා වෑඋඩවිල්ලි හත් පත්තුවට පලා යනවා. එහි ගොස් සැඟවී සිට යළිත් සේනා ප්‍රතිසංවිධානය කරනා අතරතුර යළිත් චෝල සේනාව තමන් ලුහු බැඳ එන බවට ආරංචියක් ලැබෙනවා. ඊට පසු රජු කරන්නේ වාකිරිගලට (වාතගිරි පර්වතයට) පලා ගොස් රහසිගත බළකොටුවක් තනා තුන් මාසයක් තිස්සේ සටන් කිරීමයි.
විජයබාහු රජ වෙයි
සොළී බලය සම්පූර්ණයෙන් පරාජය කර වර්ෂ 1070 දී සිරිලක අග රජු ලෙස විජයබාහු කිරුළු දරනවා. නමුත් යළිත් විවිධ වියවුල්වලට මුහුණ දීමට රජුට සිදුවෙනවා. ප්‍රාදේශීය අධිපතින් ඔහුට එරෙහි ව කැරලි සංවිධානය කර රට පාලනය අවුල් කරනවා. රජු ඒ සටන් මර්දනය කිරීමට සමත් වෙනවා. රජුගේ හමුදාවේ සිටි වේලක්කාර භටයන් මතභේදයක් මත රජුගේ යුද තීරණයකට අකමැති ව රජුට විරුද්ධ ව කැරැල්ලක් ඇතිකරනවා.
ඔවුන් මාලිගයට ගිනි තබා පොළොන්නරුව කොල්ලකෑමට පටන් ගන්නවා. එවිට රජු තමා සතු මාහැඟි වස්තුව ද අරගෙන නැවතත් වාකිරිගල බළකොටුවට පලා ගිය බව මහාවංශය විස්තර කරනවා. එහි නැවතී සිට සේනා සංවිධානය කර වීරබාහු උප රාජයා ද කැටුව ගොස් යුද්ධ කර නැවත පොළොන්නරුවේ පාලනය ආරම්භ කරනවා.
දඹදෙණි යුගය
නැවතත් දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහුගෙන් පසු රජවූ බෝසත් විජයබාහු රජු වාකිරිගලට ගොස් ජරාවාස වී තිබූ බළකොටුව පිළිසකර කරවා ආරක්ෂා සංවිධාන දැඩි කොට හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනිමට වස්තුව නිධන් කළ බව මහාවංශය පවසනවා. එකල යුව රජුගේ පාලන මධ්‍යස්ථානය බවටත් මෙය පත්කර ගෙන තිබෙනවා.
ජනප්‍රවාද
මහාවංශයේ වාකිරිගලට වාතගිරි යන නම ලැබීමට හේතු වී ඇත්තේ පව්ව මුදුනේ සිටින්නකුගේ හිස කඳින් (ගිරියෙන්) වෙන් කිරීමට තරම් වේගයෙන් සුළඟ හමනා නිසා බවයි ජනප්‍රවාදවල පැවසෙන්නේ. තවත් ජන විශ්වාසයකට අනුව පව්ව පාමුල පිහිටි දීවෙල ගම්මානය හරහා එන වා රැල්ල පර්වතයේ වැදීමෙන් ගුම් නැංවෙන හෙයින් වාතගිරි වී පසුව වාකිරිගල නම ලැබුණ බවක් කියවෙනවා.
ජන කවියා වාකිරිගල දුටුවේ මේ විදිහටයි:
වැර සුළඟක් තිබෙන වාකිරි යමු යාලූ
පසු කලෙකදි වාකිරිගල නම් වීලූ
ඒ ගල අසල ඇති ගෙඩි කන්නට ලාලූ
හතර වටින් ජනයා රොක් වෙන වාලූ
බළකොටු දුර්ගය
කන්දට යාමට නිශ්චිත මාර්ගයක් නැති නිසා අවට ගම්වැසියන්ගේ වතු මැදින් ගමන් කළ යුතු යි. වාකිරිගල රජ මහා විහාරය පසුකරමින් ඉදිරියට ඇදෙන බොරළු පාරේ ගමන් කර මේ වෙතට ළඟාවීමට පුළුවන්.
කන්ද ආසන්නට ගිය විට හමු වන්නේ අඩි 150ක් උස සෘජු බිත්තියක් මෙන් ඉහළ නැගී ඇති පර්වත කූටයක්. එය පරදන්නට මෙන් පර්වතයේ ගෑවෙමින් විශාල වෘක්ෂ ඉහළට වැවී තිබෙනවා. මුදුනට පිවිසීමට නම් පර්වතය වටා ගමන් කර ඉහළට නැගිය යුතු වෙනවා. පර්වත පාදයේ එක් ස්ථානයක වූයේ ගල් දොරුවක් වැනි විවරයක් දැකගත හැකියි. එය උමඟකට සම්බන්ධ බවට ජනප්‍රවාදයක් පවතිනවා.
ඉදිරියට යනවිට පහළ සිට පර්වතයට පිවිසීමට පුරාණයේ භාවිත කළ තවත් මාර්ගයක් ද හමුවෙනවා. එය අඩි 10ක පමණ පරතරයකින් පිහිටි පර්වත කූට දෙකක් අතරින් ඇදී යන මාර්ගයක්. පර්වත දෙකෙහි පොළොවෙහි සිට අඩි 7ක් පමණ ඉහළින් අඟල් 5ක් පමණ පළල කාණු දෙකක් හාරා තිබෙන්නේ පුරාණ ආරක්ෂක විධිවිධානවලට බව පේනවා. ගැමියන් නම් පවසන්නේ ඒ ගල්දොරවල් බවයි. එම කතාවල සත්‍යතාවක් නැති බවයි පේන්නේ.
පර්වතය මත පැතිරි තිබෙන්නේ විශාල ගස්වලින් පිරුණු බැද්දක්. කටුඅකුලින් මහ ගස්වලින්, විවිධ වැල්වර්ගවලින් එය පිරී පැවතුණු නිසා පර්වතයේ එහා මෙහා පෙනුණේ නෑ. පව්ව මත අක්කර 16ක පමණ විශාලත්වයකින් යුක්ත යි. එය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා.
පර්වතයේ එක් ස්ථානයක් හඳුන්වන්නේ සුළං කපොල්ල කියලයි. හතර කෝරලය පිස එන සුළං ප්‍රවාහය පර්වතය හරහා ඇදී යන්නේ මෙනැනින්. මේ අසල පර්වත විවරයක ජලය පිරි කුඩා පොකුණකි. එය මාවී පොකුණයි.
පත්කොළ මංකඩ
මෙහි එක් ස්ථානයක් පත්කොළ මංකඩ නමින් හැඳින්වෙනවා.එය පර්වත බෑවුමේ සෘජු ප්‍රපාතයක්. සතුරු සේනා පැමිණි අවස්ථාවක කඳු මත සිට ඇත්තේ සුළු සේනාවක්. එම සේනාව පත්කොළ දහස් ගණනක ඉඳුල් ගා මින් පහළට වීසි කළ බව ජනප්‍රවාදයේ සඳහන්. එවිට පහළ සිටි සතුරු සේනාව සිතා ඇත්තේ කඳු මත විශාල සෙබළ පිරිසක් සිටින බවයි. ඉන් බියට පත්ව ඔවුන් පලා ගිහින්.
පර්වතයේ උසම තැනට කියන්නේ කොඩිගල කියලා. මෙම ස්ථානය සතුරු සේනා නිරීක්ෂණය කළ බැලුම් ගලක් බව පේනවා. හතර කෝරළේ කඳු වැටි හා පහත් දෙනිබිම් ද වනවදුලු ද එහි සිට දැක ගත හැකියි.
බතලේගල, ඌරාකන්ද ආදී නුදුරින් පිහිටි කඳුවැටි මෙහි සිට කදිමට දැකගත හැකියි. යාලගම, පොල්කුඹුර, දලූක වැනි ගම්මාන පහළ නිම්නයේ පැතිර තිබෙනවා.
කන්දේ එක් ස්ථානයක් හඳුන්වන්නේ මාලිගාතැන්න කියලයි. එය අක්කරයක් තරම් විශාල වූ තරමක තැනිබිමක්. ඒ අවට ගොඩනැගිලිවල නටබුන් කිහිපයක් දැකගත හැකි නිසා ඒ නම ලැබී ඇති බව පේනවා. මේ අවට නිදන් හෑරීම ද සිදුවන බව එහි යන කාටත් නිරීක්ෂණය කළ හැකියි.
රාජ මහා විහාරය
පර්වතය බැස මඳ දුරක් පියමං කිරීමෙන් වාකිරිගල රාජ මහා විහාරයට ළඟාවීමට පුළුවන්. එහි මුලින්ම හමුවන්නේ පුරාණ දාගැබයි. එය බුබ්බුලාකාර හැඩැති යි. දාගැබ ඉදිකර තිබෙන්නේ අඩි 5ක් උස කළුගල් පදනමක් මත යි. මළුවෙන් ජලය පිටතට වෑස්සීමට කළුගලින් කළ පීලි සවිකර තිබෙනවා. බෝධි වෘක්ෂය ද ඒ අසල දක්නට ලැබෙනවා. ඒ ඉදිරිපිට පර්වත තල්ලක සිරිපතුල් ලාංඡනයක් ද කොටා තිබෙනවා.
විහාර මන්දිරය වශයෙන් ඇත්තේ කුඩා ටැම්පිට විහාරයක්. පිළිම ගෙය අඩි 12 දිගින් ද අඩි 10ක පළලින් ද යුක්ත යි. ඉදිරිපස කළුගල් පාදමක ඉදි කළ හේවිසි මණ්ඩපයයි. මකර තොරණ යට සිටින හිඳි පිළිමයක් මෙහි දැකගත හැකි යි. සූවිසි විවරණය, දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවි, රහත් ප්‍රතිමා බිත්තිවල සිතුවම් කර තිබෙනවා. මෙම සිතුවම් මෑත අතීතයේ දී ප්‍රතිසංස්කරණය කිරීම නිසා පෞරාණික වටිනාකමට හානි වී තිබෙනවා.
විහාරයට වම් පසින් ඇති වන වදුලේ කටාරම් කෙටූ කුඩා ගල්ලෙනක් පිහිටි අතර දඹදෙනි යුගයේදී පූජාවලිය ලියූ බුද්ධපුත‍්‍ර හිමි එහි වැඩ වාසය කර ඇති බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. විහාරයට නුදුරින් පුරාණ රජ මාවතේ පිහිටි අම්බලම ද වැදගත් පුරාවිද්‍යා ස්මාරකයක්. එහි කළුගල් කැටයම් කළ ගල්කුලුනු ආදිය තවමත් දැකගත හැකියි.