ග්‍රීසිය සහ චීනය යනු එකිනෙකට බොහෝ ඈතින් පිහිටි රාජ්‍යයන් දෙකක් බව අප දන්නවා. කෙසේ නමුත් ඉතිහාසයේ එක්තරා අවස්ථාවක ග්‍රීක ජාතිකයන් විසින් පාලනය කෙරුණ රාජ්‍යයක් සහ චීන අධිරාජ්‍යය අතර අශ්වයින් සඳහා යුද්ධයක් ඇති වුණා. ඉපැරණි සේද මාවත විවෘත වුණේ ද මෙම යුද්ධය හේතුවෙන් බව යි ඉතිහාසයෙහි සඳහන් වන්නේ.
ග්‍රීක – බැක්ට්‍රියානු රාජ්‍යය
ක්‍රි.පූ. සිව් වන සියවසේ දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ග්‍රීසියෙහි සිට ඉන්දියාවේ වයඹදිග මායිම කරා සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කළ බව අප දන්නවා. මේ අතර ඔහු නගර ගණනාවක් ඉදිකළ අතර ඒ බොහොමයකට ඇලෙක්සැන්ඩ්‍රියා යන නම දෙනු ලැබුණා. මධ්‍යම ආසියාවෙහි ඔහුගේ අධිරාජ්‍යය ව්‍යාප්ත වූ ඈත මායිම වූ ෆර්ගානා නිම්නයෙහි ද එවන් නගරයක් ඉදි කරනු ලැබුණා. ඇලෙක්සැන්ඩ්‍රියා එක්සටේ (Alexandria Eschate) නම් වූ මෙම නගරයෙහි නමෙහි අර්ථය වූයේ “ඈතින් ම පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියාව” යන්න යි.
ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු ඔහුගේ යුධ සෙනවියන් විසින් ඔහුගේ අධිරාජ්‍යය කැබලි කිහිපයකට වෙන් කරගත්තා. එයින් එක් කොටසක් වූ සෙලුසිඩ් අධිරාජ්‍යයේ කොටසක් ලෙස පැවති ෆර්ගානා නිම්නය ද ඇතුළත් ප්‍රදේශය ක්‍රි.පූ. 250 දී වෙන්ව ගියා. එය හඳුන්වනු ලැබුයේ ග්‍රීක – බැක්ට්‍රියා රාජධානිය ලෙස යි. වසර 125ක් පමණ පැවති මෙම රාජධානියේ මායිම් කලින් කල වෙනස් වුණා. ග්‍රීක සහ පෙරදිග සංස්කෘතීන් එකට මිශ්‍ර වූ ස්ථානවලින් එකක් ලෙස අප මෙම රාජධානිය හඳුනා ගන්නවා.
හන් අධිරාජයා මිතුරන් සොයයි
ක්‍රි.පූ. 150 වන විට හන් රාජවංශය චීනයේ බොහෝ ප්‍රදේශයන්හි පාලන බලය පිහිටුවාගත් ප්‍රබල අධිරාජ්‍යයක් වුණා. එහෙත් ඔවුන් උතුරු දෙසින් වූ සටන්කාමී ෂොංග්නූ (Xiongnu) ගෝත්‍රිකයන් විසින් එල්ල කරන තර්ජනයන්ට නිතර ලක් වුණා. ෂොංග්නූ අසරුවන් නිරන්තරයෙන් හන් අධිරාජ්‍යයේ උතුරු සීමාවේ ප්‍රදේශයන්ට පහර දුන්නා. මෙම උපද්‍රවයන්ගෙන් මිදීම සඳහා ෂොංග්නූ ගෝත්‍රිකයන්ට එරෙහිව ප්‍රබල යුධ මෙහෙයුමක් දියත් කිරීමට අවශ්‍ය බව චීනය වටහාගත්තා. මෙහිදී අවට රාජ්‍යයන්හි මිත්‍රත්වය හෝ අවනතභාවය ද, හොඳ අශ්වාරෝහක හමුදාවක් ද අවශ්‍ය බව හන් අධිරාජයා වටහා ගත්තා.
බටහිරදිග ප්‍රදේශයන්හි රාජ්‍යයන් සමග සබඳතාව වර්ධනය කරගැනීම සඳහා හන් අධිරාජ්‍යයේ නියෝජිතයා ලෙස ජෑංග් චියෑන් (Zhang Qian) නම් තානාපති නිලධාරියා යවනු ලැබුණා. ඔහුට පැවරුණ වැදගත්ම කාර්යය වුණේ යූජී නම් ගෝත්‍රය හා සබඳතා වර්ධනය කරගැනීම යි. යූජී ගෝත්‍රයේ ජනයා ෂොංග්නූ ගෝත්‍රය විසින් ටරීම් ද්‍රෝණිය දෙසට එළවා දමා තිබුණා.
යූජීවරුන් කරා යාමට පෙර ජෑංග්ව ෂොංග්නූවරුන් විසින් අල්ලා ගනු ලැබුණා. ඔහුව තම බල ප්‍රදේශය වෙත රැගෙන ගිය ෂොංග්නූවරුන් ඔහු එහි රඳවා ගත්තා. එහිදී විවාහයක් ද කරගෙන දරුවෙකු ද ලැබූ නමුත් ජෑංග්ගේ අවසන් ඉලක්කය වූයේ තම අධිරාජයා පැවරූ කාරණය ඉටු කිරීම යි.
දශකයක් තිස්සේ ෂොංග්නූවරුන් භාරයේ සිටි ජෑංග් ඉන් පළා විත් ආපසු සියරට බලා යනු වෙනුවට යූජීවරුන් සොයා ගියා. ෆර්ගානා නිම්නයේ දී ඔහුට යූජීවරුන් හමු වුණා. නමුත් යූජීවරුන් කියා සිටියේ තමන්ට ෂොංග්නූවරුන් හා යුධ වැදීමේ අභිලාෂයක් නොවන බව යි.
දිව්‍යමය අශ්වයින්
ෆර්ගානාහි දී ආසියාතිකයන්ට වඩා වෙනස් ලක්ෂණ පෙන්වන ජනතාවක් දැකීමට ජෑංග් අවස්ථාව ලැබීම ලෝක ඉතිහාසය වෙනස් කිරීමට සමත් වූ බව කිව හැකියි. ඩයියුවාන් හෙවත් ශ්‍රේෂ්ඨ අයෝනියන් ජනතාව ලෙස හඳුන්වා දුන් ඔවුන් සතු වූයේ යුරෝපීය ලක්ෂණ යි. ඔවුන්ගේ නගර දියුණු තත්ත්වයේ වූ අතර වෙළෙඳාමට ඔවුන් දක්ෂ බවත්, යුද්ධයේ එතරම් දක්ෂ නොවන බවත් ජෑංග් දුටුවා. මේ වන විට ග්‍රීක බැක්ට්‍රියා රාජධානියේ අවසන් කාලය එළඹ තිබුණ අතර මෙම ප්‍රදේශයේ ග්‍රීකයන් යූජීවරුන්ට කප්පම් ගෙව්වා.
ඩයියුවාන්වරුන් සතු වූ වැදගත්ම සම්පත වූයේ ඔවුන්ගේ අශ්වයින්. මොවුන්ට “දිව්‍යමය අශ්වයින්යැ” යි නම් තබන ලද්දේ ද එම සතුන් සුවිශේෂී වූ නිස යි. උන්ට ශක්තිමත් පාද සහ සිරුරක් තිබුණ අතර විශිෂ්ට දරාගැනීමේ හැකියාවක් ද තිබුණා. යුධ අශ්වයින් ලෙස උන් ඉතා ප්‍රයෝජනවත් බව ජෑංග් වටහාගත්තා.
යූජීවරුන් වෙත කළ තම දූත මෙහෙය අසාර්ථක වූ නමුත් ජෑංග් යළි චීනයට ගියේ එතෙක් චීන ජනයා දැන නොසිටි යුරෝපීය ජනවර්ග මෙන්ම ඔවුන් සතු වූ අශ්වයින් පිළිබඳ ද තොරතුරු රැගෙන යි. ඔහුගේ වාර්තා චීන ජනයා අතර ප්‍රකට වූ අතර ඔහුගේ නම දේශ ගවේෂකයකු ලෙස ප්‍රචලිත වීමට එය හේතු වුණා.
ක්‍රි.පූ. 104 දී එවකට හන් අධිරාජයා වූ, වූ (Wu) අධිරාජයා ඇලෙක්සැන්ඩ්‍රියා එස්කටේ වෙත දූතයකු යැව්වේ අශ්වයින් මිලදී ගැනීමේ අරමුණ ඇතිව යි. කුමන හෝ කරුණක් මත ඩයියුවාන්වරුන් මෙම ගනුදෙනුවට කැමැත්ත පළ කළේ නැහැ. එතැනින් නොනැවතුණ ඔවුන් හන් අධිරාජයාගේ දූතයා මරා දැම්මා.
මෙම පුවත කන වැකුණ අධිරාජයා ඇලෙක්සැන්ඩ්‍රියා එස්කටේ වෙත හමුදා යැවීමට තීරණය කළා. ඒ අනුව ජෙනරාල් ලී ගුවන්ග්ලී යටතේ 20,000ක පාබල සේනාවක් සහ 6,000ක අසරු සේනාවක් යුධ මෙහෙයුම සඳහා සූදානම් කෙරුණා.
පළමු ආක්‍රමණය
ලී ගුවන්ග්ලී ගමන් කළ යුතු වූයේ කන්තාරය මැදින්. එහි ටරීම් ද්‍රෝණියෙහි තැන් තැන්වල ක්ෂේම භූමි කේන්ද්‍ර කරගත් නගර තිබුණා. ඒවායේ ජීවත් වූයේ ටොකේරියන්වරුන් නම් ගෝත්‍රයක ජනයා යි. ජෙනරල් ලී මෙම නගරවලින් ආහාර සහ ජලය ඉල්ලා සිටි විට බොහෝ අවස්ථාවන්හි ඔහුව ප්‍රතික්ෂේප කෙරුණා. ඔහුගේ සේනාව ඉතා විශාල එකක් නොවූ නිසා මෙසේ ප්‍රතික්ෂේප කිරීමට ද එම නගර බිය වූයේ නැහැ. සැපයුම් ලබාගැනීම සඳහා කළ සටන් මෙන්ම වෙහෙස, ආහාර හා ජල හිඟය ආදී කරුණු මත ලී සමග සිටි සේනාවෙන් වැඩි කොටස විනාශ වුණා. ඉතිරි වූ කුඩා සේනාව හමුවේ යටත් වීමේ කිසිදු අදහසක් ඩයියුවාන්වරුන්ට වූයේ නැහැ. ලී, හිස් අතින් යළි හන් අධිරාජ්‍යයා වෙත ගියා.
දෙවන ආක්‍රමණය
වූ අධිරාජයා ජෙනරාල් ලී වෙත 60,000ක හමුදාවක් ලබා දුන්නේ නැවතත් ඇලෙක්සැන්ඩ්‍රියා එක්සටේ වෙත පහර දීමට යි. මෙවර හන් හමුදාවෙහි විශාලත්වය දුටු ටොකේරියන්වරුන් විරෝධයක් නොදක්වා ආහාරපාන ලබා දුන්නා. එහෙත් දැඩි අව් රශ්මිය සහ වෙහෙස ආදියෙන් හන් හමුදාවන්හි අඩක් පමණ අහිමි වුණා. ඉතිරි පිරිස ඇලෙක්සැන්ඩ්‍රියා එස්කටේ වටලාගත්තා.
මෙම වටලෑම දින හතළිහක් පැවති බවත්, ඉන්පසු නගර ප්‍රාකාරය බිඳ දමන්නට චීනුන් සමත් වූ බවත් කියනු ලබනවා. නමුත් නගරය විනාශ කරනු ලැබීමට පෙර රජු ඝාතනය කළ කුමන්ත්‍රණයක් සිදු වුණා. නගරයේ උසස් නිලධාරීන් චීනුන් සමග සාමය ස්ථාපිත කළා. ඔවුන් චීනුන්ට අවශ්‍ය තරම් අශ්වයින් ලබා දීමට ද එකඟ වුණා. චීන රූකඩ පාලකයකු එහි සිහසුනෙහි හිඳුවා ජෙනරාල් ලී ආපසු සිය රට බලා පිටත් වුණේ දිව්‍යමය අසුන් 3,000ක් සමග යි.
යුද්ධයෙහි ප්‍රතිඵල
ජෙනරාල් ලී ආපසු චීනය වෙත යන අතර ටරීම් ද්‍රෝණියේ නගර ඔහුට අවනතභාවය ප්‍රකාශ කළා. ඔහු ඒවායේ චීන හමුදා රඳවමින් සිය ගමනෙහි ඉදිරියට ගියා. පසුකාලීනව මෙම ප්‍රදේශය චීන ආරක්ෂාව යටතේ පවතින ප්‍රදේශයක් බවට පත් වුණා. මේ අතර, ෆර්ගානා අශ්වයින් ලැබීම ෂොංග්නූවරුන්ට එරෙහිව කළ සටන් සඳහා චීනයට විශාල උපකාරයක් වුණා.
වඩාත්ම වැදගත් ප්‍රතිඵලය වුණේ චීනය සහ ග්‍රීකයන් අතර සබඳතා ඇති වීම යි. මෙය කෙටි කලෙකින්ම වෙළෙඳ සබඳතාවක් බවට පත්ව, කල් යද්දී පැරණි සේද මාවතේ උපතට හේතු වුණා.