1707-1739 කාල සමය තුළ මහනුවර රජකම් කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මෙරට පාලනය කළ අවසන් සිංහල රජතුමා ලෙස ඉතිහාසගත වුණා. ඔහුගෙන් පසුව මෙරට පාලනය කළ නායක්කර් වංශික රජවරුන් සිව්දෙනා අතුරින් වඩාත් කැපී පෙනුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා යි. ඒ, මෙරට බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ සේවාව නිසා යි.
නායක්කර් වංශිකයන්ට මෙරට බලය හිමිවුණු හැටි
1604-1635 කාලයේ උඩරට රාජධානියේ පාලකයා ලෙසින් කටයුතු කළ සෙනරත් රජතුමා ඉන්දියාවේ මදුරාපුරයෙන් බිසවක් ගෙන්වා ගත්තා. ඔහුගෙන් පසුව රජවුණු දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යන රජවරුන් ද මදුරාපුරයෙන් කුමාරිකාවන් ගෙන්වා ගත්තා. එම රජවරුන් තිදෙනා අතරින් නරේන්ද්‍රසිංහ රජුට අගබිසවකගෙන් දරුවෙකු හෝ සහෝදරයෙකු සිටියේ නැහැ. එම නිසා ඔහුගෙන් පසුව රජකම ලබාගැනීමට කෙනෙකු නොමැති වීම විශාල ගැටළුවක් වුණා.
මේ හේතුවෙන් එදා මෙරට සිටි රදළ නායකයන්, සිංහල ප්‍රභූ කුමරියකට දාව උපන් උණම්බුවේ බණ්ඩාරට රජකම උරුමකර දීමට උත්සාහ කළා. නමුත් ඒ වන විට නායක්කර් වංශික රදළයනට රාජ සභාව තුළ වැඩි බලයක් හිමිව තිබුණු නිසා, නරේන්ද්‍රසිංහ රජුගේ ඉන්දියානු බිසවගේ සහෝදරයාට, “ශ්‍රී විජය රාජසිංහ” නමින් උඩරට රාජධානියේ රජකම හිමි වුණා.
කීර්ති ශ්‍රී රාජසිංහට රජකම හිමිවීම
ලංකාව පාලනය කළ පළමු නායක්කර් වංශික පාලකයා බවට පත්වුණු ශ්‍රී විජය රාජසිංහ වසර 8ක් උඩරට රාජධානිය පාලනය කළා. නරේන්ද්‍රසිංහ රජතුමාට මෙන්ම මෙම රජතුමාටත් දරුවන් සිටියේ නැහැ. එම නිසා 1747 වසරේ දී ශ්‍රී විජය රාජසිංහ රජතුමා මරණයට පත්වීමෙන් පසුව උඩරට රාජධානියේ රජකම භාරගැනීමට කෙනෙකු සිටියේ නැහැ. නමුත් ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ බිසවට සහෝදරයෙකු සිටි නිසා ඔහුට රජකම ලබාදීමට තීරණය කෙරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එවකට 13 හැවිරිදි වියේ පසුවුණු කීර්ති ශ්‍රී රාජසිංහ කුමරු රාජ්‍යත්වය ලබාගත්තා.
රජ වාසලේ බලය ලබාගැනීමට පැවති සටන
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට උඩරට රාජධානියේ රජකම හිමිවන විට රජ වාසල තුළ සිංහල රදළයන් සහ නායක්කර් වංශික රදළයන් රාජකාරිවල නිරතව සිටියා. එකල එම දෙපාර්ශවය අතර නිතරම ගැටුම් ඇතිවුණේ රජවාසලේ බලය ලබාගැනීම සඳහා යි. රජතුමා එවකට 13 වැනි වියේ පසුවුණු නිසා ඔහුව පාලනය කිරීමට නායක්කර් වංශික රදළයන් උත්සාහ කළා. නමුත් කිසිවෙකුට යටත් නොවුණු රජතුමා බුදු දහම ද වැළඳගත්තා.
උපසම්පදාව යළි ආරම්භ වෙයි
කිර්ති ශ්‍රී රාජසිංහ යුගය වන විට මෙරට බුද්ධ ශාසනය පිරිහීමකට ලක්ව තිබුණා. එකල ලාංකීය බුද්ධ ශාසනය සිල්වත් භික්ෂූන්වහන්සේ වැඩි වශයෙන් දක්නට ලැබුණේ නැහැ. එම නිසා මෙරට බුද්ධ ශාසනය යළි නගා සිටුවීමට අවශ්‍ය වුණා. ඒ සඳහා මූලිකත්වය ගත්තේ වැලිවිට ශ්‍රී සරණංකර ස්වාමීන් වහන්සේ යි.
මෙකල බුද්ධ ශාසනයට රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණු නිසා අප රට තුළ උපසම්පදාව යළි ආරම්භ කිරීමට හැකිවුණා. 1753 වසරේ දී සියමෙන් (අද තායිලන්තය) වැඩම කළ උපාලි හිමියන් ඇතුළු තවත් භික්ෂූන්වහන්සේ 18 නමක් උපසම්පදා කර්මය සිදුකරනු ලැබුවා. උපසම්පදා කර්මය සිදුකිරීමෙන් පසුව “සියම් නිකාය” ලෙසින් නව නිකායක් ආරම්භ කළා. එලෙස සියම් රටෙන් මෙරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මාස කිහිපයක් මෙහි ගතකරමින් ලක්දිව භික්ෂු ශාසනය හොඳින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස්කර දුන්නා.
වැලිවිට හිමියන්ට පිරිනැමුණු විශේෂ තනතුර
කෝට්ටේ යුගයේ වැඩ විසූ වීදාගම මෛත්‍රී හිමියන්ට “සංඝරාජ” නම් තනතුරක් හිමිව තිබුණා. උන්වහන්සේගෙන් පසුව අභාවයට ගිය එම තනතුර යළි ඇතිකරනු ලැබුවේ කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ දී යි. වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සංඝරාජ තනතුර හිමිවුණා.
සරණංකර හිමියන් එම තනතුර ලැබීමෙන් පසුව භික්ෂු පරපුරට නායකත්වය ලබාදීම ඇරඹුවා. එසේම භික්ෂු ශාසනය තුළ විනය පවත්වා ගනිමින් එය ආරක්ෂා කිරීමේ වගකීම ද පැවරුණේ උන්වහන්සේට යි. ඊට අමතරව බෞද්ධ පිරිවෙන් දියුණු කිරීමට මූලිකත්වය ගත් වැලිවිට හිමියන් අප රට තුළ බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටුකළා.
වෙහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය වෙයි
කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී මල්වතු විහාරය, දෙගල්දොරුව විහාරය වැනි විහාරස්ථාන ඉදිවුණා. එසේම රිදී විහාරය, දඹුලු විහාරය, කැළණි විහාරය, වාකිරිගල, මැදවල යන විහාරස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණේ මෙම යුගයේ දී යි. ලක්වාසී බෞද්ධ ජනතාව වන්දනාමාන කරන ප්‍රධාන සිද්ධස්ථාන අතරට ශ්‍රී පාදය අයත් වනවා. කීර්ති ශ්‍රී රාජසිංහ යුගය වන විට ශ්‍රී පාදස්ථානයේ අයිතිව හිමිව තිබුණේ ශිව භක්තිකයන් වුණු ආඬි ගුරන් සතුව යි. ආඬි ගුරන්ගෙන් ශ්‍රී පාදය මුදවාගැනීමට කටයුතු කළ රජතුමා එය බෞද්ධ භික්ෂූන්වහන්සේට භාර කළා. රජතුමා විසින් කළ එවැනි සේවාවන් නිසා බෞද්ධ ජනතාව ඔහු කෙරෙහි පැහැදීමක් ඇතිකර ගත්තා.
දළදා මාලිගාවේ දියුණුව වෙනුවෙන් සිදුකළ සේවය
1687-1707 කාල සමය තුළ මහනුවර රජකම් කළ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහනුවර දළදා මාලිගාව ඉදිකරවනු ලැබුවා. ඉන් අනතුරුව මහනුවර රජකම් කළ නරේන්ද්‍රසිංහ රජතුමා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද දළදා මාලිගාව හොඳින් නඩත්තු කරමින් පුද පූජා පවත්වනු ලැබුවා. එසේම මාළිගයේ පාලන කටයුතු, ආරක්ෂක කටයුතු සහ ආවතේව කටයුතු සිදුකිරීම සඳහා දියවඩන නිලමේවරයෙකු පත්කරනු ලැබුවා. තව ද ඒ වන විට දෙවියන් වෙනුවෙන් පැවති මහනුවර ඇසළ පෙරහැරට දළදා පෙරහැර සම්බන්ධ වුණේ මෙම යුගයේ දී යි. ඒ වැලිවිට සරණංකර හිමියන්ගේ මඟපෙන්වීම යටතේ යි.
1761 වසරේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පහතරට තිබුණු ලංදේසි බලකොටුවලට පහර දී ඒවා විනාශ කළා. එම පහරදීම නිසා සිදුවුණු අවමානය මකා ගැනීම සඳහා මහනුවර රාජධානිය ආක්‍රමණය කිරීමට තීරණය කළේ වෑන් එක් නම් ලංදේසි ආණ්ඩුකාරවරයා යි. 1765 වසරේ දී ලංදේසීන් විසින් එල්ල කළ ප්‍රහාරය හමුවේ උඩරට රජතුමා නගරය අතහැර පළා ගියා. එලෙස පළා යාමට පෙර දන්ත ධාතූන් වහන්සේ මාළිගයෙන් පිටතට ගෙන ආරක්ෂිත ස්ථානයක සඟවා තැබීමට රජතුමා අමතක කළේ නැහැ.
මහනුවර නගරයට කඩා වැදුණු ලංදේසීන් දළදා මාලිගය විනාශ කර ගිනිබත් කළා. ඉන්පසුව සේනා සංවිධානය කර යළි රාජධානිය අත්පත් කරගත් රජතුමාට දැකගැනීමට හැකිවුණේ දළදා මාලිගය විනාශ කර තිබුණු ආකාරය යි. එම විනාශය දැක මහත් සංවේගයට පත්වුණු රජතුමා දළදා මාලිගාව යළි ගොඩනැගූ බව ඉතිහාස කතාවල සඳහන් වනවා.
ලංකා ඉතිහාසය තුළ දක්නට ලැබුණු රජවරුන් අතුරින් බුද්ධ ශාසනයට සේවයක් කළ අවසන් රජතුමා ලෙස ඉතිහාසගත වුණේ කීර්ති ශ්‍රී රජසිංහ රජතුමා යි. 1747- 1782 කාල සමය තුළ රජකම් කළ එම රජතුමා මිය ගියේ අසු පිටින් වැටී සිදුවුණු තුවාල හේතුවෙන්. මිය යන විට 48 වැනි වියේ පසුවුණු මෙම රජතුමා නායක්කර් වංශිකයෙකු වුණත් බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා විශාල සේවයක් ඉටු කළා. එම නිසා ඔහුගේ නම ලක් ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී පවතිනු ඇති බවට සැකයක් නැහැ.