Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆෝමියුලා වන් ලෝක ශූරතාවයේ උණුසුම

2021 ෆෝමියුලා වන් මෝටර් රථ ධාවනය තරගාවලිය අවසන් අදියරයට පැමිණ තිබෙනවා. තවත් ධාවන තරග දෙකක් පමණක් ඉතිරි ව ඇති මෙවර තරගාවලියේ ශූරයා කවුරුන්ද යන්න තවමත් තීරණය වී නැහැ. පසුගිය වසරේ ෆෝමියුලා වන් ශුරතාව ධාවන තරග 3ක් ඉතිරි ව තිබියදී තීරණය වුවත් මෙවර එය අවසාන ධාවන තරගය දක්වා තීරණය නොවනු ඇති බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ. 2021 තරගාවලියේ සිදුවූ විශේෂ සිදුවීම් ගැන මතක ආවර්ජනයක් සමඟ මර්සිඩීස් සහ රෙඩ් බුල් කණ්ඩායම් අතර කරට කර තරගය ගැනයි මේ ලිපිය.

හයිබ්‍රිඩ් යුගයේ මර්සිඩීස් අණසකට රෙඩ් බුල් ගෙන් අභියෝගයක්

1954 – 55 වසර දෙකේ දී වත්මන් Mercedes සමාගම අයත්ව  තිබූ Daimler සමාගමේ නමින් හෙවත් Daimler Benz AG ලෙස ඔවුන්ගේ ෆෝමියුලා වන් කණ්ඩායම නම් කර තිබුණා. මෙම ශූරතා දෙකෙහි දී ම රියදුරු ශූරතාව (Drivers’ Championship) දිනා ගැනීමට ඔවුන් සමත් වුණා. නමුත් 1955 වසරේදී සිදුවූ Le Mans ව්‍යසනයෙන් පසු ෆෝමියුලා වන් ක්‍රීඩාවෙන් තාවකාලික ව ඉවත් වූ Daimler කණ්ඩායම නැවත කණ්ඩායමක් ලෙසින් ෆෝමියුලා වන් වෙත කණ්ඩායමක් ලෙස පිවිසෙන්නේ 2010 වසරේදී යි. ඒ 2009 වසරේ ඇරඹි Brawn GP කණ්ඩායමේ වැඩි කොටස් ප්‍රමාණයක් මිල දී ගෙන එහි නාමය Mercedes GP Petronas ලෙසින් වෙනස් කරගෙන යි.

2010 සිට 2013 දක්වා පැවති ෆෝමියුලා වන් ඉදිකරන්නන්ගේ ශූරතා (Constructors Championship) 4 ම ජය ගත්තේ රෙඩ් බුල් කණ්ඩායම යි. 2013 වසරේ දෙවන ස්ථානයට පත්වීම හැරුණු කොට අනෙකුත් වසර ත්‍රිත්වයේදී ම Mercedes කණ්ඩායමට හිමි වූයේ සිව්වන හෝ පස්වන ස්ථාන යි. 2014 වසරේ තරගාවලියේ සිට FIA ආයතනය ෆෝමියුලා වන් තරගාවලිය සඳහා නීති වෙනස් කිරීමක් සිදු කළා. ඒ අනුව එතෙක් පැවති ධාරිතාව ලීටර 2.4 ක V8 එන්ජිම වෙනුවට ලීටර 1.6 ක V6 එන්ජිමක් ආදේශ වූ අතර එන්ජිමෙන් තාප සහ චාලක ලෙස හානි වන ශක්තිය නැවත ලබා ගෙන විද්‍යුත් මෝටරයක් කරකැවීමෙන් එම බලයත් නැවත මෝටර් රථයට යෙදවීමට ඒ අනුව කටයුතු කෙරුණා. මේ වෙනස්කම්වලින් පසු අද දක්වා කාල පරාසය ෆෝමියුලා වන් හයිබ්‍රිඩ් යුගය ලෙසයි හඳුන්වන්නේ.

2012 ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනූ සෙබස්තියන් වෙටල් – redbull.com

 

සියලු කණ්ඩායම්වලට බිංදුවේ සිට තම ෆෝමියුලා රථය නිෂ්පාදනය කරන්නට ඒ අනුව සිදු වුණා. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත්තේ Mercedes කණ්ඩායම බවට කිසිදු විවාදයක් නැහැ. 2014 සිට 2020 දක්වා පැවති ලෝක ශූරතා 7හි ම රියදුරු සහ ඉදිකරන්නන්ගේ ශූරතා සියල්ල දිනා ගත්තේ Mercedes කණ්ඩායම යි. ඔවුන් ඉදිකරන්නන්ගේ ශූරතා ජයග්‍රහණය කළ පසුගිය වසර 7න් 2017 සහ 2018 හැරුණු විට සෙසු සියල්ලගේ ම දෙවන ස්ථානය ලබා ගත් කණ්ඩායමට වඩා ලකුණු 230 ඉක්මවා ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. Mercedes එන්ජිම ම භාවිතා කරන තවත් කණ්ඩායම් සිටියත් Mercedes රථවල හැකියාව අබිබවා යෑමට අනෙකුත් කණ්ඩායම් සමත්කම් දැක්වූයේ නැහැ.

2021 තරගාවලියේ පෙර පුහුණු සැසි ආරම්භ වූයේ මාර්තු මස 12 වැනි දා යි. ඒ බහරේන් ජාත්‍යන්තර ධාවන පථයේ දී යි. දින තුනක් පුරා පැවති මෙම පුහුණු සැසියේ හොඳ ම කාලය වාර්තා කළේ රෙඩ් බුල් කණ්ඩායම යි. ඒ අනුව මෙවර ශූරතාව සඳහා අභියෝග කළ හැකි කණ්ඩායමක් ලෙස රෙඩ් බුල් කණ්ඩායම බොහෝ විචාරකයන් හඳුන්වා දුන්නා. පිට පිට වසර දෙකක් රියදුරු ශූරතාවයේ තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූ තරුණ ධාවක මැක්ස් වර්ස්ටැපන්ට මෙවර හොඳ අවස්ථාවක් ලැබී ඇති බවට බොහෝ වාර්තා පළ වුණා.

ලුවිස් හැමිල්ටන් 7 වන වරටත් ලෝක ශූරතාව දිනූ මොහොත – echoturkey.com

ලුවිස් සහ මැක්ස්ගේ ද්වන්ධ සටනක ආරම්භය

ෆෝමියුලා වන් පිළිබඳ ව එතරම් නොදන්නා කෙනෙක් වුවත් මයිකල් ශූමාකර් යන නාමය මෙන්ම ලුවිස් හැමිල්ටන් යන නාමය නොදැන සිටීමට ඇති ඉඩකඩ ඉතාමත් අවම යි. ඔවුන් දෙදෙනා ම ෆෝමියුලා වන් ලෝක ශුරතාව 7 වතාව බැගින් දිනා තිබීම ඊට හේතුව යි. තම 8 වන ශූරතාව දිනා ගැනීමේ අරමුණෙන් මෙවර තරගාවලියට පිවිසුණු 36 හැවිරිදි ලුවිස් හැමිල්ටන්ට රෙඩ් බුල් ධාවක 24 හැවිරිදි මැක්ස් වර්ස්ටැපන් ප්‍රබල අභියෝගයක් වුණා.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් බහරේන් හි දී පැවති තරගය ජය ගැනීමට හැමිල්ටන් සමත් වුවත් එහි දෙවන ස්ථානය තත්පර 0.745ක් පිටුපසින් පැමිණි මැක්ස්ට හිමි වුණා. ෆෝමියුලා ක්‍රීඩා ලෝලීන් උද්දාමයට පත් කළ මෙම අවසානය ද්වන්ධ සටනක පෙර ලකුණු කියා පෑවා.

2021 බහරේන් ජයග්‍රාහකයෝ – shortshiftnews.com

 

දෙවන තරගය ඉතාලියේ ඉමෝලා හි දී පැවති අතර එහි දී තෙවන ස්ථානයට තරඟය ආරම්භ කළ මැක්ස් ධාවන පථයේ දෙවන වංගුවේ දී ලුවිස් හැමිල්ටන් පසු කර පෙරමුණට පැමිණියා. වර්ෂාව මධ්‍යයේ පැවති ධාවන තරගයක් නිසා ධාවකයන් කිහිප දෙනකුට ම අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දීමට සිදුවූ අතර ලුවිස් හැමිල්ටන් ද වට 63කින් සමන්විත තරගයේ 31වන වටයේ දී තම රථය පාලනය කරගත නොහැකි ව මාර්ගයෙන් ඉවතට ගමන් කළා. එ

විටම Mercedes කණ්ඩායමේ අනෙක් රියදුරා වන වැල්ට්රි බෝටෑස් සහ ජෝජ් රසල් යන ධාවකයන් තම රථ එකිනෙක ගැටීමෙන් විශාල අනතුරකට මුහුණ පෑ නිසා හැමිල්ටන්ට තරගයට නැවත එක් වීමට පහසු වුණා. 8 වන ස්ථානයට පසු බැස සිටි ඔහු දෙවන ස්ථානයේ තරගය නිමා කළේ ශූරතාව සඳහා ඔහුගේ හැකියාව මනාව ප්‍රදර්ශනය කරමින්.

මැක්ස් වර්ස්ටැපන් මොනාකෝ තරඟය ජය ගැනීමෙන් පසු – autoweek.com

 

පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ පැවති තෙවන සහ සිව්වන ග්‍රෝන් ප්‍රී ද්විත්වය ම ලුවිස් හැමිල්ටන් ජය ගත්තා. එම අවස්ථා දෙකේ දී ම දෙවන ස්ථානයට පත්වුයේ මැක්ස් වර්ස්ටැපන්. මොනාකෝ තරඟය පැවැත්වුණේ මෙවර තරගාවලියේ පස්වන වටය ලෙස යි. මෙම ධාවන පථයේ සුදුසුකම් ලැබීමේ තරගයේ දී හොඳ ම කාලය වාර්තා කරන ධාවකයා ප්‍රථම ස්ථානය ලබා තරගය අවසන් කිරීමට ඉතා ඉහළ ඉඩකඩක් පැවතීම නිසා සුදුසකම් ලැබීමේ වටය කෙරෙහි සියල්ලන්ගේ ම අවධානය යොමු වනවා.

මොනාකෝහි උපන් ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලෙකලර්ක් හොඳ ම කාලය වාර්තා කළත් එහිදී ඔහුගේ රථය ධාවන පථයේ බැරියරයක ගැටීම නිසා ප්‍රථම ස්ථානයේ සිට ධාවන තරගය ආරම්භ කිරීමට හැකිවූයේ නැහැ. මේ නිසා දෙවන තැන ලබා ගත් මැක්ස්ට ප්‍රථමයා ලෙස තරගය ඇරඹීමට ඉඩ ලැබෙන අතර ඔහු එහි ජයග්‍රාහකයා ද වනවා. ලුවිස් හැමිල්ටන්ට හත්වන ස්ථානයෙන් සැහීමකට පත්වීමට සිදුවීමත් බොටෑස්ගේ රථයේ රෝද මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාද වීම නිසා ඔහු තරගයෙන් ඉවත් වීමත් නිසා Mercedes කණ්ඩායමට හිමි වන්නේ ලකුණු 7ක් පමණ යි.

අසර්බයිජාන් හි පැවැති සයවන තරගයේ නිමාවට වට 5ක් පමණක් ඉතිරි ව තිබිය දී පෙරමුණේ සිටි මැක්ස් ගේ රථයේ පසුපස වම් ටයරය පුපුරා යෑම නිසා ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු වනවා. එම අවස්ථාවේ තෙවන ස්ථානයේ සිටි ලුවිස් හැමිල්ටන් තරගය නැවත ආරම්භයේ දී ඇති වූ තිරිංග දෝෂයක් නිසා 15වන ස්ථානය දක්වා පසු බැසීමට සිදුවනවා. ඒ අනුව රෙඩ් බුල් කණ්ඩායමේ සර්ජියෝ පෙරෙස්ටයි තරගයේ ජය හිමි වන්නේ. ඉන්පසුව පැවති ප්‍රංශ සහ ඔස්ට්‍රියානු (2) ග්‍රෝන් ප්‍රී තරග ත්‍රිත්වය ම පිට පිට ම ජය ගන්නේ මැක්ස්. ලුවිස් හැමිල්ටන් ඒවායේදී පිළිවෙළින් දෙවන ස්ථාන දෙකක් සහ සිව්වන ස්ථානයක් ලබා ගන්නවා.

අසර්බයිජාන්හි දී සිදු වූ අනතුරෙන් පසු කෝපයට පත් මැක්ස් – worldzznews.com

ගැටුම් සහ මතභේදාත්මක සිදුවීම් රැසක්

ලුවිස් සහ මැක්ස් අතර සටන උච්චත ම අවස්ථාවට පැමිණියේ බ්‍රිතාන්‍ය ග්‍රෝන් ප්‍රී තරගයේ දී බව කිව හැකි යි. ෆෝමියුලා වන් ප්‍රධාන ධාවන තරගය සඳහා සුදුසුකම් ලැබීමට හොඳ ම කාලය වාර්තා කිරීමට අමතර ව කෙටි ධාවන තරගයක් (Sprint race) ද පැවැත්වීම පළමු වරට ආරම්භ වූයේ මෙහි දී යි. කාල වාර්තා කිරීමේදී ප්‍රථම ස්ථානය ලුවිස්ට හිමි වූ අතර දෙවන තැන මැක්ස්ට හිමිවුණා.

Sprint තරගය ජය ගත්තේ මැක්ස් වීම නිසා ප්‍රධාන ධාවන තරගය පෙරමුණේ සිට ආරම්භ කිරීමට ඔහුට අවස්ථාව හිමි වුණා. Sprint තරගයේ දී ලුවිස් සහ මැක්ස් ගේ රථ එකිනෙක ගැටීමට ඉතා ආසන්න වූ නමුත් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සිදුවීම වූයේ ප්‍රධාන ධාවන තරගයේ දී ඔවුන්ගේ රථ එකිනෙක ගැටී මැක්ස්ගේ රථය මාර්ගයෙන් ඉවතට විසිවීම යි. මේ අනතුර නිසා ලුවිස්ට තත්පර +10ක දඬුවම් කාලයක් එක් වූ නමුත් තරගයේ ජය තමන් සතු කර ගන්නට ඔහු සමත් වුණා. ඒ දක්වා ශූරතාවයේ සමස්ත ලකුණු සටහනේ දෙවන තැන සිටි ලුවිස් ඒ අනුව නැවතත් පෙරමුණට පැමිණියා.

ලුවිස් හැමිල්ටන් බ්‍රිතාන්‍ය ග්‍රෝන් ප්‍රීය ජයග්‍රහණය කර – formula1.com

වැසි තත්ත්වය හමුවේ පැවති හංගේරියානු ග්‍රෝන් ප්‍රී තරගයේ හමිල්ටන් සහ බොටෑස් ඉදිරිපෙලින් තරගය ආරම්භ කළ අතර මැක්ස් සහ පෙරෙස් දෙවන පෙළින් තරගය ඇරඹුවා. පළමු වංගුවේදී බොටෑස්ට වේගය පාලනය කර ගත නොහැකි වීම නිසා රථ කිහිපයක් ම අනතුරට ලක්වුණා. ඒ අනුව මැක්ස් 12වන ස්ථානය දක්වා පසුබට අතර ලුවිස් පළමු තැන රැඳී සිටියා. කෙසේවෙතත් ලුවිස් හැරුණුකොට සියලු ධාවකයන් තරගය නැවත ආරම්භ කිරීමේ දී වියළි ටයර වෙත මාරු වීම නිසා ලුවිස්ට ප්‍රථම ස්ථානයේ වැඩි වේලාවක් රැඳී සිටීමට හැකි වුයේ නැහැ. හානි වූ රථයක් සහිත ව තරගයේ යෙදුණු මැක්ස් 9වන ස්ථානයටත් ලුවිස් 13 වන ස්ථානයේ සිට දෙවන ස්ථානයටත් තරගය නිමා කළා.

බෙල්ජියම සහ නෙදර්ලන්තයේ පැවති තරග දෙක ම ජය ගත්තේ මැක්ස්. ඒ අනුව ඔහු නැවතත් සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ලබා ගත්තා. බෙල්ජියමේ පැවති තරගයට අධික වර්ෂාවක් පතිත වීම නිසා එය වට 3කින් අවසන් වූ අතර පළමු ස්ථාන 10 සඳහා පිරිනැමුණේ සාමාන්‍ය ලකුණුවලින් හරි අඩක් පමණ යි. මොන්සාහි පැවති මීළඟ තරගයේ දී නැවත වරක් මැක්ස් සහ ලුවිස් ගේ රථ එකිනෙක ගැටුණු අතර දෙදෙනාට ම ඒ අනුව තරගයෙන් ඉවත් වීමට සිදුවුණා.

රුසියානු තරගයේ දී මැක්ස් අමතර එන්ජිමක් ලබා ගැනීම නිසා අවසන් ස්ථානයේ සිට තරගය ආරම්භ කළත් තරගය නිමවීමට වට 5ක් පමණ ඉතිරි ව තිබිය දී වර්ෂාව ඇදහැලීම නිසා ඇති වූ තත්ත්වය මත දෙවන ස්ථානයට තරගය නිම කිරීමට ඔහුට හැකි වුණා. ලුවිස් හැමිල්ටන් ද මැක්ලැරන් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස්‌ අබිබවමින් ප්‍රථම ස්ථානයට පත් වීම සිදු වූ අතර එය ඔහුගේ 100 වන ග්‍රෝන් ප්‍රී ජය ලෙසයි ඉතිහාසයට එක් වුණේ. ඒ සමඟ ඔහු නැවතත් සමස්ත ශූරතාවයේ ඉදිරියට පැමිණියා.

මොන්සාහිදී අනතුරට පත් මැක්ස් සහ ලුවිස්ගේ රථ – uticaphoenix.net

තුර්කි ග්‍රෝන් ප්‍රී තරගයේ කාල ගණනයේ පෙරමුණ ගන්නට ලුවිස් හැමිල්ටන් සමත් වුවත් ඔහු නව එන්ජිමක් ලබා ගැනීම නිසා තරඟය ආරම්භ කළේ 11 වන ස්ථානයේ සිට යි. තරගයේ ජය බොටෑස් හිමි කර ගත් අතර දෙවන තැන මැක්ස්ටත් පස්වන තැන ලුවිස්ටත් හිමි වුණා. එක්සත් ජනපද ග්‍රෝන් ප්‍රී ජය සමඟ සමස්ත ලකුණු සටහනේ පෙරමුණට පත්වුයේ මැක්ස් වර්ස්ටැපන්. මෙක්සිකෝ ග්‍රෝන් ප්‍රී ජයත් මැක්ස්ට හිමි වීම නිසා මැක්ස් සහ ලුවිස් අතර ලකුණු පරතරය 19ක් දක්වා වර්ධනය වුණා. මෙම තරග දෙකේ දී ම දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් හිමි කර ගත්තේ ලුවිස් සහ පෙරේස් දෙදෙනා යි.

ලුවිස් හැමිල්ටන්ගේ විශිෂ්ට හැකියාව පෙන් වූ ධාවන තරගය වූයේ බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරඟය යි. එහි දී ඔහු හොඳ ම කාලය වාර්තා කළත් ඔහුගේ රථයේ පිටුපස තටුවේ සැකැස්ම තරග නීති උල්ලංඝණය කළ නිසා sprint තරගය ආරම්භ කිරීමට ඔහුට සිදුවුයේ අවසන් ස්ථානයේ සිට යි. ඔහු අවසන් ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තරගය අවසන් කළා. ඔහු නැවතත් අමතර එන්ජින් උපාංගයක් ලබා ගැනීම නිසා ප්‍රධාන ධාවන තරගයේ දී ස්ථාන 5ක් පිටුපසින් තරග කළ යුතු වුණා. ඒ අනුව ප්‍රධාන ධාවන තරගය මැක්ස් දෙවන ස්ථානයේත්, ලුවිස් 10වන ස්ථානයේත් සිට ආරම්භ කළා. අවසානයේ මැක්ස් සහ ලුවිස් අතර කරට කර සටනකින් පසු ලුවිස්ට බ්‍රසීල තරගයේ ජය හිමි වුණා. දෙවන ස්ථානයට පත් මැක්ස්, ලුවිස් ධාවන පථයෙන් ඉවතට යොමු කිරීම නිසා ඔහු වෙත දඬුවම් ලබා නොදීම ද ඔවුන් අතර ශූරතාව වෙනුවෙන් වූ සටන තවත් උණුසුම් කර ඇති බව කිව හැකි යි.

බ්‍රසීල ග්‍රෝන් ප්‍රී ජයග්‍රාහකයෝ – essentiallysports.com

සෞදි සහ අබුඩාබි අවසන් සටන

තරඟගාවලියේ අවසන් තරග දෙක පැවැත්වෙන්නේ සෞදී ආරාබියේ ජෙඩා ධාවන පථයේ සහ අබුඩාබි ධාවන පථයේ යි. ජෙඩා ධාවන පථය ෆෝමියුලා වන් තරග සඳහා මෙවර මුල් වරට එක් වන අතර මේ නිසා තරගාවලියේ ජය කා හට හිමිවේ ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව තවත් වැඩි වී තිබෙනවා. ලුවිස් මීට පෙර පැවති කටාර් තරගය පහසුවෙන් ජය ගැනීම නිසාත් බ්‍රසීල තරගයේ දී යොදා ගත් නව එන්ජිම සෞදි තරගයට යොදා ගැනීමට Mercedes කණ්ඩායම ගෙන ඇති තීරණයත් නිසා ලුවිස් හැමිල්ටන් මෙම තරගය ජයගනු ඇති බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ.

ලුවිස් එම තරගය ජයගෙන වේගවත් ම ධාවන වටය සඳහා වන ලකුණත් තමන් සතු කරගත හොත් සහ මැක්ස් එහිදී දෙවන ස්ථානය ලබාගත හොත් අබුඩාබි අවසාන තරගය සඳහා ඔවුන් දෙදෙනා සමාන ලකුණු ලබා ගෙන පිවිසෙනු ඇති. එවැනි උද්වේගකර අවසන් තරගයක් නැරඹීමට ෆෝමියුලා වන් ප්‍රේක්ෂකයන් කිසිවකුත් අකමැති නොවනු ඇති. කෙසේ වෙතත් අවසන් තරගයේ දී ධාවකයන් දෙදෙනා ම ලකුණු නොලබා තරගය අවසන් කළහොත් හෝ දෙදෙනා ම තරගය අවසන් නොකළහොත් ලකුණු සම වී තරගාවලිය නිමා වනවා. එවිට FIA සකස් කර ඇති නීති පද්ධතියට අනුව ශූරතාව හිමිවන්නේ තරඟගාවලියේ වැඩි ම තරග ගණනක දී ප්‍රථම ස්ථාන ලබා ගත් ධාවකයාට යි. එය ද සමාන නම් ඉන්පසු දෙවන ස්ථාන සලකන අතර ජයග්‍රාහකයකු ලැබෙන තුරු එය දිගට ම සලකා බැලෙනවා. එවැන්නක් සිදු නොවී ධාවන පථයෙන් ම ශූරයා තේරී පත්වීම ෆෝමියුලා වන් රසික ප්‍රජාවගේ අපේක්ෂාව යි.

කටාර් තරඟයෙන් පසු සමස්ත ලකුණු සටහන් – twitter.com/f1

ෆෙරාරි කණ්ඩායම පසුගිය වර ඉදිකරන්නන්ගේ ශූරතාව නිමා කළේ 6 වන ස්ථානයට යි. මෙවර ඔවුන් තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් මැක්ලැරන් කණ්ඩායම අබිබවා තෙවන ස්ථානයට පත් ව තිබෙනවා. ෆෙරාරි සහ මැක්ලැරන් කණ්ඩායම් අතර ලකුණු පරතරය 39.5ක්. ඉදිරි තරග දෙකෙහිදීත් ඔවුන් සාර්ථක වුවහොත් බෙස්ට් ඔෆ් ද රෙස්ට් ලෙසින් තරගාවලිය නිමකරන්නට ඔවුන්ට හැකිවේවි. ඇල්පයින් කණ්ඩායමත් ඔවුන්ගේ ප්‍රධාන ම ප්‍රතිවාදියා වන ඇල්ෆාටෝරි කණ්ඩායමට වඩා ලකුණු 25ක් ඉදිරියෙන් සිටිනවා. ලුවිස් සහ මැක්ස් අතර ලෝක ශූරතාව වෙනුවෙන් වන සටනට අමතර ව සෙසු කණ්ඩායම් තරගාවලිය අවසන් කරන්නේ කෙසේ ද යන්නත් උද්වේගකර අවසන් තරග ද්විත්වය තීරණය කරනු ඇති. සෞදි අරාබියානු ග්‍රෝන් ප්‍රී තරගය එළඹෙන දෙසැම්බර් 03 – 05 සහ අබුඩාබි ග්‍රෝන් ප්‍රී තරගය දෙසැම්බර් 10-12 පැවැත්වෙනවා.

 කවරයේ පින්තූරය - මැක්ස් වර්ස්ටැපන් සහ ලුවිස් හැමිල්ටන් - skysports.com තොරතුරු - formula1.com, f1experiences.com, the-race.com, motorsport.com, wtf1.com සහ f1-grandprix.com ඇසුරෙන්

Related Articles