Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොලිවුඩයේ මුල් බැස ගත් ඉන්දියානු මාෆියාව

 ගුල්ෂන් කුමාර් කියන්නේ ඉන්දීය සිනමා කර්මාන්තයට ඉමහත් සේවයක් කළ පුද්ගලයෙක්. ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදන සහ සංගීත පටිගත කිරීම් කර්මාන්තයේ දැවැන්තයකු වන “T series” ආයතනයේ ආරම්භකයා වන්නේ ඔහු යි. ගුල්ෂන් කුමාර්, “ඉන්දියාවේ කැසට් රජු” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නට තරම් විනෝදාස්වාදන කර්මාන්තය තුළ දැවැන්ත චරිතයක් වුණා.

ගුල්ෂන් කුමාර්, මුම්බායි ප්‍රදේශයේ ශිව දෙවියන් වෙනුවෙන් කැප කළ හින්දු සිද්ධස්ථානයක් වූ ජීතෙෂ්වර් මහා මන්දීර් වෙත නිතර යෑම සිරිතක් කරගෙන තිබුණා. 1997 අගෝස්තු 12 වැනිදා සුපුරුදු පරිදි හින්දු සිද්ධස්ථානයට යන අතරතුර වෙඩි තැබීමකින් ගුල්ෂන් කුමාර් ඝාතනය වුණා. ඊට පෙරාතු ව ගුල්ෂන්ට තර්ජනාත්මක ඇමතුම් දෙකක් ලැබී තිබුණු අතර, ගෙවීමට නියමිත ව තිබූ කප්පම් මුදල් ගුල්ෂන් මඟහැර තිබීම එයට හේතුව යි.

 ගුල්ෂන් කුමාර් – www.indiatvnews.com 

 “මෙහෙදී කරපු පූජාවන් ටික ඇති. දැන් ඒවා එහෙදි කරන්න!”

 වෙඩී තැබීමට මොහොතකට පෙර ඝාතකයන් ගුල්ෂන් කුමාර්ට එලෙස පවසා තිබුණා. මුල් වෙඩි තැබීමෙන් ගුල්ෂන් දිවි ගලවා ගත්තත්, අසල නිවැසියන්ගෙන් රැකවරණයක් නොලැබුණු නිසා ඔහු තවත් වෙඩි ප්‍රහාරවලට ලක් වුණා.

 ගුල්ෂන් කුමාර්ගේ වියෝව බොලිවුඩ් සිනමා කර්මාන්තයට දැරිය නොහැකි පාඩුවක් වුණා. ඒත් එක්ක ම මතුපිටින් පෙනෙන බොලිවුඩයේ විචිත්‍රත්වයෙන් වැසී ඇති ඝන අඳුරේ තරම ලෝකයට අවබෝධ වුණා. බොලිවුඩය සහ ඉන්දීය මාෆියාව එකිනෙකට වෙළී ඇති අන්දම උපරිමයෙන් පෙන්වන අවස්ථාවක් ලෙස ගුල්ෂන් කුමාර්ගේ ඝාතනය හැඳින්විය හැකි යි.

කළු සල්ලි සුදු කිරීමේ මාවත

 බොලිවුඩය ලෙස නිල නොලත් නාමයෙන් හඳුන්වන ඉන්දීය සිනමා කර්මාන්තය ලෝකයේ විශාලත ම සිනමා කර්මාන්තයක් වෙනවා. සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් ඉන්දියාවට අත්කර දෙන්නට එහි සිනමාව සමත් වී තිබෙනවා. මේ නිසා බොලිවුඩයේ රජ කරන ප්‍රභූ පැළැන්තියෙන් කප්පම් ගැනීම වඩාත් ලාභදායී පාතාල ක්‍රියාකාරකමක් ලෙස සැලකෙනවා. කප්පම් ගෙවීම් ප්‍රතික්ෂේප කරන ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් සහ නළු නිළියන් නිර්දය ලෙස මරා දැමීමට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් කිසිවිටෙකත් පසුබට වෙන්නේ නැහැ.

සංජය දත් සම්බන්ධ නඩුව නිසා බොලිවුඩය සහ මාෆියාව අතර ඇති සබඳකම දැඩි ලෙස කතාබහට ලක් වුණා
– www.indiatvnews.com 

 බොලිවුඩය සමඟ සිටින දැවැන්තයන්ගෙන් කප්පම් ගැනීම, බොලිවුඩය තුළ ඉන්දීය මාෆියාවේ එක හැසිරීමක් පමණ යි. මේ දෙපාර්ශවයේ ම අක්මුල් ඊටත් වඩා බොහෝ ගැඹුරින් එකිනෙකට සම්බන්ධ වී තිබෙනවා. ඉන්දියාවේ මිනිසුන්ට එම අන්තර්ක්‍රියාව රහසකුත් නොවෙයි. බොලිවුඩය සහ ඉන්දියානු මාෆියාව අතර සම්බන්ධය 90 දශකය දක්වා විහිදෙනවා. එකල නීත්‍යානුකූල මූල්‍යකරණ කටයුතු සඳහා බොලිවුඩයේ ප්‍රවේශ වීම් රජයේ රෙගුලාසි මඟින් සීමා කිරීමත් සමඟ ඉන්දියානු මාෆියාව බොලිවුඩයට අතපොවන්නට පටන් ගත්තා.

“බොලිවුඩ්” නමැති සල්ලි ගස

ඉන්දියානු මාෆියාවේ බළකොටුව ඒ වනවිටත් බොලිවුඩයේ පදනම වූ මුම්බායි තුළ පිහිටුවා තිබුණා. ඉන්දීය මාෆියාවට තමා අසල ම ඇති “බොලිවුඩ්” නමැති සල්ලි ගස පහසුවෙන් සෙලවීමට මේ නිසා හැකි වුණා. ඔවුන් බොලිවුඩ් චිත්‍රපටවලට යෙදවීම සඳහා විශාල මුදලක් රැස්කර ගෙන සිටි අතර, මුදල් විශුද්ධිකරණය සඳහා බොලිවුඩය මෙවලමක් කර ගැනීමට පාතාල නායකයන් ක්‍රියා කළා.

ගුල්ෂන් කුමාර්ගේ ඝාතනය සිදුවූ අයුරු – www.indiatoday.in 

 2000 වර්ෂයේදී ඉන්දීය රජය යම් ප්‍රගතිශීලි පියවරක් අනුගමනය කරමින් චිත්‍රපට කර්මාන්තයට බැංකු ණය සඳහා සුදුසුකම් ලැබීමට ඉඩ ප්‍රස්තාව ලබා දුන්නා. එහෙත්, බොලිවුඩය ඇතුළු ඉන්දියාවේ අනෙකුත් සිනමා කර්මාන්ත තුළ පාතල ලෝකයේ බලපෑම තදින් මුල්බැස තිබුණා. බොහෝ අවස්ථාවල චිත්‍රපට නිෂ්පාදකයන් සහ ජනප්‍රිය පුද්ගලයන් කැමති වුණත් නැතත්, පාතාලයෙන් එන මුදල් භාර ගැනීමට සිදු වුණා.

 “ඉන්දියාවේ පාතාලය සම්බන්ධ කර නොගත් කිසිවකු චිත්‍රපට කර්මාන්තයේ නොමැති තරම්”

 ප්‍රවීණ අධ්‍යක්ෂක මහේෂ් බාත්, තත්ත්වයේ බැරෑරුම්කම ගැන එලෙසින් අදහස් පළ කොට තිබුණා. මුදල් විශුද්ධිකරණයට අමතර ව චිත්‍රපට සොරකම් කිරීම, ව්‍යාජ ලෙස නිර්මාණ අනුකරණය කිරීම සහ බෙදාහැරීම වැනි ක්‍රියාකාරකම්වල පවා ඉන්දියානු මාෆියාව නිරත වෙනවා. එයින් ඔවුන්ට ලැබෙන ලාභයත් අති විශාල යි.

නොගැලවෙන උගුලක්

 ඉන්දියානු මාෆියාව සහ බොලිවුඩය අතර ඇති සබඳතාව මතුපිටින් පෙනෙන්නේ සුහදශීලි ආකාරයෙන්. ඉන්දියානු චිත්‍රපට තාරකාවන් තම සංවිධානාත්මක අපරාධ සබඳකම් ගැන විවෘත ව කතා කරපු අවස්ථා පවා තිබෙන බව පැවසෙනවා. ඉන්දියානු මාෆියාව ලොව පුරා සංවිධානය කරන සුඛෝපභෝගී සහ ඇතැම් විට ප්‍රසිද්ධියට පවා පත් කළ සාදවලට බොලිවුඩයේ ඉහළින් ම වැජඹෙන ප්‍රසිද්ධ පුද්ගලයන් තම සහභාගීත්වය දක්වා තිබෙනවා. එහෙත්, මතුපිටින් පෙන්වන සුහදශීලිත්වය හරහා බොලිවුඩයේ ප්‍රබලයන් හසු වී ඇති මාරාන්තික තත්ත්වයත් පිළිබිඹු වෙනවා. ඉන්දියානු මාෆියාවේ නම් දැරූ නායකයන් බොලිවුඩ් ප්‍රබලයන් සමඟ සාද පැවැත්වූවත්, ඊළඟ දවසේ නියමිත කප්පම් මුදල ඔවුන්ට ගෙවිය යුතු යි. මාෆියාව හමුවේ බොලිවුඩ් ප්‍රබලයන් පෙන්වන සුහදකම සැබැවින්ජම ගැලවිය නොහැකි උගුල තවත් තරකර නොගැනීමේ උත්සාහයක් විය හැකි යි.

රිතික් රෝෂන් (වමේ), රාකේෂ් රෝෂන් (දකුණේ) – timesofindia.indiatimes.com 

රාකේෂ් රෝෂන්ගේ සිදුවීම

 2000 වසරේ ජනවාරියේදී ප්‍රකට ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ රාකේෂ් රෝෂන්, සිය මුම්බායි කාර්යාලය ඉදිරිපිට සිදුවූ ඝාතන තැතකින් යන්තමින් දිවි බේරා ගන්නට සමත් වුණා. ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අපරාධ සංවිධානයක් මෙම ඝාතන උත්සාහය පිටුපස සිටි අතර, එම සංවිධානය රාකේෂ් රෝෂන්ගේ චිත්‍රපටයක් වූ “කහෝනා ප්‍යාර් හේ” හි විදේශීය ප්‍රදර්ශන අයිතිය ඉල්ලා සිටි බව සඳහන්. ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා රාකේෂ් රෝෂන්ට සිය දිවියේ භයානක ම අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණා.

 අධ්‍යක්ෂවරයා ඝාතනය කිරීමේ නියෝගය ඩුබායි නගරයේ වාසය කරන ඉන්දියානු පාතාල ප්‍රබලයෙක්ගෙන් නිකුත් වූ අතර, අබුඩාබියේදී විශුද්ධීකරණය වූ මුදල් ඒ සඳහා යොදවා තිබූ බව පරීක්ෂණ වලින් හෙළි වුණා. ඝාතන උත්සාහය සැලසුම් වී තිබෙන්නේ පාකිස්ථානයේදී යි. රාකේෂ් රෝෂන් යනු මුල්‍යමය වශයෙන් අති සාර්ථක වූ නිර්මාණ බිහි කළ පුද්ගලයෙක්. ඔවුන්ගේ ඉදිරි නිර්මාණ ගැන නිවැරදි තක්සේරුවක් ලබා ගන්න තරම් සිනමාව විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ඉන්දියානු මාෆියාව සතු යි.

රාකේෂ් රෝෂන්ගේ පුත්‍රයා වන සුපිරි නළු රිතික් රෝෂන්ටත් මෙම තර්ජනවලින් ගැලවෙන්න හැකි වුණේ නැහැ. ඔහු දායක වූ ඇතැම් නිර්මාණවල වැඩ කටයුතුවලට පොලිස් ආරක්ෂාව පවා ලබා දුන්නා. මීට අමතර ව, අති සාර්ථක නිර්මාණ රැසක් බිහි කළ කරන් ජොහාර්ටත් මරණ තර්ජන හමුවේ පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදු වුණා.

දේව්දාස් චිත්‍රපටයේ අර්බුදය

 2002 වර්ෂයේදී නිකුත් වූ දේව්දාස් චිත්‍රපටය එකල වැඩි ම පිරිවැයක් සහ වැඩිම ආදායමක් ලබා ගත් චිත්‍රපටයක් ලෙස කැපී පෙනුණා. විදෙස් රටවලින් පවා චිත්‍රපටයට සැලකිය යුතු ආදායමක් ලැබුණු අතර, එංගලන්තයේ දී වැඩි සාර්ථකත්වයක් අත්කර ගන්නට චිත්‍රපටයට හැකි වුණා. ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රසාදය නොමඳ ව ලැබුණත්, දේව්දාස් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් වූ අර්බුදය එකල පුවත් මවන මාතෘකාවක් වුණා. 

 දේව්දාස් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළේ භාරත් ෂාහ් නමැත්තෙක්. භාරත් ෂාහ් හරහා ඉන්දියානු රුපියල් මිලියන 480 ක් දේව්දාස් නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියානු මාෆියාව ආයෝජනය කළ බව එක්තරා ප්‍රවෘත්ති නාළිකාවක් වාර්තා කිරීමත් සමඟ මෙම අර්බුදය හට ගත්තා.

දේව්දාස් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලටත් ඉන්දීය මාෆියාවේ බලපෑමක් තිබූ බව සඳහන් – br.pinterest.com 

 මුම්බායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අතර, දේව්දාස් නිෂ්පාදකවරයා එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළා. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වූ සියලු මුදල් ඔහුගේම මුදල් බව පවසා තිබුණා. දින කිහිපයකට පසු භාරත් ෂාහ් පොලිස් ආරක්ෂාව පැතුවා. කරච්චි නගරය මූලික කර ගත් පාතාල කල්ලියක් හමුවේ ඔහුට තර්ජන එල්ල වීම එයට හේතුව යි. චිත්‍රපටය සම්බන්ධයෙන් පාතාල සාමාජිකයන්ට නිෂ්පාදකවරයා සමඟ සාකච්ඡා කිරීමට පවා අවශ්‍ය වූ බව කියවෙනවා.

 රාකේෂ් රෝෂන් මුහුණ දුන් අනතුර සහ දේව්දාස් චිත්‍රපටයේ අර්බුදය යන දෙක ම ඉන්දීය මාෆියාව නිසා හටගත් සිදුවීම් වුණත්, ඒවායේ බලපෑම චිත්‍රපට කර්මාන්තයට එල්ල වුණේ ආකාර දෙකකින්.  රාකේෂ් රෝෂන්ගේ සිදුවීමේදී චිත්‍රපටියේ බෙදා හැරීම් කටයුතු සම්බන්ධයෙන් බලපෑම් එල්ල වූ අතර, දේව්දාස් ගැටලුවේ දී එහි නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් බලපෑම් එල්ල වුණා. චිත්‍රපට කර්මාන්තයේ සෑම අංශයකට ම ඉන්දීය මාෆියාවේ බලපෑම ඒ අනුව එල්ල වී තිබෙනවා. මාෆියා සාමාජිකයන් සමඟ ඉතා සමීප ව කටයුතු කරන ස්ත්‍රීන්ට බොලිවුඩයේ ඉඩක් ලබාදීමෙන් තමාට අවශ්‍ය පරිදි බොලිවුඩය හැසිරවීමත් ඔවුන් සිදු කරනවා.

විසඳුමක් නොමැති හැඩක්

අවස්ථා කිහිපයක දී හැර සංවිධානාත්මක අපරාධ කල්ලි ඉන්දීය සිනමා කර්මාන්තයට අත පෙවීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ප්‍රතිචාරයක් මේ දක්වා පෙන්වා නැහැ. පහළ මට්ටමේ රැඳී සිටින පාතාල සාමාජිකයන් බොලිවුඩය තුළ සිදු කරන අවිචාර ක්‍රියාවලට චෝදනා එල්ල කර නඩු පැවරුවත්, ඉහළ මට්ටමේ සාමාජිකයන් සඳහා එවැනි පියවරකට යෑම අතිශයින් දුර්ලභ යි.

 බොලිවුඩය සහ ඉන්දියානු මාෆියාව අතර තිබෙන සබඳතාව බිඳ දැමීම සඳහා ඉන්දීය රජයට ඉතා හොඳ අවස්ථා ඉතිහාසය තුළ ලැබී තිබුණත්, බොලිවුඩ‍ය තුළින් නිසි සහායක් රජයට ලැබුණේ නැහැ. විචිත්‍ර සිනමාවක් ලෙස බොලිවුඩය ප්‍රේක්ෂකයන්ගේ මන දොළ ඉදිරියටත් සපුරාවි. ඒ සමඟ ම බොලිවුඩය වෙළාගෙන ඇති මාෆියාවේ අඳුර ප්‍රසිද්ධ රහසක් ලෙස දිගට ම පවතී වි.

 කවරයේ ඡායාරූපය: මුම්බායි පාතාලය සහ එහි බලපෑම එල්ල වූ අංශ ගැන පුළුල්ව කතා කළ චිත්‍රපටයක ප්‍රචාරක දැන්වීමක් - www.mirchiplay.com

මූලාශ්‍ර: 

starsunfolded.com 

www.forbes.com

www.indianfolk.com

www.latimes.com 

richestjet.com 

Related Articles