Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිප් හොප් කලාවේ පතාක යෝධයා – Notorious B.I.G

කවුද මේ Notorious B.I.G.?

ක්‍රිස්ටෝපර් වොලස් (Christopher Wallace) නොහොත් Notorious B.I.G. යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි අමෙරිකානු හිප් හොප් ගායකයාට මෙලොව ජීවත් වීමට අවකාශය ලැබුණේ හරියටම අවුරුදු 24 ක් පමණ යි. 1997 වසරේ මාර්තු මස 9 වැනි දා වෙඩි ප්‍රහාරයකට ලක්ව ලොස් ඇන්ජලීස් රෝහලක දී මිය යන ක්‍රිස්ටෝපර් වොලස්ගේ සැබෑ ඝාතකයා කවුරුන්ද යනවග කිසිදා සොයා ගන්නට බැරි වුණා.

පැහැදිලි සහ වෙහෙසකින් තොර අද්විතීය ආකාරයකට ගලා ගිය ඔහුගේ හඬත් සමඟ ‘ බැඩ් බෝයි රෙකෝඩ්ස් ‘ නමැති සංගීත ඇල්බම පටිගත කර අලෙවි කරන සමාගම යටතේ සිය ගායන හැකියා මෙහෙය වීමට හෙතෙම උත්සුක වූවා.

කවුද මේ Notorious B.I.G.? – ca-times.brightspotcdn.com

ගායකයකු සහ රංගන ශිල්පියකු ලෙස කටයුතු කළ ක්‍රිස්ටෝපර් වොලස්, සුප්‍රසිද්ධ රැප් ගායක ටුපැක් ෂකුර්ගේ සමකාලීනයෙක් ද වූවා. කලෙකට ඉහතදී ඔහුගේ කුලුපග මිතුරෙක් ව සිටි ටුපැක්, ක්‍රිස්ටෝපර්ගේ පසුකාලීන ප්‍රතිවාදියා බවට පත් වූයේ විශ්වාසය කඩවීමේ සිදුවීමක් මුල්කර ගෙන යි. ‘ ඊස්ට් කෝස්ට් හිප් හොප් ‘ සහ විශේෂයෙන් ගැංග්ස්ටා රැප් කලාවට මුල් බැස සිටි මොහු, 90 දශකයේ සිටි රැප් ගායකයන්ගෙන් හොඳ ම අයකු බව විවිධ මාධ්‍ය පැවසුවා.

ක්‍රිස්ටෝපර් ජෝර්ජ් ලැටෝර් වොලස් නිව් යෝර්ක් නගරයේ බෘක්ලින් හි දී 1972 වසරේ මැයි මස 21 වන දින උපත ලැබුවා. ඔහුගේ මව්පිය දෙපළ ජැමෙයිකාවේ කැරිබියන් දූපතේ සිට අමෙරිකාවට සංක්‍රමණය වූවා. ක්‍රිස්ටෝපර්ගේ මව වොලෙටා පෙර පාසල් ගුරුවරියක් වූ අතර ඔහුගේ පියා සෙල්වින් ප්‍රාදේශීය ජැමෙයිකානු දේශපාලනඥයෙක් ලෙස කටයුතු කළා.

ක්‍රිස්ටෝපර් වොලස් 1972 වසරේ මැයි මස 21 වන දින නිව් යෝර්ක් නගරයේ බෘක්ලින් හි උපත ලැබුවා – guim.co.uk

පාසලෙන් පසු වීදි දිවියට

වයසට සාපේක්ෂව තරබාරුව සිටි නිසා ළමා කාලයේ පටන් ම ඔහුගේ සමීපතමයන් “බිගී” යන අන්වර්ථ නාමයෙන් ක්‍රිස්ටෝපර් හඳුන්වන්නට වූවා. උසස් පාසලෙන් අස් වූ වහාම සිය බෘක්ලින් නිවස අසල පිහිටි ශාන්ත ජේම්ස් පෙදෙසේ වැඩි වේලාවක් හිඳ නිතිවිරෝධී කටයුතුවල තමා නිරත වූ බැව් නිව් යෝර්ක් ටයිම්ස් හමුවේ ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී බිගී සඳහන් කළා.

බිගී මෙහෙය වූ නීතිවිරෝධී ක්‍රියාකාරකම් හමුවේ නීතිය රැහැනේ පහසු ගොදුරක් බවට ද ඔහු පත් වූවා. 1989 වසරේ දී ප්‍රථම වරට අත්අඩංගුවට ගත් ඔහු වසර පහක පරිවාස සිර දඬුවමකට යටත් වනවා.

බෘක්ලින් වීදියේ රැප් ගායකයා

මෙම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට අමතරව බිගීගේ සිත් ගත් විනෝදාංශයක් වූයේ සිය අසල්වැසි ජනයා විනෝදයට පත් කිරීම පිණිස රැප් ගීත ගායනා කර පෙන්වීම යි. සිර දඩුවම් විඳ නිදහස් ව ආ විටක සිය ගායන හැකියා ප්‍රදර්ශනය කිරීම සඳහා ‘ Biggie Smalls’ යන නමින් Demo කැසට් පටයක් හෙතෙම පටිගත කළා. සංගීත වෘත්තියක නියැළීමට තරම් බැරෑරුම් සැලසුමක් නොතිබු බිගීට Demo ටේප් පටියකින් තමා රැප් කරන ආකාරය තමා ම අසා සිටීම විනෝදජනක අත්දැකීමක් වූ බව Arista Records හා පැවති සාකච්ඡාවකදී පවසා සිටියා.

උසස් පාසලෙන් අස් වූ වහාම නිතිවිරෝධී කටයුතු වල නිරත වූ බව නිව් යෝර්ක් ටයිම්ස් හමුවේ ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී බිගී සඳහන් කළා content.api.news

බිගීගේ වාසනාවකට මෙන් ඔහු ඉදිරිපත් කළ Demo කැසට් පටය ‘The Source’ (වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව එළි දක්වන හිප් හොප් සහ විනෝදාත්මක කරුණු පමණක් ඇතුළත්) සඟරාවේ අවධානයට යොමු ව තිබුණා. 1992 වසරේ මාර්තු මසක තම සඟරාවේ ‘Unsigned Hype’ තීරුවෙන් බිගී ඉදිරිපත් කළ Demo කැසට් පටය සහ ඔහුගේ දක්ෂතාව ඔවුන් විදහා දැක්වූවා. මෙය ජනප්‍රිය වීමත් සමඟ එකල සිටි වෙනත් රැප් ගායක ශිල්පීන් සමඟ කටයුතු කිරීමට බිගීට ඇරයුම් ලැබුණා.

බිගී සහ පෆී

බිගීගේ එම Demo කැසට් පටය එකළ ’ Uptown Records ‘ නමැති සංගීත ඇල්බම පටිගත කරන ආයතනයේ සංගීත නිෂ්පාදකවරයා ලෙස සේවය කළ පෆී කෝම්බ්ස්ගේ අවධානයට ද ලක් වූවා.

බිගී සමඟ ගිවිසුම්ගතව කටයුතු කිරීමට පෆී කොම්බ්ස් සූදානම් වූ නමුත්,ඔහුගේ ප්‍රධානියා වූ ඇන්ඩ්‍රේ හැරෙල් සමඟ ඇති වූ මතභේදයකින් අනතුරුව පෆී Uptown Records ආයතනයෙන් ඉවත් ව යනවා. එලෙස ඉවත් වූ කොම්බ්ස් ඔහුගේම රෙකෝඩින් ආයතනය ‘Bad Boy Records’ පිහිටුවා ගත් අතර 1992 වසර මැද භාගය පමණ වන විට ඔහු හා සම්බන්ධ වීමට බිගී උනන්දු වනවා.

බිගී සහ පෆී – local12.com

Bad Boy Records සමඟ කටයුතු කිරීමට ප්‍රථම, Uptown Records හි ගායිකාවකව සිටි මේරි ජේ. බ්ලයිජ්ගේ “Real Love” ගීතයට පසුබිම් ගායකයකු ලෙස බිගී පෙනී සිටියේ 1992 වසරේ අගෝස්තු මස යි. ඒකල කලාකරුවෙක් ලෙස The Notorious BIG ගායනා කළ පළමු හිප් හොප් ගීතය ” Party and Bullshit ” යන නමින් සංගීත කරළියට පැමිණියා. ඒ 1993 වසරේ ජූනි මසදී යි.

බිගී හා ටුපැක් කලණ මිතුරන් වූ හැටි

1993 වසරේ බිගී සිය පළමු සංගීත ඇල්බමය උදෙසා ලහි ලහියේ සූදානම් වත්ම හෙතෙම ටුපැක් හා මිත්‍ර වනවා. ලොස් ඇන්ජලීස් හි සංවිධානය කළ සාදයක් ඔවුන්ගේ පළමු හමුවට මඟ පෑදුවා. ඒ වන විටත් සාර්ථක හිප් හොප් ගායකයකු ලෙස නමක් දිනාගෙන සිටි ටුපැක්, බිගී හා තෑගි හුවමාරු කරගැනීම දක්වා සිය මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට සමත් වූවා.

1993 වසරේ බිගී සිය පළමු සංගීත ඇල්බමය උදෙසා ලහි ලහියේ සූදානම් වත්ම හෙතෙම ටුපැක් හා මිත්‍ර වනවා- compote.slate.com

ඉන්පසු මොවුන් දෙදෙනා මුණගැසෙන සෑම අවස්ථාවක ම ටුපැක් බිගීට යම් උපදේශක සේවා සහ මඟ පෙන්වීම් ලබා දීමට තරම් උත්සුක වනවා.

බිගී ගේ මංගල හිප් හොප් ඇල්බමය – ‘Ready to Die’

බිගී එළිදැක්වූ පළමු හිප් හොප් ගීත ඇල්බමය වූයේ ‘Ready to Die’ ය. 1994 වසරේ සැප්තැම්බර් මසකදී හිප් හොප් සංගීත ලෝකයට මෙය විවර වූයේ Bad Boy Records හරහා යි.

බිගී ගේ මංගල හිප් හොප් ඇල්බමයට ඔහු ගායනා කළ පළමු ගීතය වූයේ “Juicy” යි. ‘Ready to Die ඇල්බමය නිකුත් වී මාස දෙකක් ඇතුළත සංගීත පටිගත කිරීමේ රන් සහතිකය ද( නිශ්චිත පටිගත කිරීම් සංඛ්‍යාවක් විකුණා ඇති බව හෝ ප්‍රවාහය කර ඇති බවට සහතික කිරීම) ඊළඟ වසරේ ද්විත්ව ප්ලැටිනම් සහතිකය සහ අවසානයේ ප්ලැටිනම් සහතිකයට ද හිමිකම් කීවා.

බිගී එළිදැක්වූ පළමු හිප් හොප් ගීත ඇල්බමය Ready to Die වූවා – images.genius.com

‘Ready to Die’ ඇල්බමයේ සඳහන් ව තිබූ ගීත අතලොස්සෙන් බිගී දෙවනුවට ගායනය කළ ගීතය වූයේ Big Poppa යි. රැප් ගීතයක් සඳහා සිදු කළ හොඳ ම ඒකල රංගනය සඳහා වන ග්‍රැමී සම්මානයටත් එම ගීතය නිර්දේශ ව තිබුණා. Ready to Die ඇල්බමය හිප් හොප් සංගීත කලාවේ නව පුනර්ජීවනයක් සනිටුහන් කළ නිර්මාණයක් වූවා. මෙම ඇල්බමය පුරාවට බිගී ප්‍රදර්ශනය කළ ගායන හා රංගන හැකියාව හමුවේ ඔහුගේ ප්‍රතිරූපය පුළුල් ලෙස වර්ධනය වූවා.

‘Ready to Die’ ඇල්බමය සංගීත ලොවට මුදා හැරීමට ප්‍රථම, 1994 අගෝස්තු 4 වන දින Bad Boy Records හි ආරාධිත හිප් හොප් ගායිකාවක වූ ෆෙයිත් එවන්ස් සමඟ බිගී විවාහ ගිවිස ගන්නවා. ඔවුන් මෙලෙස ගිවිස ගත්තේ එකිනෙකා පළමුවරට හමු වී දින කිහිපයකට පසු වීම විශේෂත්වයක්. Billboard Hot 100 ගීත ප්‍රස්ථාරයේ දෙවන ස්ථානයට ළඟා වූ සහ සංගීත පටිගත කිරීමේ ප්ලැටිනම් සහතිකය ලබා ගත් Ready to Die හි සිව්වන ගීතය “One More Chance” හි පසුබිම් ගායිකාවක ලෙස සිය කැමැත්තෙන් කටයුතු කිරීමටත් එවන්ස් ඉදිරිපත් වූවා.

1994 අගෝස්තු 4 වන දින Bad Boy Records හි ආරාධිත හිප් හොප් ගායිකාවක වූ ෆෙයිත් එවන්ස් සමඟ බිගී විවාහ ගිවිස ගන්නවා – i.guim.co.uk

බිගී සමඟ ටුපැක් අමනාප වෙයි

1994 වසරේ නොවැම්බර් මස 30 දා බිගීට තීරණාත්මක දවසක් වූවා. නිව් යෝර්ක් හි පටිගත කිරීමේ ස්ටුඩියෝවකට එදවස රාත්‍රියේ බිගී පැමිණ තිබුණා. පසුව එම ස්ටුඩියෝවේ ම ලොබියට ටුපැක් ඇතුළු වනවාත් සමඟ ම හදිසියේ එතනට කඩා වැදුණ ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට හෙතෙම ලක් වනවා. තම දිවි ගලවා ගැනීමට ටුපැක්ට හැකි වූ නමුත් බිගී ඔහුගේ ප්‍රධානියා පෆී කොම්බ්ස් හා එක්ව මෙම ප්‍රහාරය දියත් කළ බවට දැඩිව විශ්වාස කළා.

මෙම සිදුවීමෙන් මාස දෙකකට පසු බිගී නිකුත් කළ “Who Shot Ya?” නැමති හිප් හොප් ගීතය හමුවේ ටූපැක් බිගී සමඟ තවත් උරණ වූවා. ටුපැක්ට නින්දා කිරීම උදෙසා බිගී මෙම ගීතය ගායනා කරන්නට ඇතැයි හෙතෙම අහේතුක ව අනුමාන කළා. මෙයට ප්‍රතිචාරී ව “Hit ‘Em Up” යන නමින් හිප් හොප් ගීතයක් ටූපැක් ද එළිදැක්වූවා.

පොප් රජු හා කටයුතු කළ බිගී

බිගී, ‘ ජූනියර් මාෆියා ‘ නමැති තරුණ රැප් කණ්ඩායමක් පිහිටුවා ගැනීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කළා. මෙම ගායකයන්ට පුහුණු සැසි සහ උපදෙස් ලබා දීම් අඛණ්ඩව ම සිදු කළ මොහු සැබෑ ගායන වේදිකාවේ දොරගුළු විවර කර ගැනීමටත් ඔවුන් උනන්දු කළා.

මයිකල් ජැක්සන් පොප් රජු සමඟ එක් ව “This Time Around” ගීතයට පසුබිම් ගායකයෙක් ලෙස කටයුතු කිරීමට බිගීට අවස්ථාව සැලසුණේ ද එම වසරේ ම යි.

මයිකල් ජැක්සන් පොප් රජු සමඟ එක්ව “This Time Around” ගීතයට පසුබිම් ගායකයකු ලෙස කටයුතු කිරීමට බිගීට අවස්ථාව සැලසුණා -www.mjworld.net

” This Time Around ” ගීතය පටිගත කිරීමෙන් පසු පොප් රජු පෞද්ගලිකව ම මුණගැසීමට බිගීට අවස්ථාවක් ලැබුණා. එම ගීතය තුළ බිගීගේ ගායන සැසිය මිනිත්තු කිහිපයකට පමණක් සීමා වුවත් පොප් රජු හා කටයුතු කිරීමට ලද එම විරළ අවස්ථාව හමුවේ බිගී බෙහෙවින් ප්‍රීති ප්‍රමෝදයට පත් වූවා.

හිටපු ගායන ශිල්පී ආර්. කෙලීගේ ගීතයක් වූ ” (You to Be) Be Happy ” හි ආගන්තුක ගායකයකු ලෙස කටයුතු කිරීමට බිගී හට ඇරියුම් ලැබුණේ ද මෙවන් කාල වකවානුවකදී යි. 1995 වසර අවසානය වන විට Notorious B.I.G. බිල්බෝඩ් සංගීත ප්‍රස්ථාරවල විශාල අලෙවියක් තිබූ හිප් හොප් පොප් ගීත ගායනා කළ කලාකරුවා බවට ද පත් වූවා.

බිගී කම්පාවට පත් කළ ටුපැක්ගේ මරණය

1996 සැප්තැම්බර් මස 7 වෙනිදා බිගීගේ හිටපු මිතුරා ටූපැක් ලාස් වේගාස්හි සිටිය දී නාඳුනන ඝාතකයකුගේ ගොදුරක් බවට පත් වනවා. මිනීමැරුම සම්බන්ධයෙන් ඒ වන විට කිසිවකුට චෝදනා එල්ල වී නොතිබුණත්, බිගී සහ ටුපැක් අතර කලක පටන් තිබූ පෞද්ගලික එදිරිවාදිකම සහ ගෙවී ගිය 1994 වසරේ නිව් යෝර්ක් ස්ටුඩියෝවේ සිදු වූ මාරක නොවන වෙඩි තැබීම යන සිද්ධි දාම හමුවේ ඔහුගේ ඝාතනය පිටුපස රැප් රජුන් වූ බිගී සහ පෆි කොම්බ්ස් සිටින්නට ඇතැයි බොහෝ දෙනා සැක පළ කළා.

“ටුපැක් සහ මා කෙතරම් බලගතුව සිටියාද යන වග ඔහු ඇසුරු කළ අවස්ථාවේ මට වැටහී තිබුණා.” ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාගේ මරණයෙන් පසුව සිදුකළ සම්මුඛ සාකච්ඡාව හමුවේ එලෙස බිගී කියා සිටියා.

1997 මාර්තු 18 වෙනිදා බිගීගේ අනුස්මරණ සේවාව මෑන්හැටන් හි Frank E. Campbell අවමංගල්‍ය දේවස්ථානයේදී අමුත්තන් 350 ක සහභාගීත්වයෙන් පැවැත්වූවා – nypost.com

බිගී ගේ අවාසනාවන්ත මරණය

සම්මුඛ සාකච්ඡාව ලබා දී කෙටි කලකට පසු නාදුනන වෙඩික්කරුවකුගේ ඉලක්කයකට බිගී හසු වනවා. ලොස් ඇන්ජලීස් පීටර්සන් ඔටෝමෝටිව් කෞතුකාගාරයේ පැවති Vibe සඟරා සාදයකින් නික්ම යන අවස්ථාවක මෙම අවාසනාවන්ත සිදුවීම වූවා.

ආලෝක සංඤා පුවරුවක දැල්වූ රතු එළියට අවනතව බිගී ගමන් ගත් SUV රිය නතර කරත්ම පවනට බඳු වේගයෙන් ධාවනය වූ වාහනයක් එය අසල නවතා බිගීගේ SUV රථයට වෙඩි පහර කිහිපයක්ම එල්ල කළා. ඝාතකයාගේ රිය එක් ක්ෂණයකින්ම පලායත් ම පෆිගේ SUV රථය එය පසුපස හඹා යාමට පටන් ගන්නවා. බිගීගේ ආරක්ෂකයා කඩිනමින් ඔහු රෝහල වෙත රැගෙන ගියත් එම උත්සාහයන් සියල්ල නිශ්ඵල වනවා. 1997 වසරේ මාර්තු මස 9 වැනි දින අලුයම් කාලයේදී බිගී සිය දෙනෙත් සදහටම පියා ගන්නවා.

බිගී ගේ මරණින් පසු – Life After Death

ටුපැක් මෙන්ම, බිගීගේ ඝාතනයේ සැබෑ සුළමුළ සහ එය මෙහෙයවූ සැබෑ ඝාතකයන් කවුරුන්ද යන වඟ කිසි විටෙකත් සොයාගැනීමට නොහැකි වූවා. ටුපැක් මෙන් බිගීද තම මරණින් පසු හිප් හොප් ඇල්බමයක් ද්විත්වයක් එම කලාවට දායාද කළා. බිගීගේ අභාවයෙන් දෙසතියකට පසු, එනම් 1997 වසරේ මාර්තු මස 25 වෙනිදා Bad Boy Records ආයතනය බිගී ජීවත්ව සිටියදී පටිගත කළ හිප් හොප් ගීත ඇතුළත් Life After Death යන ඇල්බමය සිය සංගීත ලෝලී රසිකයන්ට නිකුත් කළා.

බිගීගේ අභාවයෙන් දෙසතියකට එනම් 1997 වසරේ මාර්තු මස 25 Life After Death ඇල්බමය සංගීත ලෝලී රසිකයන්ට නිකුත් කළා – i.ytimg.com

හොඳම හිප් හොප් ගීත ඇල්බමය, හොඳම ඒකල හිප් හොප් ගායනය සඳහා වන ග්‍රැමී සම්මාන සඳහාත් Life After Death ඇල්බමය නිර්දේශ වී තිබුණා.

Life After Death ගීත ඇල්බමයෙහි ප්‍රධාන ගීතය වූ “Hypnotize” හිප් හොප් ගායක යුගළයක් ඉදිරිපත් කළ හොඳ ම හිප් හොප් ගීය ලෙසත්, ඇල්බමයේ දෙවන ගීතය වූ “Mo Money Mo Problems” හිප් හොප් ගායක කණ්ඩායමක් ඉදිරිපත් කළ හොඳම හිප් හොප් ගීය සඳහා වන ග්‍රැමී සම්මානයන්ටත් නිර්දේශ වී තිබුණා. Life After Death ඇල්බමයෙහි පිටපත් මිලියන 10 කට වඩා අලෙවි වූ අතර සංගීත පටිගත කිරීම සඳහා වන දියමන්ති සහතිකය 2000 වසරේදී මෙයට හිමි වූවා.

රසික හදවතින් නොමැරුණ බිගී

1997 දී පෆ් ඩැඩී (පෆි) නිකුත් කළ හිප් හොප් ඇල්බමය වූ No Way Out හි ගීත පහකට නොඅඩු ප්‍රමාණයක් බිගීගේ මතකය වෙනුවෙන්ම කැප කළ ඒවා වූවා. එම ඇල්බමයේ ඇතුළත් “I’ll Be Missing You” යන ගීතය යුගල කණ්ඩායමක් ඉඳිරිපත් කළ හොඳම හිප් හොප් රංගනය සඳහා වන ග්‍රැමී සම්මානය 1998 දී දිනා ගත්තා.

බිගීගේ ජීවන කතාව සහ මරණය අළලා වාර්තාමය චිත්‍රපට කිහිපයක්ම රිදී තිරයේ ප්‍රදර්ශනය වූවා -i.scdn.co/image

බිගීගේ මරණින් පසුව Born Again යන හිප් හොප් ඇල්බමය 1999 වසරේත් Duets: the Final Chapter යන ඇල්බමය 2005 වසරේදීත් සංගීත කරලියට පැමිණියා. බිගීට අමතරව එමිනෙම්, ජේ-ඉසෙඩ්, මේරි ජේ බ්ලිජ් ඇතුළු ආරාධිත ගායකයන් රැසකගෙන් මෙම හිප් හොප් ගීත ඇල්බමය සමන්විත වූවා.

බිගීගේ ජීවන කතාව සහ මරණය අළලා වාර්තාමය චිත්‍රපට කිහිපයක්ම රිදී තිරයේ ප්‍රදර්ශනය වූවා. Biggie: The Life of Notorious B.I.G. , City of Lies, Life After Death: The Movie , Biggie: I Got A Story To Tell යනාදිය මේ අතරට අයත් වාර්තාමය සිනමා නිර්මාණ වූවා.

කවරයේ ඡායාරූපය: media.cnn.com
මූලාශ්‍ර:
www.cheatsheet.com
www.biography.com

Related Articles