Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 වසරේ වඩාත් බලාපොරොත්තු සහිත ත්‍රාසජනක චිත්‍රපට අටක්

මෙම ලිපියේ ස්පොයිලර්ස් අඩංගු විය හැක!

ලෝක සිනමාවේ අද්භූත රසය සමඟින් ත්‍රාසය ජනිත කරවන නිර්මාණ සිනමා රසිකයන් අතර අතිශයින් ම ජනප්‍රිය යි. විවිධ මාතෘකා යටතේ ගෙන එන මේ නිර්මාණවල විවිධත්වයත් ඉතා ඉහළ යි. සාමාන්‍ය ව්‍යවාහරයේ දී “හොර(ර්)” චිත්‍රපටි ලෙස සැලකෙන මෙම නිර්මාණ ශානරය තව දුරටත් විවිධ අනු ප්‍රභේද ඔස්සේ බෙදී යනවා. උදාහරණයක් ලෙස “The Conjuring” චිත්‍රපට මාලාව Supernatural horror ගණයට වඩාත් ගැළපෙන අතර, ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක්ගේ “Psycho” චිත්‍රපටය Psychological horror ගණයට වඩාත් සමීප යි.

මෑත කාලීන ව Folk Horror ශානරයෙන් පෙරළියක් සිදු කළ අරී ඇස්ටර් සහ Paranormal Activity චිත්‍රපට මාලාව හරහා Found footage horror අත්දැකීමක් ලොවට දායාද කළ ඕරෙන් පෙලී සහ ජේසන් බ්ලම්, ප්‍රේක්ෂකයාගේ භීතිය වෙනස් ම මානයකට රැගෙන ගියා.

කොවිඩ් වසංගතයේ බලපෑමත් සමඟ ලෝක සිනමාවට යම් දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදු වුණා. චිත්‍රපට නිකුත් වන දිනය ප්‍රමාද වීම සුලබ සිද්ධියක් වූ අතර, ආදායම් අතින් බලාපොරොත්තු තැබිය හැකි වූ ඇතැම් නිර්මාණ මූල්‍ය අර්බුදයකට ලක් වුණා. කෙසේ වෙතත්, ලෝක සිනමාව නැවතත් යථා තත්ත්වයට පැමිණෙමින් තිබෙනවා. ඒ අනුව 2022 සිනමා රසිකයන්ට වඩාත් යහපත් වර්ෂයක් වනු ඇති. 2022 වර්ෂයේ සිනමා ලෝලීන් වඩාත් බලාපොරොත්තු තබාගෙන සිටින ත්‍රාසජනක හා අද්භූත ගණයේ සිනමා නිර්මාණ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අප සිතුවේ ඔබගේ “සිනමා උනන්දුව” වඩාත් තීව්‍ර කිරීම උදෙසා යි.

නවතම Scream චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – scream.fandom.com 

1). Scream 5

 ලැයිස්තුව ඇරඹෙන්නේ දැනටමත් නිකුත් වී ඇති චිත්‍රපටයකින්. 90 දශකය දක්වා ඈතට විහිදෙන “Scream” චිත්‍රපට මාලාව වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ වධ හිංසා පැමිණවීමේ දර්ශන ඇතුළත් දරුණු මිනීමැරුම් සහ ප්‍රචණ්ඩත්වය බහුල ව නිරූපණය වන චිත්‍රපට මාලාවක් ලෙසට යි. මෙවැනි චිත්‍රපට “ස්ලෑෂර්” ප්‍රභේදයේ චිත්‍රපට යනුවෙන් හැඳින්වෙනවා. “Scream” චිත්‍රපට මාලාවේ පළමු වැන්න 1996 දී නිකුත් වූ අතර, එහි පස්වැන්න 2022 ජනවාරි 14 වැනිදා සිනමා ලෝලීන් සඳහා මුදා හැරුණා.

සිඩ්නි ප්‍රෙස්කොට්ගේ චරිතය නිරූපණය කරන නීව් කැම්බෙල් සහ ඩුවි රයිලිගේ චරිතය නිරූපණය කරන ඩේවිඩ් ආ’ක්වේට් සමඟ නවක නළු නිළියන් රැසක් නවත ම “Scream” චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටයේ එන සුප්‍රකට “Ghost face” නමැති ඝාතකයාගේ මෙවර ඉලක්කය සහ ඝාතකයාගේ ක්‍රියා වලින් සසල වූ මරණීය අතීතය ගැන අත්දැකීම් ඇති අයට මෙවර කුමනාකාරයේ අභියෝගයක් පැවරේවිදැ යි දැන ගැනීමට ඔබ සූදානම් ද?

2). The Black Phone

The Exorcism of Emily Rose, The Day the Earth Stood Still සහ Sinister වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් නමක් දිනාගත් ස්කොට් ඩෙරික්සන්ගේ ඊළඟ සිනමා ප්‍රයත්නය “The Black Phone” නමින් ලබන ජුනි 24 වැනිදා ප්‍රදර්ශන කටයුතු ඇරඹීමට නියමිත යි. හොලිවුඩයේ ප්‍රවීණ රංගධරයෙක් වන ඊතන් හෝක්, මෙහි ප්‍රධාන චරිතය උදෙසා දායක වෙනවා.

The Black Phone චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – bleedingcool.com 

කොලරාඩෝ ප්‍රාන්තයේ එක්තරා නගරයක් මූලික කර ගනිමින් ළමයින් පැහැර ගන්නා “ද ග්‍රැබර්” නමැති දාම ඝාතකයකු වටා මෙහි කතාව දිව යනවා. නමුත්, මෙය හුදෙක් ඝාතන රැල්ලක් ගැන කියවෙන කතාවක් නොවෙ යි. කළු පැහැති දුරකථනය නිසා චිත්‍රපටයේ කතාව තරමක් සංකීර්ණ වීම ඇරඹෙනවා. ජෝ හිල් නමැති රචකයාගේ කෙටි කතාවක් ඇසුරෙන් “The Black Phone” නිර්මාණය වී තිබෙනවා.

3). Texas Chainsaw Massacre (2022)

ත්‍රාසජනක බවින් පිරුණු “ස්ලෑෂර්” ප්‍රභේදයේ පුරාවෘත්තයක් බඳු චිත්‍රපට මාලාවක් ලෙස “The Texas Chain Saw Massacre” හැඳින්විය හැකි යි. චිත්‍රපට මාලාවේ පළමු වැන්න 1974 දී නිකුත් වූ අතර, මේ දක්වා චිත්‍රපට අටක් පමණ නිර්මාණය වී තිබෙනවා. මෑත කාලීන ව නිර්මාණය වූ ඇතැම් Texas Chain Saw චිත්‍රපට මුල් නිර්මාණ කාර්යයෙන් ව්‍යුත්පන්න වූ හෝ අතුරු කතා ලෙස නිර්මාණය වුවක්.

Texas Chainsaw Massacre (2022) – www.youtube.com 

එළඹෙන පෙබරවාරි 18 වැනිදා එළි දැක්වීමට නියමිත චිත්‍රපටය 1974 දී නිකුත් වූ සැබෑ Texas Chain Saw චිත්‍රපටය සමඟ කෙළින් ම සම්බන්ධ වෙනවා. ඒ අතර නිර්මාණය වූ සියලු අදියර නොසලකා හැර ඇති බව සඳහන්. නවත ම “The Texas Chain Saw Massacre” චිත්‍රපටය නැරඹීමට ඔබ උනන්දු වන්නේ නම් 1974 නිකුත් වූ පළමු චිත්‍රපටය නරඹා තිබීම වඩාත් සුදුසු වන්නේ ඒ නිසා යි.

4). Halloween Ends

“ස්ලෑෂර්” ප්‍රභේදයේ ත්‍රාසජනක චිත්‍රපටිවලට ඇළුම් කරන සිනමා ලෝලීන්ට කදිම වසරක් ලෙස 2022 හඳුන්වන්න පුළුවන්. නවත ම Halloween චිත්‍රපට මාලාවේ අවසාන අදියරත් මේ වසර ඇතුළත නිකුත් වීම ඊට හේතුව යි. “Halloween Ends” ලෙස නම් කර තිබෙන මෙම චිත්‍රපටය එළඹෙන ඔක්තෝබර් 14 වැනිදා නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙනවා.

 Halloween චිත්‍රපට මාලාවත් දශක කිහිපයක් ඈතට විහිදෙන විශිෂ්ට නිර්මාණයක්.එහි සාර්ථකත්වය නිසා ම Halloween නමින් චිත්‍රපට දහයකටත් වඩා මේ දක්වා නිකුත් වී තිබෙනවා. කෙසේ නමුත්, ජෙමී ලී කර්ටිස් නොමැති ව Halloween චිත්‍රපටයක් හරහා ප්‍රේක්ෂකාගාරය සතුටු කිරීම තරමක් අපහසු යි.

නවතම Halloween චිත්‍රපට මාලාවේ අවසානය මේ වසරේ දී සනිටුහන් වේවි – www.imdb.com 

Halloween රසිකයන් තවමත් 70-80 දශක අතර නිකුත් වූ Halloween චිත්‍රපටවලට සහ ජෙමී ලී කර්ටිස්ගේ රංගනයට ආදරය කරනවා.

ඩේවිඩ් ගෝර්ඩන් ග්‍රීන් විසින් අධ්‍යක්ෂණය කරන නවත ම Halloween චිත්‍රපට මාලාවට ජෙමී ලී කර්ටිස් කැඳවා ගෙන ආවේ ඒ නිසා යි. එම උත්සාහය අතිශයින් සාර්ථක වූ අතර, 1978 නිකුත් වූ පැරණි චිත්‍රපටයත් සමඟ එය සම්බන්ධ කර ඇති නිසා ඩේවිඩ් ගෝර්ඩන්ගේ Halloween චිත්‍රපටි මාලාවේ අගය තවත් වැඩි වුණා. නවත ම චිත්‍රපට මාලාවේ අදියර දෙකක් දැනට නිකුත් වී තිබෙනවා.

ජෝර්ඩන් පීල් ගේ ඊළඟ සිනමා ප්‍රයත්නය – www.filmaffinity.com 

5). Nope

 ඔබ Get Out, Us යන නිර්මාණ නරඹා ඇත්නම් ජෝර්ඩන් පීල් ගේ ඊළඟ නිර්මාණය ගැන කුතුහලයක් උපදවා ගැනීම අරුමයක් නොවෙයි. ඔහු ත්‍රාසය වෙනස් ම මානයකින් සිනමා රසිකයන් වෙත සමීප කරවන දක්ෂ නිර්මාණකරුවෙක්. එමෙන් ම, යටි පෙළින් දිවෙන ගැඹුරු සමාජ විග්‍රහයක් ඔහුගේ නිර්මාණවල අඩංගු යි. ඔහුගේ ඊළඟ නිර්මාණ කර්තව්‍යය නම් කර තිබෙන්නේ “Nope” යනුවෙන්.

තවමත් මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් එතරම් විස්තරයක් නිකුත් කර නොමැති වුවත්, “Get Out” චිත්‍රපටයට දායක වූ ඩැනියල් කලූයා “Nope” සඳහාත් දායක වීම සිනමා රසිකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවා තිබෙනවා. චිත්‍රපටය වෙනුවෙන් දැනට නිකුත් කර ඇති පූර්ව ප්‍රචාරක දැන්වීම පවා කුතුහලය අවුළුවනසුලු යි. 

Orphan චිත්‍රපටයේ එස්තර්ගේ චරිතය නිරූපණය කළ ඉසබෙල් ෆර්මන් එදා සහ අද –  www.clickthecity.com 

6). Orphan: First Kill

ඉසබෙල් ෆර්මන් රංගනයෙන් දායක වූ “Orphan” චිත්‍රපටය බොහෝ දෙනෙක් භීතියට පත් කළ ජනප්‍රිය psychological horror ගණයේ චිත්‍රපටයක්. දරුවා අහිමි වීමෙන් පසු යම් පසුබෑමකට ලක් වන විවාහක යුවළක් දරුවකු හදා වඩා ගැනීමට තීරණය කරන අතර, 9 හැවිරිදි එස්තර් නමැති දැරිය ඔවුන් ඇසුරට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. මුල දී විවාහක යුවළ එස්තර් සමඟ ආදරයෙන් බැඳුණත්, එස්තර්ගේ අසාමාන්‍ය හැසිරීම් සමඟ තත්ත්වය බැරෑරුම් වීම ඇරඹෙනවා.

මෙතෙක් නිකුත් වූ Halloween චිත්‍රපට වල කාලරේඛා විහිදී යන අන්දම – en.wikipedia.org 

වසර 13 කට පසු “Orphan” චිත්‍රපටයේ දෙවන කොටස ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිත යි. එය මුල් චිත්‍රපටයේ කතාවට පෙරාතු ව සිදු වූ සිද්ධීන් දාමයක් ලෙස (prequel) දිග හැරෙන අතර, “Orphan: First Kill” ලෙස නම් කර තිබෙනවා. එහිදී එස්තර්ගේ අඳුරු අතීතය ගැන වැඩිදුර කරුණු දැන ගැනීමට ඔබට හැකි වේවි. චිත්‍රපටය ජනවාරි 28 වැනිදා නිකුත් වීමට නියමිත බව දැනට වාර්තා වුණත්, එය නිශ්චිත දිනයක් ලෙස පැවසීමට අපහසු යි.

Jeepers Creepers: Reborn – www.filmaffinity.com 

7). Jeepers Creepers: Reborn

Jeepers Creepers චිත්‍රපට මාලාවේ පළමු වැන්න 2001 දී නිකුත් වූ අතර, මේ දක්වා අදියර තුනක් චිත්‍රපට මාලාවට ඇතුළත් වී තිබෙනවා. විචාරක පැසසුමට හෝ අවධානයට එතරම් පාත්‍ර නොවුණත්, Jeepers Creepers වටා එක් වූ යම් රසික පදනකමක් තිබෙනවා. චිත්‍රපටයේ සිව්වැනි අදියර 2022 දී එළි දැක්වෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. කෙසේ නමුත්, Jeepers Creepers: Reborn ලෙස නම් කර ඇති සිව්වැනි අදියර පෙර චිත්‍රපට ත්‍රිත්වයේ සිදුවීම් මාලාවෙන් වෙන් ව යන පුනරාරම්භක චිත්‍රපටයක් (reboot) ලෙස නිර්මාණය කර තිබෙනවා.

8). Morbius

ඩැනියල් එස්පිනොසා අධ්‍යක්ෂණය කළ “Morbius” චිත්‍රපටය, ත්‍රාසය දෙසට වැඩි නැඹුරුවක් දක්වමින් අධි මානුෂික හැකියාවක් ඇති චරිතයක් ගැන කියවෙන නිර්මාණයක්. චිත්‍රපටය අප්‍රියෙල් පළමු දා නිකුත් වීමට නියමිත අතර, මෝබියස්ගේ චරිතයට පණ පොවන්නේ ඇකඩමි සම්මානය පවා හිමිකර ගත් ජරෙඩ් ලෙටෝ.

මයිකල් මෝ’බියස් යනු දුර්ලභ ගණයේ රුධිරගත රෝගයකින් පෙළෙන විද්‍යාඥයෙක්. රෝගයෙන් සුවය ලැබීම සඳහා දරණ උත්සාහයේ දී වැම්පයර් කෙනකුගේ ලක්ෂණ ඔහු වෙතින් පහළවීම ඇරඹෙනවා. මෝබියස්ට අධි මානුෂික හැකියාවන් රැසක් ලැබුණත්, ඔහුගේ චරිතය සුපිරි වීර සහ ප්‍රතිවීර යන අන්ත දෙකේ ම දෝලනය වන ස්වභාවයක් දක්නට ලැබෙනවා.

Morbius චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – marvel-movies.fandom.com 

 

“The line between hero and villain will be broken” යන තේමා පාඨය චිත්‍රපටයට යොදා ගැනීමෙන් එම කරුණ වඩාත් ඉස්මතු වෙනවා. සුපර් හීරෝ ගණයට වැටෙන චිත්‍රපටයක් වුවත්, මෝබියස්ගේ චරිත ස්වභාවය අනුව චිත්‍රපටයට යම් Horror ස්වභාවයකුත් ලැබී තිබෙනවා.

ඉහත ලැයිස්තුවට අමතර ව Salem’s Lot, Dark harvest සහ “Evil Dead” චිත්‍රපට මාලාවේ පස් වැන්න ලෙස නිකුත් වීමට නියමිත “Evil Dead Rise” යන නිර්මාණත් අවධානයට පාත්‍ර වී තිබෙනවා. 

කවරයේ ඡායාරූපය: දශක කිහිපයක් පැරණි ත්‍රාසජනක චිත්‍රපට මාලා කිහිපයක නවතම නිර්මාණ 2022 වස‍රේ දී නිකුත් වීමට නියමිත යි - www.joblo.com

මූලාශ්‍ර:

screenrant.com

variety.com

screenrant.com

1428elm.com

Related Articles