Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆෝමියුලා වන් ලෝක ශූරතාවට ආසන්න වන වර්ස්ටාපන්

2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ ජයග්‍රහණය සඳහා රෙඩ්බුල් ධාවක නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටාපන් ඉතාමත් ම ආසන්න වී සිටිනවා. පසුගිය වසරේදී පළමු වතාවට ලෝක ශූරයා බවට පත් වූ ඔහු මේ වසරේ දී නැවත වතාවක් ලෝක ශූරතාව දිනා ගැනීමේ සූදානමින් පසු වනවා.

වර්ස්ටාපන් නෙදර්ලන්ත අදියරේ ජයග්‍රහණය සමරමින්
වර්ස්ටාපන් නෙදර්ලන්ත අදියරේ ජයග්‍රහණය සමරමින් – www.f1.com

අවසන් වතාවට පසුගියදා නිමාව දුටු නෙදර්ලන්ත අදියරේ ජයග්‍රහණය අත්කර ගැනීමට ද මැක්ස් වර්ස්ටාපන් සමත් වුණා. තමන්ගේ මවු රටේදී ම පැවති මෙම තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු ව එරට ජනතාවගෙන් ඔහුට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. කෙසේ වුවත් මේ වන විට වර්ස්ටාපන්ට අභියෝගයක් වීමට කිසිදු ධාවකයෙක් ආසන්න වී නෑ. ප්‍රසාද ලකුණු 100 කට වඩා වැඩි ගණනකින් මැක්ස් වර්ස්ටාපන් දෙවන ස්ථානයට වඩා ඉදිරියෙන් පසු වනවා.

ගිම්හාන විවේකයෙන් පසු

2022 ජූලි 31 වනදා පැවති හංගේරියානු අදියරෙන් අනතුරු ව සුපුරුදු ගිම්හාන විවේකය ලබා දීමට ෆෝමියුලා වන් සංවිධායකයන් කටයුතු කළා. අගෝස්තු මස 28 වනදා තෙක් මෙම ගිම්හාන විවේකය ක්‍රියාත්මක වුණා. ඒ වන විට පැවති අදියර 13 කින් අදියර 8 ක ම ජයග්‍රහණය මැක්ස් වර්ස්ටාපන්ට හිමි වී තිබුණා. රෙඩ්බුල් ක්‍රීඩකයාට හොඳ අභියෝගයක් එල්ල කරමින් සිටි ෆෙරාරි ක්‍රීඩක ශෝල් ලෙක්රෙක් අදියර 3 ක ජයග්‍රහණය තමන් සතු කර ගෙන දෙවන ස්ථානයට පත් ව සිටියා.

කෙසේ වෙතත් ගිම්හාන විවේකය අවසන් වී ආරම්භ වුණු පළමු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් අදියර වන බෙල්ජියම් අදියර පහසුවෙන් ජයග්‍රහණය කිරීමට මැක්ස් වර්ස්ටාපන්ට හැකියාව ලැබුණා. ගිම්හාන විවේකයට පෙර සිදු කළ වැරදීම්වලට දඬුවමක් වශයෙන් වර්ස්ටාපන් එදින තරගය 15 වන ස්ථානයේ ආරම්භ කළත් අවසානයේදී ඔහු පළමු ස්ථානයට පත් වූයේ මෙවර තරග වාරයේ දී තමන් කෙතරම් රිද්මයක සිටිනවා ද යන්න ඔප්පු කරමින්.

ගිම්හාන විවේකයෙන් පසුව ආරම්භ වූ බෙල්ජියම් අදියරේ තරඟ වදින ධාවකයෝ
ගිම්හාන විවේකයෙන් පසුව ආරම්භ වූ බෙල්ජියම් අදියරේ තරග වදින ධාවකයෝ – www.f1.com

ඉන් අනතුරු ව පැවති නෙදර්ලන්ත අදියරේදීත් වර්ස්ටාපන් පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. එය ඔහු පිට පිට ම ජයග්‍රහණය කළ සිව්වන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් අදියර මෙන් ම මෙවර තරග වාරයේ දී ජයග්‍රහණය කළ 10 වන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් අදියර ලෙසින් ද සටහන් වුණා. මේ වන විට පැවති අදියර 15 කින් 10ක් ම මැක්ස් වර්ස්ටාපන් ජයග්‍රහණය කොට තිබීමත් විශේෂත්වයක්.

ෆෙරාරි අඩුපාඩු

2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ ආරම්භයේ පටන් ම රෙඩ්බුල් කණ්ඩායමට විශාල අභියෝගයක් ෆෙරාරි කණ්ඩායමෙන් එල්ල වුණා. මුල් අදියර 6ක් පමණ අවසන් වන තුරුත් කණ්ඩායම් ශූරතාවේ මුල් ස්ථානය ෆෙරාරි කණ්ඩායමට හිමි ව තිබූ අතර ම පළමු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් 3 න් 2 ක ජයග්‍රහණය ද ෆෙරාරි ධාවක ශෝල් ලෙක්රෙක්ට හිමි වුණා. එතැන් පටන් ෆෙරාරි කණ්ඩායම ගත කළේ හොඳ සමයක් නොවේ.

ඔවුන්ගේ මෝටර් රථයේ සිදු වූ විවිධ අඩුපාඩු නිසා ඇතැම් තරග නිමා කිරීමට ධාවකයන්ට හැකියාව ලැබුණේ නෑ. ෆෙරාරි ප්‍රධාන ධාවක ශෝල් ලෙක්රෙක්ට මේ හේතු නිසා මඟ හැරී ගිය අදියර ගණන 3ක්. මෝටර් රථයේ Power Unit ආශ්‍රිත ව ඇති වූ ප්‍රශ්න නිසා ඔවුන්ගේ අනෙක් ධාවකයා වූ කාලෝස් සයින්ස්ගේ රථය එක් වතාවක් ගිනි ගැනීමකට පවා ලක් වුණා. මේ ආකාරයෙන් විවිධ දෝෂ නිසා ඔවුන්ගේ ධාවකයන් දෙදෙනා ම අතිශය අසීරුතාවට පත් වුණා.

ඔස්ට්‍රියානු අදියරේදී කාලෝස් සයින්ස්ගේ මෝටර් ‍රථය ගිනි ගැනීමට ලක් වූ අවස්ථාව
ඔස්ට්‍රියානු අදියරේදී කාලෝස් සයින්ස්ගේ මෝටර් ‍රථය ගිනි ගැනීමට ලක් වූ අවස්ථාව- www.scuderiafans.com

ශෝල් ලෙක්රෙක් සහ කාලෝස් සයින්ස් දෙපළ පිළිවෙළින් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ජයග්‍රහණ 3ක් සහ 1ක් වශයෙන් 4ක් වාර්තා කිරීමට 2022 වසරේ දී සමත් ව තිබෙනවා. ෆෙරාරි කණ්ඩායමේ අඩුපාඩු නොවන්නට ඔවුන්ට මීට වඩා ජයග්‍රහණ හිමි වන්නට ඉඩ තිබූ බවට බොහෝ විචාරකයන්ගේ මතය වුණා. අවසන් වූ නෙදර්ලන්ත අදියරේදීත් කාලෝස් සයින්ස්ගේ ටයර් මාරු කිරීමේ දී ඇති වූ ප්‍රමාද දෝෂයක් නිසා ඔහුට 8 වන ස්ථානය දක්වා පසු බැසීමට සිදු වුණා. මේ ආකාරයෙන් ෆෙරාරි කණ්ඩායම සෑම තරගයක ම අත් වැරැද්දක් සිදු කිරීම රෙඩ්බුල් ජයග්‍රහණය තවදුරටත් පහසු කරමින් තිබෙනවා.

ජයග්‍රහණයට ආසන්න වෙමින්

ධාවකයන් 20 දෙනෙක් අතරින් මේ වන විටත් ප්‍රසාද ලකුණු 310ක් සමඟ මැක්ස් වර්ස්ටාපන් ලෝක ශූරතාවට වඩාත් ආසන්න වී සිටිනවා. දෙවන ස්ථානයේ පසුවන ෆෙරාරි ධාවක ශෝල් ලෙක්රෙක් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 201ක්. තුන්වන ස්ථානයේ පසු වන අනෙක් රෙඩ්බුල් ධාවක සර්ජියෝ පෙරෙස් ද ප්‍රසාද ලකුණු 201ක් ලබා ගෙන සිටිනවා.

මැක්ස් වර්ස්ටාපන් සහ ශෝල් ලෙක්රෙක්
මැක්ස් වර්ස්ටාපන් සහ ශෝල් ලෙක්රෙක් – www.crash.net

සිව් වන ස්ථානයට පත් ව සිටිනා මර්සිඩීස් ක්‍රීඩක ජෝර්ජ් රසල්ට ප්‍රසාද ලකුණු 188ක් සහ පස්වන ස්ථානයේ සිටිනා ෆෙරාරි ක්‍රීඩක කාලෝස් සයින්ස්ට ප්‍රසාද ලකුණු 175ක් හිමි ව තිබෙනවා. 7 වතාවක් ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනූ ලුවිස් හැමිල්ටන් මෙවර 6 වන ස්ථානයට පත් ව තිබෙන්නේ ප්‍රසාද ලකුණු 158ක් දිනා ගනිමින්. වෙනත් කිසිදු ක්‍රීඩකයකුට ප්‍රසාද ලකුණු 100 සීමාවට ළඟා වීමට හැකියාව ලැබී නෑ.

කණ්ඩායම් ශූරතාවයේ ද ජයග්‍රහණය අබියස සිටිනා රෙඩ්බුල් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 511 ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පත් ව තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන ෆෙරාරි කණ්ඩායමට හිමි ව තිබෙන්නේ ප්‍රසාද ලකුණු 376ක් පමණ යි. දෙවන ස්ථානය දිනා ගැනීමට විශාල තරගයක් ලබා දෙන පසුගිය වර ශූරයන් මෙන් ම 8 වතාවක් පිට පිට ම ලෝක ශූරතාව දිනා සිටිනා මර්සිඩීස් කණ්ඩායම ලකුණු 346ක් සමඟ තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

7 වතාවක් ලෝක ශූරයා බවට පත්ව සිටිනා ලුවිස් හැමිල්ටන් මෙවර 6 වන ස්ථානයට පත්ව තිබෙනවා
7 වතාවක් ලෝක ශූරයා බවට පත්ව සිටිනා ලුවිස් හැමිල්ටන් මෙවර 6 වන ස්ථානයට පත් ව තිබෙනවා – www.skysports.com

ලකුණු 125ක් ලබා සිටිනා ඇල්පීන් කණ්ඩායම සිව්වන ස්ථානයේත්, ලකුණු 101ක් ලබා ගෙන මැක්ලරන් කණ්ඩායම පස්වන ස්ථානයේත් පසු වනවා. කණ්ඩායම් ශූරතාවේ ප්‍රසාද ලකුණු 100 ඉක්මවා යෑමට සමත් ව තිබෙන්නේ ඉහත කණ්ඩායම් 5 පමණ යි.

ජයග්‍රහණයන් රෙඩ්බුල්ට සහ ෆෙරාරිට පමණයි

මෙතෙක් 2022 වසරේ ෆෝමියුලා වන් ලෝක ශූරතාව යටතේ පැවැත්වූ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් අදියර ගණන 15ක්. මෙම අදියර 15 ම ජයග්‍රහණ රෙඩ්බුල් සහ ෆෙරාරි කණ්ඩායම් දෙක අතරේ පමණක් බෙදී යාම සුවිශේෂී කාරණයක් බවට පත් ව තිබෙනවා. මින් අදියර 10 ක ම ජයග්‍රහණය හිමි වුණේ රෙඩ්බුල් ධාවක මැක්ස් වර්ස්ටාපන්ට යි.

 රෙඩ්බුල් ධාවක සර්ජියෝ පෙරෙස් ද එක අදියරක් ජයග්‍රහණය කළා. ෆෙරාරි ධාවක ශෝල් ලෙක්රෙක්ට අදියර 3 ක සහ ෆෙරාරි ධාවක කාලෝස් සයින්ස්ට තවත් එක් අදියරක ජයග්‍රහණය හිමි ව තිබෙනවා. ඒ අනුව සමස්යතක් වශයෙන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ජයග්‍රහණ 11ක් රෙඩ්බුල්ට සහ 4ක් ෆෙරාරිට හිමි වුණා.

රෙඩ්බුල් ධාවකයන් දෙපළ වන මැක්ස් වර්ස්ටාපන් සහ සර්ජියෝ පෙරෙස්
රෙඩ්බුල් ධාවකයන් දෙපළ වන මැක්ස් වර්ස්ටාපන් සහ සර්ජියෝ පෙරෙස්- www.autoevolution.com

මේ වසරේ ලෝක ශූරතාව සඳහා තවත් අදියර 8ක් ඉතිරි ව තිබුණ ද යුදමය ගැටලු නිසා රුසියානු අදියර නවතා දැමීමට කටයුතු කෙරුණා. ඒ නිසා මේ වසරේ ලෝක ශූරතාව සඳහා තවත් ඉතිරි ව තිබෙන්නේ අදියර 7ක් පමණ යි. එම ග්‍රෑන්ඩ් ප්‍රික්ස්වලින් දෙකක ජයග්‍රහණය තහවුරු කර ගැනීම පමණක් මැක්ස් වර්ස්ටාපන්ට පිට පිට ම දෙවන වරටත් ලෝක ශූරයා වීමට ප්‍රමාණවත් වනවා. මේ නිසාවෙන් මෙවර ෆෝමියුලා වන් ලෝක ශූරයා වීමට ඔහු ඉතාමත් ම ආසන්න වී සිටිනවා යැයි ප්‍රකාශ කිරීම වඩාත් නිවැරදි යි.

කවරයේ ඡායාරූපය - www.racefans.net
 මූලාශ්‍ර :

www.formula1.com

www.motorsports.com

www.autosports.com

Related Articles