අදටත්, ආනන්ද කුමාරස්වාමි කියන නම අපේ පොඩි දරුවන් පවා දන්නවා. චිත්‍ර කලාව අධ්‍යයනය කරන අය වගේම අපේ සංස්කෘතිය ගැන උනන්දු කාටත් කුමාරස්වාමි අමුත්තෙක් නෙවෙයි. බොහෝ සුද්දන් අපේ ගැමි චිත්‍ර ශිල්ප, අත්කම් ගැන බාල විදිහට හිතද්දී ඒ ගැන ලෝකයට පවසා සිටියේ කුමාරස්වාමි. ඒ නිසාම අපේ කොළඹ 7 පාරකුත් ආනන්ද කුමාරස්වාමි නමින් තිබෙනවා. මේ නම පසුගිය කාලයේ කුමාරස්වාමි ගැන හාංකවිසියක් නොදත් දේශපාලනඥයන් වෙනස් කළත් ජනතා ඉල්ලීම මත නැවතත් පාරට ඒ නම දැමීමට සිදුවුණා.
විද්වතෙකු උපත ලබයි
ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි උපත ලද්දේ ධනවත් පවුලක බොහෝ සැපසම්පත් මැද යි. ඒ 1877 අගෝස්තු 22 දා කොල්ලුපිටියේ දී යි. ඔහුගේ පියා දෙමළ වාර්ගික හින්දු ආගමික ශ්‍රීමත් මුතු කුමාරස්වාමි වන අතර, මව මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවක් වන එලිසබෙත් ක්ලේ බිබී යි. මුතු කුමාරස්වාමි නීතිඥවරයෙක්.
ආනන්ද උපත ලබා අවුරුදු දෙකකින් පියා මියගියා. මූලික අධ්‍යාපනය ලංකාවේ දී ලැබූ කුමාරස්වාමි, දොළොස්වැනි වියේ දී එංගලන්තයට නැව් නැග වයික්ලිෆ් විද්‍යාලයට ඇතුළු වී ඉගෙන ගත්තා. ඔහු විද්‍යාලයේ ශිෂ්‍ය නායකයා බවට ද පත්වුණා. එතැනින් ලන්ඩන් සරසවියට පිවිස, 1900 දී භූගර්භ විද්‍යාව හා උද්භිද විද්‍යාවෙන් විද්‍යාවේදී උපාධිය ලබාගත්තේ ප‍්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව යි. 1903 දී ඔහු ලන්ඩන් සරසවියේ සම්පත්දායක සාමාජිකයකු බවටත් පත්වුණා.
ලංකාවට නැව් නගී
1903 දී කුමාස්වාමි සිය මව්බිමට පැමිණියේ ඛණිජ විද්‍යා පරීක්ෂණාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමක් ලබමින්. විසි හැවිරිදි තරුණ කුමාරස්වාමි තුළ ලක්බිමේ ඛණිජ වර්ග ගැන වූයේ සුවිශේෂී කුතුහලයක්. ඔහු පාගමනින් මෙන්ම කරත්තවලින් ද රට පුරා සංචාරය කරමින් ඛණිජ ගැන පර්යේෂණ කළා.
කුමාරස්වාමි ඒ අතරම උඩරට සහ සබරගමු පළාතේ හා තවත් පළාත්වල ගම්මානවල ජන ජීවිතය, සිරිත් විරිත් ඇතුළු විවිධ ජනශ‍්‍රැතීන් අධ්‍යයනය කළා පාරම්පරික කලාකරුවන් හමුවී කතාබහ කළා. පන්සල්වල රස්තියාදු වෙමින් හාමුරුවරු සමග සාකච්ඡා කළා. අපේ ජනශ්‍රැති, ගැමිකලාවලට නිගා කොට බැහැර කළ අයට ද දැනගනු සඳහා ශාස්ත‍්‍රීය ලේඛන සම්පාදනය කොට, ඒවා රාජකීය ආසියාතික සමිතියේ ශාස්ත‍්‍රීය සඟරාවෙත්, බටහිර රටවල පළවූ පුවත්පත් සඟරා ආදියේත් පළ කළා.
කුමාරස්වාමි ලංකාවේ සමාජ ප්‍රතිසංස්කරණ ආයතනය පිහිටවූයේ 1905 දී යි. එම සංගමයෙන් “ලංකා ජාතික විවේචන” නම් සගරාවක් ද පළ කළා. එහි සංස්කාරක වූයෙත් කුමාරස්වාමි යි. මිෂනාරී අධ්‍යාපනයට මුල් තැනක් ලැබුණු එකල දේශීය අධ්‍යාපනය ස්වභාෂාවෙන් ලබාදිය යුතු බවට ලිපි මෙන්ම, උඩරට කලාශිල්පවල වැදගත්කම ගැනත් ලිපි ලේඛන එහි නිතර පළ වුණා.
ආනන්ද කුමාරස්වාමී ශ‍්‍රී ලංකාවේ විසුවේ ඉතා කෙටි කාලයක් වුණත් ඔහු කළ වැඩ ගොඩ යි. ඒ කාලය තුළ ඔහු පිටිසර ගම්මානවල සැරිසරමින් ඔවුන්ගේ සංස්කෘතිය ගැඹුරු ලෙස අධ්‍යයනය කළා. බටහිර ක‍්‍රමයේ අධ්‍යාපනය නිසා උගත්කම්ලත් නාගරික මධ්‍යම පන්තියට වඩා වැඩි අගයක් ඔහු ශ‍්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනය නොලත් එහෙත් පාරම්පරික සංස්කෘතියෙන් හික්මුණූ ගැමි ජනතාව තුළ දුටුවා. ඔහු කතා කළේ නූතන බටහිර ඌරුවේ අධ්‍යාපන ක‍්‍රම විවේචනය කරමින්.
ඛණිජ පර්යේෂණවල නිරත වීමේ දී කුමාරස්වාමිට සහාය වූයේ ඒ. ජේ. පාර්සන්ස්. ඔහු ඛණිජ ගැන ශාස්ත්‍රීය ලිපි 20ක් පමණ ඉංග්‍රීසි සගරාවලට ලිව්වා. ඔහුගේ බිරියක් වූ ඩොනා ලුසියා කුමාරස්වාමි පසුකලෙක තම සැමියා ගැන සදහන් කරන්නේ මෙලෙස යි:
ලංකාවේ සහ ඉන්දියාවේ සංස්කෘතින් කෙරෙහි යුරෝපීය ශිෂ්ටාචාරයේ විනාශකාරී බලපැවැත්ම ඔහු නිරීක්ෂණය කළා. ඒ ගැන ඔහු ලිපි ලිවුවා. සමාජීය හා දේශපාලන කටයුතුවල නිරත වුණා. මේ රටවල ජාතික පුනරුත්ථාපනයට ඔහු උදඋද්යෝගයෙන් සහභාගී වුණා. එයට හේතුව මේ රටවල සමාජීය හා ආර්ථික තත්ත්ව කෙරෙහි දැක්වූ බලවත් සැලකිල්ල යි.
(ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කලා ශිල්ප, ආනන්ද කුමාරස්වාමි – හැඳින්වීම)
භාෂා 13ක් දත් බුද්ධිමතා
ඉංග්රීසි, ප්‍රංස, ලතින්, ග්‍රීක්, සංස්කෘත හා පාලි භාෂාවන්හි හසල දැනුමක් කුමාරස්වාමි සතු වුණා. සිංහල, දෙමළ, හින්දි, පර්සියන්, ඉතාලි, ස්පාඤ්ඤ හා ඕලන්ද භාෂා පිළිබඳ යම් දැනුමකින් ද ඔහු සන්නද්ධ වුණා. ඔහුට ඒ නිසා ඒ ඒ සංස්කෘතීන් ඒවාට අදාළ භාෂා – සංස්කෘතීන් තුළම බහා කියැවීමට අවස්ථාව ලැබුණා. ඔහුට එහිදී ඒ කිසිවක් තවෙකකුට සාපේක්ෂව ශ්‍රේෂ්ඨ සේ පෙනුණේ නැහැ. එහෙත් ඒ ඒ සංස්කෘතීන් තුළ ඇති ආවේණික සංස්කෘතික ආම්පන්න එම ජාතියේ පැවැත්මට අත්‍යඅවශ්‍ය බව ඔහු දුටුවා. ඔහුට ඒ හැකියාව ලැබුණේ පුහු මාන්නක්කාරකම් නොමැති හිසකින් අනෙකුත් භාෂාවන්ට, සංස්කෘතීන්ට ගරු කළ හැකි වූ නිසයි.
ඉන්දීය මෙන්ම සිංහල ගැමි දිවි පෙවෙත, ආගම දහම, කලා ශිල්ප, ඇදහිලි, සාරධර්ම සියල්ල ඔහු ගැඹුරු ලෙස අධ්‍යයනය කළා. ‘ඉන්දීය හා ඉන්දුනීසියානු කලා ඉතිහාසය’ කෘතියේ දී පකිස්තානය, නේපාලය, ටිබෙට්, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ජාවා, සුමත්‍රා, වියට්නාමය වැනි රටවල කලා ශිල්පයන්ගේ අනන්‍යතා ස්වදේශිකයාට සොයා දෙමින් බටහිරට ඒ ජාතීන්ගේ අනන්‍යතා තහවුරු කොට දුන්නා. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කලා හා ශිල්ප පොතෙන් බෞද්ධ, හින්දු, දෙමළ කලා ශිල්ප මෙන්ම මූගල් කලා ශිල්පවල විශිෂ්ට ලක්ෂණත් දුටුවා.
ඉන්දියාවට යයි
1906 දී ලන්ඩන් ආචාර්ය උපාධිය ලබාගත් කුමාරස්වාමි ලංකාවේ සිය තනතුරෙන් අස්වී ඉන්දියාවට ගොස් භාරත සාහිත්‍යය සහ කලාව හැදෑරුවා. 1911 දී එංගලන්තයේ දී ලන්ඩන් රාජකීය ඉන්දියානු සංගමය පිහිටුවීමට ද පුරෝගාමී වුණේ කුමාරස්වාමියි. ඉන්දියාවේ සිටිය දී ඔහු කෞතුක වස්තු රාශියක් එක්රැස් කළා. ඒවා තැන්පත් කිරීමට තැනක් තිබුණේ නැහැ. අමෙරිකාවේ බොස්ටන් ලලිත කලා කෞතුකාගාරපේ පාලකවරු කුමාරස්වාමිගේ ඉල්ලීම ගැන සලකා බලා ඒවා තැන්පත් කිරීමට සුවිශාල මන්දිරයක් ලබාදුන් අතර එහි පාලක බවට ද ඔහු පත්කළා.
1917 දී ඇමරිකා එක්සත් ජනපදයට යන ඔහු බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ ඉන්දියානු පර්සියානු සහ මුස්ලිම් කලා අංශ භරකාරු ලෙස පත්වුණා. ඔහු 1947 මියයන තෙක් වාසය කළේ එක්සත් ජනපදයේ බොස්ටන්වල යි.
ආනන්ද කුමාරස්වාමි විවිධ මාතෘකා යටතේ ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ජර්මන් යන භෘෂාවලින් ලියූ පොත් හා ලිපි සංඛ්‍යාව 500 ඉක්මවා යනවා. බුදුදහම හා හින්දු දහම ම්ලේච්ඡයන්ගේ ඇදහීමක්, පිළිම වන්දනා, වෘක්ෂ වන්දනා ආදී ලෙසින් වරදවා වටහාගත් බටහිර රටවල විද්වතුන් ඔහු ලියූ පොත් පත්, ලිපි ලේඛන නිසා සත්‍යය වටහා ගත්තා. ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කිරීමට පෙළඹුණා.
මධ්‍යකාලීන සිංහල කලා
ඔහු ලියූ පොත් අතරින් අප රටට වඩාත් වැදගත් පොත ‘Medieval Sinhalese Art (මධ්‍යකාලීන සිංහල කලා) යි. එය ලිව්වේ 1918 දී යි. අදටත් උඩරට යුගයේ බිතුසිතුවම් සහ කලා ශිල්ප පිළිබදව ඇති හොදම කෘතිය එය යි. ලංකාවේ පාසල්, විශ්වවිද්‍යාලයයන් මෙන්ම පශ්චාත් උපාධි පර්යේෂකයන් ද මේ පොත කියවනවා. සුද්දන් අනුරාධපුරයේ මහා නටබුන් දෙස උනන්දුවෙන් බලද්දී කවුරුත් උනන්දු නොවූ මහනුවර යුගයේ කුඩා විහාර මෙන්ම ඇත්දත් කැටයම්, පිත්තල කලාත්මක නිර්මාණ, දැව කැටයම් හා කර්මාන්ත, ලාක්ෂා කලාව, රන් රිදී ආභරණ මෝස්තර ආදී දේශීය පාරම්පරික කලා ශීල්ප ඔහු එම කෘතියෙන් සවිස්තරව විචාරය කොට තිබෙනවා. ඔහු ගම්මානවල ඇවිදිමින් පාරම්පාරික කලා ශිල්පීන් හමුවෙමින් විස්තර ලබාගනිමින් මේ පොත රචනා කර තිබෙනවා. දේවාලවල බස්නායක නිලමේවරු, ඇම්බැක්කේ දේවසුරේන්ද්‍ර මුහන්දිරම්, මල්වත්තේ හා පිටිසර පන්සල්වල භික්ෂුන් වහන්සේලා ඇතුළු බොහෝ දෙනෙකුට ඔහු පොතේ පෙරවදනේ ස්තුති කර තිබෙනවා. ලංකාවේ කලා ශිල්ප සහ බිතුසිතුවම් ඡායාරූපයට නැගීමට කුමාරස්වාමි සමග උඩරට ගම්මානවල සංචාරය කළේ ඔහුගේ පළමු බිරිය වූ ඉංග්‍රිසි ජාතික එතල් මැරියට්.
ඔහු ඒ ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවේ දක්වන පරිදි එම කෘතිය ලිවීමේ අරමුණ වී ඇත්තේ ගැමි සංස්කෘතිය ඉහළට නංවාලීමටයි:
‘මෙය ලියන ලද්දේ සිංහල ජනතාව මෙකල අවබෝධ කරගැනීමට අකමැති කාල පරිච්ඡේදයක සිහිවටනයක් වශයෙන් ඔවුන් උදෙසා ම ය. එක් අතකින් ශත වර්ෂයක් විදේශීය ආධිපත්‍යයට යටත් ව විසීමෙන් හා ජාතික සංස්කෘතිය නොසලකා හරින ලද අධ්‍යාපනයක් ලැබීමෙන් ද, අනික් අතින් එපමණ ම කාලයක් නිවට නියාලු ලෙස පරසිරිත් අනුකරණය කිරීමෙන් ද තමන් දිනා ගත් ජීවන කලාව සම්බන්ධයෙන් වර්තමාන උගත් සිංහලයාට ආඩම්බර වීමට කිසිදු හේතුවක් නැත. එසේ වුව ද, සිහල ජනතාවගේ ජාතික ජීවන ක්‍රමයේ නියම පුනරුත්ථාපනය හා නවජීවනය ලබා ගත හැක්කේ මේ අතීතය හා භාරතයේ අතීතය පිළිබඳ විශිෂ්ටාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට දරන ලද ප්‍රයත්නයෙන් පමණි. එසේ හෙයින් මේ අතීතය වටහා ගැනීම් වස් සහාය වීම මේ පොත ලිවීමේ පරමාර්ථය යි.’
(ආනන්ද කුමාරස්වාමි, මධ්‍යකාලීන සිංහල කලා, ප්‍රස්තාවනාව).
පුරාණ ශිල්ප කලා පුස්කොළ පොත් කිහිපයක්ම ඔහු ඒ පොතට ඇතුළත් කරනවා. විත්‍ර සහ ඡායාරූප රාශියකින් ද යුක්තයි. අද සමහර බිතුසිතුවම් අපට දැකගත හැක්කේ ඔහුගේ පොතේ කළුසුදු පින්තූර වශයෙන් පමණ යි.
වනසන කලාව රැකගැනීමට උත්සාහයක්
බෞද්ධයන් විසින්ම පුරාණ බෞද්ධ පන්සල් හා දේවාල විනාශ කරන ආකාරය අදත් දකින්න ලැබෙනවා. කුමාරස්වාමි 1900 ආසන්න කාලයේ මෙය සුලබව සිදුවනු දුටුවා. ඔහු පන්සල්වල දායකයන් සහ ප්‍රභූන් විසින් උඩරට පුරාණ ගොඩනැගිලි සහ විහාර නවීකරණය කිරීම දෙස බැලුවේ කම්පාවකින්. ඔහු උඩරට රදළවරුන්ට විවෘත සංදේශයක් නම් ලිපියක් 1905 පෙබරවාරි 17 ඔබ්සර්වර් පත‍්‍රයට ලියමින් විනාශයේ බරපතළකම අවබෝධ කරවීමට උත්සාහ කළා:
උඩරට පැරණි ගොඩනැගිලිවලට ළඟ දී කරන ලද ප්‍රතිසංස්කරණවැඩ සහ වෙනස් කිරීම්වල දී දක්වා තිබෙන අදක්ෂතාව ඇත්තෙන්ම ඛේදජනක ය. විශේෂයෙන් කනගාටුදායක කරුණ නම් කලාත්මක ඓතිහාසික ගොඩනැගිලිවලට කිසි අවශ්‍යතාවයක් නැතිව කරන අලුත් සැරසිලි සහ ප්‍රතිසංස්කරණ ඒවායේ විනාශයට හේතුවීම යි. මේවා නැවත ඉදිකළ හැකි ඒවා නොවේ. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණවලදී අගනා ඓතිහාසික දෑ මකා දැමීමක් සිදුවේ.
බිරින්දෑවරු හතරයි
ඔහු ශාස්ත්‍රවන්තයකු මෙන්ම බිරින්දෑවරු හතරදෙනෙක් හා විවාහ වූ කෙනෙක් ද වුණා. මුලින්ම විවාහය සිදුවන්නේ 1902 දී ඉංග්‍රීසි ජාතික එතල් මැරියට් සමග. ඇය පසුකලෙක අත්යන්ත්‍ර ඇඟලුම් සැලසුම් ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධ වුණා. 1913 දී එම විවාහය බිඳ වැටෙනවා. ඔහුගෙ දෙවැනි බිරිය ඉන්දියානු ජාතික සංගීත ශිල්පිනියක වන රතන් දේවි. ඇය සමග 1922 දක්වා විවාහ ජීවිතය ගතකරන කුමාරස්වාමි 1922 දී ස්ටෙලා බ්ලොක් නම් අමෙරිකානු චිත්‍ර ශිල්පිනිය විවාහ කර ගන්නවා. ඇය සමග අවුරුදු අටක් පවුල් කෑමෙන් පසු 1930 දී ඔහු සමග විවාහයට එක්වන්නේ ආර්ජන්ටිනා ජාතික කාන්තාවක වන ඩොනා ලුසියා යි. කුමාරස්වාමි මිය යන තෙක් ඇය සමග ජීවත් වී තිබෙනවා.