Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දියවැඩියාව පරදා ක්‍රිකට් ලොව ජය ගත් වසීම් අක්‍රම්

පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුපිරි ක්‍රිකට් තරු අතුරින් වසීම් අක්‍රම්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ ඔහු 1992 දී ක්‍රිකට් එක්දින ලෝක කුසලානය සිය රටට දිනා දීමට පන්දුවෙන් දැක්වූ අති විශිෂ්ට දස්කම් නිසා යි. එම ලෝක කුසලාන තරගාවලිය පුරාවට කඩුලු 18ක් දවාගත් මෙම සුපිරි වමත් වේගපන්දු යවන්නා තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා.

 එංගලන්තයට එරෙහිව එදා පැවති අවසන් තරගයේ දී පිත්තෙන් ලකුණු 33ක් ලබා ගෙන පන්දුවෙන් කඩුලු 3ක් බිඳ දැමූ මෙම සුපිරි තරුව තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසීම් අක්‍රම් නාමය පාකිස්තාන ක්‍රිකට් වංශ කතාව තුළ රන් අකුරින් ලිය වුණා. 

වසීම් අක්‍රම් 1992 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව  – gettyimages.com

 

 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සුපිරි දස්කම් දක්වමින් සිය රටට ජයග්‍රහණ රැසක් ලබා දුන් අක්‍රම් 1997 නොවැම්බර් මාසයේ දී බලාපොරොත්තු නොවුණු ආකාරයේ ගැටලුවකට මුහුණ දුන්නා. එහි දී  ඔහු දියවැඩියා රෝගියකු බව වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වුණා. ඒ සමඟ ම අක්‍රම්ගේ ක්‍රිකට් දිවිය අවසන් වනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා.

එදා  සිය රෝගී තත්ත්වය හමුවේ නොසැලුණු අක්‍රම් ක්‍රිකට් ක්‍රීඩාවේ මනා කැපවීමකින් අඛණ්ඩ ව නිරත වුණා. එනිසා ඔහුට එක්දින කඩුලු 500ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වෙමින් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට හැකි වුණා. මෙතැන් සිට ඔබට කියන්නේ දියවැඩියාවට අභියෝග කළ එම සුපිරි ක්‍රිකට් තරුවගේ කතාව යි.

වසීම් අක්‍රම් පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

ක්‍රිකට් ජීවිතය වෙනස් කළ පුහුණු කඳවුර 

1984 ඔක්තෝබර් මාසයේ දී, පාකිස්තානයේ ලාහෝර් නුවර දී ක්‍රිකට් පුහුණු කඳවුරක් පැවැත්වුණා. ඒ සඳහා වසීම් අක්‍රම් නම් තරුණයා ද සහභාගි වුණා. ඔහු ඒ වන විට 18 හැවිරිදි වියේ පසුවුණා. එම පුහුණු කඳවුර සඳහා තරුණ ක්‍රීඩකයන් රැසක් සහභාගි වී සිටියා. ඒ වාගේ ම පාකිස්තානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් විටින් විට එහි පැමිණියා.

වේගපන්දු යවන්නෙකු ලෙසින් පුහුණු කඳවුරට එක් වුණු අක්‍රම්ට මුල් දින හතරේ දී එක ම එක පන්දුවක්වත් යැවීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. එනිසා අක්‍රම් දැඩි ලෙස කනස්සල්ලට පත් ව සිටියා. තමන්ටපුහුණු කඳවුරට යළි  යාමට අවශ්‍යතාවක් නැති බව අක්‍රම් සිය පුහුණුකරුවා හමුවේ පවසා සිටියා. එම අවස්ථාවේ  අක්‍රම්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවූ පුහුණුකරුවා ඉන් නොනැවතී පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියාට ද කතා කළා.

වසීම් අක්‍රම් තරුණ කාලයේ දී – gettyimages.com

 

පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළ සදාත් අලී සිය මිතුරාගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පුහුණු කඳවුරේ පස්වන දිනයේ සවස් යාමයේ දී අක්‍රම් අතට පන්දුව ලැබුණා. ඒ වන විට පන්දුව සෑහෙන දුරට පරණ වී තිබුණා. ඉන් නොසැලුණු අක්‍රම් පරණ පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් වුණා.

එම දස්කම් දුටු සදාත් අලී අක්‍රම් පිළිබඳ විශාල පැහැදීමක් ඇති කර ගත්තා. එවකට පාකිස්තාන  කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවකු  බවට පත්ව සිටි ජාවෙඩ් මියැන්ඩාඩ් පුහුණු කඳවුරේ අවසන් දිනය සඳහා සහභාගි වුණා. එදා අක්‍රම් අසලට ගිය සදාත් අලී ඔහුට නව පන්දුවක් ලබා දී මියැන්ඩාඩ්ට එරෙහි ව පන්දු යවන මෙන් පවසා සිටියා. 

ජාවෙඩ් මියැන්ඩාඩ් සහ වසීම් අක්‍රම් – gettyimages.com

 

එය අක්‍රම් කිසිසේත් ම බලාපොරොත්තු වුණු දෙයක් නොවෙයි. මියැන්ඩාඩ් ඒ වන විට අක්‍රම්ගේ ක්‍රිකට් ලොවේ වීරයකු බවට පත්ව සිටියා. එනිසා මියැන්ඩාඩ්ට එරෙහි ව පන්දු යැවීමට අවස්ථාව හිමි වීම අක්‍රම්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සිදුවීමක් බවට පත්වුණා. එදා මියැන්ඩාඩ් හමුවේ විදුලි වේගයෙන් පන්දු යැවූ අක්‍රම් එහි සිටි සියලු දෙනාගේ ම අවධානය දිනා ගත්තා. එම පන්දුවල තිබුණු දෝලනය දැක මියැන්ඩාඩ් පවා මවිතයට පත්වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊට දින කිහිපයකට පසුව පැවති පුහුණු තරගයකට අක්‍රම් කැඳවීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කළා. නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවති එම තරගයේ දී සුපිරි පන්දු යැවීමක නිරත වුණු අක්‍රම් පළමු ඉනිමේ දී ලකුණු 50කට කඩුලු 7කුත් දෙවන ඉනිමේ දී ලකුණු 54කට කඩුලු 2කුත් දවා ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අක්‍රම්ට පාකිස්තාන ජාතික කණ්ඩායමේ දොරගුළු විවර වුණා.

දක්ෂ වේගපන්දු යවන්නකු වීමේ ලක්ෂණ පෙන්වීම 

නවසීලන්ත-පාකිස්තානු එක්දින තරගාවලියේ දී (1984) අක්‍රම් එක්දින වරම් දිනා ගත්තා. සිය මංගල තරගයේ දී අක්‍රම්ට කඩුලු දවා ගැනීමට හැකිවුණේ නැහැ. 1985 ජනවාරියේ දී අක්‍රම් සිය මුල් ම විදෙස් තරග සංචාරය ලෙසින් නවසීලන්තය බලා පිටත් ව ගියා. එම තරග සංචාරය යටතේ ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී අක්‍රම් ටෙස්ට් වරම් දිනා ගත්තා. එහි දී ඔහු නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු 2ක් ලකුණු 105කට දවා ගත්තා. 

ක්‍රිකට් දිවියේ මුල් අවධියේ දී – gettyimages.com

මංගල ටෙස්ට් තරගයේ දී එතරම් සාර්ථක නොවුණත් ඩනිඩීන් හි පැවති තෙවන ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අක්‍රම්ට හිමි වුණා. එදා සිය හැකියා ලොවට ම පෙන්වූ අක්‍රම් පළමු ඉනිමේ දී ලකුණු 56කට කඩුලු 5ක් දවා ගෙන ඉන් නොනැවතී දෙවන ඉනිමේ දී ලකුණු 72කට කඩුලු 5ක් ද දවාගෙන සුපිරි පන්දු යැවීමක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අක්‍රම්ට තරගයේ වීරයා සම්මානය ද හිමි වුණා.

නවසීලන්ත සංචාරයෙන් පසුව ඕස්ට්‍රේලියාව බලා ගිය පාකිස්තාන කණ්ඩායම බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා තරගාවලිය සඳහා සහභාගි වුණා. ඒ සඳහා ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් සහභාගි වුණා. එම තරගාවලිය යටතේ පැවති 5 වන තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය උරෙනුර ගැටුණා.

ඒ වන විට එක්දින තරග 3කට ක්‍රීඩා කර කිසිදු කඩුල්ලක් නොලබා සිටි අක්‍රම් දක්ෂ එක්දින පන්දු යවන්නකු නොවන බවට මතයක් පැතිරෙමින් තිබුණා. එදා එම මතය බොරුවක් කළ අක්‍රම් ලකුණු 21කට කඩුලු 5ක් දවා ගෙන තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. ඒ අයුරින් පෙන්වූ දස්කම් නිසා අක්‍රම් පිළිබඳ බොහෝ කණ්ඩායම් උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා.

ඕස්ට්‍රේලියානු පිතිකරුවකු දැවී ගිය අවස්ථාව – gettyimages.com

 

ලොව ප්‍රබලත ම වේගපන්දු යවන්නකු බවට පත්වීම 

පාකිස්තානු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට 1985 දී පත්වුණු අක්‍රම් ඉන් පසු අඛණ්ඩව සිය රට වෙනුවෙන් ක්‍රීඩා කළා. එම යුගයේ දී ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු පාකිස්තාන කණ්ඩායම ලොව ප්‍රබලත ම ක්‍රිකට් කණ්ඩායමක් බවට පත්ව තිබුණා. දිගින් දිගට ම කැපවීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණු අක්‍රම් 1989 වසර ආරම්භ වෙද්දී සිය උපරිම දස්කම් අතරට පැමිණෙමින් සිටියා. 

1989/90 තරගවාරයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

එම දස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් 1989 ඔක්තෝබර් 28 වැනිදා ඔහු ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.  ඊට මාස කිහිපයකට පසුව ඔහු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල දෙවන ස්ථානය දක්වා ද අක්‍රම් ඉදිරියට පැමිණියා. 1989 සහ 1990 වසරවල දී එක්දින කඩුලු ත්‍රිත්ව ලබාගත් අක්‍රම් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්ව දෙකක් දවා ගත් මුල් ම පන්දු යවන්නා බවට පත්වුණා. ඒ අනුව 1989/90 කාලයේ දී අක්‍රම් ලොව ප්‍රබලත ම වේගපන්දු යවන්නකු ලෙසින් වැජඹුණා.  

1992 ලෝක කුසලානයේ දී පෑ සුපිරි දස්කම් 

1992 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් සම සත්කාරකත්වය ලබා දුන්නා. තරගාවලියේ මූලික වටයේ මුල් තරග හතේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අක්‍රම්ට හැකියාවක් ලැබුණේ නැහැ. එහි දී ඔහු තරග 7ක් තුළ දවා ගත්තේ කඩුලු 9ක් පමණ යි. මූලික වටයේ දී පාකිස්තානය මුහුණදුන් අවසන් තරගය ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහි ව පැවැත්වුණා.

නවසීලන්තය ඒ වන විට ඔවුන් සහභාගි වුණු තරග හත ම ජයග්‍රහණය කර අපරාජිත කණ්ඩායමක් ලෙසින් වැජඹුණා. එවැනි වටපිටාවක පාකිස්තානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා නවසීලන්තය පරාජය කළ යුතු ව තිබුණා.

1992 ලෝක කුසලානයට සහභාගි වුණු කණ්ඩායම් – gettyimages.com

 

එදා එම අභියෝගය භාරගත් අක්‍රම්, ක්‍රයිස්චර්ච් තණතීරුවේ දී නවසීලන්ත පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත් කළා. අක්‍රම් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගෙන සිදුකළ දක්ෂ පන්දු යැවීම හමුවේ නවසීලන්ත ඉනිම ලකුණු 167කට සීමා කළා.

ඉන් අනතුරුව එම ඉලක්කය හඹා ගිය පාකිස්තාන පිතිකරුවන් කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගත්තා. එම තරගයෙන් පසුව පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ දි නවසීලන්තය සහ පාකිස්තානය යළි උරෙනුර ගැටුණා. පාකිස්තානයට කඩුලු 4ක ජයක් හිමි වුණු එම තරගයේ දී අක්‍රම් ලකුණු 40කට කඩුලු 2ක් දවා ගත්තා. 

මූලික වටයේ තරගයක් අතරතුර – gettyimages.com

 

එංගලන්තය සහ පාකිස්තානය අතර මෙල්බර්න් පිටියේ පැවති අවසන් තරගයේ දී එංගලන්තය ලකුණු 250ක ඉලක්කයක් හඹා ගියා. එදා නීල් ෆෙයාබ්‍රදර් සහ ඇලන් ලෑම්බ් අතර ගොඩනැගුණු වටිනා ලකුණු 72ක සබඳතාව නිසා එංගලන්ත ලකුණු පුවරුව 141/4ක් බවට පත් ව තිබුණා. එම තීරණාත්මක මොහොතේ පාකිස්තාන නායක ඉම්රාන් ඛාන්, සිය ප්‍රධානත ම පන්දු යවන්නා වුණු අක්‍රම් අතට පන්දුව ලබා දුන්නා.

එම අවස්ථාවේ දී සිය නායකයාගේ බලාපොරොත්තුව ඉටු කළ අක්‍රම් ලකුණු 31ක් ලබා ගෙන සිටි ඇලන් ලෑම්බ් දවා ගෙන ඉන් නොනැවතී ඊළඟ පන්දුවෙන් ක්‍රිස් ලුවිස්ගේ කඩුල්ල ද දවා ගත්තා. ඉන් පසුව බිඳ වැටුණු එංගලන්ත ඉනිම අවසානයේ දී ලකුණු 227කට සීමා වුණා. එදා ලකුණු 49කට කඩුලු 3ක් දවාගත් අක්‍රම් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා. තරගාවලිය පුරා කඩුලු 18ක් දවා ගත් අක්‍රම් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. 

අවසන් තරගයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

ක්‍රිකට් ගමනට බාධා එල්ල කළ දියවැඩියා මාරයා 

1992 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව අක්‍රම්ගේ ක්‍රිකට් දිවිය තවත් ආලෝකවත් වුණා. 1993 වසරේ දී අක්‍රම්ට පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයත් හිමි වුණා. 1994 අගෝස්තු මාසයේ දී අක්‍රම් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා.

එදා ඔහු ඉන්දියාවේ කපිල් දේව් තබා තිබූ වාර්තාව අභිබවා ගියා. ඒ අයුරින් සුපිරි දස්කම් දක්වමින් ක්‍රිකට් පිටියේ සාර්ථක ඉදිරි ගමනක් ගිය අක්‍රම්ට 1997 නොවැම්බර්යේ දී බලාපොරොත්තු නොවුණු ආකාරයේ ගැටලුවකට මුහුණ දීම සිදුවුණා.

වසීම් අක්‍රම් 1997 දී – gettyimages.com

 

ඊට මාස කිහිපයකට පමණ පෙර සිට තෙහෙට්ටුව, නිතර මුත්රා පිට කිරීමට අවශ්‍ය වීම, වරින් වර ආහාර අවශ්‍ය වීම, නිදිමත ගතිය වැනි තත්ත්වයන්ට මුහුණ දීමට අක්‍රම්ට සිදුවුණා. එම ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කළ අක්‍රම්ගේ පියා රුධිර සීනි පරීක්ෂාවක් කරවා ගන්නා මෙන් යෝජනාවක් කළා. එම පරීක්ෂණයෙන් පසුව අක්‍රම් දියවැඩියා රෝගියකු බව .අනාවරණය වුණා.

ඒ සමඟ ම අක්‍රම්ගේ මානසික තත්ත්වය පහළට වැටුණා. තමන්ට යළි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතිදැයි යන සැකය එදා අක්‍රම්ගේ සිත තුළ හොල්මන් කළා. ඒ වන විට 31 හැවිරිදි වියේ පසුවුණු අක්‍රම් ක්‍රිකට් පිටියෙන් සමුගනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා.

දියවැඩියාවට එරෙහිව කළ සටන 

දියවැඩියාව වැලඳී සිටි අක්‍රම් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ඔහුගේ බිරිය ඇපකැප වී වැඩ කළා. ඇය මුලින් ම සිය සැමියාගේ මානසික මට්ටම ඉහළ දැමුවා. දියවැඩියා තත්ත්වය පාලනය කර ගෙන යළි ක්‍රිකට් පිටියට පිවිසිය හැකි බව ඔහුට අවබෝධ කර දුන්නා. සිය බිරියගේ වචනවලින් ධෛර්යමත් වුණු අක්‍රම් දියවැඩියාවට එරෙහිව සටන ආරම්භ කළා.

බුරියානි, කුල්චා, නිහාරි වැනි සිය ප්‍රියත ම ආහාර පවා අමතක කළ අක්‍රම් දියවැඩියා රෝගීන්ට උචිත ආහාර පමණක් ගැනීමට පුරුදු වුණා. ඒ වාගේම ඔහු ව්‍යායාම සඳහා අමතර කාලයක් වෙන් කිරීමට තීරණය කළා. එහි දී ඔහු රාත්‍රී ආහාරයෙන් පසුව සීනි මට්ටම පරීක්ෂා කිරීමට පුරුදු ව සිටියා. එවිට සීනි මට්ටම වැඩි වී තිබුණොත් ඔහු තවත් අමතර පැයක කාලයක් ව්‍යායාම්වල නිරත වුණා.

වසීම් අක්‍රම් සහ බිරිය – pinterest.com

නියමිත වේලාවට ආහාර ගැනීම, නියමිත වෙලාවට නින්දට යාම වැනි වැනි යහපත් සෞඛ්‍යය පුරුදු සිය ජීවිතයට ළඟා කරගත් අක්‍රම් මත්පැන් සහ දුම්වැටි වැනි දේවල්වලින් ද සම්පූර්ණයෙන් ම ඈත් වුණා. ඒ අතරතුර ඔහු ඉන්සියුලින් ප්‍රතිකාරය ද ලබා ගත්තා. එම ක්‍රියාවලිය සති කිහිපයක් පුරා අඛණ්ඩව සිදුවෙද්දී අක්‍රම්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය වන්නට පටන් ගත්තා.

එමඟින් ධෛර්යමත් වුණු අක්‍රම් යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගනිමින් දියවැඩියාවට එරෙහිව හොඳින් සටන් කළා. ඒ අතරතුර ඔහුට දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ  තරග දෙකක් අහිමි ව ගියා. එම තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකානු බිමේ තුන්කොන් එක්දින තරගාවලියක් පැවැත්වුණා. එයට දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග වැදුණා. එම තරගාවලියේ දී කඩුලු 15ක් බිඳ දැමූ අක්‍රම් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණා. ඔහුගේ එම විශිෂ්ට දස්කම් හමුවේ බොහෝ දෙනකු මවිතයට පත්වුණා. 

වසීම් අක්‍රම් දියවැඩියාවට ප්‍රතිකාර ලබාගන්නා කාලයේ- gettyimages.com

 

දියවැඩියාව පරදා ක්‍රිකට් ලොව ජය ගැනීම 

දියවැඩියා රෝගී තත්ත්වය තරමක් දුරට පාලනය වීමෙන් පසුව යළි ක්‍රිකට් පිටියට අවතීර්ණ වුණු අක්‍රම් සුපුරුදු දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔහු පිට පිට ම පැවති ටෙස්ට් තරග 2කදී කඩුලු ත්‍රිත්ව ලබාගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. එම තරග 1999 ආසියානු කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහි ව පැවැත්වුණා.

ඒ අයුරින් දස්කම් අතරට පිවිසි අක්‍රම් 1999 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. එදා අක්‍රම්ගේ නායකත්වය යටතේ විශිෂ්ට දස්කම් දැක්වූ පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාන අනු ශූරතාව දිනා ගත්තා. 

1999 ලෝක කුසලාන තරගාවලිය අතරතුර – gettyimages.com

දියවැඩියා රෝගය සමඟ සටන් කරමින් අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණු අක්‍රම් 2003 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළා. ඔහු ඊට වසරකට පමණ පෙර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගෙන තිබුණා. ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොත වන විට ඔහු ටෙස්ට් කඩුලු 414ක් දවා ගෙන තිබුණා. එක්දින පිටියෙන් ඉවත් වෙද්දී ඔහු කඩුලු 502ක් බිඳ දමා තිබුණා.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500ක් දවාගත් මුල් ම පන්දු යවන්නා ලෙසින් ඉතිහාසගත වුණු අක්‍රම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට එක්දින ලෝක කුසලාන තරගවල දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙස ද වාර්තා අතරට එක් ව සිටියා. 

එක්දින කඩුලු 500ක් දවා ගැනීම වෙනුවෙන් වසීම්ට  ලැබුණු තිළිණයක්  – gettyimages.com

 

1997 දී දියවැඩියාව වැලඳුණු අවස්ථාවේ අක්‍රම්ට ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. ඔහු දියවැඩියාවට එරෙහිව සටන් කරමින් තවත් වසර 6කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටියා. එම කාලය තුළ ඔහු එක්දින කඩුලු 164ක් සහ ටෙස්ට් කඩුලු 91ක් දවා ගනිමින් සිය රට වෙනුවෙන් උපරිමය ලබා දුන්නා. එනිසා දියවැඩියාව පරදා ක්‍රිකට් ලොව ජයගත් ක්‍රීඩකයකු ලෙසින් වසීම් අක්‍රම් නාමය ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ලියැවුණා. 

 

කවරයේ ඡායාරූපය- අක්‍රම් 1989/90 ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියේ දී - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

thehindubusinessline.com

howstat.com

gulfnews.com

Autobiography of Wasim Akram

Autobiography of Imran Khan- All Round View

Related Articles